BREAKING NEWS

‘ඔබ මහදවල් රවටනු ලැබූ මේ ආණ්ඩුවට එරෙහි ජන සටන පාද යාත්‍රාවට එකතු වෙන්න! ‘

‘ඔබ මහදවල් රවටනු ලැබූ මේ ආණ්ඩුවට එරෙහි ජන සටන පාද යාත්‍රාවට එකතු වෙන්න! ‘

– විමල්ගෙන් තරුණ පරපුරට ඇරයුමක්

13698068_974455456005608_5828320549299693148_oනොමිලේ වයිෆයි ලබා දීම, රැකියා දශලක්ෂයක් ලබා දීම හා යතුරු පැදියක මිලට වාහනයක් ලබා දීම ඇතුළු බොරු පොරොන්දු කප්පරක් ලබා දී අවමන් සහගත ලෙස තමන් රැවටූ වත්මන් ආණ්ඩුවට එරෙහි ජන සටන පාද යාත්‍රාවට එකතු වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට තරුණ පරපුරෙන් ඉල්ලා සිටියි.

රටක තරුණ පරපුරක් රවටනු ලැබීම ඉතා අවමන් සහගත ක්‍රියාවක් බවත් එවැනි තත්වයකදී ලැබිය යුතු ප්‍රතික්‍රියාව ඉතා බලවත් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඊයේ (18) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන සටන පාද යාත්‍රා ජාතික මෙහෙයුම් කමිටුව’ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“ඉතාමත් ප්‍රබල විරෝධතාවයකට අප සූදානම් වන මේ මොහොතේ ‘ එවැන්නක් අවශ්‍ය වූයේ කුමක් නිසාද? ’ යන්න පළමුව පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ වන විට මේ ආණ්ඩුව බලයට පත් වී අවුරුද්දක් සහ මාස 07ක් ගත වී තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක පළමු වසර 02 කියන්නේ ‘මධුසමය’ වැනි ඉතාමත් සුන්දර, ප්‍රශ්න, කරදර අඩු කාලයක්. නමුත් මේ ආණ්ඩුවේ පළමු වසර 02 තුළ මේ රට බරපතළ ව්‍යසන ගණනාවකට ඇද වට්ටමින් තිබෙනවා.

‘දෙමළ අන්තවාදයට පණ දීම’

දවසට විසි තිස් වතාවක් ‘සහජීවනය’ කියන වචනය තොරොම්බල් කරන මේ ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා තෙක් මේ රටේ පැවැති සහජීවනයවත් ආරක්ෂා කරගන්න අසමත් වූ බව දැන් ඔප්පු වෙලා අවසන්. යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට අත් වූ ඉරණම දෙස බැලුවාම මේ බව ඉතාමත් පැහැදිලිව දකින්නට පුළුවන්. ඒ අය බරපතළ පහර කෑමකට ලක් වූවා. ඔවුන් රෝහල්ගත කිරීමට සිදු වූවා. ඔවුන්ට යාපනය විශ්ව විද්‍යාලය අතහැරලා ගම්බිම් බලා යෑමට සිදු වූවා. ඒ විතරක් නොවෙයි, මේ සිංහල සිසුන් තම නේවාසිකාගාර සහ නවාතැන් අතහැර ගියාට පසුව අන්තවාදීන් විසින් ඔවුන්ගේ පොත්පත් පවා ගිනිබත් කරලා තිබෙනවා. මේවා අද දකුණේ මාධ්‍ය මගින් වාර්තා කිරීම වාරණය කොට තිබෙනවා. නමුත් සැලසුම් සහගතව මේ සිදුවීම ඇති කළ උදවිය, දෙමළ මාධ්‍ය පාවිච්චි කරලා ‘සිංහල ශිෂ්‍යයන් රහස් පොලිසියත් සමඟ එකතු වෙලා දෙමළ ශිෂ්‍යයන්ට පහර දුන්නා’ කියන බොරු ප්‍රචාරය ලෝකය පුරා පතුරවා හරිමින් සිටිනවා. යුද්ධය පැවැති කාලයේ හෝ යුද්ධය අවසන් වී 2015 ජනවාරි 08 වැනිදා තෙක් ගෙවුණු කාලයේ හෝ යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙවැනි තත්වයක් ඇති වූයේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වූවාට පසුව සිදු කළේ දෙමළ ජන සමාජයට පණ දෙනවා වෙනුවට දෙමළ අන්තවාදයට පණ දීම. අපේ ආණ්ඩුව එදා යාපනයට දුම්රිය මාර්ගය ගෙන ගියේ, යාපනයේ මහා මාර්ග, පාසල් නවීකරණ්‍ය කළේ දෙමළ ජනසමාජයට පණ දෙන්න. මේ ආණ්ඩුව යාපනය විශ්ව විද්‍යාලය තුළ දෙමළ ඊළාම් සිතියම පසුබිමේ තියාගෙන ඊනියා මහවිරු දින සමරු පවත්වන්න ඉඩ දුන්නා. මේ විදිහට අන්තවාදයට අවශ්‍ය දේ කරන්න ඉඩ හදලා දුන්නා. එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් සාමකාමීව තිබූ යාපනය විශ්ව විද්‍යාලය තුළ ඒ වාතාවරණය නැති වීම. මේක ඉතා භයානක තත්වයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ‘කවර අන්තවාදයකටවත් මේ රටේ ඉරණම තීන්දු කිරීමට ඉඩ නොදිය යුතුයි’ කියලා.

ඒ වගේම අද වාර්තා වෙනවා, ‘නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සමන්තුරේ ප්‍රදේශයේදී පහර දීමක් සිදු වුණා. ඒ පිරිස රෝහල්ගත කළා’ කියලා. ‘මේ විදිහට රටේ නීතිය අතට අරගෙන අපේ ජන සමාජය යළි අස්ථාවර කරන්න, නොතිබෙන ජාතිවාදයක් අවුලුවන්න අන්තවාදී සුළු පිරිසකට ඉඩකඩ හදලා දීම වහා නවත්වන්න’ කියලා අපි උදේ හවස සහජීවනය පිළිබඳ බණ දෙසා වදාරන මේ ආණ්ඩුවේ මහත්වරුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම, ‘යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට නැවත විශ්ව විද්‍යාලයට ගිහිල්ලා සාමකාමී තත්වයක් යටතේ තම අධ්‍යයන කටයුතු සිදු කරන්න ඉඩකඩ හදලා දෙන්න’ කියන ඉල්ලීමත් අපි මේ ආණ්ඩුවෙන් කරනවා.

‘ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව…’

‘පැවති සහජීවනයත් නැති කිරීම’ මේ ආණ්ඩුව සිදු කළ එක් බරපතළ වරදක්. අනෙක් පැත්තෙන් මේ අය සමාජයේ මෙතක් නොපැවැති බෙදීම් ඇති කරන ව්‍යවස්ථාවක් හදමින් සිටිනවා. ඒක මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් වැනි අය සතුටු කරන, රණවිරුවන් ජීවිත පුදලා ආරක්ෂා කරගත් අපේ රටේ ඒකීයභාවය අහෝසි වන තැනට ඇදගෙන යන ව්‍යවස්ථාවක් බව පැහැදිලිව පෙනෙනවා. ඒ ව්‍යවස්ථා මරඋගුල පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා.

‘පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව…’

ඒ වගේම පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය කල් දැමීමට මේ ආණ්ඩුව කටයුතුකර තිබෙනවා. එමගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ගහන්න තිබෙන ලොකුම පහර එල්ලකර තිබෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ අත්‍යවශ්‍ය සාධකය තමයි නිසි කලට මැතිවරණ පැවැත්වීම. අද ‘ මේ මැතිවරණය කවදා තිබේවිද ?’ කියන පැනය මතුව තිබෙනවා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මොකුත් නොදන්න, ‘තොත්ත බබෙකු’ වගේ කට පියාගෙන නිහඬව සිටිනවා. පළාත් පාලන ආයතන ක්‍රියාත්මකව පැවතියා නමි, ඩෙංගු රෝගයෙන් මෙපමණ පිරිසක් අද මිය යන්නේ නැහැ. ඩෙංගු රෝගය මෙතරම් ව්‍යාප්ත වූයේ පළාත් පාලන ආයතන විදුරුවා හැර ඒවා නිලධාරී පාලනයකට නතු කළ නිසයි. ඒක පළාත් පාලන ඡන්දය අකර්මණ්‍ය කිරීම නිසා සිදු වූ එක් ව්‍යසනයක් පමණයි.

‘බදු බර ඉහළ දැමීමට එරෙහිව…’

මේ ආණ්ඩුව ජනතාව මත අධික බදු බරක් පැටවූවා. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අප එම බදු බර පැටවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියා. එහිදී මනෝහර ද සිල්වා, කණිෂ්ක විතාරණ හා කපිල ගමගේ යන නීතිඥ මැතිතුමන්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මැනවින් පෙන්වා දුන්නා ‘ මෙම බදු බර ජනතාව මත පටවා ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් ’ කියලා. ඒ අනුව එසේ නීතිවිරෝධීව සිදු කළ බදු පැනවීම් නවතන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් මගින් ආණ්ඩුවට දැනුම් දුන්නා. මැයි 02 වැනිදා සිට අතුරු තහනම් නියෝගයක් ලබා දුන් ජූලි 11 වැනිදා දක්වා මේ හොර ආණ්ඩුව මහජනයාගේ සාක්කුවට විද්දා. වැට් බදු ප්‍රතිශත, අය කරන පරාසයන් හා ක්‍ෂේත්‍රයන් වැඩි කරලා එකතු කළ රුපියල් බිලියන ගණනක මුදල දැන් කොහේද තිබෙන්නේ? ඒ මුදලට දැන් කුමක්ද වන්නේ ?

දැන් අපට ආරංචියි, මතුව ඇති ජනතා විරෝධය නිසා වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ආවාම බලාපොරොත්තු වූ වෙනස සිදු නොකර යම් වෙනසක් පමණක් සිදු කර සම්මත කර ගන්න මේ අය උත්සාහ ගන්නවා කියලා. බලාපොරොත්තු වූ බදු ආදායම එතැනින් නොලැබෙන නිසා ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තමයි මේ අය බලාපොරොත්තු වන්නේ. සම්මත වූ පනතින් වැට් බදු අය කරන ආකාරය සහ මැයි 02 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා වැට් බදු අය කළ ආකාරය අතර යම් කුඩා හෝ වෙනසක් තිබුණොත් වැඩිපුර අයකර ගත් මුදල් ජනතාවට ලබා දෙන්නේ කෙසේද ? අපි හිතමු සම්මත වූ පනතින් විදුලි සංදේශන ක්‍ෂේත්‍රයේ වැට් බද්ද අයින් කළා කියලා. දැනට අපෙන් අනීතික අය කළ ඒ මුදල් තිබෙන්නේ ඩයලොග්, මොබිටෙල්, හච් වැනි දුරකථන සමාගම් අතේ. දැන් අපෙන් අය කළ ඒ මුදල් කවුද අපට දෙන්නේ? සිරිසේන මහත්තයාද ? වික්‍රමසිංහ මහත්තයාද ? එහෙම නැත්තම් මුදල් ඇමති වැට්මෑන්ද ? මේක ජනතාවගේ මුදල් පොකට් ගහපු ආණ්ඩුවක්. තවදුරටත් ජනතාවට බදුබර පටවන්න හදන ආණ්ඩුවක්. ඒකට විරුද්ධව ඇති වුණු මහජන පෙළගැස්ම තවදුරටත් තීව්‍ර කරන්න අපි මේ පාද යාත්‍රාව යොදා ගන්නවා.

‘එට්කා ගිවිසුමට එරෙහිව…’

අපේ රටේ සේවා ආර්ථිකය සහ රැකියා වෙළඳපොළ සම්පූර්ණයෙන් ඉන්දියාවට විවෘත කරන එට්කා ගිවිසුම, මේ ආණ්ඩුව අගෝස්තු අග වන විට අත්සන් කිරීමට සූදානම් වෙනවා. මේ ගිවිසුම අත්සන් කළොත් මේ රටේ දරුවන්ට තිබෙන රැකියා අවස්ථා අහිමි වෙනවා. කැමරා ශිල්පීන් වුණත් ඉන්දියාවෙන් ඒවි. එවිට රූපවාහිනී නාලිකා තීරණය කරාවි ‘ කෑම වේල් තුන දීලා ඉන්දියානුවෙක් ගත්තාම හොඳයිනේ’ කියලා. ඉන්දීය මාධ්‍යවේදීන් පවා රැකියා සොයාගෙන ඒවි. විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය සඳහා එවැනි පිරිස් ඒවි. ඔවුන් සිංහල මාධ්‍යවලට වුණත් මුලදී ‘ දිල් තෝ පාගල් හේ’ කියමින් ඉඳලා පසුව සිංහල ඉගෙනගෙන එන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේක කාටත් බලපාන ගිවිසුමක්. ජොබ් එකට ඒ අයට ඕනේ වෙන්නේ රොටී තුනයි. ඉන්දියාවේ විරැකියාව මිලියන 22යි. ලංකාවේ ජනගහනයත් මිලියන 20ක්. එතැනින් මිලියන 02ක් ආවත් අපි ඉවරයි. ඒ නිසා අපේ රැකියා වෙළඳපොළ සම්පූර්ණයෙන්ම ගිල ගන්නා එට්කා ගිවිසුමට එරෙහිව ජනතා පෙළගැස්මක් අපි හදන්න ඕනේ. දැනටමත් එට්කා ගිවිසුමට එරෙහිව වෘත්තිකයන් ආරම්භ කළ සටනක් තිබෙනවා. ඒ සටනට අවශ්‍ය දේශපාලන ජනබලය අපි පෙළගස්වන්න ඕනේ.

‘ගොවි සහන කප්පාදුවට එරෙහිව…’

මේ ආණ්ඩුව ගොවි සහන කප්පාදු කළා. මේ කන්නයේ වගා කරන බිම් ප්‍රමාණය ඒ නිසා කොතරම් අඩු වෙලාද, කියලා සොයලා බලන්න. එදා අක්කර 22ක් වගා කළ ඇතැම් ගොවියන් අද වගා කර ඇත්තේ අක්කර 02යි. පොහොර මිලත් එක්කයි මේ දේ වුණේ. මේ ගොවි සහන කප්පාදුවට එරෙහි ජනතා පෙළගැස්ම හදන්න ඕනේ . ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව තවත් ජනතා සහන රැසක් කප්පාදු කළා. රාජ්‍ය සේවයට අලුතින් එන දරුවාගේ විශ්‍රාම වැටුප කප්පාදු කළා. පාසල් දරුවාට ලැබුණු නිල ඇඳුම කප්පාදු කළා. සමෘද්ධිය කපන්න දැන් සූදානම් වෙමින් යනවා. මේ සියලු කප්පාදුවලට එරෙහි ජනතා පෙළගැස්මක් අපි නිර්මාණය කරනවා.

‘යුද අපරාධ අධිකරණයට එරෙහිව…’

අලුත් නීති හදලා, නඩු අහලා මේ රටට සාමය රැගෙන ආ රණවිරුවන් දඩයම් කරන්න, ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාවට අනුව පිහිටුවනු ලබන යුද අපාරාධ අධිකරණයට එරෙහිවත් අපි ජනතාව පෙළගස්වන්න මෙම පාද යාත්‍රාව යොදා ගන්නවා. මංගල පින්සිරි සමරවීර මහත්තයා දැන් අර ‘ සුදු නෙළුම’ කාලයේ හැදුවා වගේ සිංදුවක් හදනවාලු ‘යුද අපරාධ අධිකරණය හොඳයි. වරදක් කරලා තිබෙනවා නම් දඬුවම් දීම මනුෂ්‍යත්වයට කරන ගරු කිරීමක්’ කියලා. මේක ලියන්න පද රචකයකුට දීලා තිබෙනවා. ඔහු ඒකට රුපියල් ලක්ෂ 20ක් ඉල්ලලා තිබෙනවා. මුදල් ලැබුණාම ඒ වැඬේ කෙරේවි. දැන් සිංදුවෙන් ඔළු හෝදන්න හදන්නේ මංගල පින්සිරි සමරවීර මහත්තයා. කොහොම ඔළු හෝදන්න හැදුවත් , මේ මහා අපරාධයට එරෙහි ජනතා නැගිටීමක ආරම්භය බවට, මේ පාද යාත්‍රාව පත් වෙනවා.

‘දේශපාලන දඩයමට එරෙහිව…’

දැන් නාමල් රාජපක්ෂ එළියට එනකොට බැසිල් රාජපක්ෂ ඇතුළට ගන්නවා. මේ ආණ්ඩුවට දැන් නින්ද යන්න නම් කොහේ හරි හිරකූඩුවක රාජපක්ෂ කෙනෙක් ඉන්න ඕනෙ. මේ රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් වෙන රාජපක්ෂ පවුලක කෙනෙක්හරි හිරකූඩුවේ හිටියොත් තමයි සිරිසේන – වික්‍රමසිංහ ජෝඩුවට දෙයියනේ කියලා නින්ද යන්නේ. මෙහෙම ගිහිල්ලා විජේදාස රාජපක්ෂ හරි හිරේ දාන්න වෙනවා, වෙනත් රාජපක්ෂ කෙනෙක් හිරේ නොගියොත්. ඒ තරම් මේ දෙන්නා බයයි. කැතයි! නින්දිතයි! ලැජ්ජයි! බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා එක රාජ්‍ය ආයතනයකින් යකඩ බට අරන් තවත් රාජ්‍ය ආයතනයකට දෙනවා. එතකොට මූල්‍ය විශුද්ධිකරණයලු. එතකොට මහ බැංකුවේ බැඳුම්කරවලින් හොරා කෑම කුමක්ද? ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? දැන් බලන්න, ‘මේ නාඩගම කොහොමද වෙන්නේ ?’ කියලා. මේකෙ අධ්‍යක්ෂණය සිරිසේන – වික්‍රමසිංහ යුවල. ඔවුන් කියනවා, ‘හෙට බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නවා. රතු අලි පැටියෝ අද ඔයා බැසිල්ට ඇට්ටි හැලෙන්න දෙන්න’ කියලා. ඊට පස්සේ රතු අලි පැටියා එනවා, මූණ උල්කර ගන්නවා, දෙනවා ඇට්ටි හැලෙන්න බැසිල් රාජපක්ෂට. අනිද්දා ගන්නේ විමල් වීරවංශ නම් හෙට රතු අලි පැටියා විමල්ට ඇට්ටි හැලෙන්න දෙනවා. මේ විදිහට කවදාවත් ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සු යූඇන්පීයේ අසූචි බාල්දි ඇද්දාද? වික්‍රමසිංහලාගේ වධකාගාරවල වද දෙද්දී ජනතා විමුක්ති පෙරමුණ පාවා නුදුන්නු මිනිසුන්ගේ ආත්මවලට කවදාහරි මේ තක්කඩි නායකයන්ට උත්තර දෙන්න වෙනවා. ඒ නිසා මේ දඩයමට එරෙහි ජනතා පෙළගැස්මත් අපි මේ මගින් නිර්මාණය කරනවා.

මෙරට ජීවත්වන සහ විදේශගතව සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට අපි ආරාධනා කරනවා, ‘ජූලි මාසයේ 28 උදේ 8.30ට මහනුවර දළදා මාලිගාව අසලට එක් රොක්වන්න. ඊළඟ දවසේ අපි ආරම්භ කරන්නේ මාවනැල්ලෙන්. එදාට(29) උදේ 8.30ට මැවනැල්ල නගරයට එන්න. ජූලි 30 වැනිදා අපි පටන් ගන්නේ නෙළුම්දෙනියෙන්. එදාට උදේ 8.30ට නෙළුම්දෙනියට එන්න. ජූලි 31 අපි පටන් ගන්නේ නිට්ටඹුවෙන්. එදා උදේ 8.30ට නිට්ටඹුවට එන්න. අගෝස්තු 01 වැනිදා පාද යාත්‍රාව කොළඹට එන දවස. එදා උදේ අපි පටන්ගන්නේ කිරිබත්ගොඩින්. අගෝස්තු 01 වැනිදා සවස 3.00 වන විට ලක්ෂ ගණනින් කොළඹට පැමිණිලා අපි මේ ආණ්ඩුවට අපේ බලය පෙන්නමු.

‘තරුණ පරම්පරාවට විමල්ගෙන් ඇරයුම්…’

මේ ආණ්ඩුව බලයට ආවේ තරුණ පරම්පරාවට බොරු පොරොන්දු කප්පරක් දීලා. නොමිලේ වයිෆයි දෙනවා කීවා. රැකියා දසලක්ෂයක් දෙනවා කීවා. යතුරු පැදියක මිලට වාහනයක් දෙනවා කීවා. කරුණයන් හිතුවා ‘වයිෆයි හරි. රැකියාවකුත් හරි. වාහනෙත් හරි, එහෙනම් වයිෆ් කෙනෙක් නිකම්ම ලැබෙනවා’ කියලා. දැන් ඒ පිරිසට තේරිලා ඇති මේ ආණ්ඩුව තමන්ව මහදවල් රැවැට්ටුවා කියලා. රටක තරුණ පිරිස රවටනු ලැබීම අවමන් සහගත ක්‍රියාවක්. ඒ වගේම තරුණ පිරිසක් රවටනු ලැබුවාම ඊට ලැබෙන ප්‍රතික්‍රියාව බලවත්. අපි මේ රටේ තරුණ පරම්පරාවට ආරාධනා කරනවා ‘ ඔබව මහදවල් රවටපු මේ තක්කඩි පාලනයට එරෙහිව ජූලි 28 සිට අගෝස්තු 01 වැනිදා දක්වා පැවැත්වෙන ජන සටන මහා පාද යාත්‍රාවට එකතු වෙන්න’ කියලා. ‘මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි සියලු දෙනා සටනේ ඉදිරියෙන්ම සිටිනවා. ඔබගේ දායකත්වය ලක්ෂ ගණනින් ලබා දෙන්න’ කියලා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

‘තනතුරු තුනම ළමයකුට දෙන්න…’

බලන්න, මේ රටට වෙලා තිබෙන සන්තෑසිය. මේ වෙලාවේ රටේ ජනාධිපති, අගමැති හා කථානායක කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. මේ වෙලාවේ අර ෆීල්ඞ් මාර්ෂල්ට මොකක් හරි දඩබ්බර වැඩක් කරන්න හිතුනොත් දෙයියන්ගෙම පිහිටයි. එයාට හිතුණු දේවල්වල හැටියට එහෙම දෙයක් හිතෙන්න බැරිකමකුත් නැහැනේ. අපේ පාලන කාලයේ ජනාධිපති නැත්තම් රටේ අගමැති හිටියා. කථානායක කොහොමත් හිටියා. මේ අය රටක් පාලනය කිරීම පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නැහැ. අගමැති රට යනවා කියලා ජනාධිපති දන්නේ නැහැ. ජනාධිපති රට යනවා කියලා අගමැති දන්නේ නැහැ. මේ දෙන්නාම රට යනවා කියලා කථානායක දන්නේ නැහැ. අන්තිමේදී මේ තුන්දෙනාම රට ගිහිල්ලා. අපි කියනවා පාරේ යන කොලුවෙකුට හරි ‘ ඇවිත් මේ තනතුරු තුන භාර ගන්න. නැත්නම් රට අරාජික වෙනවා’ කියලා, නැත්නම් මේ තනතුරු තුනම ළමයකුට දුන්නත් කමක් නැහැ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.07.19

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*