BREAKING NEWS

අල්ලස් කොමිසම සාමාන්‍ය ක‍්‍රමවේදයෙන් බැහැරව විමල්ව ප‍්‍රශ්න කරලා….

10940577_719913028126520_5241685059219094108_nජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පසුගිය සඳුදා(09) උදේ 9.15ට පැමිණෙන ලෙසට එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් දැනුම් දීමක් සිදුකර තිබිණි.
ඒ අනුව ඉහත කී දිනයේ එම වේලාවට විමල් වීරවංශ මහතා අල්ලස් කොමිසම වෙත පැමිනියේ තම නීතිඥ කපිල ගමගේ මහතා ද සමගිනි. එහිදී තමන්ගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ එම කොමිසමට නීතිඥ නාමල් රාජපක්‍ෂ නමින් හඳුන්වන රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයා විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව බව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට දැන ගැනීමට ලැබිණි.
ප‍්‍රශ්න කිරීම සිදුකළ මැදිරියේ වීඩියෝ කැමරාවක් තිබුණු අතර, බිත්තියේ සී.සී.ටී.වී. කැමරාවක්ද සවිකර තිබිණි. ඊට අමතරව පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ප‍්‍රශ්න කිරීම සඳහා යොදවා තිබිණි. මෙම මැදිරියට විමල් වීරවංශ මහතා පැමිණියේ තම නීතිඥ කපිල ගමගේ මහතාද කැටුවය.
‘‘ප‍්‍රශ්න කිරිම්වලදී මන්ත‍්‍රීතුමාට සහායවීමට මට අවශ්‍යයි’’ නීතිඥ මහතා එහිදී පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ප‍්‍රශ්න කිරීම් භාරව සිටි නිලධාරියා පැවසුවේ එසේ කිරීමට කිසිදු ඉඩක් නොමැති බවය. ඒ අනුව නීතිඥ කපිල ගමගේ මහතා එම ස්ථානයෙන් ඉවත් විය.
උදෑසන 9.30ට ප‍්‍රශ්න කිරීම් ඇරඹි අතර, ඉහත පැමිණිල්ලට අදාළ නොවන ප‍්‍රශ්න ද විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් විය.
‘‘කෙහෙල්කොළේ බස්නැවතුම්පොළ ඉදිකළේ ඔබතුමාගේ අදහසකට අනුවද?’’ ආදී ප‍්‍රශ්නද ඒ අතරවිය.
‘‘ඔව්! මගේ අදහසකට අනුව තමයි ඒ නව ආකාරයේ බස්නැවතුම හැදුවේ. නමුත් ඒකේ ඩිසයින් එක වාස්තු නිර්මාණ ශිල්පියකු විසින් නොමිලේ කර දුන්නා’’ ඉහත ප‍්‍රශ්නයට විමල් වීරවංශ මහතාගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.
ප‍්‍රශ්න කිරීම, දිවා ආහාරය සඳහා නතර කරන විට දහවල් 12.40 පමණ වූ අතර ඒ වනවිට පැය 03කට අධික කාලයක් විමල් වීරවංශ මහතාගෙන් ප‍්‍රශ්නකර තිබිණි. දිවා ආහාරය සඳහා ලබාදී තිබුණේ විනාඩි 30ක කාලයකි.
නිවසට හෝ වෙනත් ස්ථානයකට දිවා ආහාරය සඳහා යාමට වේලාව මද බැවින් අල්ලස් කොමිසම ඉදිරිපිට ආකේඞ් වෙළඳ සංකීර්ණයේ අවන්හලකින් කෑම පාර්සල් 03ක් රැගෙන විත් විමල් වීරවංශ මහතාත්, නීතිඥ මහතා හා රියදුරා ද එළිමහනේ තිබූ බංකුවල වාඩි වී දිවා ආහාරය ගන්නා අයුරු දැකගත හැකිවිය.
ඉන් අනතුරුව විනාඩි 30 ඉකුත් වීමට ප‍්‍රථම විමල් වීරවංශ මහතා යළිත් අල්ලස් කොමිසම වෙත පැමිණියේය. දිවා ආහාරයෙන් පසුවද පැයක පමණ කාලයක් ප‍්‍රශ්න කිරීම් සිදුවිය.
‘‘මෙතැන කැමරා සවිකර තිබීම, සාමාන්‍ය තත්ත්වයක් වගේ නොවෙයි මට පෙනෙන්නේ. ප‍්‍රශ්න කිරීම් සිදුකරන ආකාරය කවුරුන් හෝ පිටත සිට බලන බව දැනුණා. ප‍්‍රශ්න කිරීම් සිදුකළ පොලිස් නිලධාරීන්ට එමගින් විවිධ උපදෙස් ලැබෙන බවත් මට තේරුණා. මෙසේ කටයුතු කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයද කියා අපි නීති උපදෙස් විමසා බලමු’’ විමල් වීරවංශ මහතා පැවසුවේය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිසකගෙන් මේ පිළිබඳව නීතිඥ කපිල ගමගේ මහතා විමසා බැලූවේය.
‘‘මෙසේ කැමරා යොදා ගැනීම, පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදා ගැනීම වගේම නීතිඥ සහය ලබාගැනීමට ඉඩ නොදීම සාමාන්‍ය ක‍්‍රමවේදය නොවෙයි. අවම වශයෙන් නීතිඥවරයාට නිරීක්ෂණ මට්ටමින් හෝ ප‍්‍රශ්න කිරීම් සිදුකරන අතරතුර රැදී සිටීමට පුළුවන්. එසේවත් ඉඩකඩ නොදීම මවිතයට කරුණක්’’ ජ්‍යෙෂඨ නීතිඥවරු රැසක් එහිදී පැවසුහ.
දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල සතියේ කතාබහ
සිය පක්‍ෂ 04හි ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම පිණිස දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්‍ෂ 04ක නායකයෝ කොළඹ පිහිටි විශේෂ ස්ථානයක රැස්වූහ.
‘‘ව්‍යවස්ථා සංශෝධනය, හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට රැුගෙන ඒමට මේ ආණ්ඩුව සූදානම් වෙනවා. එසේ කිරීම වැරදියි. එහෙම වුණොත් එම පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ විමසා බැලීමට ඇති ඉඩකඩ අහිමි වෙනවා. ඒ නිසා අපි පක්‍ෂ නායකයන් ලෙස ඒකාබද්ධ ඉල්ලීමක් කරමු, ‘ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනත් කෙටුම්පතක් ලෙස රැගෙන එන්න එපා! සාමාන්‍ය පනත් කෙටුම්පතක් ලෙස රැගෙන එන්න.’ කියලා.’’ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
‘‘මේ සිදු කරන්න යන සංශෝධනය ඉතා පුළුල් එකක්. එය ‘නව ව්‍යවස්ථා කෙටුම්පතක්’ සම්මතකර ගැනීම වැනිම වූ බරපතල කාර්යයක්’’ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.
‘‘මෙම ව්‍යවස්ථා සංශෝධනය, හදිසි පනත් කෙටුම්පතක් ලෙස රැගෙන ඒම පිළිබඳව අපි විරුද්ධත්වය දක්වමු. එහෙම වුණොත් ඊට එරෙහිව ගත හැකි නීතිමය පියවර පිළිබඳවත් සලකා බලමු’’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කලේය.
‘‘මම දැනටමත් නීතිඥ මහත්වරු කණ්ඩායමකට මේ ගැන අධ්‍යයනය කරන්න කියලා තියෙන්නේ. එහෙම වුණොත් අපි අවශ්‍ය නීතිමය පියවර ගනිමු’’ පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඉන්පසු මෙම පක්‍ෂ නායකයන්ගේ අවධානය යොමු වූයේ, ‘වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු අනුව යමින් අපේ‍්‍රල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරාවිද? යන ප‍්‍රශ්නය වෙතයි.
‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටින මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට හිතවත් මන්ත‍්‍රී පිරිස් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අකමැත්ත තිබුණත් අපේ‍්‍රල් 23 වැනිදායින් පස්සේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ සූදානමක සිටිනවා. හැබැයි ඒක රඳා පවතින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා, මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි කොයිතරම් දුරට බලපානවාද?කියන එකත් එක්කයි. එහෙම බැලූවොත් වැඩි ඉඩක් තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නේද?’’ විමල් වීරවංශ මහතා එහිදී පෙන්වා දුන්නේය.
වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මතය වූයේද ‘පාර්ලිමේන්තුව අපේ‍්‍රල් 23 වැනිදා විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් පවතිනවා’ යන්නයි. නමුත් මෙහිදී සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳව ඉතාමත් අවධානයෙන් සිටියයුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.
ඉන්පසුව ‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළගැසෙමු!’ යන තේමාව යටතේ පවත්වනු ලබන ජාතික රැලිමාලාවේ තෙවැන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ අනුව තෙවැනි ජාතික රැලිය රත්නපුර නගරයේ සීවලී ක‍්‍රිඩාංගණය අසලදී මාර්තු 26 වැනිදා සවස 3.00ට පැවැත්වීමට තීරණය විය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*