BREAKING NEWS

“එදා රට වෙනුවෙන් මහෞෂධ භූමිකාවට උර දුන් ජවිපෙ, අද බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ බෙදුම්වාදී වුවමනාව ඉටුකර දීමේ නාට්ටාමි භූමිකාවට කර ගසා තිබෙනවා.”

“එදා රට වෙනුවෙන් මහෞෂධ භූමිකාවට උර දුන් ජවිපෙ, අද බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ බෙදුම්වාදී වුවමනාව ඉටුකර දීමේ නාට්ටාමි භූමිකාවට කර ගසා තිබෙනවා.”

– ‘ජවිපෙ රට බෙදන 20 වැනි සංශෝධනය’ ගැන විමල් කියයි

එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දෙමින් මහෞෂධ භූමිකාවක් ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ, අද බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ බෙදුම්වාදී වුවමනාව ඉටුකර දීමේ නාට්ටාමි භූමිකාවට කර ගසා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (09) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ මේ මාධ්‍ය හමුව කැඳවූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අප පක්ෂයේ ස්ථාවරය රට හමුවේ තැබීමටයි. ඉන්දියාවේ උවමනාව පරිදි ගෙන ආ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක වූ පළාත් සභා ක්‍රමය, විශේෂයෙන් උතුරු පළාත් සභාවේ හැසිරීමෙන් එය මොනතරම් භයානක ආකාරයට භාවිතා කිරීමට පුළුවන් ද, කියා දවසින් දවස සනාථ වෙමින් තිබෙනවා.

‘ විග්නේෂ්වරන්ගේ ජාතිවාදය ‘

අද උතුරේ බෞද්ධ සිද්ධස්ථානවලට ගොස් ඒවා වැඳපුදාගෙන නිරුපද්‍රිතව ඒමට මහා සංඝරත්නයට පවා නොහැකි වී තිබෙනවා. ඉපැරණි බෞද්ධ උරුමයන්වල නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානවල අද උතුරු පළාත් සභාව කෝවිල් ඉදිකරනවා. උතුරු පළාතේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් ඇතුළු ජාතිවාදී, අන්තවාදීන් අද උතුරේ ගම්මානවල සිංහල ජනතාව පදිංචි කරන්න එපා, කියනකොට, මහවැලි ඉඩම් සිංහලයන්ට දෙන්න එපා, කියනකොට සංහිඳියාව ගැන බණ කියන මේ යහපාලන ආණ්ඩුව ඒවාට ඇහුම්කන් දෙනවා.

ඒ විතරක් නොවෙයි අද ආරක්ෂක හමුදාව 25%කින් කප්පාදු කරනවා, හමුදා කඳවුරු ගලවනවා, රණවිරුවන් හිරේ දමනවා. ඒ අතරේ දෙමළ බෙදුම්වාදයට නිදහසේ නැගිටින්න, දේශපාලන බලය ගොඩනඟා ගන්න ඕනෑවටත් වඩා ඉඩ හදලා දීලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් යටතේ තමයි ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්නේ.

‘අද ජවිපෙ බෙදුම්වාදීන්ගේ කෙළිබඩුවක්’

පසුගියදා ධර්මලිංගම් සිද්ධාර්ථන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා පැවසුවා, ‘අපි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ පොරොන්දුව පිට. මේ අය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නැත්නම් අපි මේ ආණ්ඩුව ආරක්ෂා කළ යුතු නැහැ.’ කියලා. ඒ කියන්නේ ‘අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම’ මේ යහපාලන හවුල බලයට ඒම සඳහා බටහිර අධිරාජ්‍යවාදීන්ට, ඉන්දියාවට හා දෙමළ ඩයස්පෝරාවට ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක්. ඒ අනුව තමයි මේ ආණ්ඩුව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා ඊට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් මණ්ඩලයකුත් පිහිටුවලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න විශාල මෙහෙයුමක් දියත් කළේ. ඒ වැඬේ කරගන්න මෙතෙක් බැරිවුණු නිසා තමයි වෙන පාරකින් හෝ ඒ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය සිදු කරගන්න ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි වෙන්නේ.

‘එදා මහෞෂධ – අද නාට්ටාමි’

අතීතයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඉටු කළේ බෙදුම්වාදයට එරෙහි මහා භූමිකාවක්. 1987 දී ජේ. ආර්. ජයවර්ධනට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට නොහැකි වන පරිදි ‘සක්ක ගල්’ ටිකක් හිර කරගන්න පුළුවන් වුණේ එදා ජවිපෙන් එල්ල වුණු විරෝධය ඉන්දියාවට පෙන්නලා. ‘සමගාමී ලැයිස්තුව’ ඉන්දියාව කැමති වුණු එකක් නොවෙයි. එදා ‘සමගාමී ලැයිස්තුව’ දා ගත්තු නිසා තමයි අද මේ ගණනටවත් බෙදුම්වාදී න්‍යාය පත්‍රය හැකිළිලා තිබෙන්නේ. නමුත් දැන් ජවිපෙ මොකද කරන්නේ ? මුදුන දුර්වල කරලා පරිධියට බලය දෙන්න, නැතිනම් මධ්‍යම රජය දුර්වල කරලා පළාත් සභාවලට පූර්ණ බලතල දීමේ බෙදුම්වාදී උවමනාව ඉටු කරදීමට. එදා බෙදුම්වාදයට එරෙහිව මහෞෂධ භූමිකාව ඉටු කරපු ජනතා විමුක්ති පෙරමුණේ, වර්තමාන නායකයො අද ඒ අතීතයට ගරහනවා. 1987 ඉන්දු – ලංකා ගිවිසුම ගෙන ආ අවස්ථාවේ දී රටේ ඒකීයභාවය වෙනුවෙන් ජවිපෙ සහෝදර, සහෝදරියන් 60000ක් දිවි පිදුවා. අද ඒ මියගිය පිරිසගේ සොහොන් කොත්වලට පහරන තත්ත්වයකට ජවිපෙ පත්ව තිබෙනවා. අද ඔවුන් ඉටු කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ, අධිරාජ්‍යවාදීන්ගේ හා ඉන්දියාවේ නාට්ටාමි භූමිකාව. අද මේ නාට්ටාමියාට දෙනවා, බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරේ තියාගෙන එන්න.

‘ජවිපෙ අතීතයට පමණක් හිමි අනන්‍යතාව’

එහෙම බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජවිපෙට බාර දෙන්නේ ඇයි ? කල්පනා කරලා බලන්න. මම උදාහරණයක් කියන්නම්. තමන්ගේ දුව දූෂණය කරන්න අරගෙන යන්නේ තාත්තා නම් කවුරුත් දුව දූෂණය වේවි කියා හිතන්නේ නැහැ. තාත්තා, දුව අතින් අල්ලා ගෙන යන්නේ හොඳ ගමනක් කියා හිතනවා. දැන් මෙතැන දී සිදුවන්නෙත් ඒ වගේ දෙයක්. ජවිපෙ අතීතයට පමණක් හිමි බෙදුම්වාදයට එරෙහි අනන්‍යතාව යොදාගෙන, බෙදුම්වාදී 20 වැනි සංශෝධනය ගෙන ඒමට ඔවුන්ට දෙනවා. ජවිපෙ බෙදුම්වාදයට එරෙහි පැරණි භූමිකාව නිසා, මේ බෙදුම්වාදී සංශෝධනය ආණ්ඩුව ගෙන ආපුවාම ඇති වන විරෝධය තරම් විරෝධයක් එය ජවිපෙ ගෙනාපුවාම ඇති වෙන්නේ නැහැ.
‘රටට හතුරු 20’

ජවිපෙ ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ කුමක්ද, කියා අපි බලමු. එමගින් අස්ථාවර පාර්ලිමේන්තුවක් හදලා, ඒ අස්ථාවර පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ බලය ලබා දීලා තිබෙනවා. කිසිවකුට 113ක සරල බහුතරය ගන්න බැරි වුණොත් ජනාධිපතිවරයා පත්කර ගන්නේ කොහොමද, කියා මෙම කෙටුම්පතේ නැහැ. දැන් මේ රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව තමන් සතු විධායක බලය, ජනාධිපතිවරණයකින් ජය ගන්නා තැනැත්තාට ලබා දෙනවා. ඒ විධායක බලයෙන් කොටසක් තමයි පළාත් ආණ්ඩුකාරවරයාට ලැබෙන්නේ. උතුරේ ආණ්ඩුකාරවරයාටත් එහෙමයි. දැන් මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කළාම, පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතලත් කප්පාදු වෙනවා. එවිට තමයි විග්නේෂ්වරන්ලාට අවශ්‍ය ස්වයං පාලනය ලැබෙන්නේ. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ කියන ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය ගණිකා වෘත්තියේ යොදවලා අද අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ, රනිල්ගේ නාට්ටාමි භූමිකාව ඉටු කරන ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදයට ඕනෑ කරන ව්‍යවස්ථා හරඹය කරලා දෙන්න.

මෙතෙක් කාලයක් බෙදුම්වාදීන්ගේ අපේක්ෂාවන් පූර්ණව වශයෙන් ඉටු නොවුණේ මේ රටේ දෑහිතකාමී ජන බලවේගවල කැපවීම නිසා. ජවිපෙ කළ කැපවීම් නිසා, එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ නොහැකි ‘ව්‍යවස්ථා අඩ’ කිහිපයක් වැටුණා. නමුත් දැන් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ කියන ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය තොරොම්බල් කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් ඇතුළත් කරලා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි ‘රෙපයාර් එකක්’ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන්නයි මේ අය හදන්නේ. ආයෙත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා උතුරට ස්වයං පාලනයක් ලබා දෙන්න ඕනේ නැහැ. ඒකට මේ පවතින ව්‍යවස්ථාව ඇතුළෙම ඉඩ හැදෙනවා. මේක තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ කුලීකාර, නාට්ටාමි භූමිකාව.

‘ජවිපෙ – හෙළ උරුමය – සාමයේ ඉත්තෝ’

එදා නෝර්වේ රාජ්‍යය තමන්ගේ ඊනියා සාම ක්‍රියාදාමය ශ්‍රී ලංකාව තුළ සාර්ථක නොවූයේ ඇයි, කියා සෙවීම සඳහා නෝරාඞ් නැමැති රාජ්‍ය නොවන සංවිධානය හරහා සමීක්ෂණයක් සිදු කරනවා. නොර්වේජියානු මහාචාර්යවරුන් කිහිපදෙනෙකු ඇතුළු විද්වතුන් පිරිසක් යොදාගෙන සිදු කළ ඒ සමීක්ෂණයේ වාර්තාව ‘සාමයේ ඉත්තෝ’ නමින් පිට වී තිබෙනවා. ‘ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය වැනි පක්ෂ අපට වුවමනා ආකාරයට හසුරුවා ගැනීමට නොහැකි වීම අපගේ සාම ක්‍රියාදාමය සාර්ථක නොවීමට ප්‍රබල හේතුවක් විය.’ කියලා එහි සඳහන්. නමුත් අද මේ දෙගොල්ලොම හීලෑ වෙලා ඉවරයි. ජාතික හෙළ උරුමය ආණ්ඩුව ඇතුළේ කුලීකාර භූමිකාවක් කරනවා. ජවිපෙ ආණ්ඩුවට හේත්තුවෙලා, මන්ත්‍රී ධුර 06ක් තියාගෙන නියෝජ්‍ය ඇමති වරප්‍රසාද සහිත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා ගෙන කුලීකාර, නාට්ටාමි භූමිකාවක් ඉටු කරමින් ඉන්නවා. අද අධිරාජ්‍යවාදීන්ගේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මේ දෙගොල්ලන්ගෙන්ම කිසිදු බලපෑමක් නැහැ.

‘සම්මත වුණොත් ඒකීය ව්‍යවස්ථාව, ෆෙඩරල් වේවි’

අපි ඉතා පැහැදිලිව කියනවා, මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්න හදන්නේ, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම්තාක් දුරකට හෝ රැකිලා තිබෙන මේ රටේ ඒකීයභාවය මුළුමනින්ම අහෝසි කිරීමට සහ කාරක සභා අවස්ථාවේ දී ගෙන එනු ලබන සංශෝධන මගින් අපේ රටේ වත්මන් ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පත්කිරීමට කියලා.

දෙමළ ජාතිවාදී, බෙදුම්වාදීන්ට අවශ්‍ය ස්වයං පාලනයකට පාර කපන මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජවිපෙ විසින් ගෙන ඒම ගැන එහි පැරණි ‘මහෞෂධ භූමිකාවට’ ගරු කළ සියලු ජනකොටස් කනගාටු වෙනවා. අපි මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය පැරදවීමට, එයට පාර්ලිමේන්තුව තුළ 2/3ක ඡන්දයක් නොලැබෙන වාතාවරණයක් හදන්නට කළ හැකි සියල්ල කිරීමට සූදානම්.”

මෙම මාධ්‍ය හමුව සඳහා ජානිපෙ කඩුවෙල මහ නගර සභා මන්ත්‍රීවරු වන පැතුම් දර්ශන පීරිස් සහ කේ. ඩී. අජිත් කුමාර යන මහත්තුරු ද එක් ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018.09.09

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.