BREAKING NEWS

කළුතර දිස්ත‍්‍රික්කයේ ‘තෙවරක් පෙරන ලද’ අපේක්‍ෂකයා තරුණයන්ට පිස්තෝල බෙදා දීලා – ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක හෙළි කරයි

කළුතර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයන් අතර සිටින ‘තෙවරක් පෙරන ලද’ අපේක්‍ෂකයා තරුණයන්ට පිස්තෝල බෙදා දීමේ සිදුවීමක් පිළිබඳව තම පක්‍ෂය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොහොමඩ් මුසම්මිල් මහතා අනාවරණයකර සිටියේය.

අද(06) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මොහොමඩ් මුසම්මිල් මහතා එසේ අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.

    ”මෙවර මහ මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් ලෙස පැවැත්වීම සඳහා අපේ පාර්ශ්වයෙන් කළ යුතු සියල්ල අපි කරනවා. නමුත් අපි දන්නවා ආණ්ඩුව විසින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉතා විශාල වශයෙන් බාධා කරන බව. මැතිවරණ නීති උල්ලංගණය කරමින් ආණ්ඩුවේ දේශපාලනඥයින් සිදු කරන ක‍්‍රියා පිළිබඳව අපි පැමිණිලි රාශියක් මැතිවරණ කොමසාරිස්තුමන්ට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා අතරින් කිහිපයක් මා ඔබ හමුවේ තබනවා.

    නුවරඑළිය දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂක නවීන් දිසානායක මහතා තම අමාත්‍යාංශයට අයත් සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය හරහා රුපියල් ලක්‍ෂ 500කට අධික මුදලක් තම මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා වැය කොට තිබීම පිළිබඳව අපි පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම කළුතර දිස්ත‍්‍රික්කයේ එජාප අපේක්‍ෂක, රාජිත සේනාරත්න මහතාගේ අනු දැනුම ඇතිව පෙරදාතම සහිත පත්වීම් ලිපි නිකුත් කරලා මැතිවරණ සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්වීම් ලබාදීම පිළිබඳවත් අපි මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා.

    ඒ වගේම කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂක රවී කරුණානායක මහතා ඊයේ සහ පෙරේදා දිනවල කඩුවෙල ප‍්‍රදේශයේ නොමිලේ ගෑස් උඳුන් බෙදා දීම පිළිබඳවද අපි දැන්වූවා. කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂකයන් වන  රවී කරුණානායක සහ මුජිබර් රහුමාන් යන අය පසුගිය දිනවල ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබාදෙන නිවාස ණය රුපියල් 20,000 බැගින් මාලිගාවත්ත ප‍්‍රදේශයේ පිරිසකට බෙදා තිබෙනවා.

    මම සඳහන් කළේ ඉතාම ස්වල්පයක්. මේ ආකාරයට මැතිවරණ නීති උල්ලඝනය කිරීම්, රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම් රාශියක් මේ අය සිදු කරනවා. මෙතෙක් මේවා පිළිබඳව නිශ්චිත ක‍්‍රියාමාර්ගයක් මැතිවරණ කොමසාරිස්තුමන් විසින් රැගෙන නැහැ. අපි ඒ නිසා එතුමාගෙන් ඉල්ලා සිටිනවා ‘වහාම මේ රාජ්‍ය දේපළ යොදවලා සිදු කරන කටයුතු නැවැත්වීම සඳහා පියවර ගන්න’ කියලා. 

    ඒ වගේම ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඉතාම භයානක ක‍්‍රියාවක් වාර්තා වෙනවා. කළුතර දිස්ත‍්‍රික්කයේ එජාපයේ ‘තෙවරක් පෙරන ලද’ අපේක්‍ෂකයකු විසින් තරුණයන්ට පිස්තෝල බෙදා දීම එම භයානක ක‍්‍රියාවයි මේ බව දැනගත් වහාම අපි මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට තිබෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමන් මේ පිළිබඳව ක‍්‍රියාමාර්ග ගනු ලැබුවා. නමුත් ඒ ප‍්‍රදේශයේ වයස අවුරුදු 18-25 අතර තැනැත්තෙකු පිස්තෝලයකින් වෙඩි තැබීමේ සිදුවීමකට මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ නිසා ඉතා පැහැදිලියි, අද එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ‘ආචාර්ය අරක්කු’ සිට පිස්තෝල දක්වා භාණ්ඩ බෙදාහැරීමක් සිදු කරන බව. අපි අහනවා, ‘දැන් සාධාරණ සමාජයක් ගැන කතා කරපු අයට මේවා පෙනෙන්නේ නැද්ද’ ඔයාලට දැන් නින්ද ගිහිල්ලාද?’ කියලා. මේවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නොවෙයිද? යහපාලනය කියන්නේ පිස්තෝල බෙදා දීමද?

    මෙහිදී තවත් කරුණක් කියන්න  ඕනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන්ගේ නිත්‍යනුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට පවා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ බාධා එල්ල වෙනවා. නිත්‍යනුකූල කාර්යාලවල කටවුට් සකස් කරන අය පවා අත්අඩංගුවට ගැනීම් වාර්තා වෙනවා. එය ඉතාම බරපතළ තත්වයක්. මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඒ නිසා අපි ඉල්ලනවා නීතිය සාධාරණ ලෙස ක‍්‍රියාවේ යෙදවීමට පියවර ගන්න කියලා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*