BREAKING NEWS

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවකට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතින් සෙත සැලසෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වාදෙයි

NMD_0370ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට බලාත්මක කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ලක්ෂ 6 කට අධික පිරිසකට සෙත සැලසෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. මෙම පනත් කෙටුම්පත හෙට (23) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (22) දින රජයේ ප්‍රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින ලක්ෂ 6 කට අධික ශිල්පීන්ගෙන් 75% කට පමණ පිළිගත් සහතිකයක් නැහැ. ඔවුන් පිළිගත් සහතිකලාභීන් පිරිසක් බවට පත්කිරීමට මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා. අද වන විට කම්කරු වෙළඳපොළ තොරතුරු ප්‍රකාශනයේ කියන්නේ ඉදිකිරීම් ශිල්පීන් අතරින් සහතිකලත් පිරිස 150,000 ක් පමණ කියලා. මේ පනත ස්ථාපිතවෙලා ඉතා කෙටි කාලයක් තුළ මේ තත්ත්වය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා.

මේ දක්වා අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දේවල් සිදුවුණාට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, සුභසිද්ධිය, නියාමනය හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය මැදිහත්වීම පනතකින් සම්මත කරගත් නිශ්චිත බලාධිකාරයන් නිරවුල් කරගත් ආයතනයක් ස්ථාපිත වෙලා තිබුණෙ නැහැ. ඉක්ටෑඩ් ආයතනය ස්ථාපිතවෙලා තිබුණට ඒක වෙනත් පනතක ගැසට් නිවේදනයක් මඟින් ස්ථාපති වූ ආයතනයක්. ඒ නිසා මේ ක්ෂේත්‍රයට නායකත්වය දීමට ඒ ආයතනයට ඇති හැකියාව තිබෙන්නේ අඩුවෙන්.

මේ අඩුව දැකලා දැනට අවුරුදු 18 ක් තිස්සේ සිට විවිධ ආණ්ඩු යටතේ ඉදිකිරීම් කර්මාන්ත පනතක් ස්ථාපිත කරගැනීමට විවිධ උත්සාහයන් අරගෙන තිබුණා. මේ අවුරුදු 18 ක් දික්ගැස්සුනු මෙම කාරණය පළදරණ දිනය වශයෙන් තමයි (23) අපි හෙට දිනය දකින්නේ.

අතීතය දෙස මැනවින් හැරිලා බැලුවොත් ඕන කෙනෙක් පිළිගනීවී අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය තමයි මේ යුගය. 2013 වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදිතයට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ලබාදුන් දායකත්වය 8.6% යි. මීට පෙර වර්ෂ සමඟ සසඳා බැලුවොත් මෙය සුවිශාල වර්ධනයක්. ඒ වගේම 2014 වර්ෂයේ පළවන කාර්තුවේදී ඒ තත්ත්වය 9.7% ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ කියන්නේ 10% ආසන්න වේගයකින් මේ ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුවෙමින් පවතිනවා. මේ තත්ත්වය අපේ රටේ පෙන්නුම් කරන්නේ පළමුවන වතාවට.

මේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මේ ක්ෂේත්‍රයේ කිසියම් නියාමනයක් පාලනයක් ඇතිකිරීම අනිවාර්ය සාධකයක් වී තිබෙනවා. මම මේ අමාත්‍යාංශය භාරගන්නා විටත් කලින් සිටි අමාත්‍යතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. ඒක සම්මත වෙන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තිබුණා. අපි ඒ පනත අරගෙන යළි අධ්‍යනය කරලා විවිධ විද්වතුන්, වෘත්තිකයන්, කොන්ත්‍රාත්කරුවන් සමඟ සාකච්ඡා කරලා දීර්ඝ ක්‍රියාවලියකින් පසුවයි අපට මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වුණේ.

මේ යෝජිත පනත විෂය කාර්ය හා සම්බන්ධ සියළු පාර්ශවයන් ආවරණය කරන පනතක්. ඒ අනුව මේ පනත මඟින්,

  • ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්දනය සඳහා විධවිධාන සැලසීම.
  • ඉදිකිරීම් කර්මාන්ත කටයුතු නියාමනය කිරීම.
  • මේ ක්ෂේත්‍රයේ සියළුම කොටස් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ප්‍රමිතිගත කිරීම.
  • ජාතික උපදේශක සභාවක් පිහිටවීම.
  • ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියක් පිහිටුවීම.
  • ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදලක් පිහිටුවීම.
  • ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය වෙනුවෙන් වෙනමම අරමුදලක් ස්ථාපිත කිරීම.
  • කර්මාන්තයට අදාල වෘත්තිකයින්, නිෂ්පාදකයින්, සැලසුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ ශිල්පීන්ගේ දියුණුව හා සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීම.
  • ඉදිකිරීම් කටයුතුවලට අදාළ ආරවුල් නිරාකරණය කිරීම හා ඒ හා සම්බන්ධ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම.

මෙම පනත මෙවර පාර්ලිමේන්තුවට ගෙ ඒමේ දී මීට පෙර පාර්ලිමේන්කතුවට ඉදිරිපත් කර තිබූ පනතේ නොතිබුණු කාරණාවලට අප විසින් අළුතින් කරුණු කීපයක් ම එක් කරනු ලැබුවා.

  • ඉදිකිරීම් කර්මාන්ත සඳහා තෙරතුරු පද්ධතියක් හා තොරතුරු ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම ඒ අනුව මේ තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් නියැලී සිටින දේශීය හා විදේශීය ශිල්පීන්, වෘත්තිකයින් හා කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
  • ඉදිකිරීම් ශිල්පීන් විධිමත්ව ලියාපදිංචි කිරීම හා ඒ අනුව ඔවුන්ට නිල හැඳුනුම්පත් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ඉදිකිරීම් ශිල්පින් සම්බන්ධයෙන් ඔවුන්ව යටපත් කරන ඉතා සාහසික භාෂා භාවිතයක් තමයි දැනට අප සතුව පවතින්නේ. ඒ නිසා ඒ තත්ත්වය අප වෙනස් කළ යුතුයි. ඒ තුළින් ඉදිකිරීම් ශිල්පියාටත් ඔහුගෙන් සේවාවන් ලබා ගන්නා සේවා දායකයාටත් අභිමානයක් ලැබෙනවා. ඇතැමුන් මෙහිදී වැරදි චිත්‍රයක් මවනවා. ලියාපදිංචි නොවන අයට වැඩ කරන්න බැහැ කියලා. එහෙම තත්ත්වයක් නැහැ.
  • ඉදිකිරීම් ශිල්පීන් සඳහා රක්ෂණ හා විශ්‍රාම අරමුදලක් පිහිටුවීමත්, මේ මගින් අපි අලුතින් යෝජනා කළා. අපේ රටේ ඉදිකිරීම් ශිල්පීන් ඔවුන්ගේ මුළු ජීවිතයෙන් විශාල කාලයක් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කරලා ජීවිතයේ අවසාන කාලයේ විවිධ රෝගාබාධවලට ගොදුරු වෙලා අසරණ තත්ත්වයෙන් දිවි ගෙවනවා. ඔවුන් වෙනුවෙන් තමයි මේ විශ්‍රාම අරමුදල හා රක්ෂණය ඉලක්ක වන්නේ.
  • මධ්‍යම මට්ටමේ ඉදිකිරීම් තාක්ෂණිත ශිල්පීන් හා කළමනාකරුවන් ලියාපදිංචි කිරීම හා ඔවුන්ට වැඩි දුර අධ්‍යාපනය ලබා දිමටත් මෙහි දී අපි බලාපොරොත්තු වෙනවා.
  • ඉදිකිරීම් කර්මාන්තයට තාක්ෂණික විගණන ක්‍රියාවලිය හා ඒ හා සම්බන්ධ තාක්ෂණය හඳුන්වා දිම.
  • ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් විද්වත් වෘත්තිකයන්ගේ නාම ලේඛනයක් පවත්වාගෙන යාම ඔවුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තුළින් ඔවුන්ගේ දායකත්වය නිසි පරිදි ලබා ගැනීම.
  • කොන්ත්‍රාත්කරුවන් හා උපදේශකයන් අතර ප්‍රතිවිරෝධතා අවම කිරිම හා ඒවා සමනය කිරීම සඳහා ප්‍රමිතීන් හා ක්‍රමවේද හඳුන්වා දිම.
  • පාරිසරික හා සමාජ වගකිමට අදාළ ප්‍රමිතීන් හා නිර්ණායක ක්ෂේත්‍රයට හඳුන්වා දිම.
  • මානව සම්පත දියුණු කිරීම සඳහා විශේෂ විධි විධාන පනවා තිබිම.
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සියළුම මට්ටම්වල වෘත්තිකයන්, තාක්ෂණික නිලධාරීන් හා ශිල්පීන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳව ජාතික මට්ටමින් නිර්ණායක පැනවීම සඳහා ප්‍රතිපාදන මට්ටමින් වෙන් කර තිබිම.
  • අඩු වියදම් තාක්ෂණය හා නිර්මාණශීලී පරිසර හිතවාදී තාක්ෂණික ක්‍රමවේද සඳහා පර්යේෂණ දියත් කිරීම සඳහා විධිවිධාන පනවා තියෙනවා මේ පනත මඟින්.

ඉදිකිරීම් සංවර්ධන අරමුදලින් මුදල් වැය කළ යුතු ආකාරය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කර තියෙනවා. මොකද අරමුදල් සම්බන්ධයෙන් අතීතයේ ඇති කණගාටුදායක පුවත තමයි ඒ අරමුදල් විවිධ ප්‍රයෝජනවත් නොවන දේවල් සඳහා ඒවා යෙදවීම. එයත් අපි මේ පනත සඳහා අලුතින් ඇතුළත් කළ යෝජනාවක්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් හා වෘත්තිකයින් ඇගයීම වහා දිරිමත් කිරීමට අවශ්‍යකරන මඟපෙන්වීම හා අරමුදල් මේ තුළ අන්තර්ගත වෙනවා. අපි මින් ඉදිරියට මොවුන් හඳුන්වන්නේ ඉදිකිරීම් තාක්ෂණික ශිල්පීන් ලෙස. ඒ නිසා අපි මාධ්‍යෙව්දීන්ගෙනුත් ඉල්ලා සිටිනවා මෙච්චරකල් භාවිතා කළ “ බාස් ” කියන වචනය අයින්කරලා ඉදිකිරීම් තාක්ෂණික ශිල්පීන් කියන යෙදුම පාවිච්චි කරන්න කියලා ” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

NMD_0318 NMD_0348

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*