BREAKING NEWS

ජාතික නිවාස ප්‍රතිපතියක් එළිදැක්වීමෙන් දකුණු ආසියාවේ පැල්පත්වලින් තොර එකම රට ශ්‍රී ලංකාව බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන බව ලෝක ජනාවාස දින සමුළුව අමතමින් විමල් වීරවංශ අමාත්‍යවරයා අවධාරණය කරයි

NMD_4190ජාතික නිවාස ප්‍රතිපත්තියක් එළිදැක්වීමෙන් දකුණු ආසියාවේ පැල්පත්වලින් තොර එකම රට ශ්‍රී ලංකාව බවට පත්කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2014 ලෝක ජනාවාස දින ජාතික සමුළුවට සහභාගී වෙමිණි.ලෝක ජනාවාස දින ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (06) දින පැවැත්විණි.

“ ජනාවාස හඬක් – ජන සෙවණින් හෙටක් ” යන තේමාව යටතේ මෙවර 2014 ලෝක ජනාවාස දිනය සමරනු ලැබීය.මෙම සමුළුවේ විශේෂත්වය වන්නේ නිවාස ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා මෑත ඉතිහාසයේප්‍රථමවරටසැකසූ ජාතික නිවාස ප්‍රතිපත්තිය විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් අතිගරු ජනිධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙම සමුළුවේදී සිදුකිරීමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ මීට අවුරුදු 30 කට කලින් ලෝක ජනාවාස දිනයක් පවත්වන්න ඕන කියන යෝජනාව ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකාවෙන්. ඉන් අවුරුදු 30 කට පසු ලෝක ජනාවාස දින සමුළුවක් ඒ අනුව ජනාවාස දිනය නිමිත්තෙන් ගත්තාවූ දැවැන්ත ක්‍රියාකාරකම් රැසක් සමඟ ඉතාම විශිෂ්ටතම ආකාරයෙන් ලෝක ජනාවාස දින සමුළුව ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බව අපට චකිතයකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන්. ලෝකයේ අනෙකුත් රටවල් මෙම දිනය සමරන ආකාරය දිහා බැලුවහම අතිගරු ජනාධිපතිතුමන් ලෝක ජනාවාස දින සමුළුවට සෑම වසරකම වගේ සහභාගී වෙනවා. රටේ රාජ්‍ය නායකයා හැටියට ජනාවාස වැඩපිළිවෙල පිළිබඳව එතුමාගේ තිබෙන උනන්දුව ඉන් පෙනෙනවා.බොහෝ රටවල්වල ලෝක ජනාවාස දින වැඩසටහන් නිලධාරී මට්ටමින් ක්‍රියාත්මක වන කුඩා ක්‍රියාකාරකම් කිහිපයකට සීමාවෙද්දී ශ්‍රී ලංකාව ජනාවාසකරණයේ තියුණු අභියෝග ජයගනිමින් නව පරිච්ඡේදයක් ලියමින් සිටින යුගයක රාජ්‍ය නායකත්වයේ පූර්ණ දායකත්වය, මැදිහත්වීම හා නායකත්වය යටතේ අද දියත්වෙමින් තිබෙන බව ජනාවාස සමුළුවට අතිගරු ජනාධිපතිතුමා සහභාගීවීමෙන් ප්‍රකට වෙනවා. කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන අඩුපහසුකම් ජනාවාසවල දරුවන් ඇතුළු මුළු රටේම දරුවන්ගේ දක්ෂතාවයන් හැකියාවන් උරගාබැලුණු කාලපරිච්ඡේදයක් ගෙවුණු කාලය තුළ දියත් කළා. ඒ දරුවන්ගේ දක්ෂතා අගයන්න, ජනාවාසකරණයේ අභියෝග ජයගන්න ජවය හා ශක්තිය ලබාදෙන්න ජනාධිපතිතුමාගේ සහභාගීත්වය ඉතා වැදගත්කොට සළකනවා. මේ මහා සමුළුව නිකන්ම ජනාවාස සමුළුවක් නොවී ඉතිරිවී තිබෙන ජනාවාස අභියෝග ජයගැනීම සඳහා ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් බලමුළු ගන්වන ජනාවාස සමුළුවක් බවට පරිවර්තනය කරන්න ඔබතුමාගේ සහභාගීත්වය ඉතාම අගයකොට සළකනවා.

ජනාවාසකරණය හා නිවාසරකණය අතින් ශ්‍රී ලංකාව ඉන්නේ දුර්වල ස්ථානයක නොවේ. සමහරු කැමතියි ශ්‍රී ලංකාව මුහුණදී සිටින අඳුරු පැති තිබෙනවා නම් ඒ අඳුරු පැති ගැන විතරක් නැවත නැවත කතා කර මුළු රටේම ජනතාවගේ මනස අඳුරු වළාකුළුවලින් පුරවන්න සමහරු කැමතියි. නිවාසකරණය ගැන සැළකුවොත් දකුණු ආසියානු කලාපයේ බලාත්මක නිවාසකරණ තත්ත්වය දිනාගනෙ සිටින්නේ ශ්‍රී ලංකාව බව අපි වටහාගත යුතුයි.

දකුණු ආසියානු කාලපයේ වැඩිම ස්ථීර නිවාස ප්‍රමාණයක් තිබෙන රට ලංකාව. දකුණු ආසියානු කලාපයේ 82% ක පමණ ස්ථීර නිවාස තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ. වෙන රටවල්වල මේ ගණන ඉතාම අඩු වෙනවා. එය ජනාවාසකරණ තොරතුරු ආශ්‍රිතව සොයාබැලුවහම තමුන්නාන්සේලාට ඒ බව පේනවා. එපමණක් නොවේ, දකුණු ආසියාවේ අඩුම පැල්පත් සංඛ්‍යාවක් තියෙන්නෙත් මේ පුංචි රටේ. එය 136,000 ක්. ඉන්දියාව, වෙනත් දකුණු ආසියාවේ අනිකුත් රටවල, ඒ සියල්ල සමඟ සසදලා ජනගහන ඝනත්වයේ අනුපාතයක් හැටියට කල්පනාකර බැලුවත්, දකුණු ආසියාතික කලාපයේ අඩුම පැල්පත් ප්‍රමාණය තිබෙන්නේ මේ රටේ. ඒ පැල්පත් 136,000 ක ප්‍රමාණයෙන් කොළඹ අගනාගරික බල ප්‍රදේශයේ පදිංචි පවුල් 60,000 කගෙන් 30,000 ක පමණ ප්‍රමාණයක් 2015 වසර වන විට නව මහල් නිවාස පද්ධතියකට ගෙන ඒමට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඒ පැල්පත්136,000 වැඩිකල් යන්න කලින් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒ සංඛ්‍යාලේඛනයත් තුරන්කර පැල්පත්වාසීන් නොමැති දකුණු අසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කිරීම මේ ජනාවාස සමුළුවේ අප ඉදිරිපිට තිබෙන අභියෝගය. ඒ අභියෝගය ජයගන්න දැවැන්ත දායකත්වයක් අද මේ රජය ලබාදෙනවා. මේ කලාපයේ නිවාසවලට විදුලි බලය වැඩියෙන්ම ලබාදී තිබෙන රට ශ්‍රී ලංකාව. වැඩියෙන්ම නල ජලය නිවාසවලට ලබාදී තිබෙන රටත් ශ්‍රී ලංකාව. නගරය කරා ගමේ ජනතාව පදිංචියට පැමිණෙන අඩුම ප්‍රවණතාවයක් තිබෙන ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට ශ්‍රී ලංකාව. ගමෙන් නගරයට ඇදෙන අඩුම ප්‍රවණතාවයක් තිබෙන්නේ නගරය හා සමානව ගම සංවර්ධනය කර කෘෂිකාර්මික ජීවනෝපාය දියුණු කරන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිසා. එවිට ගමේ දරුවෝ කොළඹ පෞද්ගලික ආරක්ෂක සේවාවලරැකියා සොයාගෙන එන යුගය අවසන්වෙලා. ජනගහනය අඩුවෙන්ම නගරයට ඇදෙන රට බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ අනෙකුත් හැම රටකටම සාපේක්ෂව අපි මේ විෂය අතින් ඉන්නේ බලවත් තැනක. එවන් රටක් හැටියට ජනාවාස සමුළුව අභිමානවත්ව පවත්වන්න ශ්‍රී ලංකාවට හැකිවෙලා තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති බවට පත්වුණාට පසුව මේ රටේ නිවාසකරණයේ වුණු වේගවත් වෙනස ගැන අවධානය යොමු කරන්න කැමතියි. 2010 වර්ෂය වන තුරු මේ රටේ සාමාන්‍යයෙන් වසරකට ස්ථීර නිවාස ඉදිවුණේ 250,000 ක පමණ උපරිම ප්‍රමාණයක්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සෑම වසරකම ඉදිවුණේ නැහැ. එක්කෝ වසරක නිවාස ගණන ඊට වඩා අඩුයි. නැත්නම් උපරිමය ඒ ප්‍රමාණය. ඒ 2010 ට කලින්. 2011 මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමඟ සමාජයේ අලුත් මතවාද නිර්මාණය කරලා නිවාස ඉදිකිරීම සඳහා බැංකුවලින් නිවාස ණය ලබාගැනීමට නොහැකි පවුල් සඳහා අපි මැදිහත්වෙලා සහන කොන්දේසි මත නිවාස ඉදිකිරීමට ණය ලබාදුන්නා.ඒ වගේම ජනාධිපතිතුමාගේඋපදෙස් පරිදි බැංකු මඟින් අඩු පොළියක් යටතේ නිවාස ණය ලබාදුන්නා. 2010 ට කලින් වසරකට වැඩිම වශයෙන් 25,000 ක් ස්ථීර නිවාස ඉදිවුණු මේ රටේ 2011 වසරේදී පමණක් ලක්ෂ 4 කට ආසන්න වූ ස්ථීර නිවාස ඉදිවෙලා තිබෙනවා. ඒ ප්‍රවණතාවය දෙගුණයක් පමණ ඉහළට ඔසවා තිබෙනවා. මෙයින් පේනවා අපි අභියෝගය ජයගනිමින් සිටිනවා. අපි අභියෝග සමඟ සටන් වදිමින් සිටිනවා. වර්තමාන රජය ඒ අභියෝග සමඟ සටන් වදිමින්, පොර බදිමින් ජයග්‍රහණ අත්පත්කර ගනිමින් පමණක් ස්ථීරසාරව නියම ප්‍රතිඵලය නියම ජයග්‍රහණය හිමිකර ගැනීම දක්වා ජනාවාස හා නිවාසකරණය ගෙනියනවා කියලා මතක් කරනවා. අපි ඉන්නේ අඳුරු වළාකුළු වලින් පිරුණු යුගයක නොවෙයි. යුද්ධයේ වේදනාව අපිට දැනුනා. ඒ වේදනාවෙන් මේ පොළොව ඉතාම කම්පිතව ජීවත් වුණා. ඒ අඳුරු වළාකුළු ක්‍රමානුකූලව නැතිකරලා රටේ සංවර්ධන අභියෝග ජයගන්න මේ රජය ක්‍රියාකරමින් සිටිනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට නිවාස ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විප්ලවීය යුගයක් ආරම්භ වුණා. නිදහසින් පසු සෑම වසරකම සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය 5% පමණ අගයක පැවතුණා. අද කාර්තුවකට 21% ඉක්මවන වර්ධන වේගයක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියෙනවා. දළ දේශීය ආදායමේ 8% ක පමණ කොටසක් ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරනවා. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විප්ලවීය පිම්මක් පැණපු යුගයක් හැටියට මේ රජය යටතේ ගෙවුණු යුගය පත්වෙලා තියෙනවා. ඒ ක්ෂේත්‍රය පමණක් නොවෙයි විප්ලවීය යුගයක් ඇතිවෙලා තියෙන්නේ. මං කලින් කියපු කරුණු අනුව වසරකට ස්ථීර නිවාස ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට හැකිවීමෙන් නිවාසකරණයේ හා ජනාවාස කරණයේ විප්ලවීය පරිවර්තන යුගයක් ආරම්භ කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ යුගය බව සඳහන් කරනවා.මේ දත්තවලින් ඒ බව හොඳින් පෙන්නුම් කරනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිම්මට අවශ්‍ය කරන තල්ලුව ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ පනත ගෙනල්ලා නව අධිකාරියක් පිහිටුවලා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන්ගේ සිට අනෙකුත් වෘත්තිකයින් හා කර්මාන්තකරුවන් දක්වා සියලු දෙනා බලගන්වන්නඅවශ්‍ය කරන පරිවර්තනය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි සිදුකළා.ජාතික ඉදිකිරීම් පනත මඟින් ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය හා ඉදිකිරීම් සංවර්ධන අරමුදල පිහිටුවලා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍යකරන තල්ලුව ලබාදෙන්න ඒ වෙනස සිදුකළා.නිවාස කරණයේදී අපට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම.ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසා එක් එක් ආයතන තමන්ට උවමනා විදියට නිවාසකරණයේ නියැලෙනවා.ගැටළු නිර්මාණය වෙනවා.ඒවාට පිළිතුරු නැහැ.ඒ නිසා ඔබතුමාගේ උපදෙස් පරිදි අප නිවාස ප්‍රතිපත්තිය නිර්මාණය කරන්න ආරම්භකළා.මීට කලින් නිවාස ප්‍රතිපත්තිය සකසන්න අමාත්‍යාංශ වලින් මිලියන ගණන් වියදම් කරලා තියෙනවා.නමුත් මිලියන ගණනක් වියදම් කලාට නිවාස ප්‍රතිපත්තියක් එළියට ආවේ නැහැ.අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු කාරයය මණ්ඩලය විශාල කැපකිරීමක් කරලා කිසිඳු වියදමක් නොකොට විද්වතුන්ගේ, පොදු ජනතාවගේ අදහස් විමසලා, අමාත්‍ය මණ්ඩලයේ අදහස් අනුව සංශෝධනය කරලා වියයුතු සාධනීය වෙස්කම් සහිතව ජාතික නිවාස ප්‍රතිපත්තියක් සැකසුවා.අද එය නිල වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වනවා.ජාතියට පිළිගැන්වීමේ ආරම්භය හැටියට නිවාසකරණයේ තිබුණු අවශ්‍යතාවය සම්පූර්ණ දවස බවට 30 වන ලෝක ජනාවාස දින සමුළුව පරිවර්ථනය වෙනවා.ජාතියට නිවාස ප්‍රතිපත්තියක් ලබාදුන්නු නාගරික ජනාවාස සමුළුවක් බවට මේ දිනය එකතු වෙනවා.

නෙළුම්පොකුණ රඟහලේදී කොළඹ අඩු පහසුකම් ජනාවාස වල දරුවන්ගේ දක්ෂතා දැකලා බොහෝ දෙනෙකුගේ දෑස් විමතියට පත්වුණා. නන්දා මාලනී වැනිප්‍රතිභාපූර්ණ කලාකාරියන්උපන් අඩු පහසුකම් ජනාවාසවල තවත් නන්දාමලානීලා බිහිකරන්න පුළුවන් කියන විශ්වාසය දරුවන් තුළ ජනිත කරන්න හැකිවුණා. කොළඹ නගරයේ භෞතික වෙනස අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්තුමා මඟින් නිවැරදිව සිදුකරනවා. ලස්සන නගරයක් හැදෙනවා. නව නිවාස 60,000 ක් හැදෙන්නේ ඒ දරුවන්ට අලුත් අනාගතයක් හදන්න. ඒ දරුවන්ගේ සංස්කෘතික ජීවිතය පරිවර්තනය කරන මෙහෙයුම අපි ආරම්භ කරලා තියෙන්නේ. වීදි ආහාර වැඩසටහන මඟින් දවසට රුපියල් 2000 ක් 3000 ක් උපයන අම්මලා දවසට රුපියල් 10,000 ක් 15,000 ක් උපයන තත්ත්වයට අපි පරිවර්තනය කළා. ඒ දෙමව්පියෝ මාසයකට සැරයක් ඒ වීදි ආහාර සැණකෙලිය පවත්වන්න අපෙන් ඉල්ලනවා. මේ දරුවන් තම නාට්‍ය නිර්මාණතරඟ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව ඒවා දර්ශනීය ලෙස ඉදිරිපත් කළා. කළමනාකරණ සංස්ථාවේ කටයුතු දියුණු කරන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හොඳම කළමනාකරණ සංස්ථා සඳහා සම්මාන දීලා දිරිගන්වනවා.

මේ රට අමාරුකම් අභියෝග මධ්‍යයේ ගෙවපු කාලය අතීතයට දීලා දේශීයවත් ජාත්‍යන්තරවත් එම අභියෝග ජයගනිමින් හැම උඟුලකින්ම මේ පොළොව බේරාගෙන ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්ය ලැබේවායි මෙම ජනාවාස දින සමුළුවට අපේ ආරාධනය පිළිගෙන ජනාධිපතිතුමා පැමිණිලා මේ ජනාවාසකරණ අභියෝගය ජයගැනීමට කටයුතු කරන සේනාංකයට ලබාදෙන ධෛර්ය නායකත්වය වෙනුවෙන් ස්තූතිය පුදකර සිටිනවා ” යනුවෙන්ද මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ පණිවුඩය එම වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සමන් ඒකනායක මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. “ මේ වර්ෂයේ නිවාස අමාත්‍යාංශය විසින් ජනතාවට සෙත සැලසෙන අයුරින් වැදගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන් සියල්ලට නායකත්වය දෙමින් කැපවෙන විමල් වීරවංශ අමාත්‍යවරයාට හැබිටාඩ් නිවාස වැඩසටහන වෙනුවෙන් ලබාදෙන දායකත්වය අගයකර සිටිනවා. පසුගිය වසරවල පැවති ජනාවාස දින උත්සවය සඳහා අතිගරු ජනාධිපතිතුමා සහභාගී වීම මඟින් රාජ්‍ය අනුග්‍රහය හිමිවීම ද අගය කරනවා ” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ්) සංවිධානය විසින් ප්‍රකාශයට පක්තර ඇති පරිදි සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින (මේ වර්ෂයේදී ඔක්තෝම්බර් 06 වන සඳු දින ) ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සැමරීම සිදුකරයි.

මෙවර ලෝක ජනාවාස දින තේමාව “ Voices From Slums ”යන්නයි. ‘‘නාගරික පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිතව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ ජනාවාස හඬක් – ජනසෙවණින් හෙටක් ” යනුවෙන් ප්‍රතිනිර්මාණය කෙරිණ.

ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝකාලයක අවශ්‍යතාවයක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙම සමුළුවේ ප්‍රධාන අංගයක් විය.

දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ සමස්ථ නිවාස සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව ආවරණය කරමින් මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස්කොට තිබේ. දුගී දුප්පත් ජනතාවට රාජ්‍ය මැදිහත්වීම යටතේ නිවාස ඉදිකිරීමත්, අඩු ආදායම්ලාභී ප්‍රජාව හා මධ්‍යම ආදායම්ලාභී ප්‍රජාවට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ දායකත්වයෙන් සිය නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා සහාය වීමත්, කුලී නිවාසලාභීන් සඳහා නිශ්චිත නිවාස සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමත් ජාතික නිවාස ප්‍රතිපත්තියේ මූලික අංගයන් වේ.

  • මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වුයේ 28 වන ලෝක ජනාවාස සමුළුවේ දීය.
  1. දකුණු ආසියාවේ අවම පැල්පත් ඇත්තේ ශ්‍රි ලංකාවේ. එම ප්‍රමාණය 136,000 කි. එම පවුල් සඳහා ස්ථීර නිවාස ලබාදීම රජය මඟින් කළ යුතුයි.
  2. අවිනිෂ්චිත ආදායම් ලාභීන්ගේ සංඛ්‍යාව සමස්ථ ආදායම පදනම්කරගත්විට 40% කි.ඔවුන්ට ස්ථිර නිවාස ඉදිකිරීමට යාමේදී එම අවිනිශ්චිතතාවය නිසා විවිධ ගැටළු ඇති වේ. ඒවා නිරාකරණය කිරීමට රජය හා පෞද්ගලික අංශය මැදිහත් විය යුතුයි.මධ්‍යම ප්‍රාන්තික ආදායම් ලබන ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා රජය හා පෞද්ගලික අංශය මැදිහත් වීම.
  3. ඉහළ ආදායම් ලාභීන්ට නිවාස සෑදීමේදී කිසියම් නියාමනයක් සෑදීමට යෝජනා කිරීම.
  4. 10% වන කුලී නිවාසලාභීන් වෙනුවෙන් ස්ථීර නිවාස ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  5. නිවාස ඉදිකිරීම් සඳහා යොදාගන්නා ගොඩනැගිලි ද්‍රව්‍ය නිසි ප්‍රමිතිකරණයෙන් යුතුව සකස් කිරීම.
  6. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් සඳහා විධිමත් පුහුණුවක්, දැනුවත්භාවයක් ලබාදීම.
  7. නිවාසකරණය සඳහා විධිමත් මූල්‍ය කළමනාකරණයක් මඟින් අරමුදලක් ස්ථාපිත කිරීම ඇතුළු තවත් යෝජනා කිහිපයක්ම මෙම ජාතික නිවාස ප්‍රතිපත්තියට ඇතුළත් වේ.

තවද ලෝක ජනාවාස දින ජාතික සමුළුවේදී අතිගරු ජනාධිපතිතුමා අතින්,

  • ලෝක ජනාවාස දිනයට සමගාමීව සැප්තැම්බර් 27 හා 28 දිනයන්හි කොළඹ නව නගර ශාලාවේ පැවති ජනාවාස දින නාට්‍ය උ‍ළෙලේ ජයග්‍රාහී නාට්‍ය සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම.
  • සැප්තැම්බර් 28 දින රාජගිරිය බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේ පැවති ජනාවාස දින ක්‍රිකට් තරඟයේ ජයග්‍රාහකයින්ට (කාන්තා / පිරිමි) තිළිණ හා සහතිකපත් ප්‍රදානය කිරීම
  • කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්හි නිවාස හිමිකම්ලාභීන් 500 දෙනෙක් වෙනුවෙන් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම
  • කොළඹ කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන් 200 දෙනෙක් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රජා කොන්ත්‍රාත්කරුවන් 100 දෙනෙක් ලියාපදිංචිකොට ඔවුන්ට NVQ සහතික පිරිනැමීම.
  • කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම මහල් නිවාස ආශ්‍රිතව පිහිටුවා ඇති කළමනාකරණ සංස්ථාවලින් හොඳම කළමනාකරණ සංස්ථා තරඟකාරී පදනමකින් තෝරා එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම.

2014 ලෝක ජනාවාස දිනය තේමාකොට ගනිමින් දීප ව්‍යාප්තව පාසල් සිසුන් අතරේ පැවැත්වූ චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ. ඊට අමතරවශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සඳහා දීර්ඝ කාලයක් ලබාදුන් දායකත්වය වෙනුවෙන් ජනසෙවණ නිවාස මහ ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය මහතා වෙත ඔහු විසින් ඉටුකළ මෙහෙය අගයා සමරු තිළිණයක් ද අතිගරු ජනාධිපතිතුමා අතින් පිරිනමන ලදි.

ඊට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් ලෝක ජනාවාස දිනය වෙනුවෙන් නිර්මාණය කළ සමරු ඵලකය හා සහාධිපත්‍ය පුවත්පතේ විශේෂ කලාපය අතිගරු ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කරණ ලදි.

2014 ලෝක ජනාවාස දින සමුළුව වෙනුවෙන් කියුබානු රජයේ සුභාශිංෂණ පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී ඉන්දිරා ලෝපෙස් මහත්මිය මෙම අවස්ථාවට සහභාගිවීම විශේෂත්වයකි. ඊට අමතරව මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජින්රු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ඌව පළාත් සභා මන්ත්‍රී පද්ම උදයශාන්ත, මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස ) කේ.ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ පාලිත ගමගේ, එහි සාමාන්‍යාධිකාරී සුමිත් වන්නිආරච්චි, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතීඥ කපිල ගමගේ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කැෂියන් හේරත්, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ අනුර දසනායක, ජාතික භෞතික සැලසුම් දෙපාර්ථමේන්තුවේ අධ්‍යක් ජෙනරාල් වෙරන්ජන් කරුකුලසූරිය, රජයේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ඉංජිනේරු ඩබ්.එම්.කේ.පි.එස්.ආර්.ප්‍රනාන්දු,ගොඩනැගිළිදෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ආර්.ජ්‍යෙචන්ද්‍රන්යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිළධාරිහු, ජනාවාස වල පදිංචි දෙමව්පියෝ, දරු දැරියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

NMD_3962 NMD_4190 NMD_4220 NMD_4286 NMD_4373

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*