BREAKING NEWS

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නුගේගොඩ රැලියේදී සිදු කළ කතාව

ගෞරවනීය ස්වාමීන්වහන්ස,

හිටපු ජනාධිපතිතුමනි/ රට බේරාගත් නායකයාණෙනි,
සහභාගී වී සිටින මිත්‍රවරුනි,
සහෝදරියනි, සහෝදරවරුනි,

‘‘අපේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති වෙලාවක, අපව අඳුරු කුටියක සිරගත කර ඇති වෙලාවක, පරගැති න්‍යාය පත්‍රයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇති වෙලාවක, ඒ පරගැති න්‍යාය පත්‍රය අනුව රූකඩ පාලකයන් නැටවෙන ජුගුප්සාජනක දර්ශන දකින්න ලැබෙන වෙලාවක තමුන්නාන්සේලා ඇමතීමට ලැබීම මම ඉතා වැදගත් කොට සලකනවා.

මේ පාලකයන් බලයට ආවේ ජනතාව තුළ බොරු හීන මවලා. ඒ හීන වසර 02ක් තුළ කුඩුපට්ටම් වෙලා ඉවරයි. අපි අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ, අද මේ රටේ ආර්ථිකය හතරගාතෙන් වැටිලා තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වූ දා පටන් උදේටත්, දවල්ටත්, රෑටත්, කතා කරන්නේ පසුගිය ආණ්ඩුවේ ණයබර ගැන. නමුත් ඇත්ත ඒක නොවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වන කොට මේ රටේ ණයබර දළ දේශීය නිෂ්පාදිතයෙන් 96% ක්. එතුමා බලයට පත් වන විට මේ රටේ තිබුණේ කෙකරගාන, අතගාන යුද්ධ. ඒ යුද්ධ සඳහා අවිආයුධ ගත්තා. වෙඩිබලය යෙදෙව්වා. එතැනදී වුණේ ඇතැමුන්ගේ බඩවඩා ගැනීමයි. සමහරු යුද්ධය ජීවනෝපායක් කර ගත්තා. එහෙම කරපු අය, 2005 දී බලයට පත් වෙලා ණය වෙලා ආයුධ අරන් වසර 2 ½ක් තුළ ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදය පරාජය කළ නායකයාට කියනවා ‘රටේ ණයබර වැඩි කළා’ කියලා. එතුමා ණය වෙලා ආයුධ අරන් යුද්ධය අවසන් කළා. අද එතුමාට චෝදනා කරන මේ පාලකයන් කෙකරගාන, අතගාන යුද්ධවලට අවිආයුධ මිලදී ගෙන, වෙඩි බෙහෙත් පුච්චලා රට ණය කරපු එක විතරයි කළේ. එ.ජා.පයට විතරක් නොවෙයි, අද කොටි තුස්තවාදයට උඩගෙඩි දෙන දෙමළ ජාතික සන්ධානයටත් අද රට තුළ බියක් සැකක් නැතිව දේශපාලනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එතුමා ත්‍රස්තවාදය පැරදූ නිසයි.

හාල් 100යි- පොල් 80යි

මහින්ද රාජපක්ෂ මැතිතුමා ණය ගෙන යුද්ධ කරලා මේ රටට ජයග්‍රහණය ගෙනාවා. ණය අරගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා රටේ ආර්ථික වර්ධන වේගය 7%ක් දක්වා වැඩි කළා. ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන් වැඩි කළා. මේ ආණ්ඩුව බලයට ඇවිත් රුපියල පාවෙන්න හැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය ඉහළ ගියා. පැවති ණයබර ඉහළ ගියා. රුපියල අවප්‍රවමාණය වීම නිසා වැඩිවූ ණයබර වැනි මුදලක් යොදවා හම්බන්තොට වැනි වරායවල් 2ක් හදන්න තිබුණා. අද හාල් කිලෝව රු. 100යි. පොල් ගෙඩිය රුපියල් 80යි. මේ රට මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සහලින් ස්වයංපෝෂිත වූවා. ගොවියාට පොහොර සහනාධාරය සහ අතහිත දීලා ඒ පාලනය රට සහලින් ස්වයං පෝෂිත කළා. අද ගොවියා හතරගාතෙන් ඇදවැටිලා තියනවා. ගොවි බිම් ප්‍රමාණය දවසින් දවස අඩු කෙරෙමින් ති‍යෙනවා. ගම්බද ජනතාවගේ ආදායම් මාර්ග අහිමි කරමින් තියෙනවා. එදා ගොවියාට ප්‍රශ්නයක් ආවාම අපට දැකගන්න ලැබුණා රතු අමුඩ බලකාය. නමුත් අද රතු අමුඩ බලකාය බෙහෙතකටවත් දැකගන්න නැහැ.

විකිණීම – විකුණන් කෑම

පාරේ වෙළඳාම් කරන වෙළෙන්දියක් එයා දන්නා විදිහට ‘ලූනු-කීර’ කියමින් වෙළදාම් කරනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයත් හරියට අර වෙළෙන්දිය වගෙයි. එයා දන්නෙ විකිණීම විකුණන් කෑම විතරයි. එයාගේ පාලන ගීතය තමයි ‘විකිණීම- විකිණීම- විකුණන් කෑම’ අද සරත් ෆොන්සේකා ඉන්දියාවට ගිහින් කියනවා අපි ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙනවා කියලා. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවේදී කියනවා, ‘අපි ඉන්දියාව සමග එකතු වෙලා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරනවා’ කියලා. ත්‍රිකුණාමලය වරාය කියන්නේ ලෝකයේ වටිනාම ස්වාභාවික වරායන් අතුරින් දෙවන තැන ගන්නා වරායයි. ඒ වරාය ඉන්දියාවට ලබා දීලා මේ රට ලෝක බලවතුන්ගේ බල අරගලයේ දඩබිමක් බවට පත් කරන්නයි මේ අය හදන්නේ.

රනිල්ගේ පැටිකිරිය හෙළිවුණා

පාලයකයන් නිරුවතින් ඉන්නකොට හිතෙනවා අමුඩය ගහලා ඉන්න මිනිහට පිස්සු කියලා. ඒ වගේම තමන්ගේ න්‍යාය පත්‍රයට විරුද්ධ මිනිස්සුන්ට පිස්සු කියලා මේ නිරුවත් පාලකයන්ට හිතෙනවා. ඒක අපේ වරදක් නොවෙයි හෙළුවෙන් ඉන්න පාලකයන්ගෙ වරදක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා බැඳුම්කර වංචාවෙන් පස්සේ තමන්ගේ පැටිකිරිය කුමක්ද කියලා මේ රටේ ජනතාවට පෙන්නලා දුන්නා. ආර්ථිකය දවසින් දවස අගාධයකට ඇද දමන ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කොල්ලකාලා පෙන්නුවා. මේවා ‘තොටිල්ලේ පුරුදු’. කියමනක් තිබෙනවානේ, ‘තොටිල්ලේ පුරුදු සොහොන තෙක්ම පවතිනවා’ කියලා. එක වෙලාවක සුචරිත ගම්ලත් මහාචාර්යතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කියපු කථාවක් මතක් වෙනවා. ඔහු පැවසුවා, වියළුණු දැනුමකින් යුක්ත පුද්ගලයා පිළිස්සුණු හදවතකින් යුත්ත වූවෙකි’ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තොටිල්ලේ පුරුදු තමයි රට විකුණන් කෑම සහ රට බෙදීමට පාර කැපීම. 2001 බලයට ඇවිත් රට විකුණන්න ‘රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනාවා. 2002දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කරලා කොටින්ට රට පාවාදුන්නා. රනිල් වික්‍රමසිංහ හැමදාම කළේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලනඥයන්ට දොලපිදේනි දීමයි. එහෙම නැතිව දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම නොවෙයි. මම දැන් ඉන්නේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ. එහි සිටින කොටි සැකකරුවන් කියනවා ‘අපි අපේ පවුල්වල අයට මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න කිව්වා. ඒත් එහෙම ඡන්දය දීම ගැන දැන් ඒ අය කම්පා වෙනවා.’ කියලා. ඔවුන්ට මේ වෙනසින් ලැබුණු දෙයක් නැහැ.

දහසක් බොරු කියලා දෙවොලක් මැවීම

මේ ආණ්ඩුව අද ණය අරගෙන යන්නේ කොතැනටද? අද ඔවුන් කරන්නේ දහසක් බොරු කියලා දෙවොලක් මැවීම. බොරු කියලා කොහොමද රට හදන්නේ. වොක්ස්වැගන් බොරු කියනවා. වයිෆයි බොරු කියනවා. රු. 10000ක් මූලික වැටුපට දෙනවා කියලා බොරු කියනවා. ආර්ථිකය මවනවා කියලා බොරු කියනවා. මේ කියලා තියෙන බොරු බේගල්වල හැටියට එක දෙවොලක් නෙවෙයි දහසක් හැදෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුවට ඡන්දය දුන්නු අය කළේ. ‘පාරේ දෙවියන්ට පොල් ගැහුවා’ වගේ වැඩක්. පාරේ කොහෙද දෙවියෝ? අන්තිමේදී පොල් ගෙඩියත් නැහැ, දේව බැල්මත් නැහැ. ඒ නිසා මේ ප්‍රෝඩාකාරී ගමන කොහොම හරි අප නතර කරන්න ඕනෙ.

දේශපාලන පිට්ටනිය තනිව ලියා ගැනීම

මේ ආණ්ඩුවේ ගමනට එරෙහි වන නායකයන්ට මේ අය කරන්න හදන්නේ කුමක්ද කියලා පසුගිය දවසක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කළ කතාවකින් හෙළි වුණා. ඔහු කීවා ‘අප ගෙනෙනවා වි‍ශේෂ අධිකරණයක්. ඒ විශේෂ අධිකරණයෙන් නඩු අහලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 15ත් 20ත් අතර පිරිසක් හිරේ දානවා. ඔවුන්ගේ ප්‍රජා අයිතිය අවුරුදු 4 – 5කට අහෝසි කරනවා. ඒ අයට ප්‍රජා අයිතිය ලැබිලා ආපසු දේශපාලනයට එනකොට මහින්ද රාජපක්ෂට 80 පැනලා. ඊට පස්සේ මොන කෙංගෙඩියක් කරන්නද’ කියලා. ඔන්න තිරපිටපත. නීතියේ විධානය, නීතියේ ස්වාධීනත්වය ගැන කටමැත දොඩවපු තක්කඩි රැල ලැජ්ජා නැතිව පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා කතා කළේ එහෙමයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශේෂ අධිකරණයකින් නඩු අහලා හිරේ දමලා ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලන පිට්ටනිය තමන්ට තනිව ලියාගන්නයි මේ තක්කඩි රැල සූදානම් වෙන්නේ. ප්‍රතිවාදීන් පිට්ටනියෙන් එළියට දමලා නිතරගයෙන් ජයගන්නයි මේ අය හදන්නේ. එදා ජනවාරි 08 වැනිදා බලයට ආපු දේදුනු හවුල, අලි, කොටි, නරි ඔක්කොම එකතුවෙලා හදපු හවුල දැන් ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න යන්නේ ඔන්න ඔහොමයි. මේ වගේ කතාවක් බැරිවෙලාවත් මහින්ද රාජපක්ෂ පාලන කාලයේ කාගෙහරි කටින් පිටවුණා නම් වහාම ඇමෙරිකානු තානාපති කාර්යාල රන් දෙවොලෙන් නිවේදන නිකුත් වෙනවා. යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යයද වහාම නිකුත් කරනවා නිවේදන. දැන් ඒ තානාපති කාර්යාල නිදි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කටමැත දොඩවපු සිවිල් සමාජ එන්. ජී. ඕ. ඩොලර් කාක්කො ටික නිදි.

පළාත් සභා ඡන්දයත් කල්දමන්න හදනවා

එදා ඡන්ද ටික නිසි වේලාවට තියපු රාජපක්ෂ පාලනයට මේ අය කීවේ ‘ඒකාධිපති රෙජීමය’ කියලා. නමුත් දැන් අවුරුදු 2ක් තිස්සේ පළාත් පාලන ඡන්දයත් කල් දමමින් ඉන්නවා. පළාත් පාලන ඡන්දය විතරක් නොවෙයි දැන් පනත් සංශෝධනයක් ගෙනල්ලා පළාත් සභා ඡන්දයත් කල් දමන්නයි මේ පරගැති හවුල සූදානම් වෙන්නේ. එහෙමනම් මහත්වරුනි ඡන්දය කල් දමමින් ඔය විදිහට යන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට වයස අවුරුදු 82 – 84ක් වෙනකම්. ජනතාව තමුන්නාන්සේලාට ඒ විදියට කරන්න ඉඩ දීලා නිහඬව ඉඳීවි කියලද හිතාගෙන ඉන්නේ. මේ පරගැති පරඬැල් ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් ඔවුන්ට ඕන විදිහට මේ රටේ ජනතාව නටවන්න ඉඩ දෙයි කියලා ඒක වැරදීමක්. මේ පරඬැල් හවුල තමන්ට ඕන විදිහට නටවන්න ජනතාව වැඩි කල් නොගිහින්ම කටයුතු කරන බවට අපි සහතිකයක් දෙනවා.

එළදෙන මරා සෙරෙප්පු දානයක් දීම

මේ පරගැති ආණ්ඩුවට කියන්න තියෙන්නේ ‘චීනයට හම්බන්තොට වරාය දෙනවා, ඉන්දියාවට අරක දෙනවා, ඇමෙරිකාවට මේක දෙනවා’ වැනි දෙයක් පමණයි. දෙමළ ප්‍රස්ථාව පිරුළක් තිබෙනවා ‘එළදෙනෙක් මරලා ඒ සතාගේ හමෙන් සෙරෙප්පු දානයක් දුන්නා වගේ’ කියලා කතාවක්. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පෙනෙන තෙක් මානයේ සිටිනවා නම් මේක ඔවුන් අහලා ඇති. එළදෙනෙක් ඉන්නේ සෙරෙප්පු දානයක් දෙන්නද. ඒ වගේම තමයි හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය කියන්නේ රන් බිජු දමන කිකිළියක්. ඒක විකිණීම ඒ කිකිළිය මරාගෙන කෑමක්. තායිලන්තය හරහා කැපෙන නව මුහුදු ගමන් මාර්ගයේ දිදුලන වරාය බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. ඒ බව දැනගෙන තමයි චීනය මේ වරාය මිලදී ගන්නේ. මේ ආර්ථික මර්මස්ථානය නොරටුන්ට පාවා දීමෙන් මේ ආණ්ඩුව කරන්නේ රටේ අනාගත ආර්ථික අභිවෘද්ධිය වනසා දැමීමක්.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දැනගන්න ඕනෙ යකඩ කොතරම් ඔපමට්ටම් කළත් රත්තරන් වෙන්නෙ නෑ කියලා. වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයත් කොතරම් ඔපමට්ටම් කළත් රත්තරන් කරන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිතාගෙන ඉන්නවාද දන්නෙ නැහැ, රනිල්ගේ න්‍යාය පත්‍රය ඔපමට්ටම් කරලා ගත්තාම රත්තරන් වේවි කියලා. රනිල් වික්‍රමසිංහ මේ න්‍යාය පත්‍රය 2001දී ගෙනාවා. බෙදුම්වාදයට දොල පිදේනිය දෙන්න හැදුවා. රටම විකුණන්න හැදුවා. ඒ නිසා මේ රටේ ජනතාව අවුරුදු 02න් රනිල් වික්‍රමසිංහව ගෙදර යැව්වා.

අද චන්ද්‍රකා කුමාරතුංග මහත්මියගේ භූමිකාව පිළිබඳව අපට කවර විවේචන තිබුණත් එදා එතුමිය නියම අවස්ථාවේදී නියම තීරණය ගත්තා. ඒ නිසා මේ නරුම පාලකයාගේ නරුම ස්වභාවය නිසි ආකාරයෙන් මේ රටේ ජනතාවට අත්විඳින්න සිදු වුණේ නැහැ. ඒ නිසා අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි කියනවා, ‘ඔබතුමාට මේ පොළොව වෙනුවෙන් යන්තමින් හරි හුස්ම වැටෙනවා නම්, ජනවාරි 08 වැනිදා ගත්තු තීරණය ගැන රෑට නින්ද යනකොට හෝ කලකිරීමක් තිබෙනවා නම් මේ පරගැති හවුලට තවදුරටත් ඉදිරියට යන්න දෙන්න එපා!’ කියලා.

ආණ්ඩුව ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිතුමන්ලාටත් යමක් කියන්න ඕනෙ. ‘අද එන්නම් හෙට එන්නම්’ කියන අය ඉන්නවා. අපට හදිසියක් නැහැ. අපි වෙසක් එකටයි බකට් පත්තු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් වෙසක් එක ළඟයි. නමුත් ඊට කලින් එක දෙයක් කියන්න ඕනෙ. ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මන්ත්‍රීවරුනි 2015 මැතිවරණයේදී අපි හැමෝම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් ඡන්දය ඉල්ලුවා. අපි හැමෝම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුහුණ දමලයි පෝස්ටර ගැහුවේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ මුහුණ නොවෙයි දැම්මේ. ඌරො පස්සෙ ගියාම වහු පැටියටත් වෙනවා අසූචි කන්න. ඒ වගේ, අද රනිල් වික්‍රමසිංහලා පස්සේ ගියාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු වන තමුන්නාන්සේලාටත් සිදු වෙනවා අසූචි කන්න. ඒ නිසා තමයි ලක්ෂ්මන් යාපා ඇමතිතුමා කීවේ ‘අපි ඉන්නේ අසූචි වලක’ කියලා. තමුන් ඉන්නේ අසූචි වලක කියලා දැනෙනවා නම් ඇයි තවදුරටත් අසූචි වලක ඉන්නේ? මේ රටට ආදරය කරන සැබෑ දේශමාමක බලවේග හිරගෙවල්වල දාලා මේ පරගැති ගමන යන්න තවදුරටත් ඉඩ දෙනවාද, නැද්ද කියලා තමුන්නාන්සේලා තීරණය කරන්න.

මේ වන්දනීය මාතෘභූමියට ආදරය කරන මිනිසුනි, හදවතේ කොනක තමන්ගෙ දරුවා කෙරෙහි දාරක ප්‍රේමය තිබෙනවා නම්, තමන්ගේ දරුවා ගැන සිහිනයක් මේ පොළොවේ පැල කරන්න හිතෙනවා නම් මේ පරගැති හවුල පන්නා දමන්න ලක්ෂ ගණනින් රොද බඳින්න, පෙළගැසෙන්න කියා ආරාධනා කරනවා.

මාතෘභූමියට ජයවේවා!
ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා!
ඔබට සියලු දෙනාට ජයවේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017/01/27

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*