BREAKING NEWS

“ජනතාවට ‘හොරු අල්ලනවෝ’ නාට්‍යය පෙන්වන අතරේ මේ ආණ්ඩුව රටට එරෙහි බලවත් සතුරු මෙහෙයුමක් දියත් කරනවා ”

ජනතාවට ‘හොරු අල්ලනවෝ’ නාට්‍යය පෙන්වන අතරේ මේ ආණ්ඩුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන හනුමන් පාලම ඉදි කිරීම සඳහා වන අවසන් සාකච්ඡා පැවැත්වමින් දිවි දී රැකගත් රටේ ඒකීය භාවය අහෝසි කරන ව්‍යවස්ථාවක් අටවමින් රණවිරුවන් දංගෙඩියට යවන විශේෂ නීති හදමින් රටට එරෙහි බරපතළ මෙහෙයුමක් සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ අද (04) පැය 06කට ආසන්න කාලයක් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රශ්න කිරීම්වලට ලක් වීමෙන් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“ මම ඇමතිවරයකු ලෙස සිටියදී කාපු බීපු දේවල් ගැන හැර අනෙකුත් හැම දෙයක් ගැනම මෙතැනදී ඇහුවා. වාහන, ඉන්ධන, නිවාස, දේපළ බැහැර කිරීම්, කාර්ය මණ්ඩලය හා පෞද්ගලික ලේකම්වරු ගැන ඒ විදිහට ඇහුවා. මේක තමයි මේ ආණ්ඩුවේ ක්‍රමය.

කබීර් හෂීම් ඇමතිවරයා ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමීය ආගමික සමුළුවේදී කියා තිබෙනවා, ‘දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන්න හනුමන් පාලම සෑදීම සඳහා වන දෙරටේ ප්‍රබල මට්ටමේ සාකච්ඡා දැන් අවසන්’ කියලා. ඒ ප්‍රශ්නය ඉදිරියේදී මතු වේවි. ඒ වගේම තවත් පැත්තකින් දිවි දීලා රැකගත්තු රටේ ඒකීයභාවය නැති කරන ව්‍යවස්ථාවක් අටවාගෙන යනවා. රණවිරුවන් දංගෙඩියට යවන්න විශේෂ නීති, අධිකරණ ඇති කරන්න යනවා. මේ සියල්ල පිළිබඳව වන සමාජ සංවාදය යටපත් කරන්න රතු අලි පැටියාගේ ද සහයෝගය ඇතිව මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඉහත කී සමාජ සංවාදය රට තුළ මතු කිරීමට නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද එකම කාරණය පිළිබඳව ප්‍රශ්න කරන්න FCID ය, අල්ලස් කොමිසම හා ජනාධිපති පරීක්ෂණ කොමිසම යන තැන් තුනටම කැඳවනවා. එතකොට එක මාතෘකාව, මාතෘකා තුනක් බවට පැටව් ගහනවා. ‘ හොරු අල්ලනවෝ’ කියන නාට්‍යය ජනතාව බලා ගෙන ඉන්න විට රටට හතුරු ඉහත කී තීරණාත්මක මහා ප්‍රහාරය සිදුකර ගෙන යනවා.

මේක අවලාද ගහන්න හදපු කොමිසමක්. මේකට කැඳවන්නේ තෝරාගත්තු පිරිසක්. ආණ්ඩුවේ ඉන්න නිල් අලි පැටව්ට එරෙහි කිසිදු චෝදනාවක් මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් විමර්ශනය කරන්නේ නැහැ. මේ ආණ්ඩුව මේ රටට සැබෑ ලෙසට සිදු කරමින් තිබෙන විපත මහජනතාවට පෙන්වා දෙන අපව ‘ හොරු ’ ලෙස හංවඩු ගැසීමේ මෙහෙයුමක් තමයි මෙතැනින් දියත් වෙන්නේ. මේක අවලාද නිර්මාණය කිරීමේ ෆැක්ටරියක් මිසක් වෙන කිසිවක් නොවෙයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.08.04

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*