BREAKING NEWS

අසහාය විප්ලවවාදියාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා!

අද (13) දින තම ජීවන ගමන් මගේ 90 වන සැතපුම් කණුව පසු කරන කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ අසහාය විප්ලවවාදියාණන්හට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනය කරමින් විමල් වීරවංශ මහතා විසින් යවන ලද සුබ පැතුම් පණිවිඩය සම්පූර්ණයෙන් පහත පළ කොට ඇත.

“ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති,
ගරු ෆ්ලොරොන්ටිනෝ බැටිස්ටා ගොන්සාලෙස් මහතා මගින්
ගරු ෆිදෙල් කස්ත්‍රෝ මැතිතුමා,
සමාජවාදී කියුබානු රාජ්‍යය,
හවානා,
කියුබාව.

අතිගරු ෆිදෙල් කස්ත්‍රෝ මැතිතුමනි,

අසහාය විප්ලවවාදියාණෙනි ඔබට දිර්ඝායුෂ වේවා!

පළමු කොටම ජීවන ගමන් මගේ 90 වන සැතපුම් කණුව පසු කරන අසහාය විප්ලවාදියාණෙනි, ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි. ඔබ විසින් යථාර්ථයක් බවට පත්කළ සමාජවාදී කියුබානු රාජ්‍යය අප වැනි සියලු ලෝකවාසී අධිරාජ්‍යවිරෝධීන්ට මහත් ආශ්වාදයක් සපයන්නේය.

සන්නද්ධ අරගල මාවත ඔස්සේ යමින් ඔබ කියුබාවේ රාජ්‍ය බලය ලබා ගත්තේය. එතැන් පටන් කියුබානු ජන සමාජයට ඔබ ලබාදෙන්නේ අසමසම ආදර්ශයන්ය. එම ආදර්ශයන් විසින් අවසානයේ කියුබාව සහ ෆිදෙල් යනු දෙකක් නොව එකක්ම බවට පත්කරනු ලබන්නේ ඔබ සතු විප්ලවවාදී ජීවගුණය කියුබානු සමාජය තුළ ලයාන්විතව පැළපදියම් කරමිනි.

ඔබ ඒ සඳහා විටෙක සන්නද්ධ බලය ද විටෙක ප්‍රජාතන්ත්‍රවාදය ද විටෙක මානව දයාවෙන් පිරිපුන් සහෝදරත්වය ද යොදා ගත්නේ කියුබානු ජනයා සමාජවාදය කෙරෙහි ඒකාත්මික කරවමිනි.

අවශ්‍ය තැන්වලදී වෙනස් වෙමින් ලෝකයේ නව ප්‍රවණතාවන්ට අනුගතවෙමින් සැබෑ අධිරාජ්‍යවිරෝධියාට දිනපතා අලුත් වන්නට ඔබ විසින් කියාදුන් පාඩම් අතිශය වැදගත් ඒවා විය. අධිරාජ්‍යවාදීන්ගේ නිරන්තර පීඩනයට ලක්වන අප රටේ අධිරාජ්‍යවිරෝධී දේශපාලන නායකයන්ට ඔබගේ ජීවිතයෙන් දුන් ආදර්ශය මෙතැකැයි කීමට ශබ්දකෝෂයේ වචන නැති බව මාගේ හැඟීමයි.

එම පාඩම්වල ප්‍රබලත්වය, ඔබ තුළ වන වෙනස් වීමට ඇති නෛසර්ගික නැඹුරුතාවය, නිසාම ලෝකයේ දරුණුම අධිරාජ්‍යවාදීයාගේ බලකොටුවේ සිට කිලෝමීටර් 90ක දුරකින් පිහිටි අධිරාජ්‍යවිරෝධී ජනයාගේ පහන් ටැඹ වූ සමාජවාදී කියුබාව සුරැකිව රැකගැනීමට කියුබානු අධිරාජ්‍යවිරෝධී විප්ලවවාදීන්ට හැකිව ඇත්තේය.

සමාජවාදය යනු සමස්ත ලෝකය හා බැඳුණු පරිසරය රැකගනිමින්, සොබාදහමේ නියාම ධර්මයන්ට අනුව ජීවත්වන ජීවන රටාවකැයි යන්න සමස්ත ලෝකවාසී ජනයාට අවබෝධකර දෙන්නට ඔබ ඔබගේ ජීවිතයෙන් දුන් පූර්වාදර්ශය ඉතාම අගනේය. එය මෙතෙක් ලෝකයේ පහළ වූ කිසිදු නායකයකු ලෝක ජනයාට දුන් ආදර්ශයන් සමඟ සැසදිය නොහැකි කරම් ප්‍රබල යැයි යන්න අපගේ අවංක හැඟීම වන්නේය.

ඔබගේ ඉමහත් කැපවීම තුළ ගොඩනැංවූ සමාජවාදී කියුබාව තුළ ජීවත්වන්නේ සැබෑ අධිරාජ්‍ය විරෝධියෙකි. එම කියුබානුවා, අධිරාජ්‍යවාදීන් විසින් කරනු ලබන දුෂ්ට ක්‍රියාහේතුවෙන් ලෝකයේ කොතැනක හෝ ජීවත් වන පීඩිත ජනයා මුහුණ දෙන පාරිසරික, සෞඛ්‍යමය, සමාජමය ආදී ඕනෑම ගැටළුවකදී පෙරමුණ ගත්නේ ෆිදෙල් කස්ත්‍රෝ පෞද්ගලිකවම එම පීඩිත ජනයා සමඟ උරෙනුර ගැටී වෙහෙසන බව ඒත්තු ගැන්වෙන තරම් හෘදයාංගම බවකිනි.

මධ්‍යම ඇමෙරිකාවෙත් ශ්‍රී ලංකාවෙත් ගොවි ජනයා අතර පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය තුරන් කළ හැක්කේ සක්‍රිය අධිරාජ්‍යවිරෝධී ජාත්‍යන්තර අරගලයතින් පමණක්ය යන්න අප සමාජය තුළ තහවුරු කිරීමට ඔවුන් දක්වන දායකත්වය ද සුළුපටු නොවේ. වසංගත රෝගයක් සම්බන්ධයෙන් එවැනි විප්ලවකාරී නව අදහසක් ප්‍රකාශ කරන්නට තරම් නිර්භීත මිනිසුන් බිහිකිරීමට හැකි වූයේ කියුබානු සමාජවාදී රාජ්‍යයේ දැක්ම ජාත්‍යන්තරවාදීවීම නිසා යැයි අප පවසන්නේ ඔබ කෙරෙහි වන ගෞරවය ද මුසුවය.

ලෝක අධිරාජ්‍යවිරෝධී කඳවුරෙහි අධ්‍යාත්මික නායකයකු වන ගරු ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාණෙනි ඔබට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2016-08-13“

 

13914124_991662290951591_839982818006595399_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*