BREAKING NEWS

ජානිපෙ දේශපාලන මණ්ඩලය

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්  පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී මුලින්ම අවධානය යොමු වූයේ දිනෙන් දිනම සිදුවන රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළන සිදුවීම් පිළිබඳවය.

‘‘උතුරේ අධිආරක්‍ෂිත කලාප සහ මුරකපොලූ රැසක් මේ වනවිට ඉවත්කර තිබෙනවා. එසේම උතුරට ඇතැම් භාණ්ඩ ප‍්‍රවාහනයට පනවා තිබූ තහනමද ඉවත් කර තිබෙනවා. යුද ජයග‍්‍රහණයට නායකත්වය දුන් හමුදා ප‍්‍රධානීන් දඩයම් කිරිමේ මෙහෙයුමක්ද ඇරඹී තිබෙනවා. එම පිරිස් ගොදුරුකර ගන්න ඔවුන්ට එරෙහිව විවිධ චෝදනා දිනෙන් දිනම එළියට දමනවා. මේ සියල්ල මගින් සිදු වන්නේ රටේ ජාතික ආරක්‍ෂාව අවදානමකට ලක් වීමයි.

ඒ අතරතුර ප‍්‍රබල කොටි නායිකාවකට නිදහස ලැබුණා. දැන් දරුණු කොටි රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරීන්ද ඉවත් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියව බෝම්බ ගසා ඝාතනයට තැත් කළ කොටි සැකකරු, හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයේ කොටි සැකකරු, හිටපු අමාත්‍ය ද.මු. දසනායක ඝාතනයේ කොටි සැකකරු ආදීන් මෙන්ම දෙහිවල දුම්රිය බෝම්බ සිදුවීමේ සැකකරු ඇතුළු දරුණු ගනයේ කොටි සැකකරුවන් රැසක් මැගසින් බන්ධනාගාරයේ රදවා සිටිනවා.

එවැනි පිරිසක් සිටින ස්ථානයක ආරක්‍ෂාව අවම කිරීමෙන් ඉතාමත් අවදානම් තත්ත්වයක් පැන නැග‍ෙනවා. මෙම කොටි සැකකරුවන් අතර, ඊශ‍්‍රායල් සටන් පුහුණුව ලැබූ පිරිසක් ද සිටිනවා. සමූල ඝාතන බෝම්බ සෑදීමේ විශේෂඥ දැනුම සහිත අය සිටිනවා. බන්ධනාගාර නිලධාරීන්ට පමණක් මේ තත්ත්වයට මුහුණ දීමට අසීරු නිසයි හමුදා නිලධාරීන් අතිරේක ලෙස යොදවා සිටියේ. අවදානම නොතකා මෙසේ කටයුතු කිරීම ඉතාමත් බරපතළ වරදක්’’ එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

විපක්‍ෂ නායක ධුරය කාටද?

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් රැුසක් කැඳවීමට කථානායකවරයා කටයුතු කර තිබුණේ  විපක්‍ෂ  නායක ධුරය පිළිබඳ ඔවුන්ගේ අදහස් විමසා බැලීමටය. මෙසේ කැඳවා තිබූ පක්‍ෂ නායකයන් අතර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ‍්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඩිව් ගුණසේකර, සම සමාජ පක්‍ෂයේ නායක තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක, ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක් වූහ.

‘‘පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන වැඩිම මන්ත‍්‍රීවරු පිරිසක් සිටින තනි පක්‍ෂය අපි. අපට විපක්‍ෂ නායක ධුරය හිමි විය යුතුයි.’’ එහිදී ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

‘‘අපිත් පැහැදිළිව දකිනවා, දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය හිමි විය යුතු බව’’ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

‘‘ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, සම සමාජ පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික කොන්ග‍්‍රසය යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල නායකයන් ලෙස අපි ඔබතුමාට මීට ඉහත ලිපියක් භාර දී තිබෙනවා. එහි සඳහන්ව තිබුණේ අපි විපක්‍ෂයේ  ස්වාධීන පක්‍ෂ නායකයින් ලෙස කටයුතු කරන බවයි.’’ විමල් වීරවංශ මහතා එහිදී පෙන්වා දුන්නේය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපතිතුමයි. ඒ නිසා සන්ධානයේ සියලූ මන්ත‍්‍රීවරු ආණ්ඩුවේ නේද?’’ කථානායක චමල් රාජපක්‍ෂ මහතා සිනාමුසු මුහුණින් විමසා සිටියේය.

‘‘ජනතා විමුක්ති පෙරමුණ, මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තිබෙනවා යැයි කියන, ප‍්‍රතිපත්තීමය තීන්දු ගනනවා යැයි කියන ජාතික විධායක සභාව නියෝජනය කරනවානේ. ඒ නිසා ජවිපෙත් ආණ්ඩුවේ වෙන්න  ඕනෙ. 2004 දී ජවිපෙ තරග වැදුණේ සන්ධානයෙන්. 2005  ජුනි මාසයේදී ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වුණා. එහෙම නම් 2010 පෙබරවාරි තෙක් ජවිපෙ ආණ්ඩුවේ පක්‍ෂයක් ලෙස සලකන්න  ඕනෙ නේද? නමුත් 2005 සිට ජවිපෙ පාර්ලිමේන්තුවේදී සැලකුණේ විපක්‍ෂයේ ස්වාධීන පක්‍ෂයක් ලෙසයි. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායකයාට විශේෂ ප‍්‍රකාශ කිරීමේ ඉඩකඩද ලැබී තිබුණා. ඒ වගේම 2008 අපේ‍්‍රල් මාසයේදී ජවිපෙන් ඉවත් වූ ජාතික නිදහස් පෙරමුණ ද ස්වාධීන පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේදී පිළි ගැනුණා. අපටත් වෙනම පක්‍ෂයක් ලෙස සලකා විශේෂ ප‍්‍රකාශ කිරිමේ අවස්ථාවක් ලබාදුන්නා’’ ඊට පිළිතුරු වශයෙන් විමල් වීරවංශ මහතා කතානායකවරයාට දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළේය.

‘‘යම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු තමන් විපක්‍ෂයේ ඉන්නවා කියලා පවසනවා නම් ඔබතුමා එය පිළිගත යුතුයි. වාසුදේව නානායක්කාර මහතා එහිදී සඳහන් කළේය.

‘‘අපි විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කරන බව ඔබතුමාට දන්වා තිබෙනවා. ඔබතුමා එය පිළිගත යුතුව තිබෙනවා.’’ ඒ සමගම ඩිව් ගුණසේකර මහතාද පෙන්වා දුන්නේය.

‘‘වර්තමාන විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවට විරුද්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගන්න බැරි තැනකයි  සිටින්නේ. ඒ නිසා සැබෑ ලෙසම පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වගකීම ඉටු කිරීමට නායකත්වය දියහැකි කෙනෙකුට එම ධුරය ලබාදෙන්න’’ වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම සියලූ පාර්ශ්වවල අදහස්වලට සාවධානව ඇහුම්කන් දුන් කතානායකවරයා පවසා සිටියේ මේ පිළිබඳ සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලබාදෙන බවය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*