BREAKING NEWS

ජිනීවා යෝජනාවෙන් රටේ හදිසි ආරක්‍ෂක තත්ත්වයන්ට මුහුණ දීමට මහජන ආරක්‍ෂක පනතින් ජනාධිපතිවරයාට ලැබී තිබුණු බලයත් අහෝසි වෙනවා – ජානිපෙ නායක, විමල් වීරවංශ

    ජිනීවා යෝජනාව අනුව රටේ හදිසි ආරක්‍ෂක තත්ත්වයන්ට මුහුණ දීමට මෙතෙක් මහජන ආරක්‍ෂක පනතින් රටේ ජනාධිපතිවරයාට ලැබී තිබූ බලය ද අහෝසි වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(12) බොරැල්ල එන්. එම්. පෙරේරා මාධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රැගෙන එනු ලදුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් වැලඳගනු ලැබු යෝජනාවට විරුද්ධ මත ගලා යෑම වැළැක්වීම පිණිස විශාල මාධ්‍ය වාරණයක් අද ඉතා සියුම් ලෙස ක‍්‍රියාත්මක වෙනවා. ජිනීවා ක‍්‍රියාදාමය පිළිබඳව, එක්තරා සතිඅන්ත පුවත්පතකට ඔවුන්ගේ ඉල්ලීම පරිදි මා ලබාදුන් සාකච්ඡාව පළව තිබුණේ නැහැ. ඒ වගේම හෙට පැවැත්වීමට නියමිත ජිනීවා යෝජනාව පිළිබඳ රූපවාහිනී සංවාදයකට මාහට ඇරයුම් ලැබී තිබුණා. එයට ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයකු ද සහභාගී වීමට නියමිතයි. යම් හේතුවක් නිසා එම සංවාදය පැවැත්වීමට නොහැකි බව පැවසෙනවා. මේ එම සියුම් මාධ්‍ය වාරණයට අදාළ උදාහරණ දෙකක්. මෙවැනි උදාහරණ බොහෝ ප‍්‍රමාණයක් පෙන්වා දෙන්න පුළුවන්. තමන් කරන්නේ හරි දෙයක් නම් ඊට එරෙහිව මත මේ විදිහට වාරණයට ලක් කරන්න ආණ්ඩුවට  ඕනෙ කමක් නැහැ. අද මෙතැන මාතෘකා දෙකක් කතා වෙනවා. එකක් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවෙන් රටට එල්ල වන බලපෑම. අනෙක තමයි රටේ ආර්ථිකයේ සිදුව තිබෙන බිඳ වැටීම. දැන් බොහෝ වෙලාවට මාධ්‍යයට උපදෙස් ලැබෙන්න පුළුවන්, ‘පළමු මාතෘකාවට අදාළ කරුණු ස`ගවා තබා දෙවන මාතෘකාවට අදාළ කරුණු පමණක් ඉස්මතු කරන්න’ කියලා. ඒ නිසා අපි මාධ්‍යවේදී ඔබගෙන් ඉල්ලා සිටිනවා, මේ මාතෘකා දෙකටම අදාළව අප ඉදිරිපත් කරන මතය ජනතාවට දැනගැනීමට තිබෙන ඉඩකඩ නිර්මාණය කර දෙන්න කියා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාවෙයි, ක‍්‍රියාකාරී යෝජනාවන්හි ප‍්‍රධානතම වාක්‍යයක් තිබෙනවා. ඒ තමයි, ‘මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි අඩංගු නිර්දේශ හා කරුණු සාදරයෙන් පිළිගන්නවා’ කියලා. ඒ අනුව ශ‍්‍රී ලංකා රජය යෝජනාව පිළිබඳව එකගතාවට පැමිණීමෙන් අනතුරුව ඒ වාර්තාව සාදරයෙන් පිළිගැනීමට බැඳී සිටිනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවේදී අනුග‍්‍රාහකත්වයෙන් සම්මතකර ගත් යෝජනාවෙහි තිබෙනවා, මහජන ආරක්‍ෂක පනත සංශෝධනය කිරීම පිළිබඳව. ඒ වගේම මංගල සමරවීර මහත්තයා, මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව නිකුත් වීමෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලයේදී සිදු කළ කතාවේදී පවසනවා, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නත්, ඒ වගේම මහජන ආරක්‍ෂක පනත සංශෝධනය කන්නත් කටයුතු කරනවා’ කියලා. හැබැයි මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි තිබෙනවා ‘මහජන ආරක්‍ෂක පනතත් අහෝසි කළ යුතුයි’ කියලා. ගෙන එන ලද යෝජනාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 25ට එහි පළමු ක‍්‍රියාකාරී යෝජනාවට අනුව කියනවානේ ‘මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව සාදරයෙන් පිළිගන්නවා’ කියලා. ඒ අනුව මහජන ආරක්‍ෂක පනත සංශෝධනය කිරීම කියන්නේ එය අහෝසි කිරීම වෙන්න පුළුවන්.

‘මහජන ආරක්‍ෂක පනතට අත තියන්නේ ඇයි?’

සංශෝධනය කළත් කුමක්ද මේ අය මහජන ආරක්‍ෂක පනතට කරන්න හදන්නේ? අපි දන්නවා  ඕනෑම රටක හදිසි ආරක්‍ෂක තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මෙවැනි ප‍්‍රතිපාදන තියෙනවා. රටත් අරාජික, අස්ථාවර තත්ත්වයකට ඇද දැමීමට ගන්නා උත්සාහය වැළැක්වීමට තමයි මහජන ආරක්‍ෂක පනතකින් බලාපොරොත්තු වෙන්නේ. මේක බි‍්‍රතාන්‍ය පාලන සමයේ පටන් පැවති එකක්. මහින්ද රාජපක්‍ෂ පාලනය සමයේ රැගෙන ආ එකක් නොවෙයි.

එදා වර්ධරාජා පෙරුමාල් 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලැබුණු බලය සීමාව ඉක්මවා පාවිච්චි කරන්න ගියා. ඔහු දෙමළ ජාතික හමුදාවක් පිහිටුවන්න යනකොට රටේ ස්ථාවරභාවයට අනතුරක් කරන්න යනකොට එවකට රාජ්‍ය නායකයා කළේ කුමක්ද? මහජන ආරක්‍ෂක පනතෙහි වගන්තිවලින් ලැබී තිබුණු බලය තමයි ඒ තත්ත්වය වැළැක්වීමට යොදා ගත්තේ. මහජන ආරක්‍ෂක පනතෙහි 154(K),154(L),154(M) යන වගන්ති මගින් ජනාධිපතිවරයාට ලැබී තිබුණු බලය අනුව තමයි පුළුවන්කම ලැබුණේ එදා වර්ධරාජා පෙරුමාල් මහත්තයා 13න් එහාට ගිය බලයක් පාවිච්චි කිරීම පාලනය කිරීමට මහජන ආරක්‍ෂක පනත අහෝසි කිරීමෙන් හෝ එහි අඩංගු 154(K),154(L),154(M) යන වගන්ති අහෝසි කිරීමෙන් සිදු වන්නේ යම් පළාත් සභාවක් 13න් එහාට ගිය බලයක් පාවිච්චි කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයාට ඇති බලය අහෝසි වීම.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප වූ රණවිරුවන් ජාත්‍යන්තර මානුෂවාදී නීති කැඩුවා කියලා ඔවුන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමේ මෙහෙයුමත් එක පැත්තකින් ස`ගවා. ඒක අද ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ චම්පික රණවකම පිළිගෙන තිබෙනවා. මේ යෝජනාව අනුව ‘ඔබට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල වුවහොත් අපි රජයෙන් ඊට අදාළ නීති ආධාර සපයනවා’ කියලා. චම්පික රණවක මහතා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට පවසා ඇති බව මෙවර ‘සන්ඬේ ටයිම්ස්’ මුල් පුවතින් අනාවරණය කොට තිබෙනවා. නීතිමය ආධාර දෙනවා කියන්නෙම මේ යෝජනාව අනුව ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව පරීක්‍ෂණයක් සිදු වෙන නිසානේ.

‘මානව හිමිකම් කසය වැනීම’

මෙතැන තියෙන ප‍්‍රශ්නය එසේ කිරීම පමණක් නොවෙයි. යම් පළාත් සභාවකට නිත්‍යනුකූලව ලබාදී ඇති බලය අතික‍්‍රමණය කළොත් ඒක පාලනය කරන්න තියෙන මහජන ආරක්‍ෂක පනතෙහි ප‍්‍රතිපදානත් අහෝසි කිරීමේ එකගතාවත් මේ යෝජනාවෙන් තිබෙනවා. මේ පියවර මොන තරම් රටට හිතකර ද? මේවා රටට හිතකර නම් ඒ පිළිබඳ විවෘත සංවාදයකට ඉඩකඩ හදන්නේ නැත්තේ ඇයි? අමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වී ඇත්තේ මේ රට අරාජික කරන්න, ගැටුම්කාරී තත්ත්වයක් හදන්න. ඒකට තමයි මේ ‘මානව හිමිකම් කසය’ වනාගෙන එන්නේ, මානව හිමිකම්වලට එහා ගිය යෝජනා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි අඩංගු වෙන්නේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් අහෝසී කළහොත් ඒ යටතේ අත්අඩංගුවට ගෙන සිටින ප‍්‍රබල ත‍්‍රස්තවාදී සැකකරුවන් සහ දඩුවම් ලැබ සිටින සිරකරුවන් සියලූ දෙනාම නිදහස් වෙනවා. මේක තමයි මේ කරන්න හදන්නේ. අපි කල්පනා කරලා බලන්න  ඕනෙ මේ ජිනීවා යෝජනාවෙන් වෙන්නේ රටට යහපතක්ද, අයහපතක්ද, කියලා. අපි ඉතා පැහැදිලිව කියනවා, මේ යෝජනාවෙන් වෙන්නේ මේ රට අස්ථාවරභාවයේ දිසාවට, අරාජිකභාවයේ දිසාවට, ගැටුම් නිර්මාණය කිරීමේ දිසාවට තල්ලූ වී යාමක් විතරයි’ කියලා.

ආණ්ඩුවේ සමහරු වචන හරඹයක යෙදෙනවා. ‘මේ යෝජනාව අනුව පිහිටුවනු ලබන අධිකරණය දෙමුහුන් නැහැ’ කියලා. පසුගිය සතිඅන්තයේදී මංගල සමරවීර මහත්තයා පුවත්පතකට පවසා තිබුණා. ‘මේක විදේශීය විනිසුරුවරුන්, අභිචෝදකයන්, නීතිඥයන් හා පරීක්‍ෂකයන් ඇතුළත් දේශීය යාන්ත‍්‍රණයක්’ කියලා. මේ තත්ත්වය සාධාරණීකරණය කරන්න මේ අය පෙන්වන දෙයක් තමයි, ‘පැවැති ආණ්ඩුව යම් යම් කොමිෂන් සභාවලට විදේශීය පුද්ගලයන් ඇතුළත් කළා’ කියන එක. කොමිෂන් සභා කියන්නේ දඩුවම් කරන ආයතනයක් නොවෙයි, යම් පරීක්‍ෂණයක් කරලා නිර්දේශ ඉදිරිපත් කරන ආයතන. එම නිර්දේශ පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. කොමිෂන් සභා දුන්නු නිර්දේශ සියල්ල පිළිගත්තා නම් අද තියෙන්න  ඕනෙ මේ රට නොවෙයි වෙනත් රටක්. දැන් බලන්න, බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කළා ‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න’ කියලා. කෝ එහෙම කළාද?

ඒ අනුව ඉතා පැහැදිලියි, කොමිෂන් සභාවකට උපදේශක මට්ටමෙන් විදේශිකයන් සම්බන්ධ වීමයි, නඩු අහලා දඩුවම් කරන අධිකරණයකට විදේශීය විනිසුරුවරුන් ඇතුළත් කිරීමයි සමාන නැහැ’ කියලා. විදේශීය විනිසුරුවරුන් නඩු අහන අධිකරණයක් ශ‍්‍රී ලංකාවේ පිහිටා තිබුණා කියලා ඒක දේශීය වෙනවාද? එහෙම නම් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයත් දේශීය එකක් වෙන්න  ඕනෙ.

‘සුමන්තිරන් කියූ කතාව’

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. සුමන්තිරන් මහත්තයා ඊයේ(11) වීරකේසරී දෙමළ මාධ්‍ය පුවත්පතට කියනවා. ‘මේක දෙමුහුන් වන්නේ කොහොමද? මේකේ විදේශීය විනිසුරුවරුන් කොපමණ ප‍්‍රමාණයක් ඉන්නවාද? මෙමගින් යුද අපරාධ චෝදනාවලට දඩුවම් කෙරෙන්නේ කොහොමද? මුලින් සත්‍ය සේවීමේ කොමිසමට චෝදනා තියෙන හමුදාවේ අය ගෙනවිල්ලා පාපොච්චාරණය කළොත් ඔවුන්ට සමාව දෙන්න  ඕනෙ. ඔවුන්ගේ පාපොච්චාරණය පදනම්කර ගෙන ඊළග අය දඩයම් කරන්න  ඕනෙ. ඒ අනුව ඒ අයට අධිකරණය හමුවට පමුණුවන්න  ඕනෙ.’ කියලා.

සුමන්තිරන් මහත්තයා වීරකේසරී පුවත්පතට පවසන අන්දමට මේ අධිකරණයට අදාළ විශේෂ නීතිය පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මතකර ගන්නත් පුළුවන්ලූ. අපි දන්නවා ජිනීවා යෝජනාව සම්මතකර ගැනීමේ ක‍්‍රියාන්විතයේදී ශ‍්‍රී ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාට වඩා සක‍්‍රීය කාර්යභාරයක් ඉටු කළේ සුමන්තිරන් මන්තී‍්‍රවරයා. ඔහු එම කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධානවලට වෙන් වුණු ආසනවල අසුන් ගෙන තමයි එම කටයුත්ත කළේ. ආණ්ඩුව කවරක් කීවාත් සුමන්තිරන් මහත්තයා වීරකේසරී පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා, මෙතැන සිදු වෙන්නේ දේශීය යාන්ත‍්‍රණයක් නොවෙයි, දෙමුහුන් සහ විදේශීය මැදිහත් වීමක් කියලා.

‘19 වැනිදා ලක්‍ෂ ගණනින් කොළඹට රොද බඳින්න’

අපි බලාපොරොත්තු වෙනවා, ආණ්ඩුව 22,23 තිබෙන පාර්ලිමේන්තු විවාදයේදී මේ පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට දැන ගැනීමට තිබෙන ඉඩකඩ අහුරන්නේ නැති වේවි කියලා. අපි ඒකාබද්ධ විපක්‍ෂය විදිහට දේශපාලන පක්‍ෂ 10ක පමණ එකමුතුවෙන් මේ ජිනීවා යෝජනාවෙන් රටට එල්ල වන අභියෝගය පිළිබඳ ප‍්‍රබල ජාතික සමුළුවක් පවත්වනවා, කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී ලබන 19 වැනිදා සවස 3.30ට අපි සියලූම ලක්වාසී ජනතාවට ආරාධනා කරනවා. ‘මේ ජාතික සමුළුවට ලක්‍ෂ ගණනින් රොද බඳින්න’ කියලා.’’

මෙම මාධ්‍ය හමුවට මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායම නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්, ඞ්ව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.10.12

12 11

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*