BREAKING NEWS

ජානිපෙ ඇතුළේ අත්තටම සිදු වුණේ කුමක්ද?

පසුගිය බදාදා (19) ජාතික නිදහස් පෙමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ද සහභාගිත්වය සහිතව පැවැති එහි දේශපාලන මණ්ඩල රැස්වීමට පෙර නොවූ ජනතා අවධානයක් යොමුව තිබිණි. එම දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්‍ෂය දෙකඩ වන අන්දමේ ගැටුමක් සිදු වනු ඇති බවට ඇතැම් සමාජ ජාලා සහ වෙබ් අඩවි යොදා ගනිමින් ගෙන ගිය මඩ ප්‍රචාරයන් හේතුවෙන් එවැනි අවධානයක් ඇතිව තිබිණි.

කෙසේ වෙතත් මාස තුනකට ආසන්න කාලයක් පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා සිරගතව සිටි හෙයින් ජාතික නිදහස් පෙරමුණට පූර්ණ දේශපාලන මණ්ඩල සැසියක් පැවැත්වීමට හැකියාව ලැබී තිබුණේ ද ඉහත කී දිනයේදීය.

“අද මේ රට ‘අම්මෙක්, අප්පෙක් නැති පවුලක්’ වගේ වෙලා. අම්මෙක්, අප්පෙක් හිටියොත් තමයි පවුලක් නිසි විදියට මෙහෙයවන්නේ. මේ රටට අද නිසි මෙහෙයැවීමක් නැහැ. වෙන කිසිම දෙයක් හරියට සිදු නොවන මේ රටේ සතුරු න්‍යාය පත්‍රය නම් හරියට ක්‍රියාත්මක වෙනවා. මීතොටමුල්ල කුණු කන්ද නාය ගියපු අවස්ථාවේදීත් පළමු පැය දෙක තුන තුළ නිසි පරිදි ක්‍රියාත්මක වීමක් සිදු වුණේ නැහැ. එහෙම වුණානම් ජීවිත හානි මීට වඩා අඩුකර ගන්න තිබුණා.

මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳලා රටට සිදු වූ විපත්වල කෙළවරක් නැහැ. සාලාව අවි ගබඩාව පිපිරෙව්වා. ගංවතුර සහ නායයම් ආවා. නියඟයක් ආවා. ඊට පසුව තමයි අවුරුදුදා කුණුකන්ද නාය ගියේ. අද මුළු රටම බැටකන තත්වයකට පත් වෙලා තිබෙන්නේ. මේ නිසා තමයි ආණ්ඩුව ඡන්ද නොතියා කල් දමමින් සිටින්නේ.

අපි මැයි දිනයේදී කොළඹට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙනල්ලා සැබෑ විපක්‍ෂය ලෙස අපේ ශක්තිය ආණ්ඩුවට පෙන්විය යුතුයි” ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එහිදී අවධාරණය කළේය.

“අපි ඉදිරි සතියේදී පක්‍ෂ නායකයන් ලෙස සෑම දිස්ත්‍රික්කයකටම ගොස් මැයි දිනයට උපරිම පිරිසක් සහභාගී කරවීමට අවශ්‍ය ක්‍රියාකාරී හමුවීම් පවත්වමු” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පක්‍ෂ නායකයෝ එසේ දිස්ත්‍රික්ක බෙදා ගෙන ඒවායේ ක්‍රියාකාරී රැස්වීම් පැවැත්වීමට සූදානම්ව සිටියහ.

එසේම විමල් වීරවංශ මහතා සිරගතව සිටියදී ලියූ ‘රටට උවමනා වම’ සහ ‘යදමින් බැඳි අක්‍ෂර’ යන කෘති මැයි දිනයෙන් පසුව එළිදැක්වීමටත් එහිදී තීරණය විය.

“රණවිරු දඩයමට එරෙහිව බලවත් ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුව තිබෙනවා. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නැමැති ‘චෝදනා ෆැක්ටරියක්’ දැන් වැඩ පටන් අරන්” නියෝජ්‍ය නායකවරයකු සේම රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ජයන්ත සමරවීර එහිදී පෙන්වා දුන්නේය. මේ පිළිබඳව ද ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡාකර ක්‍රියාමාර්ගයක් ගැනීමට එහිදී තීන්දු විය.

අවුරුදු දා විමල්ට හිටපු ජනාධිපතිගෙන් උපදෙසක්ෟ

අලුත් අවුරුදු දිනයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සුපුරුදු පරිදි සුබ පැතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ද විශේෂයෙන් විමසා සිටියේය.

“කොහොමද විමල් සෞඛ්‍ය තත්වය”
“දැන්නම් සුව අතට හැරෙමින් තිබෙනවා” විමල් වීරවංශ මහතා පැවසුවේය.

“කොහොම වුණත් මේ දවස් ටිකේ තව ටිකක් හොඳට රෙස්ට් කරන්න. මැයි දිනයත් එනවානේ”මහින්ද රාජපක්‍ෂ මහතා විමල්ට සමු දෙමින් පැවසීය.

-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*