BREAKING NEWS

ජිනීවා යෝජනාවට එරෙහිව පක්‍ෂ 08කින් පුළුල් විරෝධතා ව්‍යාපාරයක්!

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප‍්‍රභාත් ගම්මන්පිල, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායමේ කුමාර වෙල්ගම හා බන්දුල ගුණවර්ධන සහ දේශවිමුක්ති ජනතා පක්‍ෂයේ නායක, පොඩිඅප්පුහාමි මහතාගේ සහභාගීත්වයෙන් කොළඹදී ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

පැය ගණනාවක් ඇදී ගිය මෙම සාකච්ඡාවේදී ජිනීවා යෝජනාව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

‘‘මෙවැනි රට පාවාදීමේ යෝජනාවක් ගෙන ඒම තමයි මේ ආණ්ඩුවට රටට කරන්න පුළුවන් ලොකුම හානිය මේක 1815 පාවාදීමට නොදෙවැනි පාවාදීමක්’’ දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

‘‘මේ යෝජනාව අනුව පිහිටුවන්නේ දෙමුහුන් අධිකරණයක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙන්න හදනවා. නමුත් ඉතා පැහැදිලියි, දෙමුහුන් කියන වචනය මේ යෝජනාව තුළ නැති වුණත් පොදු රාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් රටවල විනිසුරුවරුන්, අභිචෝදකයන්, නීතිඥවරුන් හා පරීක්‍ෂකයන් සහිත අධිකරණයක් දෙමුහුන් එකක් බව දරුවකුටත් තෙරෙනවානේ. මේ ඇත්ත තත්ත්වය වසන් කරන්න, මේ මහා පාවාදීම යටපත් කරන්න අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මාධ්‍යයට දබරඇගිල්ල දික් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුම්වත් කරන්න  ඕනෙ. ඒකට අපි ඒකාබද්ධ විපක්‍ෂයක් ලෙස එක්සත් ක‍්‍රියාමාර්ගයකට යන්න  ඕනෙ.’’ විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

‘‘මේ වෙලාවේ අපටත් නිහඩව බලා ඉන්න බැහැ. පක්‍ෂයෙන් මොන තීරණය ගත්තත් ඒවා රටට, ජනතාවට අහිතකර නම් අපි විරුද්ධ විය යුතුයි. එහෙම නැතිනම් අපිත් ඒ මහා පාවාදීමට සහයෝගය දුන්නා වෙනවා’’ කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

‘‘වාසු මන්ත‍්‍රීතුමා සාකච්ඡාව ඉවරද?’’ ඒ වන විට ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්‍ෂ තුනෙහි විශේෂ සාකච්ඡාවට සහභාගී වී සිටි වාසුදේව නානායක්කාර මහතාගෙන් විමල් වීරවංශ මහතා දුරකථනයෙන් විමසා සිටියේය.

‘‘තව සාකච්ඡාව ඉවර නැහැ. ඉවර වුණු ගමන් මම ඔතැනට එනවා’’ වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසුවේය.

‘‘වාසු නම් මෙතැනට එනවානේ. මම ඒ පක්‍ෂ තුන සමගත් සාකච්ඡා කරලා කඩිනම් ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයකට එන්නම්’’ දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැවසුවේය.

මේ අනුව පසුගිය අගහරුවාදා ඒකාබද්ධ විපක්‍ෂය පක්‍ෂ 08ක් ලෙස එකතු වී නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. මෙම මාධ්‍ය හමුවට දිනේෂ්, විමල්, වාසු, උදය යන පක්‍ෂ නායකයන්ට අමතරව, ලංකා සම සමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ, දේශවිමුක්ති ජනතා පක්‍ෂයේ නායක, පොඩි අප්පුහාමි මහතා පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායම නියෝජනය කරමින් කුමාර වෙල්ගම සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරු ද එක් වූහ.

ජිනීවා යෝජනාවට එරෙහිව ජානිපෙන් සති 02ක
විරෝධතා ව්‍යාපාරයක්!

ඉදිරි දෙසතිය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසි වාරයේදී සම්මත වූ ඇමෙරිකා – ශ‍්‍රී ලංකා යෝජනාවට එරෙහිව පුළුල් ජනතාව දැනුම්වත් කිරීමේ සහ විරෝධතා ව්‍යාපාරයක් ඇරඹීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ දේශන මාලාව ඉදිරි දෙසතිය තුළ රට පුරා පැවැත්වීමට නියමිතය. ඒ අනුව ගාල්ල, මාතර, ගම්පහ, මොරටුව, අවිස්සාවේල්ල, කොලොන්නාව, හෝමාගම යන නගරවලදී එම දේශන මාලාව පැවැත්වේ.

දේශන මාලාවෙන් අනතුරුව මෙම යෝජනාවලියෙන් රටට සිදුවන හානිය පිළිබඳ ලියැවුණු විමල් වීරවංශ මහතාගේ කෘතියක් එළි දැක්වීමටද නියමිතය. මෙම දැනුම්වත් කිරීම්වලින් අනතුරුව ඉහත පක්‍ෂවල ද සහයෝගය ඇතිව ඔක්තෝබර් 14 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කොට තිබේ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*