BREAKING NEWS

ජාතිය හමුවේ වන තීරණාත්මක සතුරු මෙහෙයුම නිවැරදිව තේරුම්ගෙන එය මුළුමනින්ම පරාජයට පත් කිරීමට කැප වෙමු!

12489267_867744723343349_5006026657602987707_oජාතිය හමුවේ වන තීරණාත්මක සතුරු මෙහෙයුම නිවැරදිව තේරුම්ගෙන එය මුළුමනින්ම පරාජයට පත් කිරීමට කැප වෙමු!
ජානිපෙ නායක, විමල් වීරවංශ

ජාතිය හමුවේ වන තියුණු තීරණාත්මක සතුරු මෙහෙයුම නිවැරදිව හඳුනාගෙන එය මුළුමනින්ම පරාජයට පත්කිරීමට මුළුමහත් ජාතියේ ශක්තිය ඊට එරෙහිව යොදවාලන වසර බවට 2016 පත්කර ගතයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පසුගිය 19 වැනිදා බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ‍්‍රයේදී පැවැති ‘මාතෘභූමියේ ගමනක අවසානය’ නම් වූ සිය දේශනය සිදු කරමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසුවේය.

‘සතුරා සහ අභියෝගය නිවැරදිව දැකීම’
———————————————-

‘‘1815 කියන්නේ අපේ රටේ ඉතිහාසය වෙනස් කළ බියකරු එක් සන්ධිස්ථානයක්. ඊටත් වඩා බියකරු සන්ධිස්ථානයක් වෙත 2015 ‘ආප්ප විප්ලවයෙන්’ පසු මේ රට ඇදගෙන යමින් තිබෙනවා. ‘මේ සන්ධිස්ථානය කුමක්ද?’ කියන එක නිවැරදිව තේරුම් නොගෙන ජාතියක් ලෙස අද අප හමුවේ වන අභියෝගය ජයග‍්‍රහණය කරන්න බැහැ. ඕනෑම ජාතියකට ජයග‍්‍රහණය කිරීමට අභියෝගයක් තිබෙනවානම් එහි පූර්ව කොන්දෙසිය තමයි සතුරා සහ අභියෝගය නිවැරදිව දැකීම. අද ජාතියේ ‘මිනී වල’ අප ඉදිරියේම කැපෙමින් තිබෙනවා.

මේ සන්ධිස්ථානය නිවැරදිව තේරුම් නොගත්තොත් එය ‘මාතෘභූමියේ ගමනක අවසානය’ තීන්දු කරන සන්ධිස්ථානයක් බවට පත්වීම වැළැක්විය නොහැකියි. මාතෘභූමියට එරෙහි මෙවැනි අභියෝග දිගේලි වන ඕනෑම මොහොතක ජාතියට ඒ අනතුරේ ප‍්‍රමාණය වටහා දීමේ වගකීම සහ යුතුකම අප ඉදිරිපිට තිබෙනවා. ඒ සඳහායි මෙවැනි දේශනා මාලාවක් දෙස් විදෙස් ශ‍්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙන්නේ.

ජනවාරි 08 වැනිදා සිදු වුණු බල පෙරළිය මම නම් හඳුන්වන්නේ ‘ආප්ප විප්ලවය’ ලෙසයි. ඇතමුන් එය ‘දේදුනු විප්ලවය’ ලෙසත් හඳුන්වනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එයට කියන්නේ ‘විප්ලවය’ කියලයි. විප්ලවය කියන වචනය භාවිතා කරනු ලබන්නේ වාමාංශික දේශපාලන ව්‍යාපාර. අද අන්ත දක්ෂණාංශික දේශපාලන කල්ලිත් ‘විප්ලවය’ කියන වචනය පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ජනවාරි 08 වැනිදා සිදු වුණු ‘ආප්ප විප්ලවයට’ ජාත්‍යන්තර අයිතිකාරයෝ ගොඩයි. 2005 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරණය ජයගන්නා විට ඒ ජයග‍්‍රහණයට ජාත්‍යන්තර අයිතිකාරයෝ හිටියේ නැහැ. මෑතකදී ශ‍්‍රී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය විදේශ අමත්‍යවරයා පැවසුවා ‘ජනවාරි 08 වැනිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ පෙරළියේ ගෞරවයෙන් කොටසක් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාටත් හිමිවිය යුතුයි’ කියලා. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරුක් ඔබාමා පසුගිය වසරේ ඉන්දීය ජනරජ දින උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ කළ කතාවේදී කියනවා ‘ ලංකාවේ සිදුකළ බල පෙරළියට සහයෝගය ලබාදීම පිළිබඳව ඉන්දියාවට ස්තුතියි’ කියලා. ඒ කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවේ බල පෙරළිය සිදු කරන විට ඉන්දියාව ඊට උදව් දීලා. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පසුගිය වසරේ මැයි මාසයේ ශ‍්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී පැහැදිළිව කීවා ‘ශ‍්‍රී ලංකාවේ සිදු වුණු බල පෙරළිය අපේ වැඩක්’ කියලා. ඒ විතරක් නොවෙයි ශ‍්‍රී ලංකාවේ ඊනියා සාම ක‍්‍රියාවලියට පහසුකම් සපයන්නා ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් කියනවා ‘මේ බල පෙරළියට නොර්වේ අපිත් සහයෝගය දුන්නා’ කියලා. ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ඉන්දියාව හා නෝර්වේ යන රටවල් මේ ‘ආප්ප විප්ලවයට’ දායක වී ඇති බව ඒ අනුව පෙනෙනවා.

සමහරු මතයක් ගෙන යනවා ‘මේක පුංචි රටක්. මේකට මොකටද ලෝක බලවතුන් මැදිහත් වෙන්නේ?’ කියලා. නමුත් නෝර්වේ, ඉන්දියාව, බි‍්‍රතාන්‍යය හා ඇමෙරිකා එක්සත් ජනපදය මේ රටේ පැවැති ආණ්ඩුව ගෙදර යවලා අලූත් ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ ගෞරවය බෙදා හදා ගන්න හදනවා නම් එයින් කියැවෙන්නේ කුමක්ද? ජනවාරි 08 වැනිදා මේ රටේ සිදු වුණේ ජාත්‍යන්තර බලවතුන්ගේ මැදිහත්වීම සහිත බල පෙරළියක්, කියන එක.

‘සිදු වෙමින් පවතින විශේෂිත විපර්යාසය’
———————————————-

දැන් මේ රටට බටහිර අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් එක පෙළට එනවා. පෙබරවාරි මාසයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයික් අල් හුසේන් කුමාරයාත් එනවා. ඔහුගේ කාර්යාලයෙන් නිවේදන නිකුත් වෙනවා. ‘ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදි ශ‍්‍රී ලංකා රජය විසින් ඉටු කිරීමට එකග වූ කරුණු ඉටුකර ඇත්දැයි ගැඹුරින් සොයා බැලීමට මානව හිමිකම් කොමසාරිස්වරයා බලාපොරොත්තු වේ’ කියලා. මේ බටහිර ඒජන්තයන් උතුරට යනවා. ගිහිල්ලා උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ට අතට අත දෙනවා. එවිට විග්නේෂ්වරන් ඔවුන්ට කියනවා ‘උතුරේ ඉන්නේ ආක‍්‍රමණික හමුදාවක් ඒක අයින් කරන්න ඕනෙ’ කියලා. ඒ අනුව අපට පැහැදිලියි ‘රට තුළ යම් විශේෂිත විපර්යාසයක් සිදුවෙමින් පවතිනවා’ කියලා. මේ යන එන මහත්වරුන්ගේ න්‍යාය පත‍්‍ර නිවැරදිව තේරුම් නොගත්තොත් මේ රට ගොඩගන්න බැරි ‘වලකට’ වැටෙන එක වළක්වන්න බැහැ.

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා උතුරට ගියා තෛපොංගල් උත්සවය සමරන්න. ඔහු එහිදී සිදු කළ කතාවේදී පැවසූ වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා. ඊට පෙර මතක් කරන්න ඕනේ ඔහු පැවසූ කිරිබත් සහ තෛපොංගල් බත පිළිබඳ කතාව. අගමැතිවරයා කියනවා ‘කිරිබතට වඩා තෛපොංගල් බත රසයි’ කියලා. මෙතැනදී අපට අමුත්තක් දැනෙන්නේ ‘කිරිබතට වඩා’ කියන කාරණයත් සමගයි. එතුමාගේ නෝනා එතුමාට ‘රස කිරිබතක්’ හදලා දීලා නැතිව ඇති. (සභාවේ සිනා) රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජාතියේ අවධානය යොමුවිය යුතු කරුණු කිහිපයක් මෙම තෛපොංගල් දින උත්සවයේ සිය කතාවේදී පැවසුවා. මේ වසර මැද වන විට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා, කියලා කිවා. ඒ වගේම උතුරෙන් හමුදාව ඉවත් කරනවා, කියලා කීවා. තව අක්කර 4000ක් අධිආරක්‍ෂිත කලාපයෙන් ඉවත් කරලා ජනතාව පදිංචි කරනවා, කියලා කීවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළාම දැනට දඩුවම් ලබන බරපතළ අපරාධ කරපු කොටි ත‍්‍රස්තවාදීන් ඉබේම නිදහස් වෙනවා. ඒ වගේම ‘දෙමළ තරුණයන් පොලිසියට බඳවා ගන්න’ කියලා ඒ අවස්ථාවේදී අගමැතිවරයා නියෝගයක් ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ වැරදිකරුවන් වූ පිරිස් නිදහස් වේවි. පසුව අලූතෙන් හැදෙන පොලිස් ස්ථානවලට බඳවා ගැනේවි. උතුරට ගිහිල්ලා එහෙම කියනවා. අපි අහගෙන ඉන්නවා.

අද වෙන කොට රටේ ආර්ථිකය තදබල විදිහට බිඳ වැටී තිබෙනවා. රුපියල දිනෙන් දින අවප‍්‍රමාණය වෙනවා. 2015 ජනවාරියට සාපේක්‍ෂව කොටස් වෙළඳපොළ 18%කින් බිඳ වැටී තිබෙනවා. ව්‍යාපාර බිඳ වැටිලා. සංවර්ධන කටයුතු ඇන හිටලා. ඒත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා කියනවා. ‘පසුගිය වර්ෂය වෙන් කළේ සංවර්ධනයට එතෙක් පැවැති බාධා ඉවත්කර ගැනීමටයි’ කියලා. එහෙම තිබියදී තමයි, මේ ආණ්ඩුව පසුගිය ජනවාරි 07 සහ 08 දිනවල ජෝර්ජ් සෝරෝස් නැමැති ජාත්‍යන්තර මූල්‍ය අපරාධකරුවා ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වලා කොළඹදී ‘මහා ආර්ථික සමුළුවක්’ පැවැත්වූයේ. ඒ සමුළුවේදි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා. ‘දෙමළ ඩයස්පෝරාවේ මුදල් අපි ලංකාවට රැගෙන එන්න ඕනේ’ කියලා. මේ කියන්නේ කොටි ත‍්‍රස්තවාදීන් අවි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා විදෙස්ගත දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් එකතු කළ මුදල් මේ රටට රැුගෙන එන්න ඉඩ දෙනවා කියන එකයි. එහෙම කියන වික‍්‍රමසිංහ මහත්තයාගේ අය-වැයෙන් ප‍්‍රාගධන ගිණුම විවෘත කෙරුණා. ප‍්‍රාග්ධන ගිණුම් විවෘත කළාම ඕනෑම කෙනෙකුට ඩොලර් අරන් එන්න පුළුවන්. අවශ්‍ය වේලාවක ඒවා රැගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ප‍්‍රාග්ධන ගිණුම මහ බැංකුවේ අධීක්‍ෂණයෙන් ගිලිහී යනවා. එහෙම කළාම රටක ආර්ථිකය ‘හයිජැක්’ කරන්න, ප‍්‍රාණ ඇපයට ගන්න අශූද්ධ බලවේගවලට හැකියාව ලැබෙනවා. මේ අනුව සෝරෝස්ලාට වගේම කොටි හිතවාදී ඩයස්පෝරාවටත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ‘හයිජැක්’ කිරිමේ ඉඩකඩ ලැබෙනවා.

‘කවුද මේ බ‍්‍රා – පති’
———————–

ඒ අතරේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ‘රටේ අයට අපේ යහපාලනය ගැන කවර මතයක් තිබුණත් ජාත්‍යන්තර ප‍්‍රජාව නම් ඒ පිළිබඳව විශාල ලෙස සතුටට පත්වෙලි ඉන්නවා. අවුරුදු ගණනාවකට පස්සෙ අපට ජර්මනියෙනුත් අරාධනාවක් ලැබිලා තියෙනවා. මම එන මාසයේ ජර්මනියටත් යනවා’ කියලා. එතුමා හිතන්නේ නොගිය රටවල් සියල්ලටම ගියාම මේ රට කිරියෙන් පැණියෙන් උතුරාවි කියලයි. ඉස්සරනම් රජුන්ට කියන්නේ භූපති, නරපති, නිරිඳු වගේ නමක්නේ. දැන් තරුණයන් වත්මන් පාලකයට කියන්නේ ‘බ‍්‍රා – පති කියලයි. වත්මන් පාලකයන් කල්පනා කරන ආකාරය තමයි ඉහත ප‍්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ. මේ අය කල්පනා කරන්නේ, ‘ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත‍්‍රය අනුව නැටුවොත් තමයි මේ රට ගොඩගන්න පුළුවන්’ කියලයි.

දැන් බලන්න, මේ ජෝර්ජ් සෝරෝස් කියලා කියන්නේ ලෝකයේ මොලේ තියෙන පාලකයන් සිටින කිසිම රටකට වැද්දා නොගන්නා පුද්ගලයෙක්. ඔහු 1992දි එංගලන්තයේ මහ බැංකුවේ (Bank of England) සමග කළ ඩොලර් බිලියන 10ක ගනුදෙනුවක් නිසා ඒ බැංකුව බංකොළොත් වුණා. එයාට ඩොලර් බිලියනයක ලාභයකුත් අත්වුණා. මේක සිද්ධ වුණේ 1992 බදාදා දවසක. ලෝකය පුරා ආර්ථික විශේෂඥයන් මේ බදාදා දවස හඳුන්වන්නේ ‘කළු බදාදා’ ලෙසයි. 1996දී සෝරෝස් මැලේසියාව සමග සිදු කළ මුදල් ආයෝජන ගනුදෙනුවක් නිසා ඒ රටේ ආර්ථිකය ‘හතර ගාතෙන්’ඇද වැටුණා. ඔහු මැලේසියානු මහ බැංකුවෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත් තොගයක් මිලදී ගෙන තිබුණා. සාමාන්‍ය සිරිත වන්නේ කෙටිකාලීන බැදුම්කර කල්පිරුණු විට මුදල් බවට පරිවර්තනය නොකර නැවත වරක් ඒවායේ කාලය දිර්ඝ කිරීමයි. නමුත් සෝරෝස් කළේ ඒවායේ කාලය දිර්ඝ නොකර ඒවා මුදල් බවට පරිවර්ථනය කිරීමයි. මේ නිස මැලේසියාවේ සියලූ සංවර්ධන වැඩ නතර වුණා. ඉදිකිරිම් ක්‍ෂේත‍්‍රය කඩා වැටුණා. තමන්ගේ රටේ ආර්ථිකය හතර ගාතෙන් අද වට්ටපු, ආර්ථිකය ‘හයිජැක්’ කරපු සෝරෝස්ව එතැන් පටන් මැලේසියාව හැඳින්වූයේ ‘ආර්ථික යුද ආපරාධකාරයා’ කියලයි. එතැන් පටන් ඔහුට මැලේසියාවට ඇතුළුවීමට පවා තහනම් කර තිබෙනවා. රුසියාවට හා ඉන්දුනීසියාවට ද පය තැබීමට ඉඩ දෙන්නේ නැහැ. රටවල් ගණනාවකම කළු ලැයිස්තුවට ඇතුළත් වුණු පුද්ගලයකු ගෙනල්ලා ඔහුගේ මුදල්වලට මේ රටේ ආර්ථිකය විවෘත කළාම මොකද වෙන්නේ? ඔහු මේ රටේ ආර්ථිකය ප‍්‍රාණ ඇපයට ගැනීම.

ඒ විතරක් නොවෙයි, ජාත්‍යන්තර වාණිජ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහත්තයා ප‍්‍රකාශකර තිබෙනවා ‘ඉන්දියාව සමග ජූනි මාසය වන විට තාක්‍ෂණ සහ සේවා ගිවිසුමක් අත්සන් කරනවා. මේ ගිවිසුමෙන් පළමුවෙන් විවෘත කරන්නේ තොරතුරු තාක්‍ෂණ සේවය හා තවත් එක් සේවයක් පමණයි’ කියලා. ඉදිරියේදී සමාලෝචනය කරලා තවත් සේවා රැසක් ඉන්දියාවට විවෘත කරාවි. කොහොම වුණත් ඉදිරියෙදී මේ රටේ තොරතුරු තාක්‍ෂණ සේවයේ රැකියා අවස්ථා සහ ආර්ථික අවස්ථා මේ රටේ තරුණයන්ට අහිමි වේවි. ඉන්දියානු ශ‍්‍රමිකයන් හා ආයෝජකයන් එම අවස්ථා හිමිකර ගනිවි. මේ විදියට අපේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කළාම පවතින රැුකියා අවස්ථාවන් ටික ඉන්දියාවේ රැකියා විරහිත තරුණයන් විසින් ඩැහැ ගැනීම වළක්වන්න බැහැ. ඒ වගේම දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා දිවෙන ඉන්දියානු මාධ්‍ය විසින් ‘හනුමන් බි‍්‍රජ්’ ලෙස හදුන්වන පාලම හදන්න අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තිබෙනවා.

Mr. I don’t know
———————-

මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දී තිබෙන ප‍්‍රතිපාදන සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනිව අතුරු පාරකින් ගිහිල්ලා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදිමේ කටයුත්තකුත් අගමැතිවරයා විසින් ආරම්භ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා පවසා තිබුණා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තමාට සමීප මන්ත‍්‍රී කණ්ඩායමට, ‘මම අගමැතිතුමා ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකම් දැනන් හිටියේ නෑ හිටන්’ කියලා. මේහෙම ගියොත් මේ ජනාධිපතිතුමාට කියන්න වෙන්නේ ‘Mr. I don’t know’ කියලා. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, සහ ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම’ යන සුරූපී ලලනාවන් දෙදෙනා ඉදිරියට දමා, රාජ්‍යය සහමුලින්ම බිඳ වැට්ටවීමට සමත් නව ව්‍යවස්ථාවක් හදන්න මේ අය සූදානම් වෙනවා. මේ ව්‍යවස්ථාව හැදිමේ යෝජනාව සම්මතවීම හෝ ප‍්‍රතික්ෂේප වීම තීරණය වන්නේ ලබන 26 වැනිදා. ඊට කලින් දැන් එන්ජී ඕ කාරයන්ගේ කමිටුවක් දාලා දින 04ක් මහජන අදහස් ගන්නවා. ඒ වගේම ‘මහා සංඝරත්නය විනයෙහි පිහිටුවන්න’ කියලා ආණ්ඩුව පනත් කෙටුම්පතක් ගෙනවිත් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ‘ජාතිවාදී විසකුරු අදහස් පැතිරවීම වැළැක්වීම’ සඳහා යැයි කියමින් තවත් පනත් කෙටුම්පතක් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ‘ෂෙයික් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ‘යුද අපාරාධ අධිකරණය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සියල්ල එකට එකතු කරලා බැලූවාම අපට පෙනෙන්නේ කුමක්ද? ‘කෑල්ල, කෑල්ල’ වෙන වෙනම බැලූවාම මුළු පීන්තුරයම පෙනෙන්නේ නැහැ.

‘බල පෙරළියට කර ගැසූ තක්කඩියන්ගේ මනස’
——————————————————

මේ මුළු පින්තූරය හඳුනාගැනීම සඳහා වැදගත් වන ප‍්‍රධාන කාරණා දෙකක් මම ඔබ හමුවේ තබන්නම්. නිර්මාල් රංජිත දේවසිරි මහත්තයා වැඩිය ගතයුත්තක් නැති පුද්ගලයකු බව ඇත්ත නමුත් ඔහු පැවසූ කාරණයක් පිළිබඳව තමයි මම ඔබගේ අවධානය පළමුව යොමු කරවන්නේ. මේ බල පෙරළියට රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ ඉඳගෙන උපරිම දායකත්වය ලබාදුන් නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා මේ ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන මොහොතේ තමන්ගේ ෆෙස්බුක් පිටුවේ තබපු සටහනට තමයි අපේ අවධානය යොමු විය යුත්තේ. මේ සටහනින් ඉතා පැහැදිළිව පෙනෙනවා ජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවයට’ දායක වුණු අයගේ මනසේ ස්වභාවය.

ඔහු කියනවා ‘ අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. ඔවුන් සමරන දේ හා මා සමරන දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල- බෞද්ධ හෙජමොනික පාලන තන්ත‍්‍රයේ බිද වැටීමයි. ව්‍යාජ රැුඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.

රාජපක්ෂ තන්ත‍්‍රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත‍්‍රයට සෙවණ දුන් සිංහල – බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස්වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ.’
එතැනින් නතර නොවී ඔහු වැඩිදුරටත් කියනවා,

දැන් සිංහල – ජාතිකවාදයේ දේශපාලන මධුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. (ඒක නම් හරි තක්සේරුවක් නොවෙයි) සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්වයං විනාශය කරා ගමන් කරමින් සිටී. ‘‘අව්‍යාජ’’ සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.

ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.

ඔහුගේම වචනවලින් සරලව මෙය පැහැදිලි කළොත් ‘පශ්චාත් යටත් විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත‍්‍රය වැනි පාලන තන්ත‍්‍රයක් යළි ඇති වීමේ ඉඩකඩ මුලිනුපුටා දැමීමේ ක‍්‍රියාවලියකයි මා නිරත වුණේ. මට හිරුණිකාගේ ඩිෆෙන්ඩර් සිදුවීම, ආණ්ඩුවේ වංචා දූෂණ වැදගත් නැහැ. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කළාද නැද්ද කියන එක මට අදාළ නැහැ. මට වැදගත් වන්නේ පශ්චාත් යටත් විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල – බෞද්ධ හෙජමොනික පාලන තන්ත‍්‍රය ජනවාරි 08 වැනිදා බිඳ වැටීමයි. මා අද සමරන්නේ එයයි’ කියලයි ඔහු කියන්නේ. ජනවාරි 08 වැනිදා බල පෙරළියට කර ගහපු ඊනියා බුද්ධිමතුන්, විදග්ධයන්, නිර්මාණකරුවන් ආදී සියලූ වර්ගයේ තක්කඩියන්ගේ මනස තමයි, මේ විදිහට නිර්මාල් රංජිත් දේවසිරි විසින් එළියට දාන්නේ.

මේ රටේ බහුතරය සිංහල බෞද්ධ ඒ නිසා මේ රටේ බිහිවන ඕනෑම පාලන තන්ත‍්‍රයක සිංහ – බෞද්ධ බලපෑමක් තිබීම වළක්වන්න බැහැ. ඒක ස්වාභාවික යථාර්ථයක්. මේ තක්කඩි ඊනියා බුද්ධිමතුන් විසින් පරමාදර්ශී ලෙස සලකන රටවල් නිර් – ආගමික රටවල් නොවෙයි. කිසියම් ආගමක් මුල් කොට නොගත් රටවල් නොවෙයි. නිර්මාල් රංජිත්ලා උදම් අනන්නේ කුමකටද? කොටි ත‍්‍රස්තවාදය පරදවලා මේ රට බෙදන්න ගිය උත්සාහය වළක්වලා, ආර්ථිකය වර්ධනාත්මක අවදියකට ගෙනල්ලා, රටේම යටිතල පහුසකම් එකම තලයකට ගෙනවිල්ලා, දියණු පිම්මකට අවශ්‍ය සළු පිළි ජාතියට අන්දවලා, මේ රටේ තිබුණු සමාජ සුබ සාධන කප්පාදු නොකර ගෙන ගිය ශක්තිමත් පාලන තන්ත‍්‍රයක් බිඳ වැට්ටවීමේ කාලකන්නි සන්තෝෂය තමයි මේ මහත්වරුන් අද භුක්ති විඳින්නේ.

ඔවුන් පවසන ‘පශ්චාත් යටත් විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තනත‍්‍රයේ’ බිඳ වැටීමෙන් පසුව නිර්මාණය වි ඇත්තේ කවරාකාරයේ පාලන තන්ත‍්‍රයක්ද? එයයි වැදගත්ම ප‍්‍රශ්නය. එයයි අපි නිවැරදිව වටහා ගත යුත්තේ. අපි සිටින අනතුරුදායක සන්ධිස්ථානයේ ගැඹුරු ස්වභාවය තමයි මේ ආකාරයට සතුරු දේශපාලන ව්‍යාපෘතියක සිටින කෙනෙකුගෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ.

‘සාමයේ ඉත්තෝ’
——————–

‘සාමයේ ඉත්තෝ’ (Pawns of Peace) නමින් නෝර්වේ රාජ්‍යය විසින් ශ‍්‍රී ලංකාවේ ඊනියා සාම ක‍්‍රියාවලිය තුළ ඉටුකළ භූමිකාව එළිදක්වා තිබුණා. පිටු 183කින් සමන්විත එම වාර්තාව නෝරාඩ් සංවිධානය(NORAD) මුදල් වැය කොට ප‍්‍රසිද්ධකර තිබුණා. නිර්මාල්ගේ කතාව වගේම අපේ රට ඇදගෙන යන සන්ධිස්ථානයේ ගැඹුරු ස්වභාවය තේරුම් ගත හැකි ප‍්‍රබලතම කරුණු රැසක් එහි අන්තර්ගතයි.

චන්ද්‍රිකා – රනිල් ගැටුම’
————————–

‘සුඩානය වගේ ඇයි අපට ලංකාව බෙදන්න බැරි වුණේ. කොතැනද වැඬේ ගැස්සුණේ?’ කියලා එම ඇගයීම් වාර්තාවෙන් එළිකොට තිබෙනවා. මේ ඇගයීම් වාර්තාව අවසානයේදි නිර්දේශ කරනවා ‘උතුරු නැගෙනහිරට විශේෂිත දේශපාලන බලයක් ලබාදිය යුතුයි’ කියලා. ඒ නිර්දේශයට එන්න කලින්. ඔවුන් පෙන්වා දෙනවා ‘ලංකාවේ වැඬේ ගැස්සුණේ කොහොමද? ’ කියලා. මෙම වාර්තාවේ පිටු අංක 130හි තිබෙනවා වැඬේ ගැස්සෙන්න බලපෑ එක් ප‍්‍රධාන හේතුවක්. ඒ එදා අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර පැවති ප‍්‍රතිවිරෝධයයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අවසරයෙන් තොරව සටන් විරාම ගිවිසුම අත්සන් කරලා ඒ බව දැනුම් දීමට ඇය හමු වූ අවස්ථාවේ ‘ගිවිසුමේ පිටපතක් ජනාධිපතිනියගේ මේසය මතට විසි කළා’ කියලත් එම පිටුවේ සඳහන් වෙනවා. ‘ ඒ අනුව එදා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පෞද්ගලික හැසිරීම නිසා බෙදුම්වාදයට කවදත් පක්‍ෂපාතී චන්ද්‍රීකා කුමාරතුංග කෙටිකාලීනව බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට හතුරු ස්ථාවරයකට තල්ලූ කරනු ලැබීය’ කියලත් එහි සඳහන් වෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අද රනිල් -මෛත‍්‍රීපාල වගේ ‘කිරියි -පැණියි, රයිගමයයි-ගම්පලයයි’ වගේ රනිල් – චන්ද්‍රීකාටත් ඉන්න තිබුණනේ කියලයි. එදා ජාතියේ වාසනාවට චන්ද්‍රිකා නෝනාට රනිල් මහත්තයා ඇලජික් වුණා. එහෙම නැත්තම් අද මේ වන විට මේ රට බෙදිලා.

‘ජාත්‍යන්තර බලපෑම නොසැගවීම’
————————————–

ජාත්‍යන්තර මැදිහත්වීමේ ක‍්‍රියාවලියේ දක්නට ලැබුණු බලහත්කාරී හැසිරීම් නිසා ජාතිකවාදී පිරිස් සහ මහින්දා රාජපක්‍ෂට ඊට විරුද්ධ වීමේ වැඩි ඉඩක් ලැබුණු බවත් එම වාර්තාවේ සඳහන්. ඒ නිසා ජාත්‍යන්තර මැදිහත්වීම මෘදු හා සූක්‍ෂම ලෙස නොකිරීම තම සාම ක‍්‍රියාදාමය බිඳ වැටීමට හේතුවක් වූ බවත් එමගින් පෙන්වා දෙනවා. අද ඒ නිසා මේ ජාත්‍යන්තර මැදිහත්වීම් කිසිම ශබ්දයක් නැතිව කරගෙන යන්නයි මේ අය හදන්නේ. එදා සෝල්හයිම් ගුවන් තොටුපළින් එන මොහොතේ සිට සියල්ල මාධ්‍ය මගින් පෙන්වනවා. අද ‘ජාත්‍යන්තර මැදිහත්කරුවන් ආවා’කියලා අපි දැනගන්නේ ඔවුන් ඇවිත් ආපසු ගියාටත් පසුවයි. මේ විදියට දැනටමත් මේ අය තමන්ගේ වැරදි හදාගෙන බවයි පෙනේන්නේ.

‘ජවිපෙ සහ හෙළ උරුමය’
—————————–

ඊට අමතරව එදා ජනතා විමුක්ති පෙරමුණේ නැගීම සහ බලය මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලන ක‍්‍රියාකාරීත්වයට තල්ලූ කළ හෙළ උරුමයේ නැ`ගීමත් තම සාම ක‍්‍රියාවලිය අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුවක් වූ බවයි ඉහත වාර්තවේ 131 වැනි පිටුවෙහි සඳහන්ව ඇත්තේ. ‘දැන් ජවිපෙ නම් හිතන්නේ එදා කරපු දේවල් වැරදියි කියලයි. ඒ නිසානේ මේ සිදු වෙමින් පවතින දේවල් ගැන වචනයක්වත් කියන්නේ නැත්තේ. මම අහගෙන දැන් ජවිපෙ නායකයන් කියනවා ‘‘රාජපක්‍ෂ එලවපු එක හරි’ කියලා. එලවපු එක හරි වෙන්නේ ලැබුණු ප‍්‍රතිඵල හොඳනම් විතරයි. රාජපක්‍ෂ එලවපු එක හරි නම් යළි අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට පණ එන්න බැහැ. ඔබාමාලාට, ඩේවිඩ් කැමරන්ලාට, මෝඩිලාට හා සෝල්හයිම්ලාට නම් ‘රාජපක්‍ෂ එලවපු එක හරි’ කියලා කියන්න පුළුවන්. නමුත් මේ රටට, ජනතාවට ආදරය කරන කිසිවකුටත් රාජපක්‍ෂ එලවපු එක හරි කියන්න බැහැ. මොකද එහි ප‍්‍රතිඵලය රටට, ජනතාවට හොඳ නැති නිසා.

‘මර්වින් ගැන කියපු කතා’
—————————–

එදා මර්වින් සිල්වා ඇමතිවරයා සරම උස්සන් යම් දෙයක් කළාම ජවිපෙ කීවේ, ‘ඒවා රාජපක්‍ෂ රෙජීමයේ පාලන කල්ලිවල හැසිරීම් කියලයි. අද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරියගේ ඩිෆෙන්ඩරය ගැන ‘බොල්ෂෙවික්වාදී’ අනුර කුමාර දිසානායකගෙන් ඇහුවාම කියනවා ‘ඒක ඒ ළමයාගේ මදාවිකමට කළ දෙයක්’ කයලා. අද ‘මේවා මෛත‍්‍රී – රනිල් රෙජීමයේ හැසිරීම්’ කියලා කියන්නේ නැහැ. දැන් මේ විදිහට ජවිපෙ එදා පැවැති අධිරාජ්‍යවාදීන්ගේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට එරෙහි බලය හා නැගීම දුර්වල වෙලා තිබෙනවා.

‘හෙළ උරුමය යූඑන්පියට ගියා’
———————————–

දැන් මට ආරංචියි, ‘දේශපාලන වශයෙන් වල්මත් වෙලා ඉන්න පා.ච රණවක මහත්තයා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක වෙන්න සූදානමින් ඉන්නවා’ කියලා. ‘ජයම වේවාෟ’ කියලයි කියන්න තියෙන්නේ. ‘එයින්ම … ඒක නොකියා ඉන්නම් (සභාවේ සිනා) ජාතිකවාදී දේශපාලනයට පණ පොවන්න කියලා පැමිණෙන විවිධ න්‍යාය පත‍්‍ර තියෙන පිරිස් එම දේශපාලනය විසකුරු අන්තයකට ඇදගෙන යනවා. මේ ඒකට හොඳ උදාහරණයක්. අද පා.ච රණවක හෙළ උරුමය එජාපයට අරගෙන ගියා. අනුර දිසානායක එදා ඒ නෝර්වේ වාර්තාවෙන් කියපු ‘ජවිපෙ බලය සහ නැගීම’ බිංදුවට බැස්සුවා ජවිපෙ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 06ට බැස්සා. ජනවාරි 08 වැනිදා බල පෙරළියට දායක වූ ජවිපෙ පිළිබඳ තිබෙන විශ්වාසය නිසා.

අනුර දිසානායකට සම්බන්ධන් මහත්තයා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය දුන්නා. අද මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත්කර තිබෙන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියෝග අනුව පමණක් ක‍්‍රියාත්මක වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) ජවිපෙ ටිල්වින් සිල්වාට හොඳ පොලිස් කොට්ඨාසයක්.

ඒ වගේම මේ වාර්තවේ කියනවා ‘සාම ක‍්‍රියාදාමය ආපසු හැරවිය නොහැකි තැනකට කඩිනමින් ගෙන යාමට නොහැකිවීම, සිදු වූ වරදකි.’ කියලා. එදා අන්තර්වාර ස්වයංපාලන අධිකාරිය සහ සුනාමි සහන මණ්ඩලය කොටින්ට දී ගන්න බැරි වුණා. එහෙම දුන්නනම් මේ ඊනියා සාම ක‍්‍රියාදාමය ආපසු හරවන්න බැරි වෙනවා.

කෙසේ වෙතත් මේ වර්ෂය තමයි මේ පාලන තන්ත‍්‍රය ආපසු හැරවිය නොහැකි අනතුරුදායක ගමන් ම`ගකට මේ රට ඇදගෙන යන්න වලිකන වර්ෂය වන්නේ. එම නෝර්වේ වාර්තාවෙන් පෙන්වා දෙන ඊනියා සාම ක‍්‍රියාවලියේ එදා පැවැති අඩුපාඩු, වැරදි යළි සිදු විය නොහැකි තත්වයක් මේ වත්මන් පාලන තන්ත‍්‍රය ලවා බටහිර බලවතුන් විසින් නිර්මාණය කරවාගෙන තිබෙනවා. එදා ඊනියා සටන් විරාම ගිවිසුම හරහා දිගේලි කරන්න හදපු විපත්තිදායක ඉරණම නැවත වෙනත් මාවතකින් ආරම්භ කිරීමයි මේ කරන්නේ. නමුත් පරණ වැරදි යළි නොවන ආකාරයටයි මේ අය කටයුතු කරන්න හදන්නේ. ඒක තමයි මෙතැන තිබෙන භයානක කාරණය.

3D න්‍යාය පත‍්‍රය’
——————–

මෙම ඊනියා සාම ක‍්‍රියාවලියේදී සිදු වූ වැරදි නිවැරදි කිරීමට ඔවුන් ඉදිරිපත් කරන අවසන් නිර්දේශය තුළ 3D නැමති සංකල්පය ක‍්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කෙරෙනවා. Democracy හෙවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය, Devoltion හෙවත් බෙදුම්වාදීන් සතුටු වන ආකාරයට බලය බෙදීම සහ De – militarization හෙවත් උතුරෙන් හමුදා ඉවත් කිරීම මගින් සබඳතා වර්ධනය කිරීම ඔවුන් නිර්දේශ කොට තිබෙනවා. මේ Dතුනේ න්‍යාය පත‍්‍රය තමයි අද ඉදිරියටම යමින් ඇත්තේ.

අද ඒකාබද්ධවි පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට තිබෙන අයිතියත් උදුරා ගෙන තිබෙනවා. එහෙම කරමින් මේ අය කතා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන්නේ රාජ්‍යයේ මුදුන දුර්වල කරන ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. විධායකය දුර්වල කරලා බලවත් ප‍්‍රාන්ත පාලනයක් හැදීමේ උවමනාවක් මේ අයට ඇත්තේ. ඊට අදාළ ව්‍යවස්ථා වෙනසක් තමයි රැුගෙන එන්නේ.

‘සිංහල – මුස්ලිම් මරාගැනිල්ලක්’
————————————

අපි ජාතියට අනතුරු හගවනවා ‘මේ පාලන කල්ලියට අද ඕනේ සිංහල-මුස්ලිම් මරා ගැනිල්ලක්’ කියලා. ඒ මරාගැනිල්ල සිදු වුණාම ජාතියේ අවධානය ඒ දෙසට යොමු වෙනවා. එතකොට යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන ගමන් බෙදුම්වාදී ගමන් මාර්ගයත් වේගවත් කරන්නයි මේ අයට උවමනා. මේක ජේ.ආර්. ජයවර්ධනගේ ‘කළු ජුලියේ’ දෙවන පිටපත. 1983 ජාතිවාදී ගැටුම හැදුවේ එක්සත් ජාතික පක්‍ෂ මැරයෝ විසින්. පසුව ඒක පාවිච්චි කරලා විරුද්ධ පක්‍ෂ දේශපාලන පක්‍ෂ තහනම් කළා.

ඒ නිසා අපි ජාතියෙන් ඉල්ලනවා ‘තීරණාත්මක ජාතියේ ඉරණම හා බැඳුණු අධිරාජ්‍යවාදීන්ගේ මේ රට අත්පත් කරගැනීමේ මෙහෙයුමට තදින් සම්බන්ධ සතුරා කවුද, කියලා හොඳින් තේරුම් ගන්න’කියලා. ඒ නිසා අපට මේ මොහොතේ යම් යම් සුළු ප‍්‍රතිවිරෝධතා අමතක කොට සියලූ ජන බලවේග ඊට එරෙහිව පෙළ ගස්වන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ අය කියනවා ‘සිංහල – මුස්ලිම් නුඹලා ගහගනිල්ලා. එතකොට අපට පුළුවන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය දොළ පිදේනි ටික ලබාදීමේ කටයුතු, යුද අපාරධ අධිකාරණයේ කටයුතු අපූරුවට කරගෙන යන්න. කියලා. මේක අවසන් වන්නේ සිංහල-මුස්ලිම් ගැටුමක් හදලා උතුර- නැගෙනහිර ඉන්දියාවට දිලා මේ රට ලිබියාවේ වැනි ඉරණමකට ඇද දමලා. ගඩාෆි වැනි ශක්තිමත් නායකයකු එලවා දමා අද ලිබියාව කැරකෝප්පුවක් බවට පත්කර තිබෙනවා. මෙතැනත් ඒ වගේ එකිනෙකා මරා ගන්න තිප්පොළක් බවට පත් කිරීමටයි ඒ අයට උවමනා. මේ තත්වය පාලනය කිරීමට නොහැකි තරමට අපේ ආරක්‍ෂක හමුදා හකුළුවා දමා, එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවක් බින්න බස්සවන්නයි මේ පාලන කල්ලිය කටයුතු කරන්නේ.

මේ විපත්තිදායක මෙහෙයුම අපි පරදවන්න ඕනෙ. ඒ සඳහා ජාතිය නිසි අරමුණකට පෙළ ගැස්විය යුතුයි. තියුණු තීරණාත්මක සතුරු මෙහෙයුම හඳුනාගෙන එයට පමණක් අවධානය යොමුකොට එය මුළුමනින්ම පරාජයට පත් කිරීමට ජාතියේ මුළුමහත් ශක්තිය ඊට එරෙහිව යොදවාලන වසර බවට 2016 පත්කර ගනිමු. ඒ වගකීම අපට පැවරෙනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2016.01.21

12487017_867744873343334_2590343192164695324_o 12489248_867744726676682_2859892931877845887_o 12622326_867744783343343_2191757705559420426_o 12628403_867744720010016_8406568794943562504_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*