BREAKING NEWS

අපේ ජනපති – අගමැති ප‍්‍රංශ ප‍්‍රහාරය හෙළා දකින ගමන් ශ‍්‍රී ලංකාවේ එවැනි ත‍්‍රස්ත ප‍්‍රහාරවලට සම්බන්ධ කොටි ත‍්‍රස්තවාදීන් හිරගෙවල්වලින් එළියට දමනවා – ජානිපෙ නායක, විමල් වීරවංශ

    ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප‍්‍රංශයේ ISIS ත‍්‍රස්ත ප‍්‍රහාරය හෙළා දකින නිවේදන නිකුත් කරමින් ශ‍්‍රී ලංකාව තුළ එවැනි මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරවලට සම්බන්ධ කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (15) කොලොන්නාව ගොතටුව සණස ශාලාවේදී පැවැති ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ දේශන මාලාවේ පස්වැන්න සිදුකරමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද සදහන් කළේය.

‘‘දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසුව ප‍්‍රංශයේ සිදු වූ බරපතළම ත‍්‍රස්ත ප‍්‍රහාරය ලෙස හැදින්වෙන මෙම ප‍්‍රහාරය හේතුවෙන් මුළු යුරෝපයම සලිත වී සිටිනවා. CNN, බීබීසී නාලිකාවල විකාශනය නොවුණාට මේ ප‍්‍රහාරයෙන් කුපිත වූ ප‍්‍රංශ ජාතිකයන් ඒ රටේ ඉස්ලාම් බැතිමතුන් වාසය කරන නිවෙස්වලට ගොස් ප‍්‍රහාර එල්ල කර ඝාතන සිදුකොට තිබෙනවා. මානව හිමිකම් පිළිබද ‘බණ’ අපට දෙසා වදාරන බටහිර රටවල මහත්තුරු ඒ ‘බණ’ පැරීසියට අදාළව කියා ගන්න බැරිව අද ලත වෙනවා. ප‍්‍රංශයේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරලා, ප‍්‍රංශ ජාතිකයන් ඒ රටේ වෙසෙන ඉස්ලාම් බැතිමතුමන්ගේ නිවෙස්වලට පැනලා ඔවුන් මරා දමන විට ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් කුමාරයාගේ ‘පඩුපුල් ආසනය’ උණු වෙන පාටක් දකින්න නැහැ.

‘ත‍්‍රස්ත ජවනිකාවලින් මේ රට බේරාගත් නායකයාට සලකන විදිය’

ත‍්‍රස්තවාදය විසින් මුළුමහත් ප‍්‍රංශයම භීතියෙන් මුසපත් කරන කොට ‘ප‍්‍රහාරයට නොයා සාකච්ඡාවෙන් මේ ප‍්‍රශ්නය විසදා ගත යුතුයි’ කියන සාම කතා අද ඇහෙන්නේ නැහැ. අපට මතකයි, කොටි ත‍්‍රස්තවාදය මුළුමහත් ශ‍්‍රී ලංකාවම භීතියෙන් මුසපත් කළ අවස්ථාවේ එවකට ප‍්‍රංශයේ විදේශ ඇමති බර්නාඞ් කුෂ්නර්, බි‍්‍රතාන්‍ය විදේශ ඇමති ඬේවිඞ් මිලිබෑන්ඞ් සමග ඇවිත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා ‘වහාම යුද්ධය නවත්තලා කොටි ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡා කරන්න’ කියලා. ඒ කීමට එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අවනත වුණා නම් අද ප‍්‍රංශයේ පැරීසියේ දකින්න ලැබෙන ජවනිකා ටික කොළඹ, කොලොන්නාව ප‍්‍රදේශවලින් දකින්න පුළුවන්. ප‍්‍රංශයට, පැරීසියට මෙබදු ජවනිකා අලූත් වුණාට අපේ ජන සමාජය වසර 30ක් තිස්සේ ජීවත් වුණේ එබදු ජවනිකා දකිමින්. ඒ ජවනිකා අවසන් කරලා ජාතිය ඒ ඉරණමෙන් නිදහස් කරගත් නායකයා අද බරපතළ දූෂණ පිළිබද සෙවීමේ කොමිෂන් සභා ගානේ රස්තියාදු කරවනවා. ප‍්‍රංශයේ අද දකින ජවනිකා අවසන් කළ නායකයාට මේ රට සලකන්නේ එහෙමයි. ප‍්‍රංශය අද හොයනවා එවැනි නායකයෙක්, මේ බිහිසුණු ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමන්න. ඔවුන් හොයන්නේ මහින්ද රාජපක්‍ෂ වගේ, ත‍්‍රස්තවාදය සුරතල් නොකර, එය සීමා කරන්න පුළුවන් නායකයෙක්, ත‍්‍රස්තවාදයට කෙලින් මුහුණ දෙන්න පුළුවන් නායකයෙක්.

‘කොටි ත‍්‍රස්තවාදීන්ට බලෙන් ඇප අරන් දීම’

ISIS කියන්නේ බටහිර බලවතුන් නිර්මාණය කළ, මුළු මැදපෙරදිගම තමන්ගේ ග‍්‍රහණයට නතු කරන්න හදපු ත‍්‍රස්ත කල්ලියක්. අද බටහිර බලවතුන් විසින්ම බිහි කරපු ත‍්‍රස්තවාදය ඔවුන්ගේ දෙපතුළ මතම බෝම්බ පුපුරවන තත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන්ට ඒක වළක්වන්න බැරි වෙලා තියෙනවා.    අපේ රටේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන ඉමහත් සංවේගය පළ කරලා ඒ ත‍්‍රස්තවාදය මැඩලීමට ප‍්‍රංශ රජය ගන්නා ක‍්‍රියාමාර්ගවලට එකසිතින් සහයෝගය පළ කරලා නිවේදන දෙකකුත් යවලා තියෙනවා. එහෙම නිවේදන යවන ගමන් මේ අය මේ රටේ ප‍්‍රංශයේ වැනි ත‍්‍රස්ත ජවනිකාවල යෙදුණු කොටි ත‍්‍රස්තවාදීන් සිරගෙවල්වලින් එළියට දමනවා. නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දණ ගස්සවලා කොටි ත‍්‍රස්තවාදීන්ට බලෙන් ඇප අරන් දෙනවා. ඒ අතරේ දෙමළ ජාතික සන්ධානය උතුරේ හර්තාල් කරනවා. ‘ඇප පිට නොවෙයි, කොටි සැකකරුවෝ අපට පොරොන්දු වුණු විදිහට පොදු සමාවක් දීලා තොගය පිටින්ම එළියට දාන්න’ කියලා.

ජනවාරි 08 වැනිදා බලයට ආපු ‘හංසයාගේ’ මැතිවරණ ප‍්‍රකාශයේ කොහේ හරි තිබුණාද? ‘සැකපිට රදවා තබාගෙන සිටින, දඩුවම් ලබා සිරගතව සිටින සියලූම කොටි ත‍්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් සේ සලකා නිදහස් කරනු ලැබේ’ කියලා. ‘දින 100න් අලූත් රටක්’ කියලා  ලෝකයේ ‘ලොකුම කෙප්පය’ ගහපු රට බවට ඔවුන් මේ රට පත් කළානේ. මේ කොටි සැකකරුවන්, සිරකරුවන් බස් බෝම්බ, දුම්රිය බෝම්බ තබපු අය, මරාගෙන මැරෙන ප‍්‍රභූ ඝාතනවලට ආපු අය, දළදා මාලිගාව, ශ‍්‍රී මහා බෝධිය, කාත්තන්කුඩි පල්ලිය වැනි සිද්ධස්ථානවලට ප‍්‍රහාර එල්ල කරලා සමූහ මිනිස් ඝාතන සිදුකරපු අය. මේ භයානක කොටි ත‍්‍රස්තයින්ට නිදහස ලැබෙන කොට, කොටින්ගෙන් මරාගෙන මැරෙන පුහුණුව ලබපු ISIS කල්ලියෙන් ප‍්‍රංශය බේරාගන්න ප‍්‍රංශ ජාතිකයෝ නව නායකත්වයක් හොයනවා.

‘කොටි නිදහස් කරනවා’ කියන පොරොන්දුව ‘හංස පුට්ටුව’ විසින් දීපු නිසා තමයි උතුරේ ඡන්ද පෙට්ටිවල ඡන්දවලින් 70% – 80%ක් හංසයාට වැටුනේ. ‘හංස පුට්ටුව’ ලබා දුන්නේ ‘කොටි නිදහස් කරනවා’ කියන පොරොන්දුව විතරක් නොවෙයි, කොටි ත‍්‍රස්තවාදය විනාශ කරපු නායකයන්ට දඩුවම් කරන පොරොන්දුවත් ඒ අතර තිබෙනවා. ඒ පිරිසට විරුද්ධව නඩු අහන්න ‘යුද අපරාධ අධිකරණයක් පිහිටුවනවා’ කියන පොරොන්දුවත් ‘හංස පුට්ටුව’ විසින් ලබාදී තිබෙනවා. තවම හංසයා ඉගිල්ලෙන්න පටන් ගත්තා විතරයි. තවම ඉටු කරලා තියෙන්නේ පොරොන්දු ටිකයි. අනෙක් පොරොන්දු ටික ඉටු කරන ‘දේවාලය’ තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය. දැන් ඇමෙරිකා එක්සත් ජනපද ජිනීවා යෝජනාවට’ පූර්ණ අනුග‍්‍රහය දක්වලා වත්මන් ආණ්ඩුව වැඬේ පහසු කරලා දීලා තිබෙනවා.

මානව හිමිකම් කඩවීම පිළිබද චෝදනාවක් යම්කිසි රටකට තිබෙනවා නම් ඒ ප‍්‍රශ්නය විසදාගත යුත්තේ රට ඇතුළේදීමයි. ඒක රාජ්‍යයෙන් බාහිර පාර්ශ්වවලට අත ගහන්න දිය යුතු කාරණාවක් නොවෙයි. ඇතැම්විට ඇමෙරිකා එක්සත් ජනපදය ‘චීනය මානව හිිමිකම් උල්ලංඝනය කරනවා. එහි ආගමික නිදහස නැහැ’ කියමින් විවිධ වාර්තා නිකුත් කරනවා. ඒ වුණාට මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයක් චීනය තුළ පිහිටුවලා, යුද අපරාධ අධිකරණ පිහිටුවන්න ඔවුන් ඉඩ දෙනවාද? ලෝක සිතියමේ තිබෙන රටවල් බොහෝමයකට මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබද චෝදනා එල්ල වෙනවා. හැබැයි බටහිර ගැති රූකඩ ආණ්ඩු මොනතරම් මානව හිමිකම් උල්ලංඝනය කළත් ඒක බටහිර බලවතුන්ට ප‍්‍රශ්නයක් නොවෙයි.

‘මානව හිමිකම් කසය වැනීම’

දැන් මැදපෙරදිග තියෙනවානේ අමෙරිකා එක්සත් ජනපදයට අවනත ආණ්ඩු. ඇතැම් රටවල පාලකයෝ රජවරු. මේ රටවල පාලකයන්ට එරෙහිව ජනතාව පාරට බැස්සා. හමුදාව දාලා ඒවා මෙල්ල කළා. CNN, අල්ජසීරා ඒවා පෙන්නුවේ නැහැ. නමුත් බටහිර න්‍යාය පත‍්‍රයට විරුද්ධව තම රටවල් මෙහෙයවපු ගඩාෆිලා, සදාම් හුසේන්ලා හිටපු තැන්වලට මානව හිමිකම් කසය වනන්න පටන් ගත්තා. CNN, අල්ජසීරා ඒ රටවල සිදුවීම් උඩ දමමින් පෙන්වනවා ‘මානව හිමිකම් උල්ලංඝනය කරනවා’ කියන මතය හදන්න.

බටහිර ගැතිනම්, ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය පිළිගන්නවානම්, ඔවුන්ට අවනත නම් ඒ පාලනතන්ත‍්‍රවලට විරුද්ධව මානව හිමිකම් කසය වැනෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ බටහිර උදහසට ලක්වුණේ ඇයි?  ඒ තමයි ‘බටහිර බලවේග කොටියාගේ ත‍්‍රස්ත බලය පාවිච්චි කරලා මේ රට බෙදන්න හදපු එක වැළැක්වීම’. එහෙම කරපු නායකයාගෙන් වාඩුව ගැනීමයි අද සිදු වෙන්නේ. ඊට අවශ්‍ය වෙනසයි ජනවාරි 08 වැනිදා සිදු වුණේ. ‘වෙනස මාරයි-රට හමාරයි’ කියන තිත්ත ඇත්ත මේ වන විට ‘හංස පුට්ටුවට’ රැවටුණු බොහෝ දෙනෙකුට වැටහිලා තියෙනවා. මේ ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීම සදහා සියලූ ජන බලවේග ඒකරාශී විය යුතුව තිබෙනවා. අද ‘බුලත් කොළය’ සිරිසේන මහත්තයා කාලා ඉවරයි. ඒ නිසා අපි නව දේශපාලන පෙරමුණක් ගොඩනගලා ඉදිරියේදී මේ රට මේ ද්‍රෝහී පාලනයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නවා කියන සපථ කිරීම මේ අවස්ථාවේදී සිදු කරනවා. ‘ඒ සදහා අත්වැල් බැද ගන්න. පෙරට එන්න’ කියා කොලොන්නාව ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.11.16

01 03 08 09 11 13 14 15 16 17 19 30 32 33

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*