BREAKING NEWS

ජනතා මුදල් බෑණාට තෑගි දුන් මහ බැංකු අධිපතිගේ වැඩ තහනම් කොට පරීක්ෂණ කටයුතු සී. අයි. ඞීයට භාර දිය යුතුයි – ජාතික නිදහස් පෙරමුණ

10952531_414805942014286_3527580681783106159_oජනතා මුදල් තම බෑණාට අක‍්‍රමික අයුරින් ලබා දුන් මහ බැංකු අධිපතිවරයාගේ වැඩ තහනම් කොට ඔහුට එරෙහි චෝදනාව පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි ජාතික නිදහස් පෙරමුණ ‘යහපාලන’ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

අද(10) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘‘අද වන විට යහපාලනයේ නිරුවත හෙළිදරව් වෙමින් පවතිනවා. මාදුළුවාවේ සෝභිත හිමි, රාජිත සේනාරත්න, චම්පික රණවක, රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමේදී කියා සිටියේ කුමක්ද? ‘මේ රට වංචාවෙන්, දූෂණයෙන්, හොරුන්ගෙන් පිරී තිබේ. රාජපක්‍ෂ පවුල රට පාලනය කරනු ලැබේ. මේ තත්ත්වය වෙනස් කරන්න පොදු අපේක්‍ෂකයා දිනවන්න’ කියලයි.

අදට යහපාලනය ඇරඹිලා දින 59යි. සිදුව ඇත්තේ කුමක්ද? රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු සුළුතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විසින් විධායක බලය සියතට ගෙන අත්තනෝමතික ලෙස කටයුතු කිරීමක් නොවෙයිද? එදා මහින්ද රාජපක්‍ෂ මහතාට මේ අය චෝදනා කළේ අසීමිත ලෙස බලය යොදාගෙන පවුල් පාලනයක් රැගෙන යන බවටයි. මහින්ද රාජපක්‍ෂ මහතාට මේ රටේ ජනතාව විධායක ජනාධිපති බලය ලබාදී තිබුණා. අද ජනාධිපතිවරයා යටතේ තිබූ රාජ්‍ය ආයතන ඇතුළු දෙපාර්තමේන්තු සියල්ල ව්‍යවස්ථාවට පටහැනිව, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව අගමැති ධුරයට පත් කළ රනිල් වික‍්‍රමසිංහ යටතට රැගෙන තිබෙනවා. එදා රාජපක්‍ෂ පවුලේ පාලනයක් තිබුණා කිව්වා. අද තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහ පවුලේ පාලනයක් නොවෙයිද? රුවන් විජේවර්ධන හා රජිව් විජේසිංහ ප‍්‍රබල රාජ්‍ය අමාත්‍ය ධුරවලින් පිදුම් ලැබුවේ, රනිල් වික‍්‍රමසිංහගේ මස්සිනාවරු නිසා නොවේද? අනෙකුත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 43 දෙනා අමාත්‍ය ධුර ලබාගෙන තම පවුල් තර කිරිමේ දේශපාලනයක් නොවෙයිද කරන්නේ? අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා මෑත ඉතිහාසය තුළ නොවූ විරූ තක්කඩිකමක් කරලා, අධ්‍යාපන අමාත්‍යාංශය සතුව තිබූ අනධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරු 500ක් තම ආසනය වූ කුලියාපිටියේ ඥාති මිත‍්‍රාදීන්ට ලබා දී තිබෙනවා.

‘මහ බැංකු අධිපතිවරයකු කළ විශාලතම වංචාව’

මුදල් අමාත්‍යවරයකු සිටියත් මහ බැංකුව අද පවතින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේයි. රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස පත් කළේ සිංගප්පූරු පුරවැසියෙක්. එයා අද තමන්ගේ බෑණාට බිලියන ගණනින් තෑගි දෙනවා. මේක යහපාලනයද? මේ වංචාව ගැන සේවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී නැහැ. අලූතින් පත්කළ ජනාධිපති පරීක්ෂණ කමිටුව මේ ගැන නිහඩයි. මේක මහ බැංකු ඉතිහාසය තුළ මහ බැංකු අධිපතිවරයකු සිදු කළ විශාලතම වංචාව.

මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී මහ බැංකු අධිපති බෑණාට, අක‍්‍රමික ලෙස රුපියල් කෝටි 100ක(රුපියල් බිලියනයක) ණය මුදලක් ලබා ගැනීම සඳහා බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබුණා. අනුර දිසානායක මේ සිදුවීම ගැන ‘මී පැටියෙක්’ වගේ නිහ`ඩයි. චම්පික රණවක ‘360 රූපවාහිනී වැඩසටහනේදී’ කියනවා, ‘මේ චෝදනා ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මේ ගැන මොකුත් කියන්න බැහැ’ කියලා. දැන් මේ යහපාලකයෝ විපක්‍ෂ දේශපාලනඥයන්ගේ චරිත දූෂණය කරමින් මාධ්‍ය සංදර්ශනවලදී චෝදනා ඉදිරිපත් කරන්නේ ඒවා ඔප්පු වූ නිසාද?

මේ දූෂිත ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් කරනවානම් එහි පළමු පියවර ලෙස මහ බැංකු අධිපතිවරයාගේ වැඩ තහනම් කළ යුතුයි. ඔහුව පුටුවේ තියාගෙන මේ පිළිබඳව සිදුකරන ඊනියා ස්වාධීන පරීක්‍ෂණ ජනතාවට විහිළු සැපයීමක්. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන්නේ අප්‍රේල් 23 වැනිදා තෙක් බලයේ ඉන්නවා කියලානේ. නමුත් ඔවුන්ට එසේ අපේ‍්‍රල් 23 වැනිදා තෙක්වත් බලයේ ඉන්න අයිතියක් නැහැ. රටේ ප‍්‍රධානතම මූල්‍ය ආයතනය බිඳ වට්ටමින් මෙබඳු මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදු කළ ආණ්ඩුවකට තවදුරටත් බලයේ ඉන්න බැහැ. පැවති ආණ්ඩුවේ වංචා, දූෂණ, හොරකම් ගැන පට්ටපල් බේගල් කියමින් බලයට ආපු මේ යහපාලකයෝ අද මහ බැංකුව විදේශිකයකුට පවරලා. ඒ විදේශිකයා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් තමන්ගේ බෑණාට තෑගි දෙනවා. කජු ඇටද, කොස් ඇටද රුපියල් බිලියනයක්, කෝටි 100ක්. මෙවැනි අක‍්‍රමිකතාවක් සිදු කළ ‘යහපාලන’ ආණ්ඩුවකට තව දවසක්වත් බලයේ ඉන්න සදාචාරාත්මක බලයක් නැහැ.

මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණු දිනයේ සිටම කොටස් වෙළඳපොළ බිඳ වැටෙමින් තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මේ දූෂිත යහපාලනයේ කියුම් කෙරුම්. මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා ඉහළම පොලී අනුපාතය ඉදිරිපත් කරමින් රුපියල් කෝටි 100ක(බිලියනයක) ණයක් අර ගෙන බව වෙන්දේසියේදී පෙන්වා තිබෙනවා. මේ ණය මුදල රුපියල් කෝටි 1000(බිලියන 10) දක්වා වැඩිකරගෙන තිබෙනවා. ඒ අනුව මෙතැනදී විශාල වංචාවක්, අර්ජුන මහේන්ද්‍රන් විසින් තම බලය අයුතු ලෙස යොදාගෙන සිදු කර තිබෙනවා. යහපාලකයිනි, අනුන්ගේ ඇහේ් තිබෙන පොල් කෙන්ද ගන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ඉවත්කර ගෙන ඉන්න.

එක්සත් ජාතික පක්‍ෂය රට පාලනය කළ කාලවලදී දූෂිත වැඩවලින් ‘කප්’ගැහුවා. රජයේ ඉඩම් අක්කරය රුපියල් 2.50ට තමන්ට ලියාගත් ඇමතිවරු සිටියේ එජාපයේ. මේ යහපාලන දින 60 තුළ තවත් හොඳ හොඳ හොරකම්, වංචා දූෂණ සිදුව තිබෙනවා. ඒවා අපි හෙට අනිද්දාම රට හමුවේ තබනවා. ‘චෛත්‍යය ගිලපු එකාට අග්ගලාව මහ කජ්ජක්ද? අද කැබිනට් මණ්ඩලයේ ඉන්නේ චෛත්‍ය ගිලපු ඈයෝ, නිදන් සොරකමින් පරම්පරා ගණනාවකට හම්බකරගත් ඈයෝ, අරලියගහ මන්දිරයේ වටිනා බඩු භාණ්ඩ වෙන්දේසි කරපු ඈයෝ. මේ අයට රටේ ආර්ථිකය වලපල්ලට යවන්න ඉතිරි දින 40 හොඳටම ඇති. හැබැයි අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ‘සුදු කරපටි හොරුන්ට’ විරුද්ධව ජනතාව පෙළගැස්වීමට අපි සූදානම්.

මාධ්‍ය ලේකම්: – 0714033978
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-03-10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*