BREAKING NEWS

එජනිසයෙන් ඉවත් වූයේ විපක්‍ෂයේ අරගලය ශක්තිමත් කිරීමටයි!

එජනිසයෙන් ඉවත් වූයේ විපක්‍ෂයේ අරගලය ශක්තිමත් කිරීමටයි!

ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ ස්වාධීන දේශපාලන පක්‍ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ පැවැති සියලු බැඳීම් ඉවත් කරන බව එහි මහලේකම්වරවයාට දැනුම් දීමත් සමඟ ඇතැම් වැරදි සහගත මත සමාජගත වෙමින් පවතී. ඒ නිසා පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකරන්නෙමු.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය මහ මැතිවරණයෙන් පසුව කටයුතු කරන්නේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙසය. ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එම මැතිවරණයට තරඟ වැදුනද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කටයුතු කරන්නේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙසය. එනිසා එජනිසට පාර්ලිමේන්තුවේ විවාද සඳහා ආණ්ඩු පක්‍ෂය ලෙස ලැබෙන කාලයෙන් වැඩිපුර කොටසක් ඔවුන් ලබාගෙන එජනිස යටතේ තරඟ වැදී දැනට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරන අප ඇතුළු සියලු පක්‍ෂවලට ලබා දෙන්නේ සුළු කාලයකි. එම හේතුවද ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන එජනිස තුළ සිටිමෙන් විපක්‍ෂයේ ස්වාධීන දේශපාලන පක්‍ෂයක් ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගී වීමේ ඉඩකඩද පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයකු ලෙස ජාතික වැදගත්කමකින් යුතු කරුණු පිළිබඳ ස්ථාවර නියෝග 23(2) යටතේ විශේෂ ප්‍රකාශ සිදු කිරීමේ වරප්‍රසාදයද අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාට අහිමිව තිබිණි. මේ සියලු කරුණු අප පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කිරීමට බාධාවක්ව පැවැත්විණි.

එනිසා 2016 අප්‍රේල් මස 05 කථානායකවරයාට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීමටද වාචිකව අදහස් දැක්වීමටද විමල් වීරවංශ මහතා කටයුතු කර තිබිණි. එම ඉල්ලීම දිර්ඝ කාලයක් තිස්සේ ඉටු නොවීම තුළ පසුගිය පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාට එය යළි සිහි කැඳවීමටත් එහිදී මතු වූ කරුණු අනුව එජනිසයෙන් නිල වශයෙන් ඉවත්වීම පිළිබඳ එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතාට දැනුම් දීමටත් අප පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කර තිබේ.

අප පක්‍ෂයක් ලෙස මෙම තිරණය ගනු ලැබුවේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙස රටත් ජනතාවත් වෙනුවෙන් වන අරගලය වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමටය.

එසේම මෙහිදී පැහැදිලි කළ යුතු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වන අපගේ සැබෑ විපක්‍ෂයේ භූමිකාව මෙමගින් වඩාත් ශක්තිමත් වන බවය. එසේම මෙම තීරණය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීමක් ලෙස හුවාදක්වන අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසද මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

මොහොමඩ් මුසම්මිල්
ප්‍රචාරක ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017.02.24

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

  1. Champa Reply

    විපක්ෂයේ අරගලය ශක්තිමත් කරන එක වෙනම වැඩක්. හැබැයි ඒක කරන්න ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්න ඕනේ නැහැනේ. විමල්ට පුළුවන් ස්වාධීන පක්ෂ නායකයෙක් විදියට තමන්ගේ පක්ෂේ මන්ත්‍රීවරු එක්ක සැබෑ ජන සටනක් කරන්න. විමල්, 2015 පෙබරවාරි 18, තමන් වගේම රටට ආදරය කරන මහ ජන පවුරක් ගොඩ නගලා මේ දක්වාම, රටට වෙන්න තිබුන මහා විනාසෙන් රට බේරාගෙන තියෙනවා. සිරගත වෙලත් විමල් ඒ සටන අත හැරියෙ නැහැ. හැමෝම පුදුමවෙත්දී විමල් හිරගෙදර ඉඳන් පාර්ලිමේන්තුවට එන්න ලැබෙන ඉඩකඩත් රට වෙනුවෙන්ම කැප කළා.

    විමල් කවදාවත් තමන් එක්ක හිටපු, තමන් ගොඩ නගපු ජනපවුර අත ඇරලා ගියේ නැහැ. පාවලා දුන්නේ නැහැ. 2015 අගෝස්තු මහ මැතිවරණයේ පරාජයෙන් පසුවත්, වෙන කිසි කෙනෙක්, මහින්ද පවා පැත්තකට වුනාම, විමල් ඉදිරියට ඇවිල්ල මාධ්‍ය හමුවක් තියලා ජනතාවට කිව්වා පරාජයෙන් අධෛර්යමත් නොවී පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන රට වෙනුවෙන් කරන සටන ඉදිරියට ගෙනියමු කියලා. ඒ කිව්වා විදියටම විමල් අදටත් වෙනස් නොවී, සිරගත වෙලත් වෙනස් නොවී, තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදී, නියම දේශප්‍රේමී ජනතා නායකයෙක් විදියට ජනතාව එක්ක ඉන්නවා.

    පෙළපතින් පෙළපතට යන බලලෝභී ආත්මාර්ථකාමී පටු දේශපාලනය අවසන් කරලා, රට වෙනුවෙන් පණ වුනත් දෙන, සැබෑ දේශප්‍රේමී වාමාංශික නායකත්වයක් සහිත ජනබලවේගයක් ගොඩ නැඟිය යුතු කාලය ඇවිල්ල. ඒ වටා පෙළ ගැහෙන්න කාලය ඇවිල්ල.

    විමල්, ඔබ ගොඩ නගපු ජන පවුර අනාථ නොකර, විසිරෙන්න නොදී අවුරුදු දෙකක්ම රැක ගත්තේ ඔබ. ඒකාබද්ධ විපක්ෂය ගැන ජනතා විශ්වාසය නැතිවී ගෙන ගිය මොහොතක, මිනිස්සු විසිරෙන්න යන මොහොතක ඔබ පාද යාත්‍රාවට නායකත්වය දීලා, දවස් 5ක් තිස්සේ නුවර ඉඳන් කොලොඹට ඇවිදලා, ඒක අවසානයේ රට ජාතිය ගැන මිනිස්සුන්ගේ ලේ රත්වෙන කතාවක් කරලා ඔබ ගොඩ නගපු ජන පවුරට තවත් ලක්ෂ ගානක් එකතු කරගෙන රැක ගත්ත. ඒ දවස් පහේ මුළු රටම හිටියේ පාද යාත්‍රාව එක්ක. අදත් ඇවිල්ල තියෙන්නේ ඒවගේ අවස්ථාවක්. මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න. ඔබ ගොඩ නගපු ජන පවුර අනාථ වෙන්න ඉඩ නොදී ඔබ ඒ ජනතාවට නායකත්වය දෙන්න. ද්විත්ව රංගනයක යෙදිලා ජනතාව මුලා කරපු, මුලා කරන ඒකාබද්ධ විපක්ෂයෙන් තවදුරටත් වැඩක් නැහැ.

    විමල්, දැන් රටට අවශ්‍ය ඔබේ නායකත්වය කෙලින්ම ලැබෙන වාමාංශික දේශප්‍රේමී බලවේගයක්. ඔබ ජනතා හඬට ඇහුම්කන් දෙනවද? ඔන්න මම ඔබ වෙනුවෙන් “ඔව්, සත්තකින්ම ඔව්!” කියල කිව්වා, හොඳද !!!

    ඉතිහාසය වෙනස් කරමු
    අළුත් අකුරු වලින් ලියමු
    ගොඩ නංවන අළුත් රටට
    පහනක් වී පාර කියමු

    ඉතිහාසය අළුත් කරමු
    වෙනස් අකුරු වලින් ලියමු
    හැරවුම් ලක්ෂය ඔබ වී
    අභියෝගය බාර ගනිමු!

    අනාගතය අපේ කරමු
    ඔබේ අකුරු වලින් ලියමු
    ජන හදවත් එලිය කරන
    අළුත් ඉරක් උදා කරමු!!

    නිදහස් නිවහල් රටකට
    මුල් තැනදී අපේ කමට
    පෙරට ඇවිත්, රට සුරකින
    පංචායුධයම වෙනු මැන!!!

Leave a Reply

*