BREAKING NEWS

ජවිපෙ ජාතික ලැයිස්තුවට සී.අයි.ඒ නියෝජිතයෙක් පැමිණියේ කොහොමද? ජානිපෙ නායක විමල් වීරවංශ

ජවිපෙ ජාතික ලැයිස්තුවට සී.අයි.ඒ. නියෝජිතයකු පැමිණියේ කෙසේදැයි එහි සැබෑ සාමාජිකයන් ප්‍රශ්න කළ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා මතුගමදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජන රැලියක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සදහන් කළේය.

”ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය නොකරන බව කල්තියාම දන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ප්‍රකාශ කරන්නේ මැතිවරණයෙන් පසුව දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවයි. මෙවන් පසුබිමක් තුළ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, වෙන්වීමේ අයිතිය පිළිගැනීම, පූර්ණ ස්වයං පාලනය ලබාදීම යනාදී ඉල්ලීම්වලට ඒක්සත් ජාතික පක්ෂය එකගවන්නේ නම් සහයෝගය ඔවුනට ලබාදෙන බවයි. සුපුරුදු පරිදි දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය තුළ මෙවරද අඩංගු වී ඇත්තේ බෙදුම්වාදය බව පැහැදිලියි. වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවක් හදන්නට යන්නේ මෙවැනි රටට හතුරු කණ්ඩායම්වල බෙදුම්වාදී ඉල්ලීම්වලට එකගවයි. ඒ නිසා කවරකු හෝ අගෝස්තු මස 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජන්දය ප්‍රකාශ කිරීම තුළින් පවසන්නේ, ‘බෙදුම්වාදයට දොළ පිදේනි දෙන, විසිහත්දහසක් දරුවෝ ජීවිත පූජාකොට බේරාදුන් රට නැවත පවාදෙන ගමනකට එකගයි’ කියලයි.

වික්‍රමසිංහ මහත්තයා කියන්නේ රටට, ජාතියට අවහිර කරන හතුරු කල්ලිවල ඒජන්තයකු මිස රටට, ආගමට, ජාතියට ආදරය කරන ජාතික මනසකින් හෙබි නායකයකු නොවෙයි. තමන්, මව් පොළොවට මුල් ඇද ගත්තේ නැති, වේලුණු දණ්ඩක් මෙන් මේ පොළොව මත පැළ කිරීමට නොහැකි, රට, ජාතිය හා ආගම පිළිබදව තැකීමක් නොකරන නායකයකු බව රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසය පුරාවටම ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘රාජ්‍යයේ ඒකීයභාවය ආරක්ෂා කරනු ලැබේ’ යන වාක්‍යය මෙවර තම මැතිවරණ ප්‍රකාශනය තුළින් ඉවත්කර තිබෙනවා. 1987 ඉන්දු – ලංකා ගිවිසුම ගහපු වෙලාවේ සිට ජනතා විමුක්ති පෙරමුණ රට ඉදිරියේ පැවසුවේ ‘පළාත් සභා අපට එපා, 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදෙනවා, ඒ නිසා පණ දීලා හරි රටේ ඒකීයභාවය රකින්න එන්න,_ කියන ඉල්ලීමයි. ඒ නිසයි එදා අප වැනි තරුණ පිරිස් උසස් පෙළ අධ්‍යාපන කටයුතු පවා අතරමග නතරකර දමා රටේ ඒකීයභාවය රකින්නට ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වන්නේ. රටේ ඒකීයභාවය රකින්න ජ.වි.පෙ සමග ඉදිරිපත් වූ තරුණ තරුණියන් හැටදහසකට පමණ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා. එදා රාජ්‍යයේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්, අනවරතව, කොන්දෙසි විරහිතව පෙනීසිටිමින් රෝහණ විජේවීර සහෝදරයා බාරදුන් ඒකීයභාවයේ කොඩිය හරියට අතදරා සිටි ජනතා විමුක්ති පෙරමුණ, අද සිදුකරනු ලබන්නේ වික්‍රමසිංහගේ සිරිකොත න්‍යාය පත්‍රයට හා බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව රාජ්‍යයේ ඒකීයභාවය ආරක්ෂා කරනු ලැබේ’ යන වාක්‍යය සිය මැතිවරණ ප්‍රකාශනය තුළින් ඉවත් කොට දැමීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ දෙවැනියට නම සදහන් වන්නේ ක්‍රිෂ්මාල් වර්ණසූරිය කියන අයගෙයි. ඔහු නීතිඥවරයෙක්. ජ.වි.පෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා පවසනවා, මේ ක්‍රිෂ්මාල් නැමති නීතිඥයා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතා තිබෙන, ලංකාව පිළිබදව තොරතුරු සොයන ඇමෙරිකානු තොරතුරු මධ්‍යස්ථානයේ නීති උපදේශකයෙක් මෙන්ම වැලිඅමුණ නීතිඥවරයා සමග එකතුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවත්වාගෙන යන අයෙක් බව.

සී.අයි.ඒ කාරයෙක් ජ.වි.පෙ ජාතික ලැයිස්තුවට පැමිණියේ කොහොමද? දැන් ඇමෙරිකානු සී.අයි.ඒ කරුවන් සමග සමාජවාදී විප්ලවයක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ රතුඅලිපැටියා සැරසෙනවාද? මේ තත්ත්වයට අද වන විට ජනතා විමුක්ති පෙරමුණ පත්ව අවසානයි. බෙදුම්වාදයට විරුද්ධව ජ.වි.පෙ කිසිම අදහසක් ප්‍රකාශ කරන්නෙ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ගැනවත් ජ.වි.පෙ කිසිදු අදහස් දැක්වීමක් සිදුකරලා නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන නම් යක්ෂාරූඪව උදේටත්, දවල්ටත්, රෑටත් යනාදි වශයෙන් තුන් වේලෙම දොඩවනවා. මේක තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය.

බටහිර අධිරාජ්‍යවාදීන් ගහන්නෙත් මහින්දට. දෙමළ ඩයස්පෝරාව ගහන්නෙත්, මහින්දට. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ගහන්නෙත් මහින්දට. මෙ තුන්ගොල්ලොම එක්ව ගහන මහින්ද රාජපක්ෂටමයි විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණත් ගහන්නේ. අද දෙම‍ළ ජාතිවාදයත් එක්ක හොරාට යහන්ගත වූ ජ.වි.පෙ තම අතීත උරුමයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව සිටින බව පැහැදිලි වෙනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

11180641_788614457923043_5185991934462736128_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*