BREAKING NEWS

එට්කා ගිවිසුම අත්සන් කළ පසු නිදහස් ශ‍්‍රම සංචරණයක් සිදු නොවන බවට ගිවිසුමෙහි වගන්තියක් මගින් තහවුරු කරනු!

10551583_897555140362307_7583609721611812767_oඑට්කා ගිවිසුම අත්සන් කළ පසු නිදහස් ශ‍්‍රම සංචරණයක් සිදු නොවන්නේ නම් ඒ බව ගිවිසුමෙහි වගන්තියක් ලෙස අන්තර්ගත කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ජාත්‍යන්තර වාණිජ කටයුතු අමාත්‍යවරයාට සහ අගමැතිවරයාට අභියෝග කරයි.

ඊයේ(14) කොළඹ 07, විජේරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණායතන ශ‍්‍රවණාගාරයේදී පැවති, ‘ETCA මර උගුලෙන් රටේ පණ බේරා ගන්න, එකතුවෙමු! පෙළ ගැසෙමු! සටන් වදිමු!’ යන තේමාව යටතේ පැවැති සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘අපට මගහැර යාමට නොහැකි මාතෘකාවක් පිළිබඳව කතා කිරීමටයි අපි මෙලෙස එක් වූයේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තම නිසග ස්වභාවය පෙන්වමින් රළු සහ උද්දච්ච ආකාරයෙන් පැවසුවා ‘එට්කා (ETCA) ගිවිසුම වෛද්‍යවරුන්, වෘත්තිකයන් මොනවා කිව්වත් මම අත්සන් කරනවා’ කියලා. ඒ වගේම එම ගිවිසුමට පක්‍ෂපාතීව තරුණයන් පාරට බස්සන බවත් එතුමා මහ හඩින් පවසා සිටියා. ‘හෙට(15) සෑම යෞවන සමාජ සම්මේලනයකින්ම තරුණයන් 1500 බැගින් කොළඹ හයිඩ් පිටියට ගෙන ආ යුතුයි’ කියලා තරුණ සේවා සභාවට උපදෙස් දීලා තිබෙන්නේ ඒ හින්දා වෙන්න ඇති. ඒ තරුණයන් කොළඹ එන්නේ එට්කා ගිවිසුම පිළිබඳව හෝ එමගින් සිදු වන දේ වටහා ගෙන නොවෙයි. නමුත් පෙන්වන්න හදනවා ‘මේ ගිවිසුම රටේ අනාගත පරපුරට හොඳයි. ඒ හින්දා ඒ අය ගිවිසුම ඉල්ලලා විරෝධතා දක්වනවා’ කියලා.

අපි මේ එට්කා නමින් කථා කරන්නට යන්නේ අපේ අසල්වැසියා වන ඉන්දියාව සමග අත්සන් කිරීමට සූදානම් ගිවිසුමක් පිළිබඳවයි. හොඳට හෝ නරකට අපට ඉන්නේ අපේ රටට ඉහළින් මහා භූමි ප‍්‍රමාණයක් දරාගෙන සිටින මහා අසල්වැසියෙක්. ඉතිහාසය පුරා මෙරටට එරෙහිව සිදු වූ අාක‍්‍රමණ 44න් 41ක්ම මේ ‘මහා අසල්වැසියා’ විසින් සිදු කළ ඒවා බව කියැවෙනවා. අපේ රජවරුන්ට බිසෝවරු සපයලා මේ අසල්වැසියා ඒ රජවරු තමන්ගේ න්‍යාය පත‍්‍රයට නම්මා ගත් අයුරු අපේ ඉතිහාසයේ දැක්වෙනවා. ඉතිහාසය පුරා එයාට නොසන්සිඳෙන පිපාසාවක් තිබිලා තිබෙනවා, අපේ රට තමන්ගේ න්‍යාය පත‍්‍රය අනුව මෙහෙයවා ගැනීමට. 1948න් පසුව මේ රට කිසිදු ආක‍්‍රමණයකට ලක් නොවුණත් අපි මේ කතා කරන අසල්වැසියා 1987දී අපේ ගුවන් සීමාව ආක‍්‍රමණය කරලා ගුවනින් පරිප්පු දාලා දැඩි බලපෑමක් කළා. අවසානයේදී එවකට පැවැති ජේ.ආර්. ජයවර්ධන පාලනය එම බලපෑමට යටවෙලා ‘එනු මැනවි ඉන්දියානු හමුදාව’ කියලා නිල ආරාධනාවක් කරලා, මේ අසල්වැසියා අපේ රට අාක‍්‍රමණය කිරීමට සුජාතභාවයක් හදලා දුන්නා. ඔන්න අපි එට්කා නමින් ගිවිසුමක් අත්සන් කිරීමට සැරසෙන අපේ මහා අසල්වැසියාගේ ‘කැරට්ටුව’.

වත්මන් ආණ්ඩුව 2014දී ඩොලර් බිලියන 8.0ක තිබුණු රටේ විදේශ විනිමය සංචිතය අද වන විට ඩොලර් බිලියන 4.3ක් දක්වා පහත වට්ටලා තිබෙනවා. මේ හේතුවෙන් ඩොලරයට සාපේක්‍ෂව රුපියල ඉතා ශීඝ‍්‍රයෙන් පහත වැටෙමින් තිබෙනවා. ඉන්දියාව මේ ආණ්ඩුවට ලබා දුන්නු ඩොලර් බිලියන 1.1ක කෙටිකාලීන ණය මුදල ගෙවන්න කල් ඉල්ලූවාම ඔවුන් කල් දුන්නේ සතියයි. එම ණය මුදල ගෙව්වාම තමයි විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5.4 සිට 4.3 දක්වා පහත වැටුණේ. එහෙම කරපු ඉන්දියාව දැන් නැවතත් අපට අනුකම්පා කරන බව පෙන්වමින් ඩොලර් මිලියන 700ක පමණ ණයක් දීමට තීරණය කරලා. ඉන්දීය අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවයි එවැනි මුදලක් දෙන්නේ. ඒක දෙන්නේ ලංකාවේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් කරන්නලූ. මේවාට රැවටිලා ‘අපේ අසල්වැසියා හරි හොඳයි’ කියන අපේ අයියලාත් ඉන්නවා.

‘අසල්වැසියාගෙන් පරිස්සම් වෙන්න’

කියුබාවටත් ඉන්නවා මෙවැනිම අසල්වැසියෙකු. එයා තමයි ඇමෙරිකා එක්සත් ජනපදය. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය කියුබාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය හරි විවෘතයි. ඉන්දියාව එහෙම නොවෙයි. ඒක හරි ආවෘතයි. ඒ ප‍්‍රතිපත්තිය බහුතරයකට තේරුම් ගන්න බැහැ. කියුබාවේ අසල්වැසියා කෙලින්ම කියනවා. ‘උඹලාට සම්බාධක පනවනවා’ කියලා. නමුත් අපේ අසල්වැසියා බලනවා, දිය රෙද්දෙන් බෙල්ල කපන්න. දෙදෙනා අතර තිබෙන්නේ එහෙම වෙනසක් පමණයි. චෝල, පාණ්ඩ්‍ය, කේරල ආක‍්‍රමණවල සිට එන සමස්ත ඉතිහාසය දෙස සලකා බලන විට අපට පිළිගන්න වෙනවා ‘මෙයා හොඳ අසල්වැසියෙක් නොවෙයි’ කියලා. එහෙම පිළිඅරගෙන අපි බෝඞ් එකක් ගහගත්තාට කමක් නැහැ. ‘අසල්වැසියාගෙන් පරිස්සම් වෙන්න’ කියලා.

‘අසල්වැසියාගෙන් පරිස්සම් වෙන්න’ කියලා ඉතිහාසය අපට පාඩම් උගන්වලා තිබුණාට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ‘අසල්වැසියා වෙනුවෙන් ඕනෑම දෙයක් ඉටු කරන්න’කියන තැන සිටයි. ඒකට හේතුව මේ ආණ්ඩුව බලයට ගෙන එන්න මේ අසල්වැසියා විශාල කාර්යභාරයක් ඉටු කරපු එක. මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා අසල්වැසියාගේ ඔත්තු සේවය නිදිමරාගෙන වැඩ කළා. මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දමන්න මුල් වුණු, පිල්මාරු කරපු පිරිස්වලට ගෙවීම් සිදු කළේ මේ අසල්වැසියා විසින්. ‘නෙළුම් කුළුණ වැසිකිලියක් වගේ’ කියපු නෝනාට තමයි සල්ලි තොගපිටින් දුන්නේ. දැන් එක්කෙනෙක් ඉන්නවා සිංගප්පූරු රෝහලට වෙලා, එයාටත් හොඳ හැටි සල්ලි ලැබුණා. එහෙම කරලා තමයි මේ අසල්වැසියා තමන්ට ඕනෑ විදියට නමා ගන්න බැරිවුණු බලවත් ආණ්ඩුව ගෙදර යවලා, රූකඩ පාලනයක් ගෙන ආවේ. ඒක හරියට ‘ටෙනිසන් කුරේට සහ බන්දු සමරසිංහට’ රට පාලනය කරන්න දුන්නා වගේ වැඩක්. මේ සන්සන්දනය බන්දුටයි ටෙනිසන්ටයි අපහාසයක්. ඒකට ඒ අය මට සමාවෙන්න ඕනෙ. මොකද ඒගොල්ලන්ගේ විහිළු බලන්න පුළුවන් රසවත් ඒවා හින්දා. මෙතැන හැමදාම තියෙන්නේ ඉලඇට කැඩෙන විහිළු. අගමැති-ජනාධිපති තරගයට විශේෂ ප‍්‍රකාශ කියවනවා. අගමැතිවරයා හැමදාම පාර්ලිමේන්තුවේ ‘ ඕල්වේස් බ්‍රේක්ඩවුන්’ පෙන්වනවා. මේ රට සමත් රාජ්‍යයක් බවට පත් කරපු බලවත් පාලනය එලවලා දමලා, රටට පැය 24 විදුලිය දෙන්න, පාසල් දරුවාට නිල ඇඳුම් රෙදි කෑල්ල දෙන්න, ගොවියාට පොහොර සහනාධාරය දෙන්න අසමත් ආණ්ඩුවක් මේ අසල්වැසියා අටවා ගත්තා. එහෙම කළේ ශ‍්‍රී ලංකාව තුළ තමන්ගේ න්‍යාය පත‍්‍රය නියමෙටම ක‍්‍රියාත්මක කිරීමට.

‘ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම’

දැන් ඉන්දියාව බලනවා, ශ‍්‍රී ලංකාව තුළ තමන්ගේ ආර්ථික, දේශපාලන ආධිපත්‍යය පතුරුවා හරින්න. අපි දන්නවා චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලයේ ‘ඉන්දු-ලංකා වෙළඳ ගිවිසුම’ නමින් ගිවිසුමක් අත්සන් කළ බව. එම ගිවිසුම චන්ද්‍රිකා මැතිනිය, වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ බලාධිකාරිය සහිත වාණිජ කටයුතු අමාත්‍යාංශය පවා නොමග යවමින් අත්සන් කළ එකක්. ඒ ගිවිසුම මගින් ලංකාවට සිදු වුණේ වාසියක්ද, පාඩුවක්ද කියා විමසා බලා තිබෙනවාද? එම ගිවිසුමින් වාසියක් තිබෙනවානම් පමණයි තවත් ගිවිසුම් කරා යා යුත්තේ නමුත් එහෙම නිසි ඇගයීමක් නොමැතිවයි ඉන්දියාව සමග තවත් ගිවිසුමකට යන්නේ. දැන් බොරුවට මවාපාන්න යනවා ‘ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමෙන් රටට ලාභයක්, ප‍්‍රගතියක් ලැබුණා’ කියලා. නමුත් ඒක පට්ටපල් බොරුවක්.

දැන් බලන්න යුරෝපා සංගමයට අපේ අපනයනවලින් 31%ක් යනවා. ඇඟළුම්, රබර් හා ටියුබ්, ශීත කළ මාළු, තේ පැකට් යන අමතර වටිනාකමක් එකතු කළ භාණ්ඩ තමා එසේ යවන්නේ. ඊළඟට අපි ඇමෙරිකා එක්සත් ජනපදයට අපේ අපනයන භාණ්ඩවලින් 24%ක් යවනවා. ඇඟළුම්, රබර් ටියුබ් හා ටයර්, රබර් අස්වැසුම් හා මැණික් ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයට ලැබෙනවා. ඉන්දු – ලංකා වෙළඳ ගිවිසුම අනුව අපි ඉන්දියාවට යවන්නේ මොනවාද? මේ ඔක්කොම අපි යවපුවා නොවෙයි, නමුත් අපේ නමට වැටිලා තිබෙන ඒවා. පළමු එක කරුංකා. මැලේසියාවෙන් හෝ ඉන්දුනිසියාවෙන් කරුංකා ලංකාවට ගෙනවිත් ගිවිසුම අනුව ලැබී ඇති බදු සහන යටතේ ඉන්දියාවට යවනවා. ඒකයි එතැනදී වෙන්නේ. මේ අය පෙන්වන්නේ මේ කරුංකා වෙළඳාමෙන් ලංකාවට ප‍්‍රතිලාභ ලැබෙනවා කියලයි. නමුත් ඇත්ත ප‍්‍රතිලාභය ලැබෙන්නේ ඉන්දුනීසියාවට සහ මැලේසියාවටයි. ලංකාවේ සිදු කෙරෙන මේ කරුංකා ව්‍යාපාරය පිටුපස ඉන්නෙත් ඉන්දීය ව්‍යාපාරිකයන්. පෙට්රෝලියම් නිෂ්පාදන, ගම්මිරිස්, සත්ව ආහාර, පරණ යකඩ හා පාම් ඔයිල් තමයි ඉන්දියාවට යවන අනෙකුත් භාණ්ඩ. පරණ යකඩ ව්‍යාපාරය හා පාම් ඔයිල් ව්‍යාපාරය පිටුපස ඉන්නෙත් ඉන්දියානු ව්‍යාපාරිකයන්. ‘වනස්පති’ කියලා පාම් ඔයිල් සමාගමක් තිබුණා. එයත් ඉන්දියානුවන්ගේ. ඔවුන් කරන්නේ ඉන්දු-ලංකා වෙළඳ ගිවිසුම යටතේ ලැබෙන තීරු බදු සහන යටතේ පාම් ඔයිල් ලංකාවට ගෙනවිත් ලේබල් ගහලා යළි ඉන්දියාවට පැටවීම.

ලංකාවට ලැබෙන අපනයන ආදායම මේ ගිවිසුම නිසා ඉහළ ගොස් තිබෙනවාද? මම මහ බැංකු වාර්තාව උපුටා දක්වන්නම්. 2000-2014 කාලයේ ඉන්දියාවේ අපනයන ආදායම වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. නමුත් ලංකාවේ කුඩා නැග්මක් තිබෙන්නේ. ඒ අපනයන ආදායම වැඩිවීම ඇතුළෙත් තිබෙනවා, කරුංකා සහ පාම් ඔයිල් අපනයනයෙන් ලැබුණු ආදායම. මේ වාර්තාව අනුව පෙනෙනවා ‘තීරු බදු සහනය යටතේ ඉන්දියාවෙන් විශාල ආනයනික භාණ්ඩ ප‍්‍රමාණයක් එනවා’ කියලා. අපට ඉන්දියාවට යවන්න පුළුවන් භාණ්ඩ මේ ගිවිසුමෙන් දාලා තියෙන්නේ ‘නෙගටිව් ලිස්ට්’ එකට. අපට ඉන්දියාවට යැවීමට පුළුවන් භාණ්ඩ අතර බූරු මසුත් තිබෙනවා. අපට හොයා ගන්න බැරි දේවල්වලට ඒ විදියට බදු සහන දීලා තිබෙනවා. අරලියගහ මන්දිරය පැත්තට ගියොත් නම් ‘බූරු මස්’ ටිකක් හොයා ගන්නත් පුළුවන් වේවි.(සභාවේ සිනා) ඉන්දියාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් තිබෙනවා. පිටු 300කට අධික ප‍්‍රමාණයක් තිබෙන එහි තමන් සමඟ වෙළඳ ගිවිසුම්වලට එළැඹෙන රටවල් අන්දන ආකාරයත් සඳහන්. ශ‍්‍රී ලංකාවට එවැනි ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් නැහැ. එහෙම තිබුණත් රූකඩ පාලකයන් කටයුතු කරන්නේ ඉන්දියාවේ න්‍යාය පත‍්‍රය අනුවයි. කෙසේ නමුත් ඉතා පැහැදිළියි, ‘චන්ද්‍රිකා මැතිනිය ඉන්දියාවේදී අත්සන් තැබූ ඉන්දු – ලංකා වෙළඳ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු වාසියක් අත්වී නැහැ’ කියලා. එසේ තිබියදී සේවා ආර්ථිකය විවෘත කරමින් තවත් ගිවිසුමකට යා හැකිද?

‘සීපා නතර වුණු හැටි’

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේත් සීපා නමින් තවත් ගිවිසුමක් අත්සන් තැබීම සඳහා ඉන්දියාව උපරිම උත්සාහ ගත්තා. ඊට අත්සන් තැබීම සඳහා එවකට ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ශ‍්‍රී ලංකාවට ද පැමිණියා. ඒ අවස්ථාවේ මේ රටේ දේශපාලන පක්‍ෂ නායකයන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික ප‍්‍රජාව මේ ගිවිසුමෙහි තිබෙන අවුල, අවාසි සහගත තත්වය පැහැදිළි කළා. අන්තිමේදී මන්මෝහන් සිං ලංකාවේ සිටියදීම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තීරණය කළා ‘සීපා ගිවිසුමට කෙසේවත් අත්සන් තබන්නේ නැහැ’ කියලා. ඒවා තමයි ඉන්දියාවට හේතු වුණේ මහින්ද රාජපක්‍ෂ ‘රස’ නොවෙන්න. ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම අනුව මේ රටට ලැබුණු වාසියක් නැහැ. යවපු අපනයන භාණ්ඩ ප‍්‍රමාණය වැඩි වුණොත් නැහැ. ලැබුණු එකම දේ තමයි තීරු බදු සහන යටතේ ඉන්දියානු නිෂ්පාදන රැසක් ශ‍්‍රී ලංකාවට ඒම. ඒ අනුව එතෙක් පැවැති බදු ආදායම ද ශ‍්‍රී ලංකාවට අද අහිමි වී තිබෙනවා. මෙසේ තිබියදී ඉන්දියාව සමග තවත් ගිවිසුමකට යා හැකිද? නමුත් එවැනි අවාසි සහගත තත්වයක් යටතේ වුවත් ඉන්දියාව දිගින් දිගටම උත්සාහ ගන්නේ තවත් ගිවිසුමකට යන්න. පිටු 60 ගණනක ගිවිසුමක් සීපා නමින් හදලා ඊට අත්සන් කරවා ගන්න ඔවුන් උත්සාහ කළා. ඒක බැරි වුණාම තමන්ගේ සිතැගි පරිදි ක‍්‍රියාකරන රූකඩ පාලකයන් ලවා වෙනත් ගිවිසුමක් අත්සන් කරවා ගන්නයි අද හදන්නේ.

මේ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කරවා ගන්නයි හදන්නේ. 1994 සිට ඔවුන් මේ සඳහා උත්සාහ ගන්නවා. පාකිස්ථානය හැර දකුණු ආසියා කලාපයේ බොහෝ රටවල් ඉන්දියාව තබාගෙන ඉන්නේ කොලනි ක‍්‍රමයට, ඒවා නොනිල ප‍්‍රාන්ත හැටියට පාලනය කරන්නයි හදන්නේ. ශ‍්‍රී ලංකාවටත් ඒ ඉරණම අත්කර දීමටයි, මේ සේවා ආර්ථිකයට අදාළ ගිවිසුමක් අත්සන් කරවා ගන්න හදන්නේ.

‘කවුද මේ ත‍්‍රී ඉඩියට්ස්ලා?’

1994 සිට මේ දක්වා ප‍්‍රධාන වශයෙන් මේ රටේ පාලනයන් තුනක් තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග පාලනය, මහින්ද රාජපක්‍ෂ පාලනය හා දැන් තිබෙන හොල්මන් පාලනය. පාලනයන් තුනක් මාරු වුණාට මේ සීපා හෙවත් එට්කා ගිවිසුමට අදාළ වැඩ ටික කරන්න ඉන්දියාව දාපු ප‍්‍රධාන චරිත තුන මාරු වුණේ නැහැ. ආචාර්ය සමන් කැලේගම, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තමයි මේ තුන්දෙනා. මේ අය ආචාර්ය, මහාචාර්යවරු වුණාට අපි හිතන්න හොඳ නැහැ ‘මහා ප‍්‍රාඥයෝ’ කියලා. මේ ‘ත‍්‍රී ඉඩියස්ට්ලා’ ඩොලර්වලට නොවෙයි ඉන්දියානු රුපියල්වලට විකුණනු අය.

FCIDයට අලූත් JOB එකක්

මේ තුන්දෙනා චන්ද්‍රිකා, මහින්ද යුගවලදී වගේම අදත් ජාත්‍යන්තර වාණිජ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම සමග මේ ගිවිසුමෙහි ගුණ වයමින් ඊට අදාළ සාකච්ඡා මේසයේ වාඩි වී සිටිනවා. මේ අය ලංකාවේ දූතයන් විදියට හිටියාට ඔවුන්ට ඇත්තටම ගෙවන්නේ ඉන්දියාවේ රුපියල්වලින්. ඔන්න දැන් FCID එකට වැඩක් තිබෙනවා. සමහර සමාගම්වල ‘මූලික ආයෝජනය ආවේ කොහෙන්ද? කියලා හොයන එක අත හරින්න. ඒ කරලා මුදල් විශුද්ධිකරණ පනත යටතේ සොයා බලන්න පුළුවන් මේ තුන්දෙනාට ඉන්දියාවෙන් කොපමණ මුදලක් ලබාදීලා තිබෙනවාද, කියලා. ඒකනම් රටට වැදගත් වැඩක් වේවි.

‘නිදහස් ශ‍්‍රම සංචරණය’

මේ අය මුලින්ම සකස් කළ සීපා ගිවිසුමේ තිබුණා ‘නිදහස් ශ‍්‍රම සංචරණයට ඉඩ ලැබෙනවා’ කියලා. ඇත්තටම ඉන්දියාවට මෙවැනි ගිවිසුමක් අවශ්‍ය ඇයි? දැන් වෙළඳ ගිවිසුමක් තිබෙනවානේ. ඒකෙන් ඉන්දියාවට හොඳටම වාසියි කියලත් ඒ අය දන්නවානේ. ආණ්ඩුව කියන්නේ සේවා ක්‍ෂේත‍්‍රයේ ආයෝජනයට කියලා. නමුත් ඒක ඇත්තද? නැහැනේ. දැනටමත් ඉන්දියන් ඔයිල් සමාගම සේවා සපයනවානේ. සේවා ක්‍ෂේත‍්‍රයේ ආයෝජනය පමණක් නොවෙයි ඉන්දියාවට අවශ්‍ය වෙනවා, සේවා ක්‍ෂේත‍්‍රයේ ආයෝජනය සමග නිදහස් මිනිස් ශ‍්‍රම සංචරණයට ඉඩ හදා ගන්න.

‘එට්කා ගිවිසුම’

වත්මන් ආණ්ඩුව කියන්නේ ‘නිදහස් ශ‍්‍රම සංචරණයට’ මෙම ගිවිසුමෙන් ඉඩ දෙන්නේ නැහැ කියලයි. අගමැතිවරයා මේ පිළිබඳව ප‍්‍රතිචාර දක්වන විදහට හිතෙන්නේ, ‘ඇතුළේ යමක් තිබෙනවා’ කියලයි. අපි දැන් මේ ගිවිසුමට අවධානය යොමු කරමු. මම ඔබ හමුවේ තබන්නේ, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් ඉන්දියාව වෙත යවන ලද ‘ඉන්දු -ශ‍්‍රී ලංකා ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතා රාමු ගිවිසුමෙහි’ ඔවුන් විසින්ම සිදු කරන ලද සිංහල පරිවර්තනයෙහි අඩංගු කරුණුයි. මෙම ගිවිසුමෙහි ඉංග‍්‍රීසි හා සිංහල පිටපත් මේ රටේ වෘත්තීයවේදීන් වෙත ලබා දීමට මේ ආණ්ඩුවට සිදු වූවා. අපි මේ අවස්ථාවේ අපේ ස්තූතිය පළ කළ යුතුයි, මේ රටේ වෘත්තීයවේදීන් වෙත. ඔවුන් මේ අවස්ථාවේදී තම වෘත්තියෙහි සුරක්ෂිතභාවය පමණක් ගැන සිතා නොවෙයි, පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නොවෙයි, රටේ සමස්ත ආර්ථිකයට මෙම ගිවිසුමෙන් සිදු වන හානිය ගැන සිතා සටනට පිවිස සිටිනවා. ඒ නිසාම අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතාට මේ ආණ්ඩුව කියන්නේ ‘පාදඩයා’ කියලයි.

මේ ගිවිසුමෙහි පූර්විකාවෙහි මෙසේ සඳහන් වෙනවා. ‘ඉන්දියානු ජනරජය සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය(මෙහි මින්පසු ‘පාර්ශ්වකරුවන්’ යනුවෙන් හඳුන්වන) ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ අගමැතිවරුන් 2015 සැප්තැම්බර් මස නවදිල්ලියේදී පවත්වන ලද සාර්ථකව අවසන් කරන ලද රැස්වීමේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම උදෙසා වැඩ කිරීමට වූ එකගතාවය සිහිපත් කරමින්,

දෙරට අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සටහනක් තබමින් සහ ඔවුන්ගේ සංවර්ධන ඉලක්කවලට සුදුසු වන ඔවුනොවුන්ගේ ආර්ථික දර්ශනයන් සහ උපායමාර්ග සාක්ෂාත් කරගැනීමේ ඇති අයිතිය සහ ඔවුන්ගේ ජාතික ප‍්‍රතිපත්ති අරමුණු මුදුන්පත් කර ගැනීමට, කටයුතු නියාමනය කිරීමට ඇති අයිතිය පිළිගනිමින්…’

ඒ වගේම ‘…ලෝක වෙළඳ සංවිධානයේ දියුණුවෙමින් පවතින රටවල සාමාජිකයන් වශයෙන් සහ අනිකුත් බහුපාර්ශ්වික, ප‍්‍රාදේශීය සහ ද්විපාර්ශ්වික ගිවිසුම් සහ එකගතා සඳහා අදාළ පාර්ශ්වයන්ගේ ඇති යුතුකම්, වගකීම් සහ බැදීම් යළි තහවුරු කරමින්…’ කියලත් මේ පූර්විකාවේ සඳහන් කර තිබෙනවා. ඊළගට පළමු පරිච්ඡේදයේ සඳහන් වෙනවා, අරමුණු. දෙවන පරිච්ඡේදයේ දැක්වෙන්නේ ‘පොදු ඵලදාව’. ඒ කියන්නේ ඉන්දු – ලංකා වෙළඳ ගිවිසුමෙන් ලැබුණා කියන ‘ඵලදාව’. තුන්වන පරිච්ඡේදයේ වගන්ති 2හි තමයි සේවා වෙළඳාම පිළිබඳ සඳහන් වෙන්නේ. එම වගන්තියේ 2(අ)හි මෙසේ සඳහන් වෙනවා. ‘දෙපාර්ශ්වය අතර සේවා වෙළඳාම නිදහස්කරණය සඳහා වන සාකච්ඡා සහ සම්මුතීන් අන්‍යෝන්‍ය වශයෙන් එකග වූ ක්‍ෂේත‍්‍රයන් සඳහා සිදුකෙරේ’ මේක මූලික රාමු ගිවිසුමක්නේ. ඒ නිසා මෙහි සඳහන් අන්‍යෝන්‍ය වශයෙන් එකග වූ ක්‍ෂේත‍්‍රයන් දැන ගන්න වෙන්නේ අනාගතයේදී. මේ ගිවිසුමට අත්සන් කළාට පසුවයි.

ඒ වගේම වගන්තිය 3- ආයෝජන (භාණ්ඩ හා සේවා) 2හි මෙසේ සඳහන් වෙනවා.
‘2. පහත සඳහන් දෑ එහෙත් එපමණකට සීමා නොවී, එවැනි එකගතාවයක ඇතුළත් වේ.
(අ) ආයෝජන ආරක්ෂණ යාන්ත‍්‍රණයක් ස්ථාපනය කිරීම
(ආ) ආයෝජනවලට අදාළ රෙගුලාසිවල විනිවිදභාවය වැඩි කිරීම
(ඇ) දෙපාර්ශ්වය අතර ආයෝජනවල සීමාවන් ක‍්‍රමයෙන් අඩු කිරීම
(ඈ) ආයෝජන සඳහා පහසුකරණය ප‍්‍රවර්ධනය කිරීම.’

මෙම රාමු ගිවිසුමෙහි සඳහන් අවධානය යොමු කළ යුතුම කොටස තියෙන්නේ ‘අනිකුත් ප‍්‍රතිපාදන’ යන 7 වන පරිච්ඡේදයේයි. එහි ‘වගන්තිය V : ඇමුණුම් පසුව එළඹෙන ගිවිසුම්’ යන කොටසේ ‘මෙම ගිවිසුමට අනුව පසුව එළඹෙන ගිවිසුම් මෙම ගිවිසුමේ කොටස් බවට පත්වේ.’ කියා සඳහන් වෙනවා. පිටු 60 ගණනක් තිබුණු ගිවිසුම පිටු 11කට අඩු කරලා දැන් මේ වගන්තියෙන් කියනවා’ ‘ඒවා පසුව එනවා. ආවට පස්සේ ඒවා මේ ගිවිසුමේම කොටස් බවට පත් වෙනවා’ කියලා. කොහොමද ඈඳිල්ල?

දැන් මේ අය කියනවානේ, ‘මේ ගිවිසුම අනුව නිදහස් ශ‍්‍රම සංචරණයට කිසිදු ඉඩක් නැහැ’ කියලා අපි අභියෝග කරනවා මලික් සමරවික‍්‍රම ඇමතිවරයාට හෝ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට ‘නිදහස් ශ‍්‍රම සංචරණය මෙම ගිවිසුමට අදාළ වන්නේ නැත’ කියන වාක්‍යය පුළුවන්නම් මේ රාමු ගිවිසුමට දාන්න’ කියලා. මේක කොළේ වහලා ගැහිල්ලක් නොවෙයිද? සීපා ගිවිසුමේ තිබුණු විදිහට දත් ගලවන කෙනාත්, කොණ්ඩය කපන කෙනාත් ලංකාවට එනවා. නමුත් මේ රාමු ගිවිසුම පළමුව ගහලා, පසුව එක එක ක්‍ෂේත‍්‍රවලට වෙනම ගිවිසුම් ගහලා ‘අදාළ ක්‍ෂේත‍්‍රයේ නිදහස් ශ‍්‍රම සංචරණයට ඉඩ සලසා ඇත’ කියන වාක්‍යය දාලා ටිකෙන් ටික සීපා එකේ තිබුණු සියල්ල කරගන්නයි මේ අය යන්නේ. සැරෙන් සැරේ ඉන්දියාවට ගිහිල්ලා ගහන ක්‍ෂේත‍්‍රවලට අදාළ ගිවිසුම් මේ රාමු ගිවිසුමේ කොටසක් වුණාම ක‍්‍රියාත්මක වෙන්නේ ‘සීපා’ නොවෙයි නම් වෙන කුමක්ද? ඒ අනුව මේ ආණ්ඩුව පවසන ‘නිදහස් ශ‍්‍රම සංචරණයක් සිදු නොවේ’ කියන කතාව පට්ටපල් බොරුවක් බව මේ රාමු ගිවිසුම අනුව ඉතා පැහැදිලියි.

දැන් බලන්න එට්කා එන්න කලින් සිදු වන දේ. අපේ රටේ සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනසක් කරලා තිබෙනවා. ඒ පිළිබඳ ප‍්‍රාමාණික බුද්ධිමතුන්ගෙන්, ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණ වෘත්තිකයන්ගෙන් කිසිදු කරුණු විමසීමක් සිදු කරලා නැහැ. හදිසියේම කැබිනට් පත‍්‍රිකාවක් දමනවා. ‘ශ‍්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප‍්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම’ කියලා. කැබිනට් මණ්ඩලයේ ඉන්න දෙවර්ගයේම අය ඊට අනුමැතිය ලබා දී තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය එට්කා එකෙන් විවෘත වෙන්නේ නැහැ කීවාට දැන් කැබිනට් අනුමැතියෙන් ගිලන් රථ විතරක් නොවෙයි, ඉන්දීය දොස්තරලා, කාර්ය මණ්ඩල ලංකාවට එනවා.

එම කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වෙනවා, ‘කාර්ය මණ්ඩල තෝරා ගැනීම, බඳවා ගැනීම, මාරු කිරීම, සේවය අවසන් කිරීම සහ මේ සඳහා සමස්ත මෙහෙයුම් වියදම් තුළ මුදල් වෙන්කිරීමට අදාළ මෙහෙයවීමේ නිදහස සහ ස්වාධීනත්වය M/s GVK EMRI ආයතනයට ලබා දෙමින් මෙම ආයතනය ස්වාධීනව ක‍්‍රියාත්මක වනු ඇත.’ කියලා. මෙම ආයතනය කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වෙනවා. මෙහෙම ස්වාධීනත්වයක් රජයට අනුබද්ධ කවර ආයතනයකටද ලබා දී ඇත්තේ? අනෙක රාජ්‍ය ආයතනයක පත් කිරිමේ සහ විනය බලතල තිබෙන්න ඕනෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ රාජ්‍ය ආයතනයකට. ‘රැකියාලාභීන් ශ‍්‍රී ලාංකිකයන් විය යුතුයි’ කියා මෙම කැබිනට් පත‍්‍රිකාවේ කොතැනකවත් නැහැ.

මේ ආයතනයෙන් අවසානයේ මොකද වෙන්නේ? මේක පර්යේෂණායතනයක්. බස්නාහිර හා දකුණට අදාළව ක‍්‍රියාත්මක වෙනවා. රෝගීන්ගේ දත්ත එකතු කිරීමත් මීට අදාළයි. පොලීසිය, රාජ්‍ය ආයතන සමග එක්ව බස්නාහිර සහ දකුණේ පුරවැසියන්ගේ දත්ත ගබඩාවක් මේ අයට හදා ගන්න අවසරය, ඉඩකඩ ලැබී තිබෙනවා. ඒක පැත්තකින් එට්කා කියලා ගිවිසුමක් ගහලා අපේ රටේ රැකියාවලට ඉන්දියානුවන්ට දොර ඇරලා දෙන්න හදනවා. ඊට කලින් ඉන්දියානු දොස්තරලත් සමග ගිලන් රථ සේවාවක් රැගෙන එන්න ඉඩ හදනවා.

‘එට්කා පැරදවීම’

දේශපාලන භේදයෙන් තොරව, එට්කා ගිවිසුම පැරදවීම ජාතික අභියෝගයක් ලෙස දකින්න ඕනෙ. එසේ නොකළහොත් අපි මේ ව්‍යසනයේ ගොදුරක් බවට පත්වන එක වළක්වන්න බැහැ. එට්කා ක‍්‍රියාත්මක වුවහොත් වෘත්තීයවේදීන්ගේ ඉරණම අනතුරට ලක්වීම කිසිසේත්ම වළක්වන්න බැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ පූච්චානම් කතාවලට රැවටෙන්නේ නැතිව, සේවා ආයෝජන අවස්ථාවන් පමණක් නොවෙයි රැකියා අවස්ථාවනුත් සම්පූර්ණයෙන් ඉන්දියානුවන්ට පාවාදෙන එට්කා ගිවිසුමට එරෙහිව දැවැන්ත මහජන මතයක් ගොඩනඟමු. ජූනි මාසයට කලින් මේ ගිවිසුම අත්සන් කරනවා කියලා, මේ හිතුවක්කාර, දරදඩු ආණ්ඩුව කියලා තිබෙනවා. බලහත්කාරයෙන් හෝ මේ ගිවිසුම අත්සන් කළොත් ඊට පස්සේ ගැලවීමක් නැහැ. ඒ නිසා ඊට එරෙහිව නැගී සිටීම, කළ හැකි සියල්ල සිදු කිරීම ජාතික වගකීමක්. ඒ සඳහා එකතු වෙමු! පෙළ ගැසෙමු!සටන් වදිමු! ’’

මෙම සම්මන්ත‍්‍රණයේ පිළිගැනීමේ කතාව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක මහතා සිදු කළේය. නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා විසින් රචිත ‘ලංකාව නැතිකරන ඉන්දීය මර උගුල’ කෘතිය එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.03.15

 

920664_897555127028975_4119349424748577783_o 10551598_897555080362313_47485194269835260_o 12828536_897554930362328_3440561476064624883_o 12828943_897554923695662_7422634351196528473_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*