BREAKING NEWS

ඔබේ දහඩිය කඳුළුවලින් හැදුණු අර්ථසාධක අරමුදල කොල්ලකන්න හදන එජාපයට එරෙහිව ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න- විමල් වැඩ කරන ජනතාවගෙන් ඉල්ලයි

EPF, ETF අරමුදල් මහ බැංකුවේ භාරකාරත්වයෙන් ඉවත්කොට ‘මහජන වස්තු භාරය’ නම් වූ මණ්ඩලයකට පවරන බව එක්සත් ජාතික පක්‍ෂය මෙවර තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි සඳහන් කර ඇති බවත් එමගින් සිදු වන්නේ රුපියල් ටි‍්‍රලියන තුනකට අධික වත්කමක් සහිත එම අරමුදල් එජාප ගජමිතුරු පෞද්ගලික මූල්‍ය කළමනාකරණ ආයතනවලට සිත් සේ කොල්ලකෑමට ඉඩකඩ සලසා දීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
එනිසා EPF, ETF අරමුදල් කොල්ලකෑමට සැරසෙන එජාපයට එරෙහිව මෙවර මහ මැතිවරණයේදී තම වටිනා ඡන්දය භාවිතා කරන ලෙස වැඩ කරන ජනතාවගෙන් විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.
ඒ මහතා මේ බව පැවසුවේ අද(14) කොළඹ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරංවශ මහතා මෙසේද පැවසීය.
‘‘එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙනවා, ‘සේවක අර්ථසාධක අරමුදල(EPF) සහ සේවක භාරකාර අරමුදල(ETF) යන දෙකම මහ බැංකුවේ රැකවරණයෙන් ඉවත් කොට පෞද්ගලික අංශයට ලබා දෙනවා’ කියලා. ඔවුන් එහි සඳහන් කොට ඇත්තේ ‘EPF සහ ETF අරමුදල් කළමනාකරණය කිරීම සඳහා මහජන වස්තු භාරයක් පිහිටුවනු ඇත’ කියලයි.
‘EPF සහ ETF අරමුදල්වලින් කොටස් වෙළඳපොළෙහි සහ දේශීය සහ විදේශීය සුරැකුම්පත්වල කර ඇති ආයෝජන නිසි ලෙස කළමනාකරණය කිරීමට මෙම භාරය කටයුතු කරනු ඇත. මෙම භාරය නීතිගත කරනු ලබන අතර එයට භාරකරුවන් ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් පත්කරනු ඇත. සීමාසහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගම සහ මහජන වස්තු භාරය යන ආයතන ද්විත්වයම පාර්ලිමේන්තුව විසින් අධීක්‍ෂණය කෙරෙනු ඇත.’ කියලත් එහි සඳහන් වෙනවා.
මේ විදියට පාර්ලිමේන්තුවෙන් අධීක්‍ෂණය කිරීම මහ දෙයක් නොවෙයි. මෙතෙක් මේ රටේ බිහිවුණු කිසිම ආණ්ඩුවක් EPF, ETF අරමුදල්වලට අත තැබුවේ නැහැ, මහ බැංකු රැකවරණයෙන් ඉවත් කරන්න හැදුවේ නැහැ. EPF අරමුදල 1958 දී ටී. බී. ඉලංගරත්න මැතිතුමා විසින් ආරම්භ කරනු ලැබුවේ මහ බැංකු ආරක්‍ෂාව යටතේයි. මෙම අරමුදල මහ බැංකු ආරක්‍ෂාවෙන් ඉවත් කරපු ගමන්ම එය පෞද්ගලික අංශයට කොල්ල කන්න ඉඩ ලැබෙනවා. සේවක අර්ථසාධක අරමුදල(EPF) දකුණු ආසියාවේ විශාලම අරමුදලයි. වටිනාකම රුපියල් ටි‍්‍රලියන 03ක්. එහි සක‍්‍රිය ගිණුම් ලක්‍ෂ 24කට වඩා තිබෙනවා.
දැන් එක්සත් ජාතික පක්‍ෂය මොකක්ද කරන්න හදන්නේ? මේ මහා මුදල් කන්දරාව මහ බැංකුවෙන් පිටතට අරන් ඇමතිවරයා විසින් පත් කරන මණ්ඩලයක් යටතට පත් කිරීම එහි පළමු පියවරයි. මුදල් ඇමතිවරයා විසින් පත් කරන අධ්‍යක්‍ෂ මණ්ඩලයකින් සමන්විත මේ මණ්ඩලය(මහජන වස්තු භාරය) කිසිසේත්ම ස්වාධීන එකක් වන්නේ නැහැ. ඇමතිවරයාට ඕනෑ විදියට වැඩ කරන එකක්. නිකම් බොරුවට පාර්ලිමේන්තුවට වග කියනවා කියලා ලියලා තිබෙනවා. දැනටත් පාර්ලිමේන්තුවට වගකියන පාඩු ලබන රාජ්‍ය ආයතන කොතරම් තිබෙනවාද?
‘ටි‍්‍රලියන තුනක මංකොල්ලයක්’
ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රුපියල් ටි‍්‍රලියන 03කට අධික මුදල පරිපාලනය සඳහා පෞද්ගලික අංශයේ මූල්‍ය කළමනාකරණ ආයතනවලට(Fund Management Company) ලබා දීම. මේ බව පසුගියදා එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා The Island පුවත්පතට පවසා තිබෙනවා, ‘මෙම මුදල(ටි‍්‍රලියන 03), පරිපාලනය කිරීම මහ බැංකුවෙන් ඉවත් කොට ‘මහජන වස්තු භාරයක්’ හදනවා. එය කළමනාකරණයට ඇමතිවරයා විසින් පත් කරනු ලබන මණ්ඩලයකට දෙනවා. එමගින් මේ මුදල පෞද්ගලික අංශයේ මූල්‍ය කළමනාකරණ ආයතනවලට ලබා ගන්න හැකියාව ලබා දෙනවා’ කියලා.
මේ කරන්න හදන්නේ කුමක්ද? පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සහ රාජ්‍ය අංශයේ සංස්ථා, මණ්ඩල, සංස්ථාපිත ආයතනවල සේවය කරන මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව උපයපු මුදලින් ඉතිරි කළ කොටස,(ටි‍්‍රලියන 03) පෞද්ගලික මූල්‍ය කළමනාකරණ ආයතනවලට කොල්ලකෑමට ඉඩ හදලා දීම. අපි මේ කියන්නේ සාක්‍ෂි ඇතිව. නැහැ කියනවා නම්, අපි ඕනෑම කෙනෙකුට විවෘත සංවාදයකට එන්න කියලා අභියෝග කරනවා.
අර්ථසාධක අරමුදලේ සාමාජික, සාමාජිකාවනි, අවධානයෙන් සිටින්න. ඔබලාගේ වැටුප් වැඩි කිරීම කෙසේ වෙතත් ඔබලාගේ EPF, ETF අරමුදල්වලටත් වැඬේ දෙන්නයි, එජාපය සූදානම් වෙලා සිටින්නේ. අපි මෙම අරමුදල්වල හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා, ‘ඔබේ දහඩිය කඳුළුවලින් හැදුණු මේ අරමුදල් කොල්ල කන්න හදන එජාපයට එරෙහිව ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න’ කියලා.
මෙම මාධ්‍ය හමුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයට පෙර පවත්වනු ලබන අවසාන මාධ්‍ය හමුවයි. ඒ නිසා අපි අවසන් වරටත් මේ රටේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලනවා, ‘මේ රට බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් ගලවාගන්න අවසන් සමයේදී මේ රටේ දරුවෝ 27,000ක් ජීවිත පූජා කළා. ඒ දරුවො ජීවිත පුදලා දිනා දුන්නු සාමය ලැබුණු දවසේදී අපි පක්‍ෂ, ජාති භේද අතහැරලා ජාතික කොඩිය අතට ගත්තා. රතිඤ්ඤා පත්තු කළා. ජය ඝෝෂා නැඟුවා. අපි ජාතියක් විදියට එහෙම කළේ ඔවුන් අපේ ජීවිතවලින් මරණ බිය තුරන් කරපු හින්දා. එතැන් සිට මේ රට ආර්ථිකමය වශයෙන් පිබිදුණා. රටක් විදියට අපි නැඟිට්ටා.
ගෙවුණු මාස 08 තුළ අපි රටක් ලෙස ආර්ථිකමය වශයෙන් ඇද වැටුණා. පරදවපු ජාතියේ සතුරන් යළි හිස එසෙව්වා. සාමාන්‍යයෙන් දෙවියො දෙන්නේ එක අවස්ථාවයි. මේ සැරේ අපේ ජාතියට දෙවියො අවස්ථා දෙකක් දීලා තියෙනවා. ජනවාරි 08 වැනිදා අපට දුන්නු අවස්ථාව සමහරු වරද්දා ගත්තා. අගෝස්තු 17 වැනිදා තවත් අවස්ථාවක් අපට තිබෙනවා. ඒ සිදුවුණු වැරැද්ද නිවැරදි කරන්න. ඒ නිසා ඔබ ජනවාරි 08 වැනිදා වරද්දා ගත්තු කෙනෙක් නම් අගෝස්තු 17 වැනිදා ඒ වැරැද්ද නිවැරදි කරන්න.
පටු මෝස්තර වාක්‍යවලට රැවටිලා, වැඩකට නැති කල්ලි කණ්ඩායම්වලට ඡන්දය පාවිච්චි කරන්නේ නැතිව, රටට පණ දුන්නු නායකයා, රට බේරාගත් නායකයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. උදේ පාන්දරින්, ගම් පිටින් රොද බැඳගෙන ජාතික කොඩිය අතට අරගෙන ඡන්දපොළට යන්න.
ඒ වගේම ඉදිරි දින දෙක තීරණාත්මකයි. ඉදිරි දින දෙක කියන්නේ වික‍්‍රමසිංහ මහත්තයාගේ ‘නොහොබිනා තුරුම්පු’ එළියට දාන දින දෙකක්. තාජුඞීන් සිදුවීම පිළිබඳව ‘ටෙලිනාට්‍යයක්’ හදලා එළිදැක්වීම එවැනි අශෝබන තුරුම්පු අතර තිබේවි. ඒවාට නොරැවටී බුලත් කොළයේ ජයග‍්‍රහණය, විජයග‍්‍රහණයක් කිරීමට කැපවෙන්න.
අවසාන වශයෙන් ස්තූතිවන්ත වෙනවා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ඡන්දයට පෙර ‘දිනන්නේ යූ ඇන් පී නොවෙයි, දිනන්නේ සන්ධානය’ කියලා හැකි උපරිම ආරක්‍ෂිත ආකාරයෙන් ලිපියක් ලියා එවීම ගැන. ඒ ලිපියේ අන්තර්ගතය දැක්කාම වික‍්‍රමසිංහ මහත්තයාගේ මුහුණ ‘නාලූ’ වෙලා ඇති.’’
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

11904668_493515887476624_2770434434221420490_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*