BREAKING NEWS

අද කොටි ත‍්‍රස්තවාදීන් අගමැතිගේ උපදෙස් අනුව නිදහස් වන විට ත‍්‍රස්තවාදය වැනසූ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා – ජානිපෙ නායක, විමල් වීරවංශ

අද ත‍්‍රස්තවාදය වැනසූ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක වන විට එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ත‍්‍රස්තවාදීන් අගමැතිගේ උපදෙස් පරිදි නිදහස ලබන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(10) අනුරාධපුරයේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට කියනවා ‘අපට පොරොන්දු වූ ආකාරයට සියලූම එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන්න’ කියලා. ‘පොරොන්දු වූයේ කවදාද? කවරාකාරයටද? කොතැනකදීද?’ කියන එකයි මේ රටේ ජනතාවගෙන් සැගවූයේ.

එක පැත්තකින් ‘ඇවන්ගාඞ්’ කියන මහා නාටකයක් රග දක්වමින් ඒ ව්‍යාජ නාටකයට මහජනයාගේ අවධානය යොමු කරවලා තිබෙනවා. අනෙක් පැත්තෙන් දඩුවම් ලබමින් සිටින, දඩුවම් ලැබිය යුතු අධිකරණ ක‍්‍රියාදාමයකට යොමුකොට සිටින මිනීමරු කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කිරීමේ මෙහෙයුම අද ආරම්භ කරලා තිබෙනවා. ‘මේ රට බෙදන්න යුද්ධ කරපු මිනීමරු ත‍්‍රස්තවාදීන් වෙනසක මුවාවෙන් නිදහස් කරන දිනයක් උදාවෙයි’ කියලා මේ රටේ ජනතාව අපේක්‍ෂා කළාද? මේ කාරණය පුවත්පත්වල පළ වන්නේ ‘අග‍්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි මෙම කොටි සැකකරුවන් නිදහස් කරනු ලැබීමට නියමිතයි’ කියලයි. අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොහොමද කොටි සැකකරුවන් නිදහස් කරන්නේ? ඒ ආකාරයට අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිරගතව සිටින සියලූ දෙනා නිදහස් කරන්න පුළුවන්ද? එහෙම නම් කුමක්ද මේ රටේ නීතිය?

දීපවාලී උත්සවය වෙනුවෙන් පළමු අදියර යටතේ කොටි සැකකරුවන් හැට ගණනකට නිදහස ලැබෙනවා. ඉදිරියේදී තවත් පිරිසකට නිදහස ලැබේවි. මේ ආකාරයට නිදහස ලබන ඇතැම් කොටි සැකකරුවන් ඉතා බරපතළ චෝදනාවලට ලක්වූවන්. ලක්‍ෂ්මන් කදිරගාමර් ඇතුළු ප‍්‍රභූ ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් මේ අය අතර සිටිනවා.

මේ අය දේශපාලන සිරකරුවන් නොවෙයි. ශ‍්‍රී ලංකා හමුදාව යුද්ධ කළේ සාමකාමීව දේශපාලනයේ නියුතු වූ පිරිසක් සමගද? කැබිතිගොල්ලෑවේ ගම්මාන පිටින් වැනසුවේ, බස්වලට බෝම්බ තිබ්බේ සාමකාමීව දේශපාලනය කරපු පිරිසක්ද? මේ පිරිස ලෝකයේ ඉතාමත් ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී යුද උපක‍්‍රම භාවිතා කළ පිරිසක්. එහෙම නම් මේ අය කොහොමද දේශපාලන සිරකරුවන් වන්නේ? මෙවැනි පිරිසක් දේශපාලන සිරකරුවන් ලෙස සලකා නිදහස් කිරීම ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් නොවෙයිද?

අපේ ආරක්‍ෂක හමුදාවල 27,000ක් ජීවිත පුදලා, 23,000ක් අතපය අහිමිකරගෙන මේ රට බේරලා දුන්නේ, යුද්ධය දිනලා අවුරුදු 06ක් ගත වෙන කොට සිරගතව සිටින කොටි ත‍්‍රස්තවාදීන් ටික නිදහස් කරන්නද? මේ ආකාරයට කටයුතු කරලා මේ රට බිහිසුණු අනාගතයක් කරා රැගෙන යන එකයි මේ ආණ්ඩුව කරන්නේ.

‘ත‍්‍රස්තවාදය වනසපු බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට’

මේ ආකාරයට කොටි සැකකරුවන් නිදහස ලබද්දී ඊයේ(09) රහස් පොලීසිය හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකුට වැඩි පිරිසක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද ත‍්‍රස්තවාදය වනසපු බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක වෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු කොටි ත‍්‍රස්තවාදීන් අගමැතිගේ උපදෙස් පරිදි නිදහස් වෙනවා. මෙන්න අද මේ රටේ වෙලා තිබෙන දෙය. මේක සාධාරණද?

ඒ අත්අඩංගුවට ගත්තු හමුදා නිලධාරීන් ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධයි කියලා චෝදනා හදලා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලීසියේ රදවා ගෙන ප‍්‍රශ්න කරනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරලා මේ රටේ බුද්ධි අංශයට දඩුවම් කරන මේ ආණ්ඩුව, අනෙක් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට ත‍්‍රස්තවාදීන් නිදහස් කරමින් සිටිනවා.

ඊළගට මේ ආණ්ඩුව සූදානම් වන්නේ තහනම් කරලා තිබෙන කොටි හිතවාදී සංවිධාන සියල්ලේ තහනම ඉවත් කරන්න. ගෝලීය දෙමළ සංසදය, ‘දේශසීමාවක් නොමැති දෙමළ ඊළම’ වැනි සංවිධාන ගණනාවක් අපේ රට තුළත් ජාත්‍යන්තරවත් තහනමට ලක් වුණා. විශේෂ ගැසට් නිවේදනයක් මගින් අපේ රටේ තහනමට ලක්ව තිබුණේ කොටි ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන්නු, ආයුධ මිලදී ගන්න මුදල් හොයලා දුන්නු, අවි ජාවාරම් කරපු, රට අස්ථාවර කරන්න කටයුතු කරපු සංවිධාන. දැන් මේ ආණ්ඩුව ඒ විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරලා ඉහත කී සියලූ ත‍්‍රස්ත හිතවාදී සංවිධානවලට ලංකාව ඇතුළට එන්න ඉඩ හදලා දෙනවා.

මේ රටේ ජනතාව ‘වෙනසක්’ කියලා බලාපොරොත්තු වුණේ උග‍්‍ර කොටි හිතවාදී සංවිධානයක් වුණු ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා ඇතුළු ශ‍්‍රී ලංකාවට බොරු යුද අපරාධ චෝදනා එල්ල කළ පිරිස රතු පලසක් එලලා ගෙන්වා ගැනීමටද?

මේ කොටි හිතවාදී වෙනසට කරගහපු සියලූ මිනිසුන්ගෙන් පක්‍ෂ, පාට භේදයෙන් තොරව අපි ඉල්ලා සිටිනවා ‘මේ අපරාධයට ඉඩ දෙන්න එපා!’ කියලා.’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, අනුරාධපුර දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතාද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.11.10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*