BREAKING NEWS

ජනතා අකැමැත්තෙන් ආණ්ඩුව ගෙනිච්චොත් රට දැවැන්ත අර්බුදයකට යයි!

ජනතා අකැමැත්තෙන් ආණ්ඩුව ගෙනිච්චොත් රට දැවැන්ත අර්බුදයකට යයි!

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයත් එක්ක සති 2ක පමණ කාලයක් රට අස්ථාවර වුණා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයකින් රට අස්ථාවර වුණේ පළමු වතාවට. මේ විදියට වුණේ ඒකාබද්ධය බලෙන් ඇති කරපු දේශපාලන අරාජිකත්වයත් එක්කයි. මේ විදියට බොරදියේ මාළු බාන්නේ ඇයි?

ඉතිහාසයේ පළමු වතාවට තමයි පළාත් පාලන ඡන්දයකින් විරුද්ධ පක්ෂයේ බලවේගයක් විශිෂ්ට ජයක් ලැබුවේ. හැමදාම වාගේ පළාත් පාලන ඡන්දය දිනුවේ බලයේ සිටින පක්ෂය. මේකේ වුණේ අනෙක් පැත්ත. සාමාන්‍යයෙන් පළාත් පාලන ඡන්දයකදී ඡන්දය වැටෙන්නේ සියයට 55-60ක ප්‍රතිශතයක්. නමුත් මේ ඡන්දයේ සියයට 80 ආසන්නයට ගියා. අවසන් ප්‍රතිඵලය අනුව කොට්ඨාස සියයට 75කට වඩා ජයග්‍රහණය කළේ පොදුජන පෙරමුණ. මේ ප්‍රතිඵලය අත්කර දුන්නේ රටේ ජනතාව. ඒ මේ ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවට විරුද්ධව ජනතාව ඡන්දයක් දීලා විරුද්ධ පක්ෂ බලවේගයක් දිනවපු එක බලෙන් ඇති කරපු අරාජිකත්වයක් නෙමෙයි. මේක නියම ජනතා බලවේගයක්. මේක බොර දියේ මාළු බෑමක් නෙවෙයි. අපි කියන්නේ රජයට ජනමතයට කන්දීලා වැඩ කරන්න කියලයි.

තවම ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් වෙලා නැහැ. සම්පූර්ණයෙන් නිකුත් නොවුණු ඡන්ද ප්‍රතිඵලය ඇතුළේ ඔබ විවිධ කතා කියනවා. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ?

තවම නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කාර්යාලයෙන් නිකුත් කර නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා ජනතාවයි අහන්නේ. මම නෙමෙයි. මැතිවරණ කොමිසම ජනතාවගෙන් සමාව ගත යුතුයි. තවම කොට්ඨාස ප්‍රතිඵල නිකුත් කරලා නැහැ. සමස්ත ප්‍රතිඵලය නිකුත් කරලා නැහැ. මේක යට මොන යටිකූට්ටු වැඩක් වෙනවද, වුණාද කියලා අපි දන්නේ නැහැ. රෑ 10 වෙනකොට ප්‍රතිඵල දෙනවා කිව්ව මැතිවරණ කොමිසමට තවම ප්‍රතිඵල දෙන්න බැරිවෙලා.

මෙහෙම වෙන්නේ ඇයි?

සමහර අයට සැකයක් තියෙනවා. අපේ ප්‍රතිශතමය අගය අඩු කිරීමේ අරමුණින් මෙහෙම වෙනවද කියලා. එහෙම කළා හෝ නොකළා සියයට 50කට ආසන්න ප්‍රතිශතයකට අපි ඇවිත් තියෙනවා. එහි තේරුම පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තැබීමත්, අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැති වීමත් කියන කාරණා ඉස්මතු වෙනවා. ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනෙනවා මේ ආණ්ඩුව කෙරෙහි මොන විදියේ පිළිකුලකින්ද ජනතාව බලන්නේ කියලා. ඒ අනුව මේ ආණ්ඩුව බලයේ ඉන්නවට මහජනයාගේ කැමැත්තක් නැහැ කියන එක මේ ඡන්දයෙන් පෙන්නුවා.

සියයට 46ක ඡන්ද ප්‍රතිඵලයක් අරගෙන දිනුවට මේ ඡන්දය තමයි අමාරුම ඡන්දය කියා සමහර තැනක අර්ථ දක්වනවා. එහෙම වෙන්නේ කොහොමද?

ඒක ඇත්ත. මේ ඡන්දයට වඩා පළාත් සභා ඡන්දය අපට ලේසියි. මහ මැතිවරණය අපට ලේසියි. ජනාධිපතිවරණය ලේසියි. මේ ඡන්දය පටන් ගත්තෙම අපේක්ෂකත්වය නොලැබුණු පිරිසකගේ වේදනාවකුත් එක්ක. මේ නිසා ඒ අය ස්වාධීනව ඉල්ලුවා. සමහරු ශ්‍රීලනිපයට ගියා. ගමේකම, ප්‍රාදේශීය අනන්‍යතාව බලන ඡන්දය තමයි මේ. ඒ බාධක සියල්ල මැඬ පවත්වාගෙන මහින්ද රාජපක්ෂ ලකුණට පුළුවන් වුණා. ලොකු ජයක් ගේන්න. මේ ආණ්ඩුව අස්ථාවර වුණේ පෙන්නපු ජනබලය නිසයි.

මහින්ද සාධකය නැත්නම් ඒකාබද්ධයට ඡන්දය දිනාගන්න බැහැනේ.

මේ රටේ ජනතාව මහින්ද මහත්තයට තවම ආදරෙයි. ජනතාව ප්‍රාර්ථනා කරන්නේ එතුමාගේ පාලන කාලයක් නැවැත ඕන කියලයි. එනිසා මහින්ද රාජපක්ෂ කියන සාධකයයි මේ ඡන්දයේදී වැදගත් වුණේ, මහරගම බයිසිකලයෙන් දිනපු එක. තිරප්පනේ නයාගෙන් දිනපු එක, අනෙක් තැන්වල ස්වාධීන කණ්ඩායම් දිනපු එක වුණේ මහින්ද සාධකය එක්කයි.

මේ ඡන්දයේදී මැතිවරණ කොමිසමට ඔබ චෝදනා රැසක් කරනවා. ඒ චෝදනා පදනම් විරහිත වෙන්න බැරිද?

එසේ නම් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රට හමුවේ සිදුවී ඇති දේ පැවැසිය යුතුයි. අද අලුත් ඡන්ද කොපමණ ප්‍රමාණයක ප්‍රතිශතයක් අපට දුන්නද, රාජ්‍ය සේවකයන්ගේ ඡන්දයෙන් කොපමණ අපට ලැබුණාද කියා නිල දත්ත අප ළඟ නැහැ. තැපැල් ඡන්ද ප්‍රතිඵලය හැමදාම මේ රටේ ජනතාවට ඉදිරිපත් කළා. මේ සැරේ ඒකත් වැහුවා. එහෙම වුණේ තැපැල් ඡන්දවල බහුතර ප්‍රතිශතයක් අපට ලැබුණ නිසයි. කොට්ඨාසවල ඡන්ද ප්‍රතිශත තවම අපට දෙන්නේ නැහැ. මේවා දුන්නම එකතුකරලා තමයි ලංකාවේම ඡන්ද ප්‍රමාණය හදාගන්න පුළුවන්. ජාතික වශයෙන් ප්‍රතිඵල දෙන්නෙත් නැහැ. එතකොට සැකයක් එන එක සාධාරණයි.

මැතිවරණ කොමිසම් සභාපතිගෙන් මේ ගැන විමසුවද?

මම පෞද්ගලිකව විමසලා නැහැ. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රිවරු පක්ෂ නායකයන් මේ ගැන විමසලා තිබෙනවා. මේ වෙන දේවල්වලින් පැහැදිලි වෙන්නේ මැතිවරණ කොමිසම පක්ෂග්‍රාහී විදියට වැඩ කරනවා කියලයි. ඡන්ද දායකයන්ගේ අයිතිය උල්ලංඝනය කිරීමක් කරලයි තියෙන්නේ.

මොන කතා කිව්වත් 19 වැනි සංශෝධනය හරහා අගමැතිවරයා ඉවත් කර ගන්න බැහැ. ඔබතුමන්ලා හැදුවේ ආණ්ඩුවක් හදන්න. දැන් ඒකත් හීනයක් වෙලා?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ රටේ නීති විශාරදයන් පෙන්වා දුන්නේ කැබිනට් එක විසුරුවා හැරියම ඉබේම අගමැතිත් ඉවත් වෙනවා කියලා. ඒක ඉතාම සරල කාරණයක්. අංක ගණිතයෙන් පෙන්වන්න පුළුවන් කාරණයක් වීජ ගණිතයෙන් උත්තර හොයන්න ඕන නැහැ.

19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ජයම්පති වික්‍රමරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අගමැති හෝ මැති ඇමැතිවරයකු ඉවත් කළ නොහැකි බවයි. ඇමැතිවරයෙක් ඉවත් කරනවා නම් අගමැතිවරයාගෙන් විමසා කළ යුතුයි කියායි. ඇත්තටම මොකක්ද මේ පටලැවිල්ල?

අගමැතිවරයාගෙන් විමසා කරනවා කියන එකයි ඔතන තියෙන්නේ. අගමැතිවරයාගෙන් විමසන විට ඒක හා කිව්වත් බෑ කිව්වත් ජනාධිපතිවරයාට ඇමැතිවරයෙක්ව අයින් කරන්න පුළුවන්. අගමැතිවරයාගේ මතය විමසා මිස අගමැතිවරයාගේ එකඟත්වයෙන් තොරව කියා ව්‍යවස්ථාවේ නැහැ. අගමැතිගේ මතය මොක වුණත් ජනාධිපතිවරයාට ඇමැතිවරයෙක් ඉවත් කරන්න පුළුවන්.

ජනමතයට හිස නමා මේ ආණ්ඩුව ගෙදර යා යුතුනම් අගමැති ඉවත් විය යුතුනම් ව්‍යවස්ථාවට මුවාවෙලයි අගමැති ඉන්නේ. එහෙමයි පොදුජන පෙරමුණ කියන්නේ. ව්‍යවස්ථාව පිළිගන්නවා නම් ඒකට පරිබාහිර අදහස් දෙන්නේ ඇයි?

ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් මේ රටේ පොදු ජනතාව මේ ආණ්ඩුවට සැර උත්තරයක් දීලා තියෙනවා බොහොම සැරට. ඔවුන් කෝටි ප්‍රකෝටි ගණනින් මේ ඡන්දයට මුදල් වියදම් කළා. බෙදන්න තියෙන හැම කෙහෙල් ගෙඩියම බෙදුවා. රාජ්‍ය බලය තිබ්බා. අපට අවලාද තොග පිටින් ගැහුවා. ඒත් වැඩක් වුණේ නැහැ. මේ අය අවුරුදු තුනට බන්ධනාගාරයයි, බන්ධනාගාර බස් එකයි, උසාවියයි නැත්නම් මේ ආණ්ඩුවට ප්‍රවෘත්ති නැහැ. එහෙම කරලත් ආණ්ඩුවට ඉතා දැවැන්ත ජන විරෝධයක් ගොඩනැඟුණා. මේ ජනමතය එක්ක මේ අයට ආණ්ඩු කරන්න පුළුවන්ද? ව්‍යවස්ථාවේ වචන අල්ලාගෙන තාක්ෂණික හරඹයක් කළාට වැඩක් නැහැ. මේක මහජන පරමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙන්නේ කැමරන්ගේ මතයට වඩා අනෙක් මතය ජයග්‍රහණය කළ නිසා. එහෙම නැතිව බි්‍රතාන්‍ය ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ කොහෙත්ම නැහැ ජනමත විචාරණයකින් පස්සේ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියා. නමුත් ඔහු ඉල්ලා අස්වන්නේ ජනමතයට හිස නමලා. දේශපාලන සදාචාරයත් එක්ක. එනිසා මේ කාරණාව අපේ රටේ අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාත් පිළිගන්න ඕන. එහෙම නැතිව කවුරු හරි හිතනවා නම් තියෙන ආණ්ඩුවට පවුඩර් දාලා පේෂල් දාලා ගෙනියන්න පුළුවන් කියලා ඒක ඇත්තටම විහිළුවක්.

මේ ආණ්ඩුවට 2020 වෙනකම් යන්න ජනවරමක් තියෙනවා. ඉතින් ඒ ජනමතය තවම වලංගුයි. එහෙම නම් ඇයි ඒ ජනමතය වෙනස් කරන්න හදන්නේ?

අද වනවිට ජනාධිපතිතුමයි අගමැතිතුමයි කල් ඉකුත්වෙලා. 2015 මොන බලය දුන්නත් 2018 ජනතාව මේ දෙන්නවම එපා කිව්වා. මහජන අකැමැත්තෙන් මේ ආණ්ඩුව දිගටම ගියොත් විශාල දේශපාලන අර්බුදයකට මේ රට ඇදලා දානවා.

කල් ඉකුත් වූ ජනාධිපති ගෙදර යන්න කිව්වට ඒ ජනාධිපති එක්ක ආණ්ඩුවක් හදන්නයි ඒකාබද්ධය හැදුවේ. ඒ ගැන සාකච්ඡා පැවැත්වුණා?
අපට අවශ්‍ය නැහැ රටේ අරාජිකත්වයක් ඇති කරන්න. අපට ඕන වුණේ ආණ්ඩු හදන්න නෙවෙයි. අපට ඕන වුණේ අගමැති සහ එජාපය ඉවත් කරලා ජනාධිපතිවරයා ආණ්ඩුවක් පිහිටුවන්න උත්සාහ කරනවා නම් එකට විපක්ෂයේ ඉඳගෙන තනතුරු නොගෙන විරුද්ධ පක්ෂයේ භූමිකාව කරන ගමන් ශ්‍රී ලනිප ආණ්ඩුව ඇද වැටීමට නොදී සහාය දෙනවා කියා.

හැබැයි කොන්දේසි දැම්මනේ?

ඔව්. ඒ කාලය තුළ රණවිරුවෝ දඩයම් කරන්න බැහැ. පෞද්ගලීකරණය කරන්න බැහැ. එක්ටා ගිවිසුමට අස්සන් කරන්න බැහැ. මහජනයාගේ සුබසාධන වියදම්වලට අත තියන්න බැහැ ආදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණාද?

තවම නැහැ. අපි සද්භාවයෙන් ඉදිරිපත් වුණු එක, අපේ යෝජනා ගැන තවම ජනාධිපතිවරයා නිහඬයි.

එජාපය එක්ක ජාතික ආණ්ඩුව ගෙන යන ගමන් ඒකාබද්ධය එක්ක ආණ්ඩු හදන්න හදනවා කියන එක ඔබලාව රවටනවා කියා තේරෙන්නේ නැද්ද?
මෙතැන රැවටීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මෙතැන කළේ අපේ වගකීම රට වෙනුවෙන් කළ හැකි භූමිකාව. ඒක එතුමා කළත් නොකළත් අපි විපක්ෂයේ භූමිකාව කරනවා.
විපක්ෂ නායකකමත් පොදුජන පෙරමුණට දෙන්න බෑනේ. තවම ඒකාබද්ධයේ අය එජනිස සහ ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරු. අලුත් පක්ෂයේ සාමාජිකත්වය තවම අරගෙන නැහැ. එහෙමනම් කොහොමද විපක්ෂ නායකකම ඉල්ලන්නේ?

ක්ෂණික ප්‍රශ්න අදාළ නැහැ. ජනතා මතය දෙසයි බලන්න ඕන. මේ හැම දේකටම වැඩිය ලොකු ජනතා බලවේගය. පාර්ලිමේන්තුවේ 225ම ඉන්නේ මේ රටේ ජනතාව නිසා. මහජනතාව තීරණය කරලා තියෙනවා නම් වෙන්න ඕන මොකක්ද කියලා ඒකට පිටින් වැඩ කරනවා නම් ඒ අයගේ පිරිහීමයි එතැනින් පෙනෙන්නේ. චම්පික ඇමැතිවරයාත් ප්‍රසිද්ධියේ කියා තිබෙනවා විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂට දිය යුතුයි කියා.

විපක්ෂ නායකකම දිය යුත්තේ මහින්ද රාජපක්ෂටද? දිනේෂ් ගුණවර්ධනටද? දැන් එහෙම මතයකුත් එනවා?

අපි තවම ඒක තීරණය කරලා නැහැ. ඒක සාකච්ඡා කරලා විසදාගත යුතු දෙයක්.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබලාගේ සහාය ලැබුණා. එතකොට දැක්කේ නැද්ද එහි තියෙන අඩුපාඩු. ඡන්දය දීලා දැන් විවේචනය කරලා වැඩක් නෑනේ?
19 වැනි සංශෝධනයට සහාය දීම ගැන මගේ පෞද්ගලික මතය, අපේ පක්ෂයේ මතය තමයි 19ට සහාය දීම ඒකාබද්ධ විපක්ෂය කරගත්ත ලොකු වරදක් කියා. ඒක අපි ස්වයං විවේචනාත්මකව පිළිගන්න ඕන. 19 වැනි ව්‍යවස්ථාවේ අන්තිම හරිය සම්මත වුණේ රෑ 11ට. මහත්වරු නිදිකිරා වැටෙන කොට තමයි ගොඩක් වගන්ති සංශෝධනය වුණේ. වගන්ති ඇතුළත් කළේ. 19ට පක්ෂ වුණ අයවත් දන්නේ නැහැ අන්තිමට ආව වගන්ති මොනවද කියලා. අන්තිමට වුණේ අගමැතිවරයා වටකොට වැටක් බැඳගත්ත එක විතරයි. රටම අකැමැති අගමැති එළවන්න බැරි වෙන්න ව්‍යවස්ථාවෙන් වැට මායිම් දාගත්ත එක විතරයි වුණේ. රටට වුණ සුගතියක් නැහැ. ලංකාවේ අරාජිකත්වයට එක හේතුවක් තමයි 19 වැනි සංශෝධනය.

19න් ගොඩක් හොඳ දේවල් වුණානේ? දේශපාලනික වශයෙන් ඒකාබද්ධයට අවාසි වෙන කොටද 19 එපා කියන්නේ?

ආණ්ඩුවක් පෙරළුණු අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි අන්දලා ගෙන ආපු එකක් තමයි 19 වැනි සංශෝධනය. එතකොට අපේ අයටත් 19 ගැන අධ්‍යයනය කරන්න ප්‍රමාණවත් කාලයක් තිබුණේ නැහැ. අපේ අයත් ඒකට සහාය දුන්නා. නමුත් 19ට සහාය දීම අපි නොකර ඉන්න තිබුණා. ඒක අපි කරගත්ත ලොකු වරදක්.

ජනධිපතිවරයා ඒකාබද්ධයෙන් ඉල්ලීමක් කරලා තිබුණා නේද 19ට සහාය දෙන්න කියලා?

මම දන්න විදියට මගේ මතකයේ හැටියට ඉල්ලීමක් කළේ නැහැ.

කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ ගමන් බලපත්‍රය ගැන ඇතිවූ ප්‍රශ්නයේදී ඔබ අගමැතිවරයාට කතා කළාද?

නැහැ.
ඒ වුණාට, ඔබ අගමැතිවරයාට කතා කොට සිද්ධිය සමථයකට පත්කර ගන්න හැදුවා. අගමැතිවරයා ඔබට සහාය දැක්වූවා. එහෙම කළ අගමැතිව තමයි ඔබ විවේචනය කරන්නේ කියන චෝදනාවත් ඔබට එල්ල වෙනවා?

කවුරු හරි ඔප්පු කරනව නම් මම ඒ වෙලාවේ අගමැතිට කතා කළා කියා මම හෙටම මන්ත්‍රිකම දාලා යනවා. අගමැතිට කතා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අගමැතිට කතා කරලා ප්‍රශ්න විස¼දාගන්න මානසිකත්වයක අපි නැහැ. අනික නිකන් හිතන්න කතා කළයි කියලා, මොනවද මට ලැබුණු උපකාරය. මට ඒ ගමන යන්න ලැබුණාද? සී. අයි. ඩී. එක උදේ ඉඳන් හවස් වෙනකම් මාව තියාගෙන ප්‍රශ්න කළේ නැද්ද? උසාවියට දැම්මේ නැද්ද? උසාවියට දැම්මම කොහොමත් ඇප ලැබෙන වරදක් තමයි ඒ අය ඉදිරිපත් කළේ. අවිධිමත් ලෙස රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් ළඟ තබාගැනීම තමයි චෝදනාව. ඔය චෝදනාවට ඇප ලැබෙනවා. නඩුව විභාගයට ගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මම වරදක් කළාද නැද්ද කියලා.

මේ ලැබුණු ජනමතය නිසා පළාත් සභා ඡන්දයත් කල් දායිද?

ආණ්ඩුවකට ඕන ඕන විදියට මැතිවරණ සිතියම අකුළන්න දෙන්න බැහැ. ජනාධිපතිවරයා අගමැතිවරයා උත්සාහ ගත්තට මැතිවරණ සිතියම අකුළන්න කතිරය තියෙන්නේ ජනතාව ළඟ. මොකද මේ අය මැතිවරණ පරාජය වෙලා ගෙදරට ගිහින් ඉන්න පුළුවන් විදියට ජීවත් වෙන්න ඕන.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*