BREAKING NEWS

ඇමෙරිකානු රජයේ මැදිහත්වීමෙන් ශ‍්‍රී ලංකා රජය සහ ටී.එන්.ඒ. පක්‍ෂය අතර එළඹුණු බව පැවසෙන තුන්පාර්ශ්වීය ගිවිසුම පිළිබඳව විමසමින් යැවූ ලිපිය…

ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

ඇමෙරිකානු රජයේ මැදිහත්වීමෙන් ශ‍්‍රී ලංකා රජය සහ ටී.එන්.ඒ. පක්‍ෂය අතර එළඹුණු බව පැවසෙන තුන්පාර්ශ්වීය ගිවිසුම පිළිබඳව

පසුගිය ජූනි 28 වැනි දින ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියට අනුව සහ ඊට පසුව විවිධ ජාතික සංවිධාන විසින් පුවත්පත්වලට කරන ලද ප‍්‍රකාශ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් 2016 ජුනි 14 දින ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වූ ‘ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික නිදහස’ සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානයක සමුළුවකදී ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තනාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා ඉදිරියේදී ඉතා බරපතල ප‍්‍රකාශයක් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව 2015 සැප්තැම්බර් මස ශ‍්‍රී ලංකාවේ සම දායකත්වය මත මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්කොට සම්මත වූ ඇමෙරිකානු යෝජනාවේ අඩංගු වූ කරුණු පිළිබඳව ශ‍්‍රී ලංකා රජය, ඇමෙරිකානු රජය හා ටී.එන්.ඒ. පක්‍ෂය තුන්පාර්ශ්වීය ගිවිසුමකට එළඹී ඇත. එහිදී ටී.එන්.ඒ පක්ෂය තම මූලික ඉල්ලීමක් වූ ‘ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය’ යන ස්ථාවරයට අදාළව කේවල් කිරිමෙන් පසුව ජාත්‍යන්තර සහ දේශීය දෙමුහුන් යුද අධිකරණයකට එකඟ වූ බව සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසා ඇත.

එම ප‍්‍රවෘත්තිය පළවීමෙන් පසුව සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් ඊට අදාළව නිවැරදි කිරීමක් හෝ ප‍්‍රති්ක්‍ෂේප කිරීමක් සිදුකොට නැත. ඊට අමතරව එම ප‍්‍රකාශය සිදුකොට ඇත්තේ ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ඉදිරිපිටදී බැවින් එය වගකීමෙන් සිදුකළ ප‍්‍රකාශයක් ලෙස සැලකිය හැක. එම ප‍්‍රකාශය මගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන අනන්‍යතාවයට අදාළව බරපතල අනතුරක් මතුවන බව ඔබතුමා පිළිගන්නවා ඇත. ඉතිහාසයේදී ඒ ආකාරයට රහසිගතව බාහිර රාජ්‍යයන් මැදිහත්කරුවන් ලෙස යොදාගනිමින් ඇතිකරගන්නා ලද ගිවිසුම් හේතකොට ගෙන ජාතියක් ලෙස අපට ගෙවීමට සිදුවූ වන්දිය ඔබතුමා ඉතා හොඳින් අත්දැක ඇත. එම නිසා එම ගිවිසුම මගින් පැනනගින ගැටළු ඔබතුමාගේ විශේෂ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

01. ජාත්‍යන්තර අධිකරණයක සිට දෙමුහුන් අධිකරණයක් දක්වා කේවල් කිරිමේදී ඊට හිලව්වට ශ‍්‍රී ලංකා රජය විසින් ටී.එන්.ඒ. පක්‍ෂයට පොරොන්දු වූයේ කුමන වරදානයක්ද?

02. එම තුන්පාර්ශ්වීය එකඟතාව ඇතිවී ඇත්තේ සමස්ත ඇමෙරිකානු යෝජනාව තුළ අඩංගු වූ කරුණු පිළිබඳවය. ඒ අනුව බලය බෙදීමට අදාළව ඇතිවූ එක`ගතාවන් මොනවාද?

03. ව්‍යවස්ථා සංශෝධනයට අදාළව එසේ ටී.එන්.ඒ පක්‍ෂය සමඟ පූර්ව එකඟතාවකට පැමිණියේ නම් සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කිරිමේ අරමුණ කුමක්ද?

04. එම තුන්පාර්ශ්වීය එකඟතාවට එළඹීම සඳහා පැවැත්වූ රැුස්වීම්වලට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දේශපාලනඥයින් සහ නිලධාරීන් කවුද?

05. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම තුන්පාර්ශ්වීය ගිවිසුමට එකඟතාව පළකිරීම සඳහා ඊට සහභාගී වූ පිරිසට බලය ලබාදුන්නේ ඔබතුමා විසින්ද? එසේ නැතහොත් අග‍්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින්ද?(පාර්ලිමේන්තුව විසින් ඒ සඳහා යෝජනාවක් සම්මත නොකළ බව සහ විදේශ අමාත්‍යවරයාට වගකීම් පැවරෙන ගැසට් නිවේදනයේ එවැනි වගකීමක් හෝ බලයක් පවරා නොමැති බව මම දනිමි)

ඒ අනුව මහජන විශ්වාසය බරපතල ලෙස පළුදුවන සහ ශ‍්‍රී ලංකාව බරපතල දේශපාලන අර්බුදයකට තල්ලු කෙරෙන මෙම සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වා එම ගිවිසුමේ අඩංගු කරුණු සහ ඊට අනුමැතිය ලබාදුන් පිරිස පිළිබඳව රටට හෙළිදරව් කරන ලෙස සහ රටට අනතුරුදායක එකඟතාවන් නිෂ්ප‍්‍රභා කිරීමට වහාම ක‍්‍රියාත්මක වන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2016.07.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*