BREAKING NEWS

ජාතික කොඩියට තිබෙන ප‍්‍රධානතම කාර්ය රාජ්‍ය උත්සවයකදී ලෙල දීම. මේ ආණ්ඩුව ඒකත් නතර කරන්න හදනවා. මේ අයට ජාතික කොඩිය ඇලජික්. – ජානිපෙ නායක විමල් වීරවංශ

ජාතික කොඩියට තිබෙන ප‍්‍රධානතම කාර්ය රාජ්‍ය උත්සවවලදී ලෙල දීම යැයි ද එසේ තිබියදී වත්මන් ස්වදේශීය කටයුතු අමාත්‍යවරයා වන ජෝශප් මයිකල් පෙරේරා මහතා රාජ්‍ය උත්සවවලදී එසවීම සඳහා අලූත් කොඩියක් නිර්මාණය කරන බව පවසන්නේ කෙසේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රශ්න කර සිටී.

අද(01) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘03 වැනිදා පාර්ලිමේන්තුව හදිසියේ රැස් කිරීමට ජනාධිපතිතුමන් තීරණය කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා. මේ රැස් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුව විසින් තීරණය කරන ලද නම් ටික පාර්ලිමේන්තුවේදී අනුමත කරවා ගැනීම. 19 වැනි සංශෝධනයට විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සංශෝධන අනුව එසේ ඒ නම් ටික පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාවට නම් කරන ලද සිවිල් පුද්ගලයන්ගේ නම් ටික එසේ අනුමත කරවා ගත යුතුයි.

‘එක පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුව වනන ගමන් අනෙක් පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වලලා දැමීමත් අද සිදු වෙනවා, කියලා කියන්නේ අපි නොවෙයි’ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමායි. හංසයාට ඡුන්දය දීපු කෙනෙක් හැටියට මේ ඊනියා යහපාලන ආණ්ඩුවට මාස 3 1/2ක් ගත වන කොට එතුමා කියනවා. ‘අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාගේ බලතල සියතට ගෙන මෙහෙයවන මූල්‍ය අපරාධ කොට්ඨාසයක් තියෙන්න බැහැ. කියලා. එවැනි පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කරලා තිබෙනවා පමණක් නොවෙයි ඒ අය දිනපතාම විපක්‍ෂයේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල අය දඩයම් කිරීමෙහි නියැලෙනවා.

එක් පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුව වනන ගමන්, අනෙක් පැත්තෙන් තෝරා ගත් පිරිසක් ඉලක්ක කරගෙන උග‍්‍ර මර්දනකාරීත්වයක් ගෙන යනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමියට ලබාදී තිබෙන ඉලක්කය, ‘දින 100යි, නඩු 10යි’ කියන එකයි. නඩු 10 දාන්න ඕනෙ අයගේ නම් ටිකත් මේ ඊනියා යහපාලකයන් විසින් ලබා දී තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුව වැනුවාට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවට ඇමතිවරුන් දාන්න බැහැ. ඔවුන් විධායකයේ කොටසක්. එදා 19 වැනි සංශෝධනය සම්මත වුණේ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත් කිරීමේ ඉඩකඩ සලසා දෙමින්. ජනාධිපතිවරයා, අගමැතිවරයා විපක්‍ෂ නායකවරයා විසින් පත් කළ යුත්තේ ඇමතිවරුන් නොවෙයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මහජන නියෝජිතයන් මිස විධායකය නියෝජනය ඇමතිවරුන් නොවෙයි, ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුත්තේ. ඒ බව පැහැදිලිව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙනවා.

රට ඉදිරිපිට තිබෙන අභියෝග දිහා බැලූවාම ඔබටත් එක`ග වෙන්න පුළුවන් විශ්වාසභංග කිහිපයක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සමහර ඒවා න්‍යාය පුස්තකයට ඇතුළත් වෙලා තිබෙනවා. ඒවාට අද ප‍්‍රමුඛත්වය දෙන්නේ නැහැ. මෙහෙන් විපක්‍ෂය මර්දනය කරන ගමන් ආණ්ඩුවට ඕනෙ ඒවා ටික කරගන්න විතරක් පාර්ලිමේන්තුව කැඳවනවා. මේ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් සිටින විපක්‍ෂයක්. අපි හෙට, අනිද්දා අගමැතිට එරෙහි විශ්වාසභංගයය භාර දෙනවා. මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට අතුළත් වෙලා තිබෙනවා. ඒවාට ප‍්‍රමුඛතාවය දෙන්නේ නැහැ. තමන්ට ඕනෑ ඒවාට පමණක් ප‍්‍රමුඛත්වය දෙනවා. ඒත් කමක් නැහැ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා නම්. ඒ නිසා අපි දැඩි ලෙස විරුද්ධයි, ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාවකට ඉඩකඩ නොදී පාර්ලිමේන්තුව තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් හදිසියේ කැඳවීමට.

‘මෙයාලාට ජාතික කොඩිය ඇලජික්’

මම අහගෙනයි, ස්වදේශීය කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා ගුවන්විදුලි නාලිකාවකට ප‍්‍රකාශයක් කරනවා, ජාතික කොඩිය වෙනුවට රාජ්‍ය උත්සවවලදී එසවීම සඳහා අලූත් කොඩියක් නිර්මාණය කර ගෙන යනවා’ කියලා.

අපි දන්නා විදිහට ජාතික කොඩියට තිබෙන ප‍්‍රධානතම කාර්ය තමයි රාජ්‍ය උත්සවවලදී ලෙල දීම. රාජ්‍ය උත්සවයකටත් දාන්නේ නැතිනම් ජාතික කොඩිය දාන්නේ කොටහලූ මගුලකටද?

මේ ආණ්ඩුව බලයට පත් වූවාට පසුව ප‍්‍රධාන රාජ්‍ය උත්සව ගණනාවක් පැවැත්වූවා. පාර්ලිමේන්තු පිටිය අසල තිබුණා නිදහස් දින සැමරීමේ උත්සවය. මාතරදී තිබුණා රණවිරු සැමරුම් උත්සවය මේ හැම උත්සවයකදීම ජාතික කොඩිය ඉතාම සීමාකාරී ලෙස තමයි භාවිතා කර තිබුණේ. මේ අයට ජාතික කොඩිය ඇලජික්. දැන් කරන්න යන්නේ තිබෙන ජාතික කොඩිය හතරට පහට නමලා පෙට්ටගමේ දාලා කිසිම ජාතික සම්මුතියක් නොමැතිව ඒ තැනට තමන්ට හිතෙන (මම දන්නේ නැහැ දේදුනු වර්ණ කොඩියක්ද කියලා) කොඩියක් ගෙනල්ලා ඒක ඔසවන්න.

මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ජාතික කොඩියට අයිති තැන වෙන කොඩියකට දෙන්න බැහැ. එයාලාට ජාතික කොඩිය ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඒක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විසඳා ගත යුතුයි. එහෙම නැතිව හොර පාරෙන් වෙනත් කොඩියක් ගෙන ඒමට ඉඩදීමට බැහැ. අද මේ රට කොතැනටද රැගෙන යන්නේ? කාගේ උවමනාවද, කාගේ න්‍යාය පත‍්‍රය ද මේ ඉටු කරමින් සිටින්නේ?.

ඒ නිසා අපි ඉතාමත් බරපතළ ලෙස මේ රටේ ජනතාවට අනතුරු හගවනවා මේ කරන්න හදන කටයුත්ත නතර කිරීම සඳහා වහාම පෙළ ගැසෙන්න කියලා.’’

මෙම මාධ්‍ය හමුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංගික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ඒ. එච්. එම්. අස්වර් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-06-01

11 12 8 06 05 04

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*