BREAKING NEWS

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ ගෙන ඒම නතර කිරීමට කිසිදු ජගතකුට නොහැකි බව අද තහවුරු වුණා. -නුගේගොඩ ලක්ෂ සංඛ්‍යාත ජන ගග ඉදිරියේදී විමල් වීරවංශ අවධාරණය කරයි

43ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන ඒම නතර කිරීමට කිසිදු ජගතකුට නොහැකි බව නුගේගොඩට  ලක්‍ෂ 5කට ආසන්න ජනතාවක් පැමිණීමෙන්ම තහවුරු වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

වීමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේ ඊයේ (18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ භූමියේදී ‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියා්ගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ පැවති ජාතික රැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අපි මුලින්ම ‘අසාද්‍ය සාලි’ මහත්තයාට කියන්න කැමතියි, ‘ඔන්න අපි 5000ට ලක්‍ෂ 05කින් නුගේගොඩ කඳවුරු බැඳ ගත්තා. දැන් තමුන්නාන්සේගේ වාරය, එක්කො දේශපාලනයෙන් සමුගන්න, නැත්තම් මකබෑ වෙන්න’’ කියලා.

හයිලෙවල් පාර පැනලා කොහුවල කනත්ත දක්වා, නාවල පාර නොපෙනෙන මානය දක්වා, පාගොඩ පාරේ කෙළවර දක්වා පිරුණු ලක්‍ෂ 05ක මහා ජන ගංගාවක් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් නුගේගොඩට ආවා.

අද වන විට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අසරණ වූ ජනාධිපතිවරයකු පමණයි. ආණ්ඩුව කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී කථානායකතුමාගේ දකුණු අත පැත්තේ 08 වැනි ආසනය අයිති මේ රටේ ජනාධිපතිතුමන්ටයි. නමුත් අද ඒ ආසනයේ වාඩි වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. මේක පුටු ප‍්‍රශ්නයක් විතරක් නොවෙයි, එමගින් පෙන්වනවා, ‘මේ ආණ්ඩුව තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට තිබෙන තැන කුමක්ද?’ කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කටයුතු කරන්නෙ තමන්ට  ඕනේ විදියට. ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් බලෙන් බැඳලා තියාගත්තාට මේ ආණ්ඩුව සම්මුතිකාමී ආණ්ඩුවක් නොවෙයි.

පාඨලී චම්පික රණවක මහත්තයලා එදා ‘දොන් ජුවන් ධර්මපාල’ යැයි කියපු, අනුර දිසානායක මහත්තයලා එදා ‘බටලන්දෙ වදකයා’ යැයි කියපු රනිල් වික‍්‍රමසිංහ මහත්තයාටයි අද ආණ්ඩුවක් හදලා දීලා තියෙන්නෙ. ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ගමේදී ගුටි කන්නේ, වැඩබිමේදී බැට කන්නේ, සන්ධාන පාක්‍ෂිකයන් බලෙන් ස්ථාන මාරුවීම්වලට ලක්වන්නේ මේක මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවක් නොවන නිසයි.

සිරිසේන ජනාධිපතිතුමනි, මේක ඔබේ ආණ්ඩුවක් නොවෙයි. ඔබ හදලා දීලා තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවක්. ඔබ ඔබේම ආණ්ඩුවක් හැදිය යුතුයි. ඒ සඳහා වෙන මගක් නැහැ.  මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගමැති සටනට ගෙන එන්න. එමගින් සන්ධාන ආණ්ඩුවක් හදන්න. ඔබතුමා ජනාධිපති ලෙස ඉන්න. ‘රනිල් එක්ක ආණ්ඩු කරන එකට වඩා මහින්ද එක්ක ආණ්ඩු කරන එක සනීපයි’ කියා ඔබතුමා දන්නවා. රනිල් කුල්ටූර් පැළැන්තියේ නායකයා. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තා. දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට කත් අදින ගැත්තා. ඔහුත් සමග ආණ්ඩු කරන්න ඔබතුමාට බැහැ. ඔබතුමාට රට හදන ආණ්ඩුවක් බිහි කරන්න  ඕනෙනම් ඒකට එක දෙයයි තියෙන්නේ. සිදු වූ යම් පාපකර්මයක් තියෙනවා නම්, ‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ’ කියලා හිතගෙන ඒකත් නැති වෙන්න සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට දෙන්න. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන පක්‍ෂයයි. ඒක රනිල් වික‍්‍රමසිංහගේ ඊනියා ජාතික ආණ්ඩුවක ගොදුරක් බවට පත්කළ යුතු නැහැ. ජනවාරි 09 වැනිදා උදේ වන විට ඡන්දය දුන්නු ලක්‍ෂ 58 විතරක් නොවෙයි රිද්දන්න කියලා හිතාගෙන හංසයාට කතිරය ගහපු අයත් අ`ඩන්න පටන් ගත්තා. රිද්දන්න කතිරය ගහපු අයගේ හිත්වලට රිදුණා පමණක් නොවෙයි ‘මිනී මැරුමක හෘද සාක්‍ෂියේ වේදනාව’ ඔවුන්ගේ හිත්වලට දැනුණා. මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුණු දිනයේ ජාතියම ඇඩුවා. ජාතියම විලාප දුන්නා. ඒ වේදනාවෙන් ගලපු කදුළුවලින් දවස් ගණනාවක් මේ පොළොව තෙතබරිත වෙලා තිබුණා. ඡන්දවලින් හිටපු නායකයන් ඇති තරම් පැරදිලා තියෙනවා. ඒත් ඒ් කවදාවත් මේ මූසල ගතිය ආවේ නැහැ. ‘ඩිම්’ වුණු බල්බ් එකක් තත්වයට මේ රට පත් වුණේ නැහැ. එමගින් පෙනෙන්නේ ‘මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පැරදුණේ නැහැ. පරද්දන්න බැහැ’ කියලයි.

අනුර දිසානායක ‘රතු කමීසය’ වික්කා

පාස්කු දිනයේදී එවකට සිටි අධිරාජයා ජනතාව කැඳවලා ඇහුවා, ‘පාස්කු දිනයේදි මා සිරකරුවකු නිදහස් කරන්න කැමතියි. මා නිදහස් කළ යුත්තේ මිනීිමරු, මංකොල්ලකාර භයානක බරස්බස්ව දනැතිනම් තමන් දෙයියන්ගේ පුතු කියලා මතයක් ගෙන යන යේසුස්ද?’ කියලා. මිනිස්සු කීවා, ‘බරස්බස්ව  නිදහස් කරන්න’ කියලා. එහෙම කියපු මිනිස්සු පස්සේ ඒ තීරණය ගැන දුක් වුණා. ඒ විතරක් නොවෙයි, මරා දමපු යේසුස් වහන්සේව දේවත්වයෙන් අදහන්න පටන් ගත්තා. එදා බරස්බස්ව නිදහස් කරන්න කියපු මිනිස්සු ඇඩුවා වගේ අද අපේ මේ මුළු රටම අඩනවා, ‘මහින්ද රාජපක්‍ෂ කියන බලවත්, තෙදවත් නායකයාගේ පහස අපි මේ රටට නැති කළා නේද? කියලා.

එදා ජෝන් ඩෙයිලිලා යුද්ධයෙන් අල්ලා ගන්න බැරි වුණු කන්ද උඩරට රාජධානිය අල්ලා ගත්තේ, කටකතා වපුරලා, අවසන් රජු සහ ප‍්‍රභූ පැළැන්තිය, සංඝයාවහන්සේලා ඈත් කරවලා කුමන්ත‍්‍රණකාරී විදියට. යුද්ධයෙන් බැරිවුණු දේ ඔවුන් එදා ඒ විදියට සාමකාමීව සිදුකර ගත්තා. මෙදා මංගල සමරවීරලාගේ කටකතා බලකාය, ෆේස්බුක් බලකාය ඒ විදියට කටකතා පතුරලා ඇරලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගැන වෙනස් ආකල්පයක් හැදුවා. 1815 පෙබරවාරි 18 වැනිදා ඒ කියන්නේ හරියටම මීට වසර 200කට කලින් තමයි, සිංහලේ අන්තිම රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව, සැගවී සිටි තැනින් සුදු අධිරාජ්‍යවාදීන් විසින් අල්ලා ගනු ලැබුවේ, එදා එක්නැලිගොඩ මොහොට්ටාල ඇතුළු ඔහුගේ පිරිස තමයි, සුද්දා සමග ඒ ගමනට එකතු වුණේ. අවසානයේදී රාජසිංහ රජුට ඔටුන්න අහිමි වෙලා රටින් බැහැරව සිරගතව අවසන් කාලය ගත කරන්න වුණා. ඒ වගේම එදා සුද්දට රට පාවා දීලා, ඔටුනු පළදින්න බලා සිටි ඇහැලේපොළ අධිකාරම්ටත් රජුගේ ඉරණමම අත්වුණා. ඒ රාජසිංහ රජු පාවා දුන්නු දවසේ අපි නුගේගොඩ සිට මුළුමහත් ජාතියට කියනවා, ‘රට බේරාගත්තු නායකයා සිරගෙදරකට දක්කන්න වලිකන මේ ත‍්‍රාඩ පාලක නඩය ඊළග මහ මැතිවරණයෙන් ගෙදර යවන්න ලෑස්ති වෙන්න’ කියලා.

අද මේ පාලකයන් අපට ජාතික ආණ්ඩුවක අපූර්වත්වය පෙන්වන්න හදනවා. අද මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තියෙනවා ජාතික විධායක සභාවක්, එහි ඉන්නවා රනිල් වික‍්‍රමසිංහ, මෛත‍්‍රීපාල සිරිසේන, රාවුෆ් හකීම්, චම්පික රණවක යන අය පමණක් නොවෙයි, තමන් විපක්‍ෂයේ ඉන්නවා යැයි කියන දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, අනුර දිසානායක රනිල්ට ආණ්ඩුවක් හදලා දෙන්න ‘රතු කමීසය’ වික්කා. මේ හැදුවේ මෛත‍්‍රීපාලට ආණ්ඩුවක් නොවෙයි, මේ හැදුවේ පොදු අපේක්‍ෂක පාලනයක් නොවෙයි. රනිල්ට ආණ්ඩුවක්. දැන් පෙනෙනවානේ රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය. මේ නියම බලයක් ලැබිලා නොවෙයිනේ, ජනාධිපති දිවුරුම් දෙන කොට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිව රනිල් එවලේම දිවුරුම් දුන්නා. අද මේ ආණ්ඩුවේ කැබිනට් එකෙන් 80%ක් යූ.එන්.පී. මහජනතාව අතරට යන්න පුළුවන් සෑම රාජ්‍ය ආයතනයක්ම අද තියෙන්නේ යූ.එන්.පි. ඇමතිවරු අතේ. මේක ඔරිජිනල් යූ.එන්.පී. ආණ්ඩුවක්

රනිල්ට මහජනතාව අතරට තනියම ගිහිල්ලා ඡන්ද ගන්න බැහැ. ඒකට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව ගත්තා. ඒ හරහා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කරලා අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තමන්ට අයිති නැති අගමැති බලයක් භුක්ති විඳිනවා. මේ පාර ‘මෛත‍්‍රීපාල සිරිසේන’ කියන ගහට මුවා වෙලා රනිල් අගමැති පුටුවට ආවා. ඊළග පාර මුවාවෙන්න ගහක් හොයා ගන්න රනිල්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා විදියට අපි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගෙනෙනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ. අපිව සිරගෙවල් 1000ක දාන්න. ඒත්  මුළුරටම යටත් වෙන්නේ නැහැ. ඒ මහා අභියෝගය අපි භාර ගන්නවා.

අපට දින 100ක මැජික් එකක් පෙන්වනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කියලා අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යවල මිල අඩු කරලා පෙන්වනවා. ‘කාලා බඩ පුරවාගෙන හිටපල්ලා’ කියලා අද හංසයාට කතිරය ගහපු අයට කියනවා. හාල් මිල රුපියල් 100ට නගිනවා. පොල් ගෙඩිය රුපියල් 70ට යනවා. අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලත් ඉහළ යනවා. ‘බඩට සැපක් ලැබෙයි’ කියලා හංසයට කතිරය ගහපු අය අද බඩ අතගාමින් ඉන්නවා, ‘මොලේ තියෙන්නේ බඬේද නැත්තම් ඔළුවේද?’ කියලා හිතමින් ඉන්නවා. බඩට සැපක් දෙන්න මේ අයට බැරි වුණා.

මේ ජන ගග නවත්වන්න බැහැ

රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප රුපියල් 10,000කින් වැඩි කරනවා කිව්වා. නමුත් රුපියල් 5,000ක දීමනාවක් වැටුපට එල්ලීම පමණයි සිදු වුණේ. අපේ ආණ්ඩුවේ අය-වැයෙන් යෝජනා කළ පරිදි අවම මූලික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කරලා, වැටුප් විෂමතාව ඉවත් කළානම්, මාසිකව රුපියල් 15,000ක පමණ වැටුප් වැඩිවීමක් රජයේ සේවකයාට ලැබෙනවා. නමුත්, ‘රුපියල් 10,000ක කැරට් අලයක්’ පෙන්වලා ඒක දැන් දීමනාවක් විදියට එල්ලලා තියෙනවා. මේ ආණ්ඩුව දැන් රවට්ටලා නැද්ද රජයේ සේවකයා? සහන යතුරු පැදිය සඳහා අය කළ රුපියල් 50,000 ආපසු ලබා දුන්නාද? දැන් මේ අය ජනතාවට දුන්නු පොරොන්දු ‘පට්ටපල් කෙබර’ බවට පත්වෙමින් තිබෙනවා, ආයෙත් ජනාධිපතිවරණය තියලා බලන්න. අඩු වුණු ඡන්ද ලක්‍ෂ 04 විතරක් නොවෙයි, වැඩි ඡන්ද දසලක්‍ෂයකින් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දිනනවා. ඒ මහා ජන ආවේගය තමයි අද මේ නුගේගොඩ පිරී ඉතිරී යන්නේ. මඩ, අවලාද කෝටියක් ගැහුවත් මේ ජන ගග නවත්වන්න බැහැ මහත්වරුනි, නවත්වන්න හිතන්නත් එපා! (අත් පොළසන්)

‘හොරා, හොරා’ කියමින් මේ අය දැන් ’හොරු’ අල්ලනවා. ඒත් එක හොරකමක්වත් මහ ජනතාව ඉදිරියේ තර්කානුකූලව ඔප්පුකර තිබෙනවාද? සත්තුවත්තට කුඩා ළමයි ගියා වගේ මේ අය දැන් අරලියගහ මන්දිරයට ගිහිල්ලා කඩු සෙල්ලම් කරනවා. රත්තරන් කඩු තියෙනවාලූ රත්තරන් කඩු තියෙනවනම් තියලා ගියාට ස්තුතිවන්ත වෙන්න මහත්වරුනි. ඉස්සර ජනාධිපති මන්දිරයේ තිබුණු දේවල් ආපසු හම්බ වුණේ  ලන්ඩනයේ වෙන්දේසිවලින්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යමක් හැදුවේ, දියුණු කළේ ඒවා යළි ගෙන යන්න බලාගෙන නොවෙයි. අද මැදමුලනට වෙලා ඉන්නවා, තමන්ට කොළඹ ඉන්න ගෙයක් නැති නිසා. හිටපු ජනාධිපති හැටියට අයිති නිල නිවස දෙන්නේ නැහැ. එතුමා හම්බකළේ වෙන කිසිවක් නොවෙයි, මේ රටේ ජනතාව. අද දිනපු නායකයා බලන්න මේ තරම් සෙනග යන්නේ නැහැ. නමුත් පැරදුණු නායකයා බලන්න ලක්‍ෂ 25ක් මැදමුලනට ගිහිල්ලා. මේ රටේ ඉතිහාසයේ කවදාද එහෙම වුණේ? රන්ජන් රාමනායක මන්ත‍්‍රීතුමා යනවා ඉඹුල්ගොඩ භවනා මධ්‍යස්ථානයක් වටලන්න. ‘ඒක රාජපක්‍ෂවරු භාවනා කළ භාවනා මධ්‍යස්ථානයක්’ කියලයි වටලන්න යන්නේ, මන්ත‍්‍රීවරුන්ට කොහෙන්ද ස්ථාන පරීක්ෂා කිරිමේ බලයක්! පොලිසියටත් බැහැ උසාවි නියෝගයක් නොමැතිව අපේ ගෙවල් පරීක්‍ෂා කරන්න. දැන් මන්ත‍්‍රීවරු යවනවා ස්ථාන පරීක්‍ෂාවට.

ජනතා විමුක්ති පෙරමුණ, රුසියානු තානාපති කාර්යාලය හදන තැනට දොරවල් කඩාගෙන ඇතුළු වෙනවා. රුසියාව ඇමෙරිකන්කාරයා වගේ රුපියල් 5ක් දීලා ලක්‍ෂයක් කඩා වඩා ගන්න හැදුවේ නැහැ. රුසියාව අපේ රට ගොඩනගන්න පරිත්‍යාග කරපු රටක්, ජාත්‍යන්තර බලපෑම්වලදි අප සමග හිටගත් රටක්. එහෙම රටක තානාපති කාර්යාලය හදන තැනට කඩා වදිනවා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ. එයා තමයි අද ලාල් කාන්ත මහත්තයා වෙනුවට හදන ජවිපෙ වෘත්තීය සමිති නායකයා. ලාල්ගේ දෙපෙත්තෙන් පෙනෙන ලක්‍ෂණ එතරම් හොඳ නැති හින්දා දැන් අලූත් නායකයෙක් උඩට ගන්න හදනවා. අද මේ ගොල්ලන්ට පෙනෙන්න ෆයිල් එකක්වත් තියන්න එපාෟ යනවා අල්ලස් කොමිසමට, දැන් මෙයාලා ‘ෆයිල් මරුවෝ’ වෙලා. කැමරා ටිකකට එන්න කියනවා. ඒ ඇති. සමහර ෆයිල් ඇතුළෙ තියෙන්නේ ’සිත්තර’ පත්තරේ. (ජනතා සිනා)

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා, ‘ආරුගම්බේ අලූත් මාලිගාවක් සොයා ගත්තා’ කියලා. සොයලා බලපුවාම ඒක පෞද්ගලික හෝටලයක්, ‘ලැජ්ජා නැද්ද අගමැතිතුමනි මෙහෙම බොරු කියන්න. මේ වගේ බොරු කියනවා නම් වෙන කෙනෙක් ලවා කියවන්න. ඔයා දැන් කොහොම හරි අගමැතිනේ, තනතුරේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන්න. අපේ හාමිනෙව, ‘අද ගන්නවා, හෙට ගන්නවා’ කියනවා. නමුත් කට උත්තරයක් ගන්නවත් කවුරුත් එන්නේ නැහැ. අපි බලා ඉන්නවා කට උත්තරයක් දෙන්න.  ඕවා කරලා අපේ ගමන නවත්වන්න පුළුවන් කමක් නැහැ. බිමට සමතලා කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනගන්න කවුරුත් කර නොගහන වේලාවේ කර ගහපු  අපේ සටන නවත්වන්න කාටවත් බැහැ. ලැම්බෝගිනි ලැබුණාද? රත්තරන් අශ්වයෝ ලැබුණාද? ළමයින්ට ගෙනාවා කියපු හෙලිකොප්ටර් කෝ? අපි කියනවා මේ මෝඩ ආණ්ඩුවට, ‘පහර දෙන්න දෙන්න, ජාතිය ශක්තිමත්ව නැ`ගිටිනවා’ කියලා.

බෙදුම්වාදී දින පොතක්…?

අනෙක් පැත්තෙන් බෙදුම්වාදී දින 100කුත් ක‍්‍රියාත්මක වෙනවා. ජනවාරි 9 වැනිදා චාල්ස් ඥානකෝන්ගේ පුත‍්‍රයා කටුනායක ගුවන්තොටුපළේ ප‍්‍රභූ පර්යන්තයෙන් ශ‍්‍රී ලංකාවට එනවා. ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළ කැලම් මැක්රේ කියන චැනල් 4 නාලිකාවේ අධ්‍යක්ෂවරයාත් තවත් 4 දෙනෙකු සම`ග චිත‍්‍රපටයක් හදන්න එනවා. රටට එන්න බයේ හිටපු කොටි සමග මගුල් කාපු එන්.ජී. ඕ නඩය දැන් ආපසු ඇවිල්ලා මාධ්‍ය ඇතුළට රිංගලා රට ගැන අපට කියා දෙන්න හදනවා. යුද්දය පරද්දන කුමන්ත‍්‍රණය කරපු කල්ලි, ඊට අදාළ මත වපුරපු කල්ලි තමයි අද මාධ්‍ය ඇතුළේ අරක්ගෙන ‘රාජ්‍යය ගොඩනැගීම’ ගැන අපට බණ දේශනා කරන්නේ. ‘අනේ අපටත් සිදු වුණානේ ටික කාලෙකට හරි මේවා අහගෙන ඉන්න’ කියලා තමයි හිතෙන්නේ. වැඩිකල් නැහැ. මහ ඡන්දය වෙනකම් විතරයි.

එතැනින් නතර වුණේ නැහැ. උතුරේ සංචාරක තහනම ඉවත් කළා. තහනම් බඩු ලැයිස්තුව ඉවත් කළා. දැන්  ඕනේ කෙනෙකුට  ඕනේ දෙයක් සිත් සේ රැගෙන යන්න පුළුවන්. අද සියලූ මාධ්‍ය යටත්කරගෙන ඉවරයි. බන්දුල පද්මකුමාරගේ ‘මුල් පිටුව’ ගැලෙව්වා. කිර්ති වර්ණකුලසූරියගේ ‘ආරක්‍ෂක කොලම’  ගැලෙව්වා. අද ආරක්‍ෂක තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගෙන තිබෙනවා. ගුණදාස අමරසේකර, නලීන් ද සිල්වා, දයාන් ජයතිලක වැනි ප‍්‍රබුද්ධ චින්තකයන් ලියන ලිපි කිහිපයක් පමණයි අද පත්තරවල කියවන්නට තියෙන්නේ. ඒ නිසා මේ කතාවලට සාවධානව ඇහුම්කන් දීලා මේ පණිවිඩය ගමට රැගෙන යන්න. ඔබ සියලූ දෙනා ‘සන්නිවේදන බලකායක්’ වෙන්න. සමාජජාල වෙබ් අඩවි තුළ මේ පණිවිඩය රැගෙන යන්න.

ඕමන්තේ මුර කපොල්ල ගැලෙව්වා. පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ අක්කර 1000ක් ඉවත් කරන්න තීරණය කළා. ඔබ දන්නවා යුද සමයේ පලාලි ගුවන් තොටුපළ ප‍්‍රයෝජනයට ගන්න පුළුවන් වුණේ ඒ අවට ජනාවාස නොතිබුණු නිසයි. අද යුද්ධයක් නොතිබුණාට ‘හෙට මොනවා වෙයිද?’ කියා කියන්න අපහසුයි. ‘මේ ආණ්ඩුව යටතේ කොහොමද කොටියා නැගිටින්නේ?’ කියලා අපට තේරෙනවා. ‘කොටියාට  ඕනෙ නැගිටින යුගයක් – ඒකට  ඕනේ රනිල්ගේ යුගයක්.’ දැන් ඇවිත් තියෙන්නේ ‘මෛත‍්‍රී යුගයක් නොවෙයි ‘රනිල්ගේ යුගයක්’ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, රනිල්ට මුවා වෙන්න ගහක් බවට පත්වෙලා තියෙනවා.

දැන් මේ අධිආරක්‍ෂිත ඉඩම්වල කවුද පදිංචි කරන්න යන්නේ? ඉන්දියාවේ සිටින දෙමළ සරණාගතයන් කියලයි කියන්නේ. දෙමළ සරණාගතයන් පදිංචි කිරීමට අපි විරුද්ධ නැහැ. නමුත් එන්නේ ඒ අය විතරක් නොවෙයි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ පුහුණුව ලබපු ඉන්දියානු ජාතිකයන් ශ‍්‍රී ලාංකිකයන් විදියට ගෙනල්ලා පදිංචි කරනවා පලාලි අවට. ඒ නිසා  ඕනෙ වේලාවට බොත්තම එබුවාට පස්සේ තුවක්කු පත්තු වෙන්න පුළුවන්. අද ජාතික ආරක්‍ෂාව අවදානමට ඇදලා දාලා ඉවරයි. විග්නේෂ්වරන් මහ ඇමතිතුමා අපේ හමුදාවට ‘සමූල ඝාතන චෝදනා’ දාලා ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන කාලයේ මේ යෝජනාව උතුරු පළාත් සභා මන්ත‍්‍රී සිවාජිලිංගම් ගෙනෙන්න හදන කොට විග්නේෂ්වරන් ඒකට විරුද්ධ වුණා. එදා මේ යෝජනාව ගෙනෙන්න ඔවුන්ට බියක් තිබුණා. අද එහෙම බියක් නැහැ. අද උන්නැහෙලාට ගියපු රට.

මෙහෙම ගියොත් වෙන්නෙ මොකක්ද? අද ශ‍්‍රී ලංකා මුහුදු තීරයට ඉන්දියන් ධීවරයන් එනවා. ඒත් අල්ලන්න කෙනෙක් නැහැ. මන්නාරමේ ශ‍්‍රී ලාංකික ධීවරයෝ ඊට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. නමුත් ඒකට පිළියම් යොදන්න නාවික හමුදාවට හැකියාවක් නැහැ.

මැද පංතිය බොහොම ආදරයෙන් වැළඳගත්තු, පරිසර හිතකාමී ‘හයිබි‍්‍රඞ් වාහනයේ’ පසුගිය ආණ්ඩුව බදු අඩු කළා. ඒකට බදු ගහලා අද ඉන්දියාවේ ‘මරුටි කාර් එකට’ වෙළඳපොළ හදලා දුන්නා. කලින් ආණ්ඩුව පෙරළන්න උදව් කරපු අයට පගා දෙන තත්වයට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා. කොටස් වෙළඳපොළ හතර ගාතෙන් කඩා වැටෙනවා. රුපියල අවප‍්‍රමාණය වෙනවා. අලූතින් ආයෝජන  එන්නේ නැහැ. ඒ නිසා අද අර්ථිකයත් හතරගාතෙන් වැටෙනවා. ඉදිකිරිම් ආයතනවල සේවක කප්පාදුවක් කරලා දහස් ගණනින් ගෙදර යවලා තිබෙනවා.

ඕනෙ කරන වෙනස මේකද?

වෙනසක් කියලා හංසයාට කතිරය ගැහුවට ඔන්න ලැබුණු වෙනස. මේක, රස්සාවට තට්ටු වුණු වෙනසක්, බඩ අතගානවා කියලා බඩට ගහපු වෙනසක්, රට බෙදන කල්ලිවලට නැවත රට භාරදෙන වෙනසක්, ජනතාවට  ඕනෙ කරන වෙනස මේකද?

දැන් අපි ඇත්ත වෙනස කරන්න  ඕනෙ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පැරදුනාම, එතුමා වටා නොසිටිය යුතු අය අද එතුමා හැර දාලා ගිහිල්ලා. අනවශ්‍ය රොඩුබොඩු දැන් අඩුයි. ඊළග මහ මැතිවරණයෙන් පස්සේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් සමග එකට හදන ආණ්ඩුව ඒ රොඩුබොඩු නැතිව තමයි හදන්නේ. ඒ රොඩු බොඩු නැතිව තමයි රට වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් හදන්නේ. කලින් ආණ්ඩුවේ තිබුණු වැරදි, අඩුපාඩු නොවන ගමනක් තමයි අපි යළි අරඹන්නේ. ‘වලකට වැටීම මොළයට ලාභයක්ලූ’

දැන් මේ අයගේ තවත් සෙල්ලමක් තියෙනවා. හිටපු ජනාධිපතිතුමාගේ ප‍්‍රතිරූපයට හානි කරන්න හදනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය ලවා කියවනවා. එහෙම ප‍්‍රතිරූපය වට්ටන්න බලනවා. මොකක්ද අරමුණ? ඡන්දයට එන එක වැළැක්වීම විතරද? නැහැ.  බටහිර අධිරාජ්‍යවාදීන්ට  ඕනෙ හිටපු ජනාධිපතිතුමන්ව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට රැුගෙන යාම. ඒක කරන්න නම් දේශීය පරීක්‍ෂණ මණ්ඩලයක් පිහිටුවන්න  ඕනෙ. දැන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සයිඞ් කුමාරයාට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ලිපියක් ලියනවා. එහි තිබෙනවා, ‘ඔබතුමාලා කියන විදියේ අය දාලා ඔබතුමාලාගේ ප‍්‍රමිතියට අනුව, ඒ දේශීය පරික්‍ෂණ යාන්ත‍්‍රණය හදන්න අපි සූදානම්’ කියලා. මංගල සමරවීර මහත්තයා සයිඞ් කුමාරයට කියන්නේ ‘ඔයාලා අතේ ලේ තවරා ගන්න එපා! අපි ලේ තවරා ගන්නම්’ කියලයි.

ඊට පස්සේ මානව හිමිකම් කවුන්සිලය එකග වෙනවා 2015 මාර්තුවේ එළියට දාන්න තිබෙන වාර්තාව එළියට දැමීම මාස 06කින් කල් දමන්න. මේ රටට ආදරේට ද එහෙම කරන්නේ? නැහැ. මේ වෙලාවේ වාර්තාව එළියට දැම්මොත් ‘ඒක මහින්ද රාජපක්‍ෂට වාසියක් වෙයි’ කියලා ඔවුන් හිතනවා. අනෙක් කාරණය තමයි ‘තවමත් මහින්දට මිනිස්සු ආදරෙයි. ඒ හින්දා මේ මාස 06 තුළ තවත් කරුණු දාලා මේ වාර්තාව තවත් සාහසික කළ යුතුයි’ කියලා ඔවුන් හිතනවා.

මහින්දට තියෙන ආදරය දිනෙන් දින වැඩි වෙනවා. දිනපු මහින්දට වඩා පැරදුණු මහින්ද අපට සමීපයි නේද? ඒ නිසා මාස 06කට පස්සේ ‘මහින්දට වැඬේ දෙන්නම්’ කියලා හිතනවා නම් ඒක මහත්වරුනි ඔබලාට වුණු වැරුද්දක්.

දේශීය පරීක්‍ෂණ මණ්ඩලයෙන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් වැරදිකරුවන් බවට තීන්දු කළාම එක්සත් ජනපදය එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් රැගෙන යනවා, ‘දේශීය පරීක්ෂණ මණ්ඩලයෙන් තින්දු කරලා තියෙනවා මේ අය යුද අපරාධ කරලා තියෙනවා කියා. ඒ නිසා මේ අය වහාම යුද අපරාධ අධිකරණයට රැගෙන යා යුතුයි’ කියන යෝජනාව තමයි ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන්නේ, එදාට ඒ යෝජනාවට විරුද්ධ වෙන්න රුසියාවට සහ චීනයට බැරි වෙනවා. ශ‍්‍රී ලංකා රජය පත්කළ පරීක්‍ෂණ මණ්ඩලයකින් වරදකරුවන් කර තිබෙන නිසා ඔවුන්ට සිය නිෂේධ බලය පාවිච්චි කිරිමේ හැකියාවක් නැතිව යනවා. ඒ වෙනකොට ‘මහින්ද රාජපක්‍ෂ කියන්නේ හොරෙක්’ කියන මතය හදන්න තමයි මේ අය සන්නිවේදන ප‍්‍රහාර රැගෙන යන්නේ. චම්පික රණවකලා මහින්ද රාජපක්‍ෂව හිරේ දාන්න කතා කරන්නේ, අනුර දිසානායකලා මහින්ද රාජපක්‍ෂ ගැන වෛරයෙන් කතා කරන්නේ මේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට මිසක් වෙන දෙයකට නොවෙයි.

‘ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!

යුද්ධය දිනපු නායකයාට, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට, රණවිරුවන්ට ඒ ඉරණම අත්වෙන්න අපි ඉඩ දෙනවාද? (ජනතාවගෙන් අසයි) නැහැ. නැහැ. නැහැ. (ජනතාව ඝෝෂා නගති) මේ අය පෙන්නුවේ ‘රණවිරුවන්ට අපි හරිම ආදරෙයි’ කියලා. ‘හමුදාමය කාර්යයන්ට හැර වෙනත් කාර්යයන්ට අපි හමුදාව යොදා ගන්නේ නැහැ’ කියලා මේ අය කිව්වා. නමුත් එහෙම කළාද? නැහැනේ.

ජාතිය ඉල්ලන අභියෝගය ජය ගැනීමට අපි පෙළ ගැසෙමු. 1818දී අපේ ඌව-වෙල්ලස්සේ මුතුන් මිත්තන් නැගී සිටියා වගේ අපිත් අවි ආයුධවලින් තොරව සාමකාමීව ජනතා නැගිටීමකට සූදානම් වෙමු. ඒ ජනතා නැගිටීම අරඹන දිනය බවට අද දිනය පෙරළා ගනිමු. අපි කියනවා, ‘ති‍්‍රිවිධ හමුදාවට, පොලීසියට රට දිනවූ නායකයාව නැවත ගෙනෙන්න සූදානම් වෙන්න’ කියලා. අපි කියනවා රාජ්‍ය සේවකයාට, හංසයාට කතිරය ගහලා වැලපෙන ලක්‍ෂ ගණනකට ‘අපි වැරුද්ද නිවැරදි කිරීමට පටන් ගනිමු’ කියලා. අපට  ඕනේ, බලවත්, තෙදවත් නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, යළි ඉහළට ඔසවා ජාතිය බේරාගැනීම. මේ අය මහ මැතිවරණයෙන් දිනුවොත් මාස තුනක් ඇතුළත ෆෙඩරල් රටක් හදන්න අදාළ ව්‍යවසථාවක් එනවා. ඒකෙන් මේ රටේ ඒකීයභාවය නැති වෙනවා. උතුරට හා නැගෙනහිරට ස්වයංපාලනය ලැබෙනවා. මේ යන්නේ ඒ බෙදුම්වාදී ගමනයි.

රණවිරුවන් මේ රට වසර 05කට පෙර බේරා ගත්තේ ඒ අපරාධය සිදු වෙන්න නොවෙයි. ඒ නිසා අපි ජාතිය විදියට ඒ අභියෝගය භාර ගනිමු! අපි අභියෝගවලට මුහුණු දිලා ජයගත් ජාතියක්. මොනරවිල කැප්පෙටිපොල, පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා වැනි වීරයන්ගේ රටට කැපවුණු ප‍්‍රාණ වායුවෙන්, ජානමය ශක්තියෙන් උපන් මිනිසුන් අපි. දළදා හාමුදුරුවන් වැඩ වෙසෙන, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ,කිතුණු, ඉස්ලාම්, ජනතාව සමගිව වාසය කරන මේ ලක් පොළොව නැවත බේරා ගන්න පෙරට එන්න. මේ අරගලය මෙතැනින් නතර වෙන්නෙ නැහැ. අපි මේ අරගලය නගරයෙන් නගරයට රැගෙන එනවා. ඒකට සූදානම් වෙන්න. ඒ වෙනුවෙන් රොද බඳින්න. රට වෙනුවෙන් කැපවෙමු. මහින්ද රාජපක්‍ෂ නමක් නොවෙයි රටක්.

‘උප්පත්තිය සහ විපත්තිය අතර ප‍්‍රතිපත්තියක් නැති වුණාම සිදු වෙන්නේ නස්පැත්තියක්.’ චම්පික රණවකලාට දැන් ඒ දේශපාලන නස්පැත්තිය වෙලා ඉවරයි. ඒ අය  ඕනේ නස්පැත්තියක් ළගාකර ගත්තාවේ. මේ රටට නස්පැත්තිය රැගෙන ඒමට අපි ඉඩ දෙන්නේ නැහැ.’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-02-19

 

61 60 59 58 54 52 51 50 49 48 47 46 45 44 37 38 39 40 41 42 43 36 34 33 32 31 30 29 21 22 23 24 25 26 28 20 18 17 15 14 13 12 43

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

  1. susil indika Reply

    වැඩේ නියමෙට තිබුන අපි හැමදාම රට රකින kadaure ඉදිරියටම යමු ඊළඟ රැලිය ගාල්ලෙ රත්ගමට අරගෙන එන්න අපි පෙන්වමු රටට ආදරේ කරන ගමේ මිනිස්සුන්ගෙ බලවේගය;; ජය ශ්‍රී ”

Leave a Reply

*