BREAKING NEWS

ජවිපෙ මන්ත‍්‍රීවරුන් නව රුසියානු තානාපති කාර්යාල පරිශ‍්‍රයට බලහත්කාරයෙන් කඩා වැදීම දැඩි සේ හෙළා දකිනවා

961138_884725938244504_1221493289_nකොළඹ බෞද්ධාලෝක මාවතේ අංක 404 දරන ස්ථානයේ ඉදිවෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ නව රුසියානු තානාපති කාර්යාල පරිශ‍්‍රය වෙත බලහත්කාරයෙන් කඩා වැදී එම ඉඩමේ අයිතිය පිළිබඳව ප‍්‍රශ්න කරමින් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී සංවිධානයේ මාධ්‍ය සන්දර්ශනයක් පසුගියදා මාධ්‍ය මගින් දැක ගත හැකි විය.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනකු ද ඒ අතර විය. ඔවුන් මාධ්‍ය වෙත පැවසුවේ මෙම ඉඩම අනවසරයෙන් අත්පත්කර ගෙන ඇති බවත් තමන් මෙම ඉඩමේ සැබෑ හිමිකාරිය සමග මෙම ස්ථානයට පැමිණියේ වත්මන් ආණ්ඩුවට මේ පිළිබඳව සාධාරණය ඉටු කරන ලෙසට බලපෑමක් කිරීමට බවය.

මේ සිදු වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කර ඇති ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ ශ‍්‍රී ලංකා රජය මෙම ඉඩම රාජ්‍යතාන්ත‍්‍රික ලෙස තමන්ට 1986 මාර්තු 26 දින ලබා දුන් එකක් බවය. ඊට අදාළ ඔප්පුවද රුසියානු තානාපති කාර්යාලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි. එසේම මෙවන් අවාසනාවන්ත තත්ත්වයන් ඉදිරියේදී සිදු නොවීමට කටයුතු යොදන්නැයි ඔවුන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

නීතිය අතට ගෙන ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරමින් ද මෙරට සැබෑ ජාත්‍යන්තර මිත‍්‍රයකු දැඩි සිත් රිදවීමකට ලක් කරමින්ද සිදු කරන ලද මෙකී පහත් පෙළේ ක‍්‍රියාව ජාතික නිදහස් පෙරමුණ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින්නෙමු.

මෙම ක‍්‍රියාව හේතුවෙන් ශ‍්‍රී ලංකාව තානාපති විනිර්මුක්තිය පිළිබඳ වියානා සම්මුතිය කඩ කළ රටක් වශයෙන් අපකීර්තියට පත් වීම ද සිදු විය හැක. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිෂේධ බලයද හිමි රුසියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය මානව හිමිකම් චෝදනා එල්ල වූ සැම විටම ඒවාට නිසි ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකාව වෙනුවන් පෙනී සිටියේය. මෙවැනි ක‍්‍රියා එකී මිත‍්‍රත්වය පළුදු කිරීමේ අරමුණින් සැලසුම් සහගත ලෙස සිදු කරන ඒවා මිස නොදැනුවත්කමින් සිදු කරන ඒවා නොවේ.

එසේම චීන රජය සහ ශ‍්‍රී ලංකා රජය අතර අත්සන් තැබු ගිවිසුම අනුව ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය සිදු කරන බව වත්මන් ආණ්ඩුව ප‍්‍රකාශ කළ විට පාර්ලිමේන්තුවේදී ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා විරෝධය පළ කර තිබිණි. මේ සියල්ලෙන් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද රුසියාව, චීනය වැනි ශ‍්‍රී ලංකාවේ සැබෑ ජාත්‍යන්තර මිතුරන්ගේ සිත් රිදවා අමනාප කර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා බිඳ හෙළීමට කටයුතු කරන බවය. මෙවැනි අසල්වැසි රටවල ඔත්තු සේවාවන්හි කොන්ත‍්‍රාත්තු භාර ගන්නා තත්ත්වයට අද ජනතා විමුක්ති පෙරමුණ ඇද වැටී තිබීම ඉමහත් කනගාටුවට කරුණකි.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2015-02-07

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*