BREAKING NEWS

අර්ජුන ඇලෝසියස් මංකොල්ල කාපු සල්ලිවලින් මාධ්‍ය ආයතන මිලදී ගත්තේ ‘බැඳුම්කර හොරාගේ’ ප්‍රතිරූපය නංවන්නයි!

අර්ජුන ඇලෝසියස් මංකොල්ල කාපු සල්ලිවලින් මාධ්‍ය ආයතන මිලදී ගත්තේ ‘බැඳුම්කර හොරාගේ’ ප්‍රතිරූපය නංවන්නයි!

– ජානිපෙ නායක, විමල් වීරවංශ

මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමින් ඉපයූ මුදල් යොදවා අද අර්ජුන ඇලෝසියස් නැමැත්තා මාධ්‍ය ආයතන මිලදී ගෙන ඇති බවත් එම මාධ්‍ය ආයතන මගින් ‘බැඳුම්කර හොරකමේ’ මහ මොළකරුගේ ප්‍රතිරූපය නැංවීමට කටයුතු කරනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා අනාවරණයකර සිටියේය.

අද(24) සිරගතව සිටින විමල් වීරවංශ මහතා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ පසු බැඳුම්කර විවාදයට එක්වෙමින් මෙසේ අනාවරණයකර සිටියේය.

එහිදී ඒ මහතා මෙසේද සඳහන්කර සිටියේය.

“අපි මේ අද විවාද කරන්නේ, අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තා නිල වශයෙන්ම උපදෙස් දීලා රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය මහදවල් කොල්ලකෑමේ කාරණය පිළිබඳවයි. මීට කලින් අගමැතිවරුන්ට සහ ආණ්ඩුවලට විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. නමුත් ඉතිහාසයේ පළමු වතාවටයි, රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය මහදවල් මංකොල්ල කෑමේ චෝදනාව, අගමැතිවරයකුට හා ගෝල හොරු රැලකට එල්ල වී තිබෙන්නේ.

මේ කතාව සිදු කරන මම අද ඉන්නේ සිරගතවයි. නමුත් වාහන අවභාවිතාවලට සෘජුවම වගකිවයුතු එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහට, වාහන 04ක් අවභාවිතා කරපු ලසන්ත අලගියවන්නට එරෙහිව තමුන්නාන්සේලාගේ ‘සුපිරි පොලීසිය’ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වෙනුවට අපව දඩයම් කරනවා. අද ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මහනුවර දිස්ත්‍රික්කයේ තමන්ගේ ආධාරකරුවන්ට රජයේ මුදලින් වාහන 100ක් ලබා දීලා තිබෙනවා. නමුත් මේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒවා ගැන සොයන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ පාදඩ දේශපාලනයට එරෙහි වන මිනිස්සු පසුපස පන්නමින් දඩයම් කිරීමේ ගමනක අද තමුන්නාන්සේලා නිරතව සිටිනවා. ඒ දඩයමට බයවෙන මිනිස්සු මේ පැත්තේ ඉන්නවා කියලා තමුන්නාන්සේලා හිතනවා නම් ඒක බරපතළ වරද්දා ගැනීමක්.

‘බැඳුම්කර හොරකම’

දැන් අපි බලමු, මේ මහදවල් මහ බැංකු බැඳුම්කර හොරකම කරපු විදිහ. පළමුවෙන්ම අගමැතිවරයා තමන්ගේ ගජමිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කළා. ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබුණේ නැහැ. ඒ නිසා ඔහු මහ බැංකු අධිපති ධුරයට අදාළ දිවුරුම පවා ලබාදී නැහැ. ඉන්පසුව මේ අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ දුව බැඳපු මිනිසා වන අර්ජුන ඇලෝසියස්ගේ සමාගමට අයුතු ලාභ ලබාගත හැකි ආකාරයට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවල පොලී අනුපාතික පවා වෙනස් කළා. දැන් මේ රටේ සාමාන්‍ය බැංකු සියල්ලම පෙළඹිලා තිබෙනවා, තමන් සතු මුදල් 13 – 14% පොලියට මහ බැංකු බැඳුම්කර වෙනුවෙන් යොදවන්න, එමගින් වැඩි ලාභයක් උපයාගන්න. ඒ නිසා අද මේ බැංකුවලින් සාමාන්‍ය ජනතාව ණයක් ඉල්ලුවොත් ලැබෙන්නේ මීට වඩා වැඩි පොලියකටයි.

‘වී හැරිසන් කළ හොරකම’

ගරු කථානායකතුමනි, 2015 ජනවාරි 08 වැනිදා බොරු ගොඩක් කියලා බලයට ආපු අය සහ එදා ඒ බොරු වර්ණ ගන්වපු අද විපක්‍ෂයේ ඉන්න අය එකතු වෙලා මේ මහ මංකොල්ලය සිදුකර තිබෙනවා. ඒ කාටවත් මේ ජාතික අපරාධයෙන් ගැළවෙන්න බැහැ. ඔවුන් සියලුදෙනාම ඊට වගකිව යුතුයි.

ඒ විතරක් නොවෙයි, අද මේ රටේ සහල් පරිභෝජනය කරන ජනයා සහල් කිලෝවකට ගෙවනවා, රුපියල් 100කට ආසන්න මුදලක්. එහෙම වුණේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබුණු වී ටික ‘වී හැරිසන්’ සත්ත්ව ආහාර සඳහා විකුණලා කෝටි ගණන් හම්බ කරපු නිසා සහ ජනාධිපතිවරයාගේ සහෝදරයා වී ජාවාරමේ නිරතවීම නිසයි. සහල් මාෆියාව සහ අදාළ ඇමතිවරයා එකතු වෙලා කරපු ජාවාරම් නිසා අද ජනතාවට බත් කෑමේ අයිතියක් නැති වෙලා තිබෙනවා.

‘ක්‍රෝටන් කොළ – කොස් කොළ’

ඒ නිසා දැන් මේ ආණ්ඩුව ජනතාවට කියනවා, ‘ක්‍රෝටන් කොළ, කොස් කොළ කාපල්ලා’ කියලා. මේ රටේ බඩගිනි දරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ බත්කෑමේ අයිතිය අහිමි කරපු, ඔවුන්ට ක්‍රෝටන් කොළ, කොස් කොළ කන්න කියන මේ පාලකයන්ට අපි කියනවා ‘මහත්වරුනි, මේ තැනට රට ඇදලා දාපු නුඹලා තණකොළ කාපල්ලා’ කියලා.

‘බිම්බා ඉම්බේ කවුද?’

අද මේ රටේ නීතියේ සාධාරණත්වය ගැන කතා කරන්න දෙයක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න බිම්බා තිලකරත්න නැමති නිලධාරිනිය අද අරලියගහ මන්දිරය ඇතුළට වෙලා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු විනිසුරුවරුන්ට නියෝග දෙනවා, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දඩයම් කරන විදිහ ගැන. (කිරිඇල්ල ඇමතිවරයා බාධා කරමින් : බිම්බා තිලකරත්න දැන් ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නොවෙයි) තමුන්නාන්සේලාට බිම්බා තිලකරත්න දෙන උදව්වල හැටියට ඇයව මේ විදිහට රැකගන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (සුමන්තිරන් මන්ත්‍රීවරයා බාධා කරයි) මට කියන්න තියෙන්නේ ‘හා හා හොරේ දැනුණා, දැනුණා. . .’ කියලා තමයි. එතුමා ‘බිම්බාව ඉම්බාද? නැද්ද?’ කියන්න මම දන්නේ නැහැ. නමුත් මම එක දෙයක් පැහැදිලිව කියනවා, ‘මේ බිම්බා තිලකරත්න නැමති නිලධාරිනිය ලවා අද අධිකරණයට සෘජුව බලපෑම් කරනවා. අද විනිසුරුවරුන්ගේ උසස්වීම් සඳහා තිබෙන උවමනාව දඩමීමාකර ගෙන අයුක්ති සහගත තීරණ දීමට බලපෑම් කරනවා’

‘මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදනවා’

මේ හොරු තක්කඩි රැල අද සූදානම් වන්නේ රට බේරාගත් නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් රැසක් දඩයම් කරලා හිරගෙවල්වලට යවලා මේ දේශපාලන භූමියේ තනි අයිතිය ලියා ගන්න. අන්තිමේදී මේ රට බටහිර යටත්විජිත කොලනියක් විතරක් නොවෙයි, චීන, ඉන්දීය කොලනි බවට පත් කරලා පරදේශක්කාර බලවේගවල තිප්පොළක් බවට පත් කිරීමටයි. ඒ උවමනාව වෙනුවෙන් අද අගමැති රනිල් වික්‍රමසිංහ 2020 ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. ඒකට තමයි අර්ජුන ඇලෝසියස් මංකොල්ල කාපු සල්ලිවලින් සියත රූපවාහිනිය, වෙබ් අඩවි, පුවත්පත් ආයතන මිලදී ගත්තේ. මේ මාධ්‍ය ආයතනවලින් ‘බැඳුම්කර හොරාගේ’ ප්‍රතිරූපය නංවන්න හදනවා.

‘අපට මොන අවලාද ගැහුවත් මොන තර්ජන කළත් හිරගෙවල් එකක නොවෙයි දාහක දැම්මත් මේ පාහර ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවනතුරු අපේ සටන අත හරින්නේ නැහැ’ කියා මේ මොහොතේ අවධාරණය කරනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2017.01.24

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*