BREAKING NEWS

අනුර රනිල්ට බෝලේ උස්සලා දෙනවාලූ

11041883_436446979850182_3928378175396895301_oශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අමාත්‍ය ධුර ලබා ගනිමින් යහපාලන ආණ්ඩුවට එක්වීමත් සමග පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරයද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරයකු විසින්ම දැරීම පිළිබඳව සංවාදයක් දේශපාලන කරළිය තුළ මතුව තිබිණි.

මෙම සංවාදය වඩාත් උණුසුම් අයුරින් මතු වූයේ පසුගිය 24 වැනිදා පැවති පාර්ලිමේන්තු සභා වාරයේදීය. එහිදී පළමුව මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූ අතර, ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තුව මේ වන විට ‘සෙල්ලම් ගෙදරක්’ වී ඇති බවයි.

ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය නිවැරදි ආකාරයට ඉර ගසා වෙන් කිරිමේ වගකීම කථානායකවරයාට ඇති බවත් මෙය නොසලකා හැරියොත් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෝකයේ ‘විහිලූම පාර්ලිමේන්තුව’ බවට පත්විය හැකි බවත් මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

‘‘ජනාධිපතිවරණයක් පැවැත්වූවේ ජනාධිපතිවරයකු පත් කරගන්නයි, නමුත් දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයා පමණක් නොවෙයි අගමැතිවරයාත් විපක්‍ෂ නායකවරයාත් එම ඡන්දය පදනම් කරගෙන අලූතින් පත්කර ගෙන තිබෙනවා. කලින් ආණ්ඩුවට මේ අය කිවේ ‘ඒකාධිපති රෙජීමය’ කියලා. විධායක ජනාධිපති ධුරයේ බලතල මේ විදියට යොදා ගන්න යහපාලන ආණ්ඩුව තමයි ‘ඔරිජිනල් ඒකාධිපති රෙජීමය’ ආණ්ඩුවට විපක්‍ෂ නායකයකු හදන්න ඉඩ දෙන්න එපා. එහෙම විපක්‍ෂ නායකයකු අපට එපා. විපක්‍ෂ නායකකම උගස් කරන්න ආණ්ඩුවට ඉඩදෙන්න එපා!’’ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා එහිදී එසේ අවධාරණය කළේය.

‘‘මේ විපක්‍ෂ නායක ධුරය පිළිබඳව මතුව ඇති ගැටළුවේදී අගමැතිතුමා නිහඩ ඇයි?’’ යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා එහිදී නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද සිය අදහස් දැක්විය. ‘‘රනිල්ට ඩෑෂ් පාරක් ගහන්න මෙයා ඔන්න අදත් බෝලේ උසස්ලා දුන්නා.’’

ඒ අවස්ථාවේදී තමන් අසල අසුන්ගෙන සිටි ඩලස් අලහප්පෙරුම මහතාට විමල් වීරවංශ මහතා පැවසුවේ අනුර කුමාර දිසානායක මහතාටද ඇසෙන අයුරිනි.

‘‘බෝලේ උස්සලා දුන්නා නොවෙයි, රනිල් මග හැරලා යන එක වළක්වන්නයි අපි කටයුතු කරන්නේ’’ විමල් වීරවංශ මහතාටද ඇසෙන අයුරින් අනුර දිසානායක මහතා ඊට එසේ ප‍්‍රතිචාර දැක්වීය.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතාද අනුර කුමාර දිසානායක මහතාගේ මේ ‘අගමැතිවරාගෙන් ප‍්‍රශ්න ඇසීම’ හාස්‍යයට ලක් කරන අයුරු දැකගත හැකි වුවත් කීදේ පැහැදිළිව කිසිවකුටත් නොඇසිණි.

නිමල් සිරිපාල ළගටම ඇවිත් අත්සන් අරන්…

විපක්‍ෂ නායක ධුරය පිළිබඳව කතාබහින් පාර්ලිමේන්තුව ඒ අයුරින් උණුසුම් වෙද්දී විපක්‍ෂ නායක ධුරයට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙස ඉල්ලා, විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක්, කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීම සඳහා අත්සන් ලබාගැනීමේ කටයුත්තක් ද පාර්ලිමේන්තුව තුළ සිදු කරමින් සිටියහ.

එහෙත් ඒ වන විටත් නිමල් සිරිපාල ද සිල්වා මහතා තම විපක්‍ෂ නායක ධුරය රැක ගැනීමේ මෙහෙයුමක් පාර්ලිමේන්තුව තුළ අරඹා තිබිණි. ඒ බව හෙළිදරව් වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටින දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක වනු දැකීමට කැමති මන්ත‍්‍රීවරයකු කළ පහත ප‍්‍රකාශනයෙනි.

‘‘දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීතුමා විපක්‍ෂ නායක ධුරයට පත් වෙනවාට අපි කැමතියි. නමුත් නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා අපේ ළගටම ඇවිත් මීට කලින් කථානායකතුමාට දෙන ලිපියකට අපෙන් අත්සන් ගත්තනේ, එයා දිගටම විපක්‍ෂ නායක ධුරයේ ඉන්නවාට අපි කැමතියි කියලා.’’

‘දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල සතියේ කතාබහ’

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද තම පක්‍ෂ 4හි ඒකාබද්ධ වැඩපිළිවෙළෙහි ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පසුගිය බදාදා උදේ රැස්විය. පසුදින පැවැත්වෙන රත්නපුර ජාතික රැලිය පිළිබඳව එහිදී මුලින්ම අවධානය යොමු විය.

‘‘අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩුවේ ‘වල්ගය’ බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත්කොට තිබෙනවා. මේ තත්ත්වයට විරුද්ධ, ඒ වගේම තමන්ට ඡන්දය දුන් ජනතාව සමග ජීවත් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 26ක් ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් මේ රැලියට එක්වන බව අපට දන්වා තිබෙනවා.’’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

‘‘රත්නපුර රැලිය තීරණාත්මක රැලියක් වේවි.’’ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේය. මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මහතා එහිදී දැනුම් දුන්නේ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයද රත්නපුර රැලියේ සිට මෙම රැලි මාලාවට සහභාගී වන බවය.

ඉන් අනතුරුව පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡාවට බදුන් වූයේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවය.

‘‘මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතාම බරපතළ අවුලකට රට ඇදලා දානවා’’ පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා දුන්නේය. ‘‘මේ පිළිබඳව අපේ මතය රටට කිව යුතුයි’’ දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේය.

‘‘ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තෝරා පත්කරගෙන පසුව අගමැතිවරයා කියන විදිහට ඔහුට වැඩ කරන්න සැලැස්වීම ජනතා පරමාධිපත්‍ය බලය හෑල්ලූවට ලක් කිරීමක්. ඒකයි මේ සංශෝධනයෙන් පැහැදිළිව සිදු වන්නේ’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘මේක හොඳින් අධ්‍යයනය කරලා අපි උත්තරයක් දෙමු’’ වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

එසේම එළඹෙන මැයි දිනය සමරන ආකාරය පිළිබඳවද මෙහිදී අවධානයට යොමුවිය. ‘‘අපේ දේශපාලන ගමන සමග එක්ව සිටින වෘත්තීය සමිති රැසකින් අපේ පක්‍ෂ 04ට ඇරයුම් ලැබී තිබෙනවා ඔවුන්ගේ මැයි දින වැඩපිළිවෙල සමග එකතු වන්න කියලා’’ දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. පසුව ඒ පිළිබඳව ඉහත වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡාවකටද පක්‍ෂ 04හි නායකයෝ එක් වූහ. ‘ජාතික වෘත්තීය සමිති බලමුළුව’ නම් වූ එම ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මැයි දිනයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන්වීමටද එහිදී තිරණය විය.

About the Author

Leave a Reply

*