BREAKING NEWS

ඒකාබද්ධ විපක්‍ෂය අනුරාධපුර යති!

පසුගිය අගහරුවාදා උදෑසනින්ම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම, ජානිපෙ නායක, විමල් වීරවංශ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායම නියෝජනය කරමින් කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අනුරාධපුරය බලා පිටත් වූහ. මූලික වශයෙන්ම ඔවුන් අනුරාධපුරය බලා ගියේ ලබන 18 වැනිදාට යෙදී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහුට දිගාසිරි පැතීමේ උත්සවයේ පූර්ව සංවිධාන කටයුතු පිණිසය.

අනුරාධපුර පූජා නගරයට පැමිණි මේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් පිරිස පිළිගනු ලැබුවේ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක, ෂෙහාන් සේමසිංහ සහ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, පළාත් ඇමති එච්.බී. සේමසිංහ යන මහත්වරුන් විසිනි.

ඉන්පසුව මේ පිරිස පළමුව ගියේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ බැහැ දැකීමටය. එහිදී පක්‍ෂ නායකයන් පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන උත්සවය පිළිබදව උන්වහන්සේ දැනුම්වත් කළහ.

‘‘සන්සුන්ව මේ කටයුත්ත සිදු කරන්න. අපේ අශිර්වාදය තිබෙනවා’’ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට සමු දෙමින් පැවසූහ.

ඉන් අනතුරුව ඉහත ජන්ම දින සමරුව ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ ඉදිරි කටයුතු සදහා ආශිර්වාදය ලබාගැනීමට එහි නායකයෝ රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලංකාරාමය ඇතුළු අනෙකුත් අටමස්ථානයට අයත් සිද්ධස්ථානවල නායක හිමිවරුන් බැහැදැකීමට ද අමතක නොකළහ.

එසේ ආශිර්වාදය ලබාගනිමින් අනතුරුව මේ පිරිස ජන්ම දින සැමරුම් ජාතික උත්සවය පැවැත්වීමට නියමිත ශ‍්‍රී මහා බෝධි මළු පරිශ‍්‍රයට පැමිණියහ. එතැනදී 18 දාට නියමිත සංවිධාන කටයුතු පිළිබදව දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ කෙටි සාකච්ඡාවක නිරත වූහ.

ඉන්පසු ඔවුහු අනුරාධපුර මහ නගර සභාවට අයත් සංචාරක බංගලාවට පැමිණියහ. ඒ වනවිට එහි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පුමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීවරු හා හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරු 200ක් පමණ රැස්ව සිටියහ.

එම පිරිස අමතා පළමුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දැක්විය.

‘‘18 වැනිදා ජය ශ‍්‍රී මහා බෝධිය අසල සිදු කෙරෙන ආශිර්වාද පූජාව මෙන්ම හින්දුු, කතෝලික ආශිර්වාද කටයුතුත් සූදානම් කළ යුතුව තිබෙනවා’’ ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වමින් එහිදී පැවසීය.

අනුරාධපුරයේ පැවැති විමල්ගේ විශේෂ මාධ්‍ය හමුවක්

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තිබෙන දරුණු අපරාධ චෝදනා සහිත කොටි සැකකරුවන්ට නිදහස ලබාදෙන අතර ත‍්‍රස්තවාදය වැනසූ බුද්ධි අංශ නිලධාරීන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගෙන ප‍්‍රශ්න කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම පිළබදව ජනතාව දැනුම්වත් කිරීමට මාධ්‍ය හමුවක් එදින වහාම පැවැත්වීමේ අවශ්‍යතාවක් මතුව තිබිණි. එහෙයින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා තම පක්‍ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතාට එම අවශ්‍යතාවය දැනුම් දුන්නේය. වීරකුමාර දිසානායක මහතා කඩිනමින් ප‍්‍රාදේශීය මාධ්‍යවේදී මහතුන් දැනුම්වත් කර එදින පෙ.ව. 11.00 වන විට මාධ්‍ය හමුවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය.

එම මාධ්‍ය හමුවෙන් අනතුරුව විමල් වීරවංශ සහ වීරකුමාර දිසානායක යන මහත්වරු වහාම අනුරාධපුර සංචාරක බංගලාව වෙත ගියේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මහජන නියෝජිත හමුවට සහභාගි වීමටය. මෙම අනුරාධපුර දිස්ත‍්‍රික් මහජන නියෝජිත හමුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ඇතුළු මන්ත‍්‍රීවරුන්ගෙන් 80%ක් පමණ සහභාගී වී තිබීම විශේෂයකි. මෙහිදී මෙම මහජන නියෝජිතයෝ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සම`ග කරුණු සාකච්ඡා කළහ.

කුරුණෑගල මහජන නියෝජිත හමුව

අනුරාධපුර මහජන නියෝජිත හමුව අවසන් වූ වහාම කඩිනමින් දිවා ආහාරය ලබාගත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ කුරුණෑගල පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතාගේ නිවස වෙත ළගා වන විට සවස 3:00 පසු වී තිබිණි. එම නිවසෙහි එජනිස මහජන නියෝජිත හමුවක් සංවිධානය කොට තිබුණු අතර ඊට කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාද පළාත් සභා මන්ත‍්‍රීවරු හා හිටපු පළාත් පාලන නියෝජිතයෝ 200කට අධික පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී දිනේෂ්, ඩලස්, විමල්, කුමාර වෙල්ගම ඇතුළු පිරිස නොවැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් අනුරාධපුර ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ සංවිධානය කොට ඇති ‘ජාතික ආශිර්වාද පූජාවෙහි’ සංවිධාන කටයුතු පිළිබදව සාකච්ඡා කළහ.

‘‘අපට ඕන ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තර`ග වදින්න. ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන්න සූදානම් නැහැ. තමුන්නාන්සෙලා අලූත් ගමනකට මුලපිරීම සතුටට කරුණක්’’ හිටපු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් කිහිප දෙනෙකුම එහිදී පැවසූහ.

ඒකාබද්ධ විපක්‍ෂයත් මාදුළුවාවේ නාහිමිට අවසන් බුහුමන් දක්වති!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එදින රාත‍්‍රී 7:30ට කෝට්ටේ ශ‍්‍රී නාග විහාරයට පැමිණ අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමට සූදානම්ව සිටියේ දිනේෂ්, විමල්, ඩලස්, කුමාර වෙල්ගම ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ද සමගිනි. එහෙත් කුරුණෑගල මහජන නියෝජිත හමුව නිම වන විට සවස 6:30ද පසුව තිබිණි. එනිසා තමන්ට රාත‍්‍රී 7:30 වන විට ශ‍්‍රී නාග විහාරයට පැමිණීමට නොහැකි බව හිටපු ජනාධිපතිතුමන්ට දැනුම් දුන් දිනේෂ් ඇතුළු පිරිස බදාදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂය ලෙස මාදුළුවාවේ සෝභිත නාහිමිට අවසන් ගෞරව දැක්වීමට යාමට තීරණය කළහ.

සුපුරුදු පරිදි බදාදා උදෑසන 10:30ට එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුව පැවැවිණි. තම යුරෝපා සංචාරය සදහා වීසා ලබා ගැනීමේ කටයුතු හේතුවෙන් ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට නොහැකි වූ අතර ඒ වෙනුවෙන් පක්‍ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා එම මාධ්‍ය හමුවට සහභාගී විය.

මාධ්‍ය හමුව අවසන්වන විට විමල් වීරවංශ මහතා ද එන්.එම්. පෙරේරා කේන්ද්‍රය වෙත පැමිණියේ මාධ්‍ය හමුවට සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, තිස්ස විතාරණ, රාජා කොල්ලූරේ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සමග එක්ව කෝට්ටේ ශ‍්‍රී නාග විහාරයට ගොස් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත අවසන් ගෞරව දැක්වීමටය.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පිරිස ශ‍්‍රී නාග විහාරයෙන් පිටත්වීමට සැරසෙද්දී විශාල පිරිසක් ඔවුන් වෙත පැමිණියහ.

‘‘අනේ මහත්තයෝ අද තියෙන්නේ අපට නාගදීපයත් නැති වෙන තත්වයක්. දැන් අපට කියන්න වෙන්නේ ‘මහියංගනං නාගදීපං….’ කියලා නොවෙයි, ‘මහියංගනං නයිනතිවං…’ කියලා. මේ තත්වයෙන් මේ රට බේරලා දෙන්න මහත්තයෝ’ කදුළු පිරි දෙනෙතින් එතැන සිටි උපාසක මාතාවක් ඉල්ලා සිටියාය.

‘‘ඔව්! අපි මේ සූදානම් වෙන්නේ මේ තත්වයෙන් කොහොම හරි රට බේරාගන්න තමයි’’ දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු වශයෙන් පැවසීය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*