BREAKING NEWS

‘අයිසෙ, තමුසෙ, වඳුරා, වාඩිවෙනවා, එළියට යනවා’ යන නියෝගයන් ලිච්ඡවී රාජ්‍ය සම්ප‍්‍රදායට අයත්ද? – ජාතික නිදහස් පෙරමුණෙන් අගමැතිට පැනයක්

තමන් අනුගමනය කරනවා යැයි කියන ලිච්ඡවී රාජ්‍ය සම්ප‍්‍රදායට ‘අයිසෙ, තමුසෙ, වඳුරා, වාඩිවෙනවා, එළියට යනවා’ යන නියෝගයන්ද ඇතුළත් දැයි ජාතික නිදහස් පෙරමුණ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්නකර සිටී.

ඊයේ(08) බත්තරමුල්ලේ, ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, උදයශාන්ත ගුණසේකර මහතා එසේ ප‍්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදයශාන්ත ගුණසේකර මහතා මෙසේද පැවසීය.

‘‘මේ රට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රැගෙන යන දිශාව කුමක්ද, කියලා අද වන විට පැහැදිලි වෙමින් තියෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජනිස නායකයා වුවත් පසුගිය මැතිවරණයේදී එහි ජයග‍්‍රහණය වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. ඒ විතරක් නොවෙයි, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සම්බන්ධන් මහතා පත් කිරීමත් ඔහුගේ අනුදැනුම මත සිදුවූවක්.

ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු ජනවරම කොල්ලකන්න, යටපත් කරන්න මේ අය කටයුතු කරන ආකාරයත් පසුගිය සතියේදී දැක ගත හැකි වුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වුණු මොහොතේ සිටම කටයුතු කරන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමනකට සූදානම් වන බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට ඇමති කටු කිහිපයක් දීලා එම පක්ෂය ඊනියා ජාතික ආණ්ඩුවේ වලිගයක් බවට පත්කොට තිබෙනවා.

පසුගිය 03වැනිදා විපක්‍ෂ නායක ධුරය පිළිබඳව මතුවූ ප‍්‍රශ්නයක් කෙරෙහි කථානායකතුමන්ගේ අවධානය යොමු කරවීමට අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා කටයුතු කළා. එහිදී   අගමැතිවරයා හැසිරුණේ කුඩා දරුවකු වගේ ඉතාමත් බොලඳ ආකාරයටයි. මමත් එහිදී නැඟී සිට රීති ප‍්‍රශ්නයක් නැඟුවා. ‘අයිසෙ, තමුසෙ, වඳුරා, වාඩිවෙනවා’ ආදී වචන රැසකින් එතුමා මට ප‍්‍රතිචාර දැක්වූවා. මෙවැනි තත්වයක් ඇතිවීම පිළිබඳව අපි ඉතාම කණගාටු වෙනවා. අද එක්සත් ජනතා සන්ධානය පාර්ලිමේන්තුව තුළ නිහඬ කරවීමටයි අගමැතිවරයා කටයුතු කරන්නේ. ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අද එහි නායකයා ‘විනය පොලූ’ උස්සා ගෙන ඉන්නවා.

අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට  ඕනෙ විදිහට, පාර්ලිමේන්තුවේ ආසන 16ක් තිබෙන සම්බන්ධන් මහත්තයාට විපක්ෂනායකකමත් ආසන 06ක් තිබෙන අනුර දිසානායක මහත්තයාට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකමත් ලබා දී තිබෙනවා. එජනිස මන්ත‍්‍රීවරුන් 56කගේ ඉල්ලීමට පයින් ගහලා ඒ අයගේ කටත් වහන්නයි යන්නේ. ඔවුන්ට පාර්ලිමේන්තුවේ කට වහගෙන ඉන්නලූ. නැත්නම් පිටවෙලා යන්නලූ. මේ තත්වය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනියි. ස්ථාවර නියෝගවල 77වැනි වගන්තියේ පැහැදිලිව තිබෙනවා ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සම්බන්ධයෙන් විනය රීති පැනවිය හැක්කේත් මන්ත‍්‍රීවරයකුට අවස්ථාව ලබා දිය හැක්කේත් මන්ත‍්‍රීවරයකුගෙන් වරදක් සිදුවනවා නම් එය නිවැරදි කළ හැක්කේත් කථානායකවරයාටය’ කියලා.

කථානායකතුමන් එදා මා නිහඬ කළා. නමුත් පාර්ලිමේන්තුවට නුසුදුසු, ජ්‍යෙෂ්ඨයකුගෙන්, අගමැතිවරයකුයෙන් කිසිදා බලාපොරොත්තු නොවන ඒ වරද එතුමා නිවැරදි කළේ නැහැ. අපි දුෂ්කර දේශපාලන ගමනක නිරත වන පිරිසක්. එහෙත් අපි අසැබි වදන්, පාර්ලිමේන්තුවට නොගැලපෙන වදන් කිසිදා භාවිතා කරන්නේ නැහැ. මම නවක මන්ත‍්‍රීවරයකු නොවෙයි, ප‍්‍රථමවරට පාර්ලිමේන්තුවට පැමිණියේ 2004 වසරේදී මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින්. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඒක දන්නෙත් නැහැ.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන්නේ එයාලා අනුගමනය කරන්නේ ‘ලිච්ඡුවී රාජ්‍ය සම්ප‍්‍රදාය’ කියලානේ. ඒත් මම හොයලා බැලූවා  ලිච්ඡවී රාජ්‍ය සම්ප‍්‍රදායේ ‘අයිසෙ, තමුසෙ, වඳුරා, එළියට පලයන්, වාඩිවෙයන්, කට වහගෙන ඉඳපන්’ වගේ දේවල් තියෙනවාද, කියලා. ලිච්ඡවී රාජ්‍ය සම්ප‍්‍රදායේ තිබුණේ ‘සමගිව රැස්වීම, සමගිව සාකච්ඡා කිරීම, සමගිව විසිර යාම, පැනවූ නීති ආරක්ෂා කිරීම’ ආදී උසස් ගුණාංග. දැන් මේකෙ බෝඞ් එකක් ගහලා තියෙනවා ‘ලිච්ඡවී රාජ්‍ය සම්ප‍්‍රදාය’ කියලා. මේක හරියට හරක් මස් ලොරියේ ‘බුදු සරණයි,’ කියලා ගහගත්තා වගේ වැඩක්. මේක ලිච්ඡවීන්ටත් කරන නිග‍්‍රහයක්.

මේ අය සමගිව රැස්වුණා, රටට එරෙහිව කුමන්ත‍්‍රණය කරන්න. සමගිව සාකච්ඡුා කළා, රට බේරාගත් මහින්ද රාජපක්ෂ එළවන්න. සමගිව විසිර ගියා, ආණ්ඩුවේත් විපක්ෂයේත් දෙකේම බලය තමන් අතට ගන්න. අද මාධ්‍ය ඇමතිතුමා කියනවා, ‘වල් බූරු නිදහසක් තියාගන්න එපා’ කියලා. මේ කියන්නේ මාධ්‍යයට කට පියාගෙන ඉන්න කියලයි. මේ ඇරඹිලා තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමනක්.

මෛත‍්‍රී-රනිල් පාලනය සූදානම් වෙන්නේ ෆෙඩරල් පාලනයකට පාර කපලා දෙන්න. 2002 සටන් විරාම ගිවිසුමක් ගහලා රට දෙකඩ කරන්න උත්සාහ කළ රනිල් වික‍්‍රමසිංහලාගේ ‘රට බෙදන්නේ නැහැ’ කියන බොරු කතාවලට අපි රැවටෙන්නේ නැහැ. මේ රටේ ඒකීයභාවය රකින්න කළ හැකි සියල්ල අපි කරනවා.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-09-09

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*