BREAKING NEWS

‘අගෝස්තු 17 වැනිදායින් පසු මෛත‍්‍රී – මහින්ද සුසංයෝගයෙන් යහපාලනයේ සැබෑ ගුණාංග සහිත නව පරිච්ඡේදයක් අරඹනවා – ජානිපෙ නායක, විමල් වීරවංශ

අගෝස්තු 17 වැනිදායින් පසු මෛත‍්‍රී-මහින්ද සුසංයෝගයෙන් යහපාලනයේ සැබෑ ගුණාංග සහිත, පැවැති ආණ්ඩුවල තිබූ දුබලතාවලින් තොර නව පරිච්ඡේදයක් ඇරඹිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(09) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසුවේය.

‘‘අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ ජනතාවට ඉතා තීරණාත්මක මැතිවරණයක්. පසුගිය ජනවාරි 08 වැනිදා මේ රට ගොදුරු වුණු වික‍්‍රමසිංහයගේ බටහිර ගැති පාලනයට සමුදීලා මෛත‍්‍රී-මහින්ද සුසංයෝගයකින් යුතු නව පාලනයක් ආරම්භ කිරීම සඳහා මේ රටේ පොදු ජනතාව මුල පුරන දිනය අගෝස්තු 17 වැනිදායි.

බොහෝ දෙනෙකු කල්පනා කළා මෙවැනි ඓතිහාසික එකගතාවක් මෛත‍්‍රී-මහින්ද අතර ඇති නොවෙයි කියා. ඇත්තෙන්ම එය ඉතා අසීරු කාරණයක් බව අපි කවුරුත් දන්නවා. නමුත් ඒ සියලූ අසීරුතා මැද මේතාක් දුරට මේ ක‍්‍රියාදාමය ඉදිරියට රැගෙන එන්න ලැබීමම අපි හිතනවා විශාල ජයග‍්‍රහණයක් කියලා.

අද මේ ඇති වී තිබෙන එකගත්වය සහ සුහදත්වය පිළිබඳව යම්කිසි පිරිසක් ඉතාමත් අසුබවාදී ප‍්‍රවෘත්ති පළ කිරිමේ විනෝදාස්වාද ක‍්‍රීඩාවක නිරත වන බව අපි දන්නවා. ඒ පිළිබඳව අපි කිසිසේත්ම කලබල වෙන්නේ නැහැ. 13 වැනිදා තමයි නාමයෝජනා භාර දීමේ අවසන් දිනය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තුමා එකගවෙලා තියෙනවා ‘අද(09) සියලූ දිස්ත‍්‍රික්කවල නාමයෝජනා අත්සන් කිරිමේ කටයුතු අවසන් කරලා හෙට(10) දිනයේ දිස්ත‍්‍රික්ක වැඩි ප‍්‍රමාණයක නාමයෝජනා භාරදීමේ කටයුතු අවසන් කරනවා’ කියලා.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අනිවාර්යෙන්ම තරග වදිනවා. දැනටමත් එතුමා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා පත‍්‍රයේ සිය අත්සන තබා අවසන්. නාමයෝජනා පත‍්‍ර අත්සන් කිරිමේදී කුඩා ගැටළු තිබෙනවා. අපි ඒවා සාකච්ඡා මගින් විසඳා ගනිමින් සිටිනවා. පුළුල් සන්ධානයක් පමණක් නෙවෙයි තනි පක්‍ෂයක නාමයෝජනා අත්සන් කිරිමේදි පවා විවිධ අදහස් උදහස්, වෙනස්කම් මතු වෙන්න පුළුවන්.

වාසුදේව මැතිතුමන් පැවසුවා වාගේ දේශීය හා විදේශීය අධිරාජ්‍යගැති කල්ලි කණ්ඩායම් වියරු වැටිලා විශාල උත්සාහයක යෙදෙනවා, මේ එකගතාව බිඳ දමන්න. මේ කල්ලිවල ගෝලයෝ ‘බුලත් කොළය’ ඇතුළෙත් ඇති. මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ මේ රට නැවත නිසි මගට ගතයුතුයි කියලා විශ්වාස කරන අපි ඉන්නේ, ‘මේ සමගිය ආරක්‍ෂාකර ගත යුතුයි. එය රටට ජයග‍්‍රහණ ගෙනදිය හැකි සමගියක් බවට පෙරළිය යුතුයි’ කියන තැනයි. එයයි අපගේ බලාපොරොත්තුව. පෞද්ගලික පටු කෝන්තර අපට නැහැ. අපට තියෙන්නේ, රටත්, ජාතියත් ගෙන යන මාවත පිළිබඳ ප‍්‍රශ්නයයි.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාලනය අපට ගෙවී ගිය දින 180 තුළ පෙන්වා දුන්නා, තමන් දුන් පොරොන්දුවලට කොතරම් පිටුපාන පාලනයක්ද කියලා. මේ අය පසුගිය ජනාධිපතිවරණ කාලයේ, පැවති ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය උත්සවයක් පැවැත්වුවත් ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්තුමන්ව මෙහෙයුවා. ඒත් අද මේ ආණ්ඩුවේ ඇමතිවරු හැසිරෙන හැටි බලන්න. උදාහරණයක් හැටියට වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා කොළඹ දිස්ත‍්‍රික්කයේ හැම පන්සලකටම ඉදිරි දිනයක් දාලා ලියුම් යවලා. ‘දහම් පාසල් ගුරුවරුන් 05 දෙනෙකුට සහ ස්වාමීන් වහන්සේ නමකට සාමවිනිසුරු පත්වීම් ලබා දෙනවා’ කියලා ඔවුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවනවා. මේ මහ මැතිවරණ කාලසීමාව තුළ තමයි මේ සාමවිනිසුරු පත්වීම් ලබා දෙන්නේ. මේ අය පසුගිය මැතිවරණයේදී මේ වගේ දේවල් සිදු වුණාට ‘යහපාලන මෝස්තර වචන’ දාලා උදහස් වුණේ නැත්නම් කමක් නැහැ. නමුත් එහෙම උදහස් වෙලා ඒවා ජනමතය කුළුගන්වන කාරණා බවට පෙරළා ගත් මේ අය අද ඇවිල්ලා දුව දුව කරන්නේ එදා තමන් විසින් හෙළා දැකපු කාරණාමයි.

වෙනස කියලා සිදු වුණේ රටට අගතියක් මිස සුගතියක් නොවෙයි

ඒ නිසා මේ රටේ ජනතාවට අද ඇස්පනා පිට ඔප්පු වෙලා ඉවරයි, ‘වෙනස කියලා සිදු වුණේ රටට අගතියක් මිස සුගතියක් නොවෙයි’ කියලා. දැන් ඕනෙ මේ රටට සුගතිය රැගෙන එන වෙනසක්. ජනවාරි 08 වැනිදා අගතිය ගෙන එන වෙනස සිදු වුණා. වික‍්‍රමසිංහ මහත්තයාගේ කල්ලිය මේ රට අද දක්වා ඒ අගතියේ මාවතේ ඉදිරියට ඇදගෙන යමින් සිටිනවා. ඒ ගමන නවත්තලා සුගතියේ, යහපතේ වෙනසට මේ රට රැගෙන යා යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයේ මේ රටේ පොදු ජනතාව ඉන්නවා. ඒ ප‍්‍රවණතාවය අද මැතිවරණ බිමේ සමාජීය වශයෙන් ඇති වෙලා ඉවරයි. ඒ ප‍්‍රවණතාව තමයි, අප ජයගන්වන, බලගන්වන ප‍්‍රවණතාව.

අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට එහි නායකත්වයත් සමග එකට එකමුතුව මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් සබුද්ධිකව මෙහෙයවන්න සූදානම්. ඒ අතරේ එක්සත් ජාතික පක්‍ෂය තමන්ගේ සුපුරුදු අවලාද ව්‍යාපාරයෙන් මේ ඡන්දයත් දිනා ගන්න පුළුවන් කියලා හිතනවා. දැන් බලන්න එජාප මන්ත‍්‍රීවරයකු ‘හෙළිදරව්ව’ කියලා බෝඞ් එකක් ගහගෙන මාධ්‍ය හමුවක් තියලා කෑම බිලක් පෙන්වූවා. ඒ කෑම බිල චෝගම් සමුළුවට පැමිණි දෙස්-විදෙස් ආරාධිතයන්ගේ උදෑසන ආහාරය සඳහා මුදල් ගෙවූ බිලක් කියලා දැන් තහවුරු වී තිබෙනවා. මම හිතන්නේ නැහැ, ලෝකයේ සුපිරිතම ධනවතාගේ පවුලේ උදෑසන කෑම බිල සඳහාවත් රුපියල් ලක්‍ෂ 95ක් වැය වෙයි කියලා. මේ වගේ බොරු පච, බේගල් හලලා මේ අය ඡන්ද දිනන්න පුළුවන් කියලයි හිතන්නේ. අපි කියනවා එජාප මහත්වරුන්ට ‘මහත්වරුනි ඔබලා කියා ඇති බේගල්වල හැටියට දැන් මොන බේගලය කීවත් මේ රටේ ජනතාව ඒ්වා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ’’ කියලා.

අපි දුටුවා ඉතා සුවිශේෂ මාධ්‍ය හමුවක් තියෙනවා කියලා මාධ්‍යවේදී ඔබලාව කැඳවපු එජාප අගමැති අපේක්‍ෂකයා ඇතැම් මාධ්‍යවේදීන්ව බිම වාඩි කරවලා තියපු ආකාරය. මාධ්‍යවේදීන් සිරිකොතේ බිම වාඩි කරවලා තියපු ආකාරයට මට දුක හිතුනා, ‘අනේ මේ රටේ අගමැතිවරයා මාධ්‍යවේදීන්ට මෙහෙමද සලකන්නේ’ කියලා. මෙහෙම කරන්නේ මාධ්‍ය නිදහස ගැන කෑගහපු යූ.එන්.පීය නේද? රනිල් වික‍්‍රමසිංහ මහත්තයො බලයට ඇවිල්ලා මාධ්‍යවේදීන් පාපිස්සට ගන්නද හදන්නේ?

මීට දවස් දෙකකට කලින් දිවයින පත්තරේ ශීර්ෂ පාඨයට මොකද වුණේ? ‘සන්ධානයේ නාමයෝජනා ස්ථිරයි!’ කියලා හදපු ශීර්ෂ පාඨය පිටපළාත්වලට ගහපු පත්තරේ ගියා. වික‍්‍රමසිංහ මහත්තයාගේ ගෝලයො ටික එයාට කිව්වා මෙහෙම ‘ලීඩ් ස්ටෝරි’ එකක් යනවා කියලා. පසුව එයා බලපෑම් කරලා ශීර්ෂ පාඨය වෙනස් කළා. ‘සන්ධානයේ නාමයෝජනා අවිනිශ්චිතයි’ කියලා. දිවයින ශීර්ෂ පාඨය කොළඹට කියනවා. ‘සන්ධානයේ නාමයෝජනා අවිනිශ්චිතයි’ කියලා. ත‍්‍රිකුණාමලයට කියනවා ‘සන්ධානයේ නාමයෝජනා ස්ථිරයි’ කියලා. අග‍්‍රාමාත්‍ය වික‍්‍රමසිංහ මාධ්‍යට බලපෑම් කරන්නේ නැතිනම් කොහොමද ඒ බලපෑම සිදු වුණේ? අද ජාතික පුවත්පතක ශීර්ෂ පාඨය තීරණය කරන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද? එක පැත්තකින් මාධ්‍යවේදීන් බිම වාඩි කරනවා. අනෙක් පැත්තෙන් ජාතික පත්තරවල ශීර්ෂ පාඨ තමන්ට ඕනේ විදියට වෙනස් කරනවා. ඒ වගේම අද එක්සත් ජාතික පක්‍ෂයේ බල ව්‍යාපෘතියට පටහැනි දේවල් ප‍්‍රචාරය වීම සීමා කරලා තියෙනවා. සියලූ විද්යුත් මාධ්‍ය තමන්ට ඕනෙ විදියට නටවන්න හදනවා. ඒ නිසා සැකයක් නැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සැබෑ ලෙසම යහපාලනය ඉල්ලන මේ රටේ සියලූ ජනබලවේග අද මහින්ද රාජපක්‍ෂ අග‍්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවක් හදන්න සූදානමින් සිටිනවා. ඒ වගේම මෛත‍්‍රී- මහින්ද සුසංයෝගයකින් යුත් පාලනයක් හදලා රට ආරක්‍ෂාකර ගැනීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඒ සියලූ ජනබලවේගල අපේක්‍ෂාවන් ඉටුකර දීමේ අදිටනින් අපි මැතිවරණ සටන මෙහෙයවනවා. අගෝස්තු 17 වැනිදා මැතිවරණයේ ජයග‍්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුයි. එජාපයේ මුහුණු දැක්කම හිතෙනවා ඔවුන් පරාජය වෙලා ඉවරයි කියලා. දැනටමත් මූණු ‘නාලූ’ වෙලා. කොඩිවැල් ඇදලා දාපු සෝබන දැන් අසෝබන වෙලා තියෙනවා.

යහපාලනයේ සැබෑ ගුණාංග සහිත, තිබුණු අපේ ආණ්ඩුවල දුබලතා මකපු නව පරිච්ෙඡදයක් ආරම්භ කරන්න අපි සූදානම්. ඒ සඳහා ලක ලැස්ති වෙන්න කියලා රටට ආදරය කරන සියලූ ජනබලවේග වෙතින් ඉල්ලනවා.’’
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-07-09

11188330_480854245409455_818694783290098606_n

11201119_480854005409479_3019058503369299967_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*