BREAKING NEWS

ජිනීවා ක‍්‍රියාදාමය පිටුපස ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික ක‍්‍රියාදාමය මුළුමනින්ම වෙනස් කිරීමේ සැලැස්මක් -ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

 ජිනීවා ක‍්‍රියාදාමය පිටුපස ඇත්තේ ‘මානව හිමිකම්’ යන වචනයට මුවා වී ශ‍්‍රී ලංකාවේ දේශපාලන,  සමාජ, ආර්ථික ක‍්‍රියාදාමය මුළුමනින්ම වෙනස් කිරීමේ සැලැස්මක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ අද(14) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ‘අනතුරේ ගැඹුර දකිමු’ යුද අපරාධ චෝදනා හරහා ඇමෙරිකානු බෙදුම්වාදී ඍඡු මැදිහත්වීම. විද්වත්-මාධ්‍ය  කතිකාවෙහි විශේෂ දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය

‘ජිනීවා ක‍්‍රියාදාමයේ ප‍්‍රකාශිත අරමුණු සහ ඒ පිටුපස තිබෙන සැබෑ අරමුණු කවරේද?’ යන මාතෘකාවට අදාළවයි මා ඔබ හමුවේ සාක්‍ෂි සහගතව කරුණු දක්වන්නේ. මෙය පහසු කරුණක් නොවෙයි. ජිනීවා ක‍්‍රියාදාමයේ සැබෑ ස්වරූපය වසන් කරමින් අමූලික බොරු ආණ්ඩුවේ නායකයන් විසින් දිනපතාම ප‍්‍රකාශ කිරීම නිසයි එසේම එය අපහසු කටයුත්තක් වන්නේ. ඒ අමූලික බොරු සමාජයේ විශාල පිරිසක් විශ්වාස කරන බවත් පෙනෙනවා.

  ‘පළමු බොරුව’

ඒ නිසා මා කෙටියෙන් ඒ අමූලික බොරු කිහිපයක් ප‍්‍රථමයෙන්ම ඔබ හමුවේ තබන්නම්. ‘ජිනීවා ක‍්‍රියාදාමය ආරම්භ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2009 මැයි 23 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමකින් යුද අපරාධ පිළිබඳ සෙවීමට ප‍්‍රතිඥා දුන් නිසාය’ කියා ජනාධිපති, අගමැති, අධිකරණ අමාත්‍ය ඇතුළු සෙසු ආණ්ඩුවේ ප‍්‍රබලයන් විසින් පවසනවා. පසුගිය අගහරුවාදා ස්වාධීන රූපවාහිනියේ දහවල් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය මට අහන්න ලැබුණා. එහිදී ‘ ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන්’ කියපු අමාත්‍යවරයාගේ කටින්ම කියනවා, ‘මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා බැන් කී මූන් සමග අවබෝධතා ගිවිසුමක්(MOU) අත්සන් කළා’ කියලා. මම පුළුවන් තරම් උත්සාහ කළා එහෙම එකක් සොයා ගන්න. එහෙම එකක් තවම නම් අහු වුණේ නැහැ. එහෙම එකක් මේ කතාව කියන අය ප‍්‍රසිද්ධ කරලත් නැහැ.

මේ කියන කාරණය සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය කුමක්ද? එල්.ටී.ටී.ඊ නායකත්වය පරාජය කිරීමෙන් දෙතුන් දිනකට පසුව බැන් කී මූන් ශ‍්‍රී ලංකාවට ආවා. ඒ චාරිකාව අවසානයේදී ඒකාබද්ධ ප‍්‍රකාශනයක්(Joint Statement) නිකුත් කළා. අන්තර්ජාතික හමුවීම්වලින් පසුව සාකච්ඡා කළේ කුමක්ද?, කියා දෙපාර්ශ්වයේ එකගතාවයෙන් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් මගින් ජනතාවට දැනුම් දෙනවා. රජයේ අමාත්‍යවරයකුට ඒකාබද්ධ ප‍්‍රකාශයක සහ අවබෝධතා ගිවිසුමක වෙනස හඳුනා ගැනීමට නොහැකි නම් එයින්ම පෙනෙනවා අපි මුහුණ පා සිටින බියකරු ව්‍යසනයේ තරම.

ඒකාබද්ධ ප‍්‍රකාශයේ අවසන් ‍ඡ්‍ෙදයේ තමයි මේ පිළිබඳ කාරණය සඳහන් වෙන්නේ. ‘ජාත්‍යන්තර සම්මුතීන් ප‍්‍රකාරව මානව හිමිකම් සුරැකීමට තමන් තුළ වන අභිලාෂය, ශ‍්‍රී ලංකාව යළි අවධාරණය කළා. අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය උල්ලංඝනය වීම් පිළිබඳව වගකිවයුත්තන් පිළිබඳව සොයා බැලීමේ ක‍්‍රියාදාමය ගැන මහ ලේකම්වරයා අවධාරණය කළා. ශ‍්‍රී ලංකා රජය මේ දුක්ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමට පියවර ගන්නවා’ කියලයි එහි සඳහන් වෙන්නේ. මෙතැනදී ශ‍්‍රී ලංකා රජය කියන්නේ නැහැ ‘අපි යාන්ත‍්‍රණයක් හදනවා. විමර්ශනය කරනවා’ කියලා. ඉන් අනතුරුව පසුගිය ආණ්ඩුව ‘එල්.එල්.ආර්.සී කොමිසම’ පත් කරනු ලැබුවා. ‘මැක්ස්වෙල් පරණගම’ කොමිසම පත් කරනු ලැබුවා. ඒවා තමයි ගත්තු පියවර. එහෙම නැතිව ලිඛිත පොරොන්දුවක් දුන්නේ නැහැ. ඒ එක බොරුවක්.

‘දෙවැනි බොරුව’

තවත් විශාල බොරුවක් තමයි, ‘හිටපු ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය නිසා අන්තර්ජාතික ප‍්‍රජාව අප සමග අමනාප වුණා’ කියන එක. පසුගියදා වත්මන් ජනාධිපතිවරයා කියනවා, ‘ප‍්‍රබල රටවල නියෝජිතයන් මෙරටට ආවා සාම සාකච්ඡා සඳහා. ඒ අයට ඇඹිලිපිටියට එන්න කියලා මඤ්ඤොක්කා කන්න දුන්නා. ඒ නිසා ඒ අය අමනාප වුණා. ඒකයි මේ ව්‍යසනය අපේ ඔළුව මත කඩා වැටුණේ’ කියා. යුද්ධය අවසන් වෙමින් තිබියදී එවකට බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍ය ඬේවිඞ් මිලිබෑන්ඞ් සහ ප‍්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඞ් කුෂ්නර් යන දෙදෙනා මේ රටට ආපු බව ඇත්ත. නමුත් ආවේ සාම සාකච්ඡා සඳහා නොවෙයි. ඔවුන් ඇවිත් කුමක්ද කීවේ? ‘එල්.ටී.ටී.ඊයට එරෙහිව සටන නතර කරන්න. තුන්වැනි පාර්ශ්වයකට ආයුධ භාරදී යටත් වීමට ඉඩ දෙන්න’ කියලා. එදා අපි එයට ඇහුම්කන් දුන්නා නම් එල්.ටී.ටී.ඊය අදත් අප සමග සටන් කරනවා, අදත් ප‍්‍රභාකරන් ඉන්නවා. වඩමාරච්චි මෙහෙයුම කාලයේ රාජීව් ගාන්ධි ප‍්‍රභාකරන් ඉන්දියාවට රැගෙන ගියා හෙලිකොප්ටර්යකින්. එහි ප‍්‍රතිඵලය වුණේ ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා රජයට එරෙහිව 2009 මැයි 19 වැනිදා වන තෙක් සටන් කිරීම. ඒ අනුව ඉතා පැහැදිලියි එම ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍ය එකක් කියා.

‘තුන්වැනි බොරුව’

මේ අය පවසන තවත් බොරුවක් තමයි ‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී අන්තර්ජාතික ප‍්‍රජාව බෙදිලා හිටියා. දැන් අපි ඒ අයව එක තැනයකට ගෙනාවා’ කියන එක. ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ආ විට ඒ පිළිබඳව සිදු කළ ඡන්ද විමසීමේදී යම් රටවල් සංඛ්‍යාවක් ඒ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා. තවත් රටවල් සංඛ්‍යාවක් කරුණු පෙන්වා දෙමින් ඊට එරෙහිව ඡන්දය දුන්නා. මෙවර මේ ආණ්ඩුව සිදු කළේ අපට පක්‍ෂව ඡන්දය දුන් රටවල් නිහඩ කරවා අපෙන් ඈත් කිරීම. ‘අපි අපේ කැමැත්තෙන්ම බෙල්ලට තොණ්ඩුව දමා ගන්නවා නම් නුඹලාට ඇති රුදාව කුමක්ද? කියලා මේ ආණ්ඩුව ඒ රටවල්වලට කීවා. ඔවුන් ඒ අනුව නිහඩව සිටියා.

පසුගියදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසි වාරය අවසානයේදී පාකිස්ථානය සහ රුසියාව අපි වෙනුවෙන් කතා කළා. නමුත් එහිදී අපේ ආණ්ඩුව කිසිඳු විදිහකින් අපේ රාජ්‍යය වෙනුවෙන් කතා කළේ නැහැ. එදා රුසියාව සහ පාකිස්ථානය කීවා ‘ශ‍්‍රී ලංකාවට අන්තර්ජාතික ප‍්‍රජාව උදව් කරනවා නම් ඒ කවරාකාරයෙන්ද කියා තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට තිබිය යුතුයි’ කියා. නමුත් ශ‍්‍රී ලංකාව නියෝජනය කළ මේ ආණ්ඩුවේ නියෝජිතයත් ඒක කීවේ නැහැ. එසේ නොකීමේ ප‍්‍රතිඵලය ලෙස කුමක්ද වුණේ? ජපානය එතැනදීම පැවසුවා, ‘අපි ශ‍්‍රී ලංකාවට එවනවා යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ විශේෂඥයෙක්’ කියලා. ඔහු තමයි කාම්බෝජ විශේෂ අධිකරණයේ නියෝජිතයකු ලෙස කටයුතු කළේ.

‘විදුලි පුටු බොරුව’

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් පුනපුනා පවසන තවත් බොරුවක් තමයි, ‘ඇමෙරිකානු යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය දැක්වීම නිසා අපි ලෝකය දිනා ගත්තා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිස් විදුලි පුටුවට ගෙන යන එක ඒ නිසා වැළකුණා’ කියන එක. මේ ‘විදුලි පුටු කතාව’ ඇත්තටම හරි විහිළුවක්. ‘විදුලි පුටු කතාව’ යොදා ගත්තේ මේ ක‍්‍රියාදාමයේ අවසන් ප‍්‍රතිඵලය භයානක බව පෙන්වීමට නම් එය තේරුම්ගත හැකියි. එසේ නොමැතිව එම කතාවට කිසි පදනමක් නැහැ. අධිකරණයේදී දිය හැකි දඩුවම සිර දඩුවමක් පමණයි, මරණ දඩුවමක් නොවෙයි. එම දඩුවම් නියම කිරීම සඳහා තිබෙන ආයතනය අන්තර්ජාතික අපරාධ අධිකරණයයි(ICC). එහි  මූලස්ථානය තිබෙන්නේ නෙදර්ලන්තයේ හේග් නගරයේයි. එම අධිරකණයට ව්‍යවස්ථාවක් තිබෙනවා. එය හඳුන්වන්නේ, ‘අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව’ නමින්. එම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා ‘වැරදිකරුවන්ට මරණ දඩුවම නියම කරන්නේ නැහැ’ කියා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක ජනතාව මුලා කරන්න කියන තවත් එක බොරුවක් පමණයි කියලා.

‘හේග් ගෙන යයිද?’

පසුගිය දිනයක ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පවසා තිබුණා ‘ජිනීවා යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය දැක්වීම නිසා හේග් අධිකරණයට ශ‍්‍රී ලංකා දේශපාලන සහ මිලිටරි නායකයන් රැගෙන යාම වැළකුණා’ කියලා. මෙහි ඇත්ත තත්ත්වය මා පැහැදිලි කර දෙන්නම්. අන්තර්ජාතික අපරාධ අධිකරණය ක‍්‍රියාත්මක වන්නේ 2002 ජූනි මාසයේ සිට. ඒ අධිකරණයේ විෂය පථය වන්නේ යුද අපරාධ, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ වැනි බරපතළ අපරාධ ක‍්‍රියා පිළිබඳව නඩු විභාග කොට දඩුවම් කිරීම. ඒ දඩුවම් කිරීම සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව අනුව ක‍්‍රම තුනක් තියෙනවා. එක චූදිතයා රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක පුරවැසියකු වීම. ඒ අනුව අපේ රටේ පුරවැසියකුට දඩුවම් කරන්න බැහැ. අප රෝම ව්‍යවස්ථාවට අත්සන් තැබූ රටක් නොවෙයි. දෙවැනි ක‍්‍රමය අදාළ අපරාධය සිදු වූයේ රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක භූමි ප‍්‍රදේශ ඇතුළත වීම. ඒකත් අපේ රටට අදාළ නැහැ. තුන්වැනි ක‍්‍රමය, රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක් උක්ත අපරාධය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම. අන්න අපට අදාළ වන තැන. දෙමුහුන් පරීක්‍ෂණයෙන් පසුව අපේ රටේ එල්.ටී.ටී.ඊය පරාජය කිරීමට කටයුතු කළ දේශපාලන සහ මිලිටරිමය නායකත්වය හේග් අධිකරණයට රැගෙන යා යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක් යෝජනාවක් රැගෙන ආවොත් එය එහි නිත්‍ය සාමාජිකයන් 05 දෙනා ඇතුළු සාමාජිකයන් 09 දෙනකුගේ ඡන්දයෙන් සම්මත වෙන්න  ඕනෙ. නිත්‍ය සාමාජිකයන් 05 දෙනා අතර ඉන්නවා චීනය සහ රුසියාව. මේ දක්වා එවැනි යෝජනාවක් ආවා නම් රුසියාව සහ චීනය අපට පක්‍ෂව තමයි කටයුතු කළේ. දැන් ශ‍්‍රී ලංකාව සියතින්ම මේ යෝජනාව පිළිගැනීම නිසා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට රැගෙන එන යෝජනාවට විරුද්ධ වීමට රුසියාවට සහ චීනයට තිබෙන අයිතිය අවසන් වී තිබෙනවා. ශ‍්‍රී ලංකා ආණ්ඩුවට තමන්ගේ අතින්ම බෙල්ලට තොණ්ඩුව දා ගන්න කොට ඒක වැළැක්වීමට රුසියාවට සහ චීනයට තිබෙන රුදාව කුමක්ද? මේ විදිහට තමයි දැන් අපව හේග් අධිකරණයට රැගෙන යාමට පාර කැපී ඇත්තේ. ඒ විතරක් නොවෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමාරයාගේ වාර්තාවෙන් නිර්දේශ කොට තිබෙනවා ‘ශ‍්‍රී ලංකාව රෝම ව්‍යවස්ථාවට අත්සන් තැබිය යුතුයි’ කියලා. එසේ අත්සන් තැබුවහොත් හේග් අධිකරණයට රැගෙන යාමට තිබූ සුළු බාධාව පවා නැතිව යනවා. සාමාන්‍ය ජනතාවට මේ සත්‍ය කරුණු වටහා ගැනීමට අපහසුයි, මේ පිළිබඳ ඉවසිය නොහැකි ‘බොරු කන්දරාවක්’ මේ ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් ප‍්‍රකාශ කිරීම නිසා.

‘ජිනීවා ක‍්‍රියාදාමයේ ප‍්‍රකාශිත අරමුණු’

මා දැන් මගේ දේශනයේ ප‍්‍රධාන කොටසට පිවිසෙන්නම්. ජිනීවා ක‍්‍රියාදාමයේ ප‍්‍රකාශිත අරමුණු සහ එය පිටුපස වන සැබෑ අරමුණු කුමක්ද? කියන එකට. මේ ව්‍යාපෘතියේ ප‍්‍රකාශිත අරමුණ තමයි, ඔවුන් කියන විදිහට ‘ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එල්.ටී.ටී.ඊය සමග සටන් කළ සමයේදී අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කළා. ඒ පිළිබඳව සොයා බලා ඊට වගකිය යුතු අයට දඩුවම් කළ යුතුයි. මන්ද ශ‍්‍රී ලංකාව මේ අන්තර්ජාතික මානුෂවාදී නීතියට සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිවලට අත්සන් තබා පාර්ශ්වකරුවකු වී ඇති නිසා’ යන්න. අන්තර්ජාතික මානුෂවාදී නීතිය කියලා හඳුන්වන්නේ 1949දී සම්මත වුණු ජිනීවා සම්මුති 04ටයි. ඒ සම්මුති හතරෙන් කථා කරන්නේ යුද්ධයේදී යුද වදින පාර්ශ්ව අනුගමනය කළ යුතු නීතිරීති සහ කොන්දේසී. මානව හිමිකම් නීතියෙන් අදහස් වන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් අන්තර්ජාතික සම්මුති ගණනාවක්.

ප‍්‍රකාශික අරමුණ අනුව දිස්වන්නේ මේ යෝජනාව ගෙන එන රාජ්‍යයන් මානව හිමිකම්වලට ගරු කරන, මනුෂ්‍යයාට අසීමිත පේ‍්‍රමයකින් ක‍්‍රියා කරන, වැරැද්දක් දුටුවොත් වහාම කිපෙන, ඒ වැරැද්දට දඩුවම් නොදුන්නොත් නින්ද නොයන රාජ්‍යයන් විදිහටයි. මේ කතාව ඇත්තක්ද? මේ යෝජනාව ගෙන එන්නන් කවුද? පළමුවැන්නා ඇමෙරිකා එක්සත් ජනපදය. බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපා සංගමයේ නායක රටවල්ද ඒ සමග ඉන්නවා. මේ අයගේ ඉතිහාසය දෙස හැරි බැලූවොත් එය සම්පූර්ණයෙන්ම ලේ වැකුණු ඉතිහාසයක් බව පෙනේවි. බි‍්‍රතාන්‍යය තමයි මිනිස් ඉතිහාසයේ වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය කළ රට. ඇමෙරිකා එක්සත් ජනපදය තමයි මිනිස් ඉතිහාසයේ වැඩිම රටවල් ගණනාවකට බෝම්බ දැමූ, පහර දුන් රාජ්‍යය. ඒ ආක‍්‍රමණ නිසා මියගිය සංඛ්‍යාව දශලක්‍ෂ ගණනක්. ඇමෙරිකාව අධිරාජ්‍යවාදී බලවේගයක් විදිහට ඉදිරියට එන්නේ 1898 ස්පාඤ්ඤ – ඇමෙරිකා යුද්ධයෙන්. ඒ යුද්ධයේදී ඔවුන් පිලිපීනය යටත්කර ගත්තා. ඊට විරුද්ධව පිලිපීනයේ ‘මොරෝජ්’ කියන ජනවර්ගය සටන් වැදුණා. එක අවස්ථාවක පිලිපීන මොරෝජ් ජාතිකයන් 800ක් එක වලක දමලා ඇමෙරිකා හමුදා විසින් ඝාතනය කළා. මේ පිළිබඳ ලිඛිත සාක්‍ෂි තිබෙනවා.

‘ඉරාකය ගල් යුගයට තල්ලූ කිරීම’

දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙමින් තිබියදී කිසිඳු හේතුවක් නොමැතිව එවකට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ටෲමන් නියෝග කළා, ජපානයේ නාගසාකි සහ හිරෝෂිමා යන නගරවලට න්‍යෂ්ටික බෝම්බවලින් පහර දෙන්න. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව බෝම්බ නිසා පළමු පැය ඇතුළත දෙලක්‍ෂ පනස්දහසත් තුන්ලක්‍ෂයත් අතර පිරිසක් මියගියා. 1991දී ඉරාකයට එරෙහිව සිදු කළ පළමු ගල්ෆ් යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් පසුබසින ඉරාක සෙබළුන් දෙලක්‍ෂයක් මරා දැම්මා. මෙය මුළුමනින්ම ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක්. මේ ඉරාකයට එරෙහි මෙහෙයුමට අණදුන්නු ඇමෙරිකානු හමුදා ප‍්‍රධානියා ජනරාල් නෝමන් ස්වාස්කෝ. ඔහු එක්තරා රූපවාහිනි සංවාදයකදී පැවසුවා, ‘අපි ඉරාකය ගල් යුගයට තල්ලූ කළා’ කියලා. අන්න කරපු විනාශය. එහිදී ඔහු පසුබසින ලද ඉරාක සෙබළුන් ගැන මෙසේ කියනවා. ‘ඔවුන් පහසුවෙන් තුවක්කුවට බිලිකර ගන්න පුළුවන් වුණා.’ මේ අය මේවා මානව හිමිකම් පේ‍්‍රමයෙන් සිදු කරනවා යැයි පිළිගත හැකිද? 2003දී ඉරාකය යටත්කර ගැනීමෙන් අනතුරුව 2006 වන විට පමණක් ඉරාක ජනතාව හයලක්‍ෂයක් ඝාතනය වී තිබුණා. ඔබට මේ සංඛ්‍යාලේඛන පිළිබඳව ගැටළුවක් තියෙනවා නම් මූලාශ‍්‍ර පවා සඳහන් කරන්න පුළුවන්. ඵෂඔ කියන ඇමෙරිකානු කීර්තිමත් විශ්ව විද්‍යාලයේ වෙබ්අඩවියේ මේ සංඛ්‍යාලේඛන තිබෙනවා. මෙය මානව හිමිකම් පේ‍්‍රමයෙන් සිදු කරන දෙයක් නොවෙයි.

‘ඉරාකය ගල් යුගයට තල්ලූ කළා’ යැයි වහසිබස් දෙඩූ ඇමෙරිකාව එතැනින් නතර වුණේ නැහැ. ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙනවිත් ඉරාකයට පරිපූර්ණ සම්බාධක පැනවූවා. ඒ පරිපූර්ණ සම්බාධක පැනවීම නිසා ඉරාකය කාලකන්නි තැනකට වැටුණා. තෙල් විකුණාගන්න බැරි වුණා. මන්දපෝෂණය පැතිරුණා. මව්වරුන් නීරක්තියෙන් පෙළුණා. මිනිසුන් බඩගින්නේ දුෂ්පෝෂණයෙන් මැරෙන්න පටන් ගත්තා. යුනිසෙප් වාර්තා අනුව වසරකට 90,000ක් පමණ. මේ මහා ඝාතන ගැන ලෝකයේ විශාල කතාබහක් ඇති වුණා. එහි කොටසක් විදිහට එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ මැඞ්ලින්  ඕල්බ‍්‍රයිට් සමග 1996දී ඇමෙරිකානු MIT රූපවාහිනී සේවය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. එම රූපවාහිනී සංවාදය පැවැත්වූයේ ලෙස්ලි ස්ටාල් කියලා මහතෙක්. එහිදී ලෙස්ලි ස්ටාල් අහනවා ‘පරිපූර්ණ සම්බාධක පැනවීම නිසා මේ දක්වා පන්ලක්‍ෂයක් මියගොස් තිබෙනවා. එයින් හරි අඩක් ළමයින්. මේක ගෙවිය යුතු මිලක්ද?’ කියලා. එහිදී මදක් නිහඩව ඉඳලා  ඕල්බ‍්‍රයිට් මැතිනිය කියනවා ‘ඒක දුෂ්කර තීරණයක්. ඒත් ඒක කරන්න වටින වැඩක්’ කියලා. ඉරාකයේ ළමයින් ඇතුළු පන්ලක්‍ෂයක් මියයාම, ගෙවිය යුතු මිලක් කියලා සලකන ජාතියක්, එකට සහයෝගය දෙන බි‍්‍රතාන්‍යය, කැනඩාව හා යුරෝපා සංමගයේ රටවල් මානව හිමිකම් පිළිබඳ පේ‍්‍රමයෙන් ද මේක කරන්නේ. මහත්වරුනි මේ වංචනිකභාවය පැහැදිලි කිරීමට නිදසුන් සිය ගණනින් දක්වන්න පුළුවන්.

මම තවත් එක් නිදසුනක් පමණක් ඉදිරිපත් කරන්නම්. අප‍්‍රිකාවේ මැද කොටසේ තියෙනවා කුඩා රාජ්‍යයක් රුවන්ඩාව කියලා. ඒ රටේත් අපේ රටේ වගේ ගැටුමක් තිබුණා. 1994 අපේ‍්‍රල් මාසයේදී ඒ රටේ ජනාධිපතිවරයාව ඝාතනය කළා. ඉන්පසුව විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා. එය කොතරම් බියකරු ද කියනවා නම් මාස 05කදී ලක්‍ෂ 08ක් ඝාතනය කළා. ඔය මහත්වරු බලලා ඇති ‘හොටේල් රුවන්ඩා’ කියන චිත‍්‍රපටය. ඒකෙන් කියැවෙන්නේ මේ බියකරු කතාව. ඒ විශාල මනුෂ්‍ය ඝාතනය පිටුපස හිටියේ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ නම් වූ එල්.ටී.ටී.ඊ බඳු සංවිධානයක්. එහි නායකයා වූයේ පෝල් කගමේ. ඔහු මේ මහා ඝාතනයෙන් පසුව රුවන්ඩාවේ ජනාධිපති ධුරයට පත් වුණා. ඔහු ඇමෙරිකාවේ මිත‍්‍රයෙක්. බටහිර නව ලිබරල් ගෝලීයකරණ මාදිලිය පිළිගන්නා තැනැත්තෙක්. ඒ නිසා ඔහුට විරුද්ධව ඇමෙරිකාව හෝ එක්සත් ජාතීන් හෝ කිසිවක් කළේ නැහැ. ඒ විතරක් නොවෙයි 2005දී ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නගරයේ පැවැත්වුණු ‘එක්සත් ජාතීන්ගේ සහස‍්‍රක සංවර්ධන අභිමතාර්ථ’ නම් වැඩසටහනේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමේ සභාපති විදිහට තෝරා ගත්තේ පෝල් කගමේ. ඉතාම සංක්‍ෂිප්තව සඳහන් කරනවා නම්, මේ ජිනීවා ක‍්‍රියාදාමය පිටුපස තිබෙන්නේ මානව හිමිකම් පිළිබඳ පේ‍්‍රමයක් නොවෙයි.

මේ කි‍්‍රයාදාමය පිටුපස මානව හිමිකම්වලට වඩා තිබෙනවා, ශ‍්‍රී ලංකාව ඇතුළේ තිබෙන දේශපාලන, ආර්ථික, සමාජ, මිලිටරි අධිකරණ, පාර්ලිමේන්තු, මැතිවරණ ක‍්‍රියාදාමය මුළුමනින්ම වෙනස් කිරීමේ උවමනාවක්. මෙවැනි යෝජනා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිතියක් නැහැ. හුසේන් කුමාරයට අයිතියක් නැහැ. එක්සත් ජාතීන් පදනම් වෙන්නේ එහි ප‍්‍රඥප්තිය මත. ප‍්‍රඥප්තියේ දෙවැනි වගන්තියෙහි පැහැදිලිව සඳහන් වෙනවා, එක්සත් ජාතීන්  ක‍්‍රියාත්මක විය යුතු මූලධර්ම 07ක් පිළිබඳව. එහි පළමුවැන්න තමයි ‘ජාතීන්ගේ ස්වෛරී සමානාත්මතාවය’. ශ‍්‍රී ලංකාව වෙන් කරලා අරන් දඩුවම් කරන්න බැහැ. හත්වැනි මූලධර්මයෙහි තිබෙනවා, ‘රටක අත්‍යවශ්‍යයෙන්ම අභ්‍යන්තර යැයි සැලකිය හැකි කරුණු සම්බන්ධයෙන් මැදිහත් විය නොහැක’ කියලා. අපේ රටේ ඉඩම් අයිතිය සහ පරිහරණය ගැන එක්සත් ජාතීන්ට හෝ මානව හිමිකම් කවුන්සිලයට නිර්දේශ ඉදිරිපත් කරන්න බැහැ. එහෙම නම් මේ පිටුපස තිබෙන්නේ වෙනත් ව්‍යාපෘතියක්. මගේ කියවීම අනුව ඒ ව්‍යාපෘතිය තමයි, නව ලිබරල් ගෝලීයකරණ ආර්ථික මොඩලය මේ රටේ පැලපදියම් කිරීමේ උවමනාව.

බටහිර රටවල් මෑත යුගයේදී අධිරාජ්‍ය ගොඩනැගුවා. ඒ අධිරාජ්‍ය ගොඩනැගීමෙන් කොල්ලකන ධනයෙන් තමයි ඔවුන් අද ඉතා ඉහළ ජීවන තත්ත්වයක් හිමිකර ගෙන සිටින්නේ. නමුත් පසුගිය සියවසේ ඇති වූ වෙනස්කම් නිසා ඒ පැරණි අධිරාජ්‍ය ක‍්‍රමය බිඳ වැටුණා. සමාජවාදය කියලා එකක් ආවා. මනුෂ්‍ය සංහතියේ අවාසනාවට 90 දශකයේදී සමාජවාදය බිඳ වැටෙනවා. සෝවියට් දේශය බිඳ වැටෙනවා. ඉන්පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අර කලින් පැවැති තත්ත්වයෙන්ම ලෝකය පාලනය කිරීමේ සැලැස්මක් සකස් කරලා එය පියවරෙන් පියවර ක‍්‍රියාවට නගනවා. ඒක තමයි අද දේශපාලන විද්‍යාවේදී ‘නව ලිබරල් ගෝලීයකරණය’ හෙවත් නව අධිරාජ්‍යවාදය කියා හඳුන්වන්නේ.

මේ නව අධිරාජ්‍යවාදයේ ස්වභාවය පැහැදිලි කිරීම සඳහා මම ඇමෙරිකානු බුද්ධි මණ්ඩලයේ සාමාජිකයකු කළ ප‍්‍රකාශයක් උපුටා දක්වන්නම්. ඔහුගේ නම මයිකල් නාටේප්. ඔහු හාවඞ් විශ්ව විද්‍යාලයේ කෙනඩි ආණ්ඩුක‍්‍රම පාසලේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්. ඔහු පවසනවා ‘ඇමෙරිකා අධිරාජ්‍යය පැරණි අධිරාජ්‍ය වගේ නොවෙයි. එයට යටත්විජිත නැහැ. 21 වැනි සියවසේ අධිරාජ්‍යවාදය දේශපාලන විද්‍යාවේ අලූත් සොයා ගැනීමක්. එහි ස්වභාවය තමයි, සැහැල්ලූ අධිරාජ්‍යයක් පැවතීම. මේ අධිරාජ්‍යයේ තේමා පාඨ මොනවාද? මානව හිමිකම්, නිදහස් වෙළඳපොළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය.(මෙතැන නැති එකක් අපි ඇතුළත් කරමු ‘යහපාලනය’ කියලා.) ලෝකයේ මෙතෙක් දැක ඇති බියකරුම යුද යාන්ත‍්‍රණය මගින් තමයි ඒක ක‍්‍රියාත්මක කරන්නේ. එය න්‍යාය අනුව මානුෂවාදියි, ප‍්‍රායෝගිකව අධිරාජ්‍යවාදියි. එය පරාධීන ස්වාධිපත්‍යය නිර්මාණය කරනවා. න්‍යාය අනුව අනෙක් රටවලට නිදහස තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම නිදහස නැහැ. ඇමෙරිකන් හමුදා බෝල්කන් ප‍්‍රදේශයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ ඉන්නේ ඇයි? ඇමෙරිකාවට දේශපාලන, ආර්ථික වශයෙන් වැදගත් වන භූමි කලාප පාලනය කිරීම සඳහා’ කියලා. ඒක තමයි මේ ව්‍යාපෘතිය.

අපි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 2015 මැයි 08 වැනිදා සිදු කළ මෙවැනි ප‍්‍රකාශයක් සලකා බලමු. එයත් වෙඞ්අඩිවිවලින් බලන්න පුළුවන්. ඔහු මෙම ප‍්‍රකාශය සිදු කරන්නේ සුප‍්‍රසිද්ධ ‘නයික්’ සමාගමේ උත්සවයකදී දේශනයක් පවත්වමින්. වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියනවා, ‘අපේ ආර්ථිකය ගෝලීය වශයෙන් ශක්තිමත්ව තිබෙන අතර ලෝක ආර්ථිකයේ නීති අපි තමයි ලියන්නේ, කියන එක සහතිකර ගන්න  ඕනෙ. අපි ලියුවේ නැති නම් චීනය එය කරාවි’ කියලා. අපි ස්තූතිවන්ත වෙන්න  ඕනෙ ඒ ඇමෙරිකන් නායකයන්ට. ඔවුන් මේ විදිහට ඇත්ත කියනවා.

‘ඉන්දු-ශාන්තිකර කලාපයක නාභිය’

මේ වසරේ වෙසක් දවස්වල ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ‍්‍රී ලංකාවට ආවා. ඒ පිළිබඳව ඉංග‍්‍රීසි පුවත්පතකට ලිපියක් ලියමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙලේ රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රධානියා කියනවා ‘ජෝන් කෙරීගේ සංචාරය, මට බුදුන්වහන්සේ ශ‍්‍රී ලංකාවට වැඩම කරවීම සිහි ගන්වනවා’ කියලා. නමුත් බලන්න ජෝන් කෙරී මෙහි පැමිණ ප‍්‍රකාශ කළ දෙය. ’ඔබගේ රට පිහිටා තිබෙන්නේ හන්දියක. ඒ හන්දියෙන් සම්බන්ධ වන්නේ අප‍්‍රිකාව, දකුණු අසියාව හා නැග‍ෙනහිර ආසියාව’ කියලයි ජොන් කෙරී කිව්වේ. දැන් ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය තිබෙන්නේ මේ භූමි කලාපයේ. ඒ වගේම ජෝන් කෙරී මෙහිදී පැවසුවා ‘ඉන්දියන් සාගරය තමයි ලෝකයේ වැදගත්ම වාණිජ ගමන් මාර්ගය. ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව නූතන සජීවී ගතික ඉන්දු – ශාන්තිකර කලාපයක නාභිය වෙන්න ඔබට පුළුවවන්’ කියලා. ඒ වාගේම ජෝන් කෙරී කීවා, ‘ඒ කාර්ය සඳහා අප ඔබට උදව් කරන්නම්’ කියලා. මේ තමයි ජිනීවා ක‍්‍රියාදාමය පිටුපස තිබෙන ඇත්ත කතාව.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ හා ඉන්දියාවේ  ඕනෑ එපාකම් අනුව ක‍්‍රියා කළා නම් මේ ජිනීවා යෝජනාව එන්නේ නැහැ. එහෙම නම් ඔහුටත් පෝල් කගමේට වගේ එක්සත් ජාතීන්ගේ විමර්ශන මණ්ඩලයක සභාපති වෙන්න තිබුණා. අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට ගෙන යාමෙන් ඇත්තටම මිදෙන්න තිබුණා. මෙන්න අපි රටක් විදිහට මුහුණ දී තිබෙන අභියෝගය.

මම දකින විදිහට ජිනීවා ක‍්‍රියාදාමය කෝට්ටේ රජු පෘතුගීසීන්ට කොළඹ කොටුවක් හදන්න දුන්නාට සමානයි. ඉන්පසුව සිංහල රජු පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන් ගෙන්වා ගත්තාට සමානයි. ඉන්පසුව 1815දී උඩරට ගිවිසුම අත්සන් කළාට සමානයි. 1987දී ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළාට සමානයි. 2002 පෙබරවාරි මාසයේදී එවකට පැවැති එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව එල්.ටී.ටී.ඊය සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුමට සමානයි. නිදහස්, නිවහල් ජාතියක් ලෙස පැවතීමට නම් මේ උවදුරෙන් අපි රටක් ලෙස මිදිය යුතුයි. අපට ගැලපෙන වාස්තවික ආර්ථික, සමාජ මාදිලියක් අනුගමනය කරන්නට නම්, ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්නට නම් අපි මේ උවදුරෙන් මිදිය යුතුයි.

මේ ඊනියා අන්තර්ජාතික ප‍්‍රජාව මැදිහත් වුණු සෑම රටක්ම අද මුහුණ පා සිටින්නේ බියකරු ඛේදවාචකයකට. ඇල්ජීරියාවේ හිටපු නායක හුවාරි බුමඩියන් මෙසේ පවසා තිබුණා. ‘මේ ආර්ථික රටාව වෙනස් නොවුණොත් යම් දවසක අපේ රටවල සිට දශලක්‍ෂ සංඛ්‍යාත ජනයා යුරෝපයට සංක‍්‍රමණය වීම වළක්වන්න බැහැ’ කියලා. ඔහු අනාවැකි කියන ජෝතිෂඥයකු නොවෙයි. නමුත් දේශපාලනය හා ආර්ථිකය හරියට කියවන්න දැනගෙන සිටි රාජ්‍ය නායකයෙක්. ඔහු කියපු දේ අද සත්‍ය වී තිබෙනවා. අප හමුවේ තිබෙන ප‍්‍රශ්නය ‘අපි එතැනට යනවාද? දිනාගත් නිවහල් භාවය රැකගෙන අපට සුදුසු අභිමත ආර්ථික මාදිලියක් ඔස්සේ අදීන ජාතියක් වශයෙන් ලෝකය සමග එත්සත්ව, සමගියෙන් ඉදිරියට යනවාද?’ කියන එකයි.

මේ අභියෝගය ජයගැනීම පහසු නැහැ. වැඩි පිරිස ඉන්නේ අනෙක් පිලේ. පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වේ යැයි අපේක්‍ෂාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ ඡන්දයෙන් මන්ත‍්‍රී ධුරයක් ලබාගත්තු විශාල පිරිසක් අනෙක් පිලට පලා ගියා. ඔවුන් ගැන පුදුම වෙන්න  ඕනෙ නැහැ. හෙට දිනයේදී ‘දේශසීමා නොමැති දෙමළ ඊළාම් රාජ්‍යයේ සිහින අගමැතිවරයා’ රුද්‍රකුමාරන් මේ රටේ අගමැති වුවත් ඔවුන් එතැනට යනවා. ඉන් පස්සේ ඔවුන් කියනවා, ‘මේක තමයි අපි කාලයක් තිස්සේ බලා හිටපු ආණ්ඩුව. දැන් ඒක ආවා’ කියලා. ඒ නිසයි මේ අභියෝගය බරපතළ වෙන්නේ.

මේ පිළිබඳව ජනතාව අවදි කළ යුතුයි. දැනුම්වත් කළ යුතුයි. නමුත් අපේ රටේ මාධ්‍යවලින් මේකට ගත හැකි සහාය අල්පයි. සිංහල මාධ්‍යවලට මේ ක‍්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් තිබෙනවාද? කියා මට සැකයි. අවබෝධයක් තිබුණත් ඔවුන් කථා කරන්නේ නැහැ. ඉංග‍්‍රීසි පුවත්පත් මේ පිළිබඳව දන්නවා. නමුත් ලංකාවේ එක් ඉංග‍්‍රීසි පුවත්පතක් හැර අනෙක් සියලූ ඉංග‍්‍රීසි පුවත්පත් පෙනී සිටින්නේ මේ ඇමෙරිකානු ව්‍යාපෘතිය වෙනුවෙන්, මේ ආණ්ඩුව වෙනුවෙන්. ඒ නිසා මේ බරපතළ අභියෝගය ජයගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීම සඳහා අපි මේ ආකාරයට නොකඩවා කටයුතු කරමු.’’

මෙම මාධ්‍ය – විද්වත් කතිකාවේදී ප‍්‍රවීණ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් ද දේශනයක් සිදු කළ අතර කතිකාව මෙහෙයවීම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර, නීතිඥ, මේජර් අජිත් ප‍්‍රසන්න, නීතිඥ කපිල ගමගේ, ඇතුළු විද්වත්හු රැසක් ද ජයන්ත සමරවීර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුළු පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීවරු රැසක් ද එක්ව සිටියහ.

සටහන :- අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

IMG_6626 copy IMG_6629 copy IMG_6634 copy IMG_6642 copy IMG_6644 copy IMG_6658 copy IMG_6688 copy IMG_6685 copy IMG_6684 copy IMG_6683 copy IMG_6662 copy

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*