BREAKING NEWS

ජීඑස්පී ප්ලස් සහනය දෙන මුවාවෙන් යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළුවලට අත ගහනවා

ජීඑස්පී ප්ලස් සහනය ලබා දීමට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීම, බලය බෙදීම සදහා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වැනි කොන්දේසි 58ක් පැනවීමෙන් යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලූවලට අත පොවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
අද(10) එම පක්ෂයේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුස්ම්මිල් මහතා මෙසේ ද සදහන් කළේය.

‘‘වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් ජනතාවට විශාල පීඩනයක් එල්ල වී තිබෙනවා. මීට දශක දෙකකට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමට හිටියා ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු යුගලක්. ඒ සනත්-කළු සුසංයෝගය. ඒ වගේ සුසංයෝගයක් මේ ආණ්ඩුවෙත් ඉන්නවා. එදා ‘සනත්-කළු’ ප්ලැට් වෙන්න පන්දු යවන්නන්ට ගැහුවා. අද ‘රනිල්-මෛත‍්‍රී’ යුගල ජනතාවට ප්ලට් වෙන්න වැට් ගහලා තිබෙනවා. ජනතාවට වැට් එකෙන් ප්ලැට් වෙන්න ගහලා මේ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු වහසි බස් දොඩවනවා. විදුලි සංදේශ හා ඩිජිටල් තාක්ෂණ ඇමතිවරයා ලැජ්ජා නැතිව කියනවා ‘දුරකථන බිල වැඩි වුණාට ඒකෙන් ජනතාවට බලපෑමක් නැහැ’ කියලා. දුරකථන බිල, බස් ගාස්තු, විදුලි බිල, වතුර බිලට පමණක් නොවෙයි තේ කෝප්පයට පවා මේ වැට් බද්දේ බලපෑම තිබෙනවා.

‘ආරක්ෂක හමුදා සාමාජිකයන් අමු අමුවේ පාවාදීම’

එක පැත්තකින් වැට් ගහලා ජනතාව ප්ලැට් කරපු ආණ්ඩුව අද අනෙක් පැත්තෙන් අපේ රණවිරුවන් අමු අමුවේ පාවා දෙමින් සිටිනවා. පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ශ‍්‍රී ලංකාවට පැමිණියා. අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේ රැදී සිටි ඔහු වන්නි යුද හමුදා මූලස්ථානය ඇතුළු කදවුරු ගණනාවක් පරීක්ෂා කළා. අපේ රටේ කිසිදු හමුදා කදවුරකට විදේශිකයකුට ඇතුළුවීමට ඉඩ නොදිය යුතුයි. එසේ ඇතුළු වී ඒවා පරීක්ෂා කිරීමට ඉඩදුන් මේ ආණ්ඩුව විශාල පාවාදීමක් සිදුකර තිබෙනවා. මීට ඉහතදී ත‍්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයත් ඒ ආශ‍්‍රිත කදවුරුත් මේ ආකාරයෙන්ම පරීක්ෂා කිරීමට මේ ආණ්ඩුව විදේශිකයන්ට ඉඩ දුන්නා. මේ කදවුරු පරීක්ෂා කරපු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් අපට හොද කියලා ගියාද ? නැහැ. ඔවුන් අපේ ආරක්ෂක හමුදාවන්ට බරපතළ චෝදනා එල්ල කිරීම පමණයි මෙමගින් සිදු වුණේ. ආණ්ඩුව මෙහිදී අපේ ආරක්ෂක හමුදාවන් දැන දැනම උගුලක පටලවා තිබෙනවා.
ත‍්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය ඇතුළු කදවුරු පරීක්ෂා කළාට පසුව ඔවුන් කීවා, ‘මේ කදවුරු තුළ පුද්ගලයින් රදවාගෙන වද හිංසා පමුණුවා තිබෙනවා’ කියලා. ඒක බරපතළ චෝදනාවක්. එම සිදුවීමට මාස කිහිපයකට පසුවයි මේ ආණ්ඩුවේ පූර්ණ අනුදැනුම ඇතිව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානය ඇතුළු කදවුරු පරීක්ෂා කළේ. එසේ පරීක්ෂා කළ එම නියෝජිතයා කුමක්ද කීවේ? එයා කියනවා ‘යුද්ධය අවසන්ව වසර කිහිපයක් ගත වුවත් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් අඩු වෙලා නැහැ. අත්අඩංගුවට පත් අයට වදහිංසා පමුණුවනවා, ලිංගික අතවර සිදු කරනවා.’ කියලා. ඒ විතරක් නොවෙයි එයා සීඅයිඩිය, ටීඅයිඩිය, නීතිපති දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ශ‍්‍රී ලංකාවේ සියලූ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලටත් චෝදනා එල්ල කරනවා. මේක මොන තරම් බරපතළ තත්වයක්ද ? අද මේ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව ආරක්ෂක හමුදාවන්ට සහ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට විදේශිකයන් බරපතළ චෝදනා එල්ල කරමින් සිටිනවා. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ජාත්‍යාන්තර විමර්ශනයක් සිදු කෙරෙන අවස්ථාවක මෙවැනි චෝදනා එල්ල කිරීමට ආණ්ඩුව විදේශිකයන්ට ඉඩ හදා දීමෙන් ඒවාට ඉබේම වලංගුතාවයක් ලැබෙනවා. මේ විශේෂ නියෝජිතයා එල්ල කරන බරපතළම චෝදනාව ‘ශ‍්‍රී ලංකාව තුළ 16,000 – 22,000 අතර පිරිසක් අතුරුදන් වී තිබේ’ කියන එක. මේක ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ආණ්ඩුව සියතින් ගෙල සිද ගැනීමක් නොවෙයිද ? ‘ශ‍්‍රී ලංකාව තුළ නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර විනිසුරන්, අභිචෝදකයන්, නීතීඥයන් හා පරීක්ෂකයන් සහිත ජාත්‍යාන්තර යුද අධිකරණයක් ශ‍්‍රී ලංකාව පිහිටුවිය යුතුයි’ යන තම මතය තහවුරුකර ගැනීමටයි බටහිර බලවතුන් මේ චෝදනා අපට එරෙහිව ඉදිරිපත් කරන්නේ. මේ තත්වයට ජනාධිපතිවරයාත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයත්, ආණ්ඩුවත් වගකිව යුතුයි කියා අප අවධාරණය කරනවා.

‘ යුරෝපා සංගමයේ කොන්දේසි 58’

ශ‍්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීම වෙනුවෙන් යුරෝපා සංගමය කොන්දේසි 58ක් පනවා තිබෙනවා. ඒ කොන්දේසි දිහා බැලීමේදී පෙනී යන්නේ ශ‍්‍රී ලංකාව තමන්ගේ යටත්විජිතයක් ලෙස සලකා ඹවුන් එම කොන්දේසි පනවා ඇති බවයි. එක කොන්දේසියක් තමයි, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම. බලය බෙදීම සදහා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, උතුරේ හමුදාව සතු ඉඩම් ලබා දීම ආදියත් මේ කොන්දේසි 58 තුළ අන්තර්ගත වෙනවා. මේ කොන්දේසි ආර්ථිකයට කිසිසේත්ම අදාළ ඒවා නොවෙයි. මේ කොන්දේසි පැනවීමෙන් යුරෝපා සංගමය බලාපොරොත්තු වෙන්නේ රටේ අභ්‍යන්තර ගැටළුවලට බලහත්කාරයෙන් මැදිහත්වීමට, රටේ ස්වෛරීභාවයට බලපෑම් කිරිමට. අද ජී එස්. පී ප්ලස් පෙන්වමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ඒ යටතේ අත්අඩංගුවට ගෙන සිටින, දඩුවම් විදින ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදීන් ටික එළියට ගන්නයි හදන්නේ. මෙසේ ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් කරද්දී ආණ්ඩුව කියන්නේ කුමක්ද ? ‘මේ කොන්දේසි සපුරා දීලා ජී එස් පී ප්ලස් සහනය ලබා දැනීමට සූදානම්’ කියන එකද ?

’මහින්දගේ ඝාතකයාට ආරාධනය කිරීම’

‘ අද කොටි නැහැ’ කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කර තිබෙනවා. කොටියට පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා බිල්ලට ගැනීමට හැකි වන්නේ. අද වන විට මේ ආණ්ඩුව කිරි පොවලා පාතාලය බලවත් කරලා තිබෙනවා. ඒ නිසා හෙට දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බිල්ලට ගැනීමට බලා සිටින දෙමළ ඩයස්පෝරාව පාතාලයට කවර මිලක් ගෙවා හෝ සිය අරමුණ ඉටුකර ගනීවි. මේ ආණ්ඩුව රාජපක්ෂ මැතිතුමාගේ හමුදා ආරක්ෂාව ඉවත් කර එතුමන්ගේ ඝාතකයාට ආරාධනය කර තිබෙනවා ‘ඇවිත් බිල්ල ගන්න’ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, ‘ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න’’ කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*