BREAKING NEWS

‘‘එදා මිස්ටර් ක්ලීන් අද මිස්ටර් ඩර්ටි වෙලා’

‘‘එදා මිස්ටර් ක්ලීන් අද මිස්ටර් ඩර්ටි වෙලා’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායක, විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.

එහිදී ජනතාව මත වැට් බර පැටවීම, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව කෝප් කමිටු වාර්තාව ආදී කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.

‘‘මේ ආණ්ඩුව අනීතික ලෙස ජනතාව මත වැට් බද්ද පැන වූ අවස්ථාවේදී අපට පුළුවන් වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒක නතර කරන්න. නමුත් අවසානයේදී මේ ජනතාද්‍රෝහී ආණ්ඩුව ජනතාව මත 15%ක වැට් බද්දක් පැනවූවා.

මේ විදියට ජනතාව මත බදු බර පටවන මේ ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදාට කලින් කීවේ ‘අපි බලයට ආවම රාජපක්ෂලා හොරා කාපු සල්ලි ඉතිරි වෙනවා. ඒකෙන් අපි තමුන්නාන්සේලාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන අනාගතයක් හදනවා’ කියලයි. කිරි – පැණි කෙසේ වෙතත් මේ අය මේ රටේ දුප්පත් ජනතාව බතුයි, පොල් සම්බෝලයි කන්න බැරි තත්වයකට ඇදලා දමලා ඉවරයි. මේ ආණ්ඩුව කියනවා, ‘රාපක්ෂලා ගත්තු ණය ගෙවන්නයි බදු ගහන්න වුණේ’ කියලා. ඒක ඇත්තද? 2005දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වෙන කොට මේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 96%ක්. 2015 ජනවාරි 08 වැනිදා රට ආපසු භාර දෙන විට ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 71%ක් දක්වා අඩුකර තිබුණා. නමුත් ගෙවීගිය මාස 21 තුළ මේ ආණ්ඩුව රටේ සමස්ත ණය බර 19%ක ප්‍රතිශතයකින් ඉහළ දමා තිබෙනවා. ‘නළුවෙක් නොවෙයි මොලයක්’ කියමින් බලයට ආපු මේ අය අද ‘මොලයක් තියා අලයක්වත්’ නැති අය බව ඔප්පු කරලා ඉවරයි. කෝප් කමිටුව ඉදිරියේ සාක්ෂී දීපු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවසා තිබුණා ‘මම මේ බැඳුම්කර ගනුදෙනුව සිදු කළේ අගමැතිවරයාගේ උපදෙස් මත තමයි’ කියලා. 2015 ජනවාරි 08 වැනිදා ‘මිස්ටර් ක්ලීන්’ ලෙස බලයට ආපු කෙනා අද ‘මිස්ටර් ඩර්ටි’ බවට පත් වෙලා ඉවරයි’ එහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වය උත්සාහ කළේ මහ බැංකුව ‘ඇලඩින්ගේ පුදුම පහන’ කරගෙන බැඳුම්කර වංචාව දිගින් දිගටම කරමින් ඒකෙන් ජීවත් වෙන්න. නමුත් රටේ වාසනාවට ඒකාබද්ධ විපක්ෂකයට හැකි වුණා මේ තත්වය රට හමුවේ තබන්න, ඉන් පසුව ඒ පරීක්ෂණය කෝප් කමිටුව වෙත ගෙන එන්න. කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ යන ඇමතීවරුන් කෝප් කමිටුව උසාවියක් බවට පත්කරගෙන අර්ජුන මහේන්ද්‍රන් බේරා ගැනීම වෙනුවෙන් විගණකාධිපතිතුමන් ඇතුළු රජයේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඇහුවා කෝප් කමිටුවට අයිතියක් නැහැ පුද්ගලයකු බේරා ගැනීමට ප්‍රශ්න අහන්න. මන්ත්‍රීවරුන්ට අයිතිය තිබෙන්නේ, ‘මේ ගනුදෙනුවෙන් රජයට පාඩුද, නැද්ද?’ කියලා අහන්න විතරයි. ‘මේ වචනය වාර්තාවේ තිබුණොත් රටට ජනතාවට වාසිද? නැද්ද?’ කියලා නොවෙයි මේ අය අහන්නේ ‘අර්ජුන්ට වාසිද, නැද්ද‘ කියලයි. මේ රටේ නීතිඥ මහත්වරු දිවුරුම් දෙන්නේ විත්තිය හෝ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින්න. වෛද්‍යවරු දිවුරුම් දෙන්නේ සද්ගුණවත් මහත්මයකුට හෝ අපරාධකරුවකුට ප්‍රතිකාර කරන්න. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙන්නේ එහෙම නොවෙයි. ‘මහජන දේපළ සහ රට ආරක්ෂා කිරීම’වෙනුවෙන් පමණයි ඒ අය දිවුරුම් දෙන්නේ. ඒ නිසා මේ නීතිඥ ඇමතිවරු ඒ වගකීම අතහැරලා කටයුතු කරලා තිබෙනවා.

ආර්ථික ඔස්තාර් කෙනකු ලෙස පෙනී සිටින හර්ෂ ද සිල්වා ඇමතිවරයා කෝප් කමිටුවේදී කටයුතු කළේ කොහොමද? ‘මේ ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයෙන් අර්ජුනට හානියක් සිදුවේවිද?’කියන කෝණයෙන් එයා මේ ප්‍රශ්නය දෙස බැලූවේ. අනේ එහෙම ආර්ථික විශේෂඥයන්ගෙන් මේ රටට ඇති ඵලය කුමක්ද? මේ අය කෝප් කමිටුව තුළ කිව්වේ, ‘විගණකාධිපති දේශපාලනීකරණය වෙලා’ කියලයි. අර්ජුන්ට විරුද්ධව සාක්ෂි දුන්නු නිලධාරිනුත් මේ අයට අනුව දේශපාලනීකරණය වූ අය. හැබැයි කවදාවත් මේ රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය කීවේ නැහැ ‘අර්ජුන මහේන්ද්‍රන් හොරකම් කළා’ කියලා. අර්ජුන්ව බේරාගන්න තමයි අජිත්ලා, සේනසිංහලා, හර්ෂලා උත්සාහ කළේ. මේ නීතිඥ ඇමතිවරුන්ගේ, ආර්ථික ඔස්තාර්ලාගේ රෙදි ගැලවිලා යනවා, මේ කෝප් කමිටු වාර්තාව රට ඉදිරියේ තබපුවාම’’ කෝප් කමිටුව සිදු කළ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණයේදි තමන් අත්දුටු අමිහිරි අත්දැකීම් දේශපාලන මණ්ඩලය හමුවේ අනාවරණය කරමින් කෝප් කමිටු සාමාජික පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේය.

‘‘එක්නැලිගොඩ ඝාතන චෝදනා එල්ල කරලා සිරගත කරලා සිටි ලූතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු බුද්ධි අංශ රණවිරුවන් දෙදෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප ලැබී තිබුණා. එක් අයකුට රුපියල් ලක්ෂල 15ක මුදල් ඇපයක් තැන්පත් කළ යුතුව තිබුණා. මීට කලින් ඇප ලැබුණු පිරිසට ඇප මුදල් තැන්පතුවට උපකාර කළා වගේම අපි මෙවරත් මේ අයගේ ඇප මුදල් සොයා දෙන්න මැදිහත් වුණා. ඒ සඳහා දේශප්‍රේමී ජනතාවගේ නොමසුරු සහයෝගය ලැබුණා. එක්නැලිගොඩ ඝාතන චෝදනා එල්ල කළ තවත් බුද්ධි අංශ රණවිරුවන් තිදෙනකු දින 450කට ආසන්න කාලයක් සිරගතව වැලිකඩ බන්ධනාගාරයේ සිටිනවා. ඒ පිරිසටත් ඇප ලබා ගැනීමට අවශ්‍ය පියවර රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැනටමත් ගනිමින් සිටිනවා’’ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ධුරය දරන ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර මහතා එහිදී පවසා සිටියේය.

October 30, 2016

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*