BREAKING NEWS

ජෝන් කෙරීලාගේ උවමනාවට එරෙහි මහින්ද ප‍්‍රමුඛ දේශපාලන පෙරමුණ මැඩලන්න අද නින්දිත දඩයම් මෙහෙයුමක් දියත් වෙනවා – ජානිපෙ නායක විමල් වීරවංශ

    ශ‍්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ යටත් කොලනියක් බවට පත් කිරීමේ ජෝන් කෙරීලාගේ උවමනාවට එරෙහි මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ දේශපාලන පෙරමුණ මැඩලීම සඳහා අද ඉතාමත් නින්දිත දඩයම් මෙහෙයුමක් දියත් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(07) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘මාධ්‍ය වාර්තා අනුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර හතළිස් ගණනකට පසුවයි. එතරම් කාලයකට පසු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකුට ශ‍්‍රී ලංකාවට පැමිණීමට තිබුණු සුවිශේෂ අවශ්‍යතාව කුමක්ද? ජෝන් කෙරී මහතා පැමිණ සිදු කළ දේවල් නිරීක්‍ෂණය කළාම, ඒ පැමිණීම අපට නම් දැනුණේ ‘විදුහල්පතිතුමා ළමයි පංති කාමරයේ හොඳින් ඉන්නවාද?’ බලන්න ආපු ගමනක් විදිහටයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඔවුන්ගේ කොංග‍්‍රස් මණ්ඩලයට පවසා තිබුණා ‘ශ‍්‍රී ලංකාවේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය අපේ වැඩක්’ කියලා. ජෝන් කෙරී මහතා ශ‍්‍රී ලංකාවට පැමිණියේ ඔවුන් ඇති කළ නව පාලනයට තව උපදෙස් සහ නියෝග ටිකක් දීලා යන්න මිස වෙන දෙයකට නොවෙයි. වෙසක් සමය හේතුවෙන් කිසිඳු බාධාවකින් තොරව තම කටයුතු ශ‍්‍රී ලංකාව තුළ සිදුකර ගන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවයි ඔහු මේ කාලවකවානුවම ඊට යොදා ගන්න ඇත්තේ. වෙසක් සමයේ ‘කෙරී’ නොවෙයි ‘ඔබාමා’ පැමිණියත් බෞද්ධ ජනතාවගේ අවධානය ඒ කෙරෙහි යොමු වන්නේ ඉතාමත් අඩුවෙන්. ජෝන් කෙරී මහතාගේ පැමිණීමෙන් පසුව කුමක්ද මේ රටේ සිදු වෙමින් පවතින්නේ?

ජෝන් කෙරී මහතා දෙමළ ජාතික සන්ධානයට පවසනවා, ‘තමුන්නාන්සේලාගේ දීර්ඝ කාලීන බලාපොරොත්තු ඉටුකර ගැනීමට හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා’ කියලා. ඒ අතරට තමන් හදපු ආණ්ඩුවට කියනවා, ‘රටේ අභ්‍යන්තරය වෙනස් කළ යුත්තේ මෙහෙමයි’ කියලා. දැන් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කිරීම සඳහා පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා ඉන්දීය සම්භවයක් සහිත අයෙක්. ඔහු කලින් සිදු කර ඇති ප‍්‍රකාශ අනුව පෙනෙනවා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය කුමක්ද? කියා.

මෙතෙක් ඉතිහාසය තුළ සිදු නොවූ දෙයක් කිරීමටයි, ඔවුන් දැන් සැරසෙන්නේ. ඒ තමයි බටහිර අධිරාජ්‍යවාදයට අවශ්‍ය කරන ව්‍යාපෘතිය එක්සත් ජාතික පක්‍ෂය ලවා තනියෙන් ඉටු කරවා ගැනීම නොවෙයි, ඒ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතු කරවාගෙන ඉටු කරවා ගැනීම. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඒ දෙය ඉටු කරවා ගන්නයි ඔවුන් අද සැරසෙන්නේ. ඒකට තමයි ඔවුන් මේ ‘මෛත‍්‍රී – රනිල් – චන්ද්‍රිකා’ කියන අරුම පුදුම හවුල හැදුවේ. මීට කලින් බටහිර කොන්ත‍්‍රාත්තු, මේ පක්‍ෂ දෙක එකට එකතු වෙලා කර ගහන හවුල් නිර්මාණය කරන්න බැරි වුණා. මීට කලින් එක් අයෙක් බටහිර කොන්ත‍්‍රාත්තුවකට කර ගහන කොට, අනෙක් කෙනා ඊට එරෙහිව, රැහැනිව හිටගත්තා. 2001දී රනිල් වික‍්‍රමසිංහ මහතා භාර ගත් බටහිර කොන්ත‍්‍රාත්තුවට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ විදිහටම කර ගැහුවේ නැහැ.

දැන් දෙගොල්ලම එකට එකතු වෙලා බටහිර කොන්ත‍්‍රාත්තුවලට කර ගහන තත්ත්වයක් ඇති කර ගෙන තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුවත් මේ තත්ත්වය පවත්වා ගෙන යන්න මේ අය බලාපොරොත්තු වෙනවා. අපට දැන් පැහැදිලිව මේ අයගේ මාර්ග සිතියම පෙනෙනවා. ඔවුන් අභ්‍යන්තරිකව තීන්දු කර තිබෙනවා, ඔවුන්ගේ අභිලාෂයන්ට බාධාවක් වේ යැයි සිතන 10-15ක විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඊළග මහ මැතිවරණයට කලින් හිරේ දමන්න. ඒකට තමයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය කියා අලූත් පොලිස් කොට්ඨාසයක් විවෘත කරනු ලැබුවේ. කෙලින්ම මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි පොලිස්පතිවරයාට භාර නොදී එම කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට භාරදීමට එමගින් සැලසුම් කළා. මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාවක් මගින් දැන් ඉහත කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කෙලින්ම භාර දෙනවා, පොලිස්පතිවරයාට නොදන්වා. ඒ වගේම මෙම මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කෙලින්ම පැමිණිලි කිරීමට සාමාන්‍ය පුරවැසියකුට බැහැ. මේ අලූතෙන් පිහිටුවපු මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාර ගන්නේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාව විසින් ලබාදෙන පැමිණිලි විතරයි. මේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ කැබිනට් අනුකාරක සභාව පැමිණිලි එවන්නේ තමන්ගේ ‘දඩයම් ලේඛනයට’ අදාළවයි. ජෝන් කෙරීලා මේ රටේ කරන්න හදන සෙල්ලමට අතනොගහන කට්ටියක් ඉන්නවා. දේශපාලන පක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හැටියට. ජවිපෙ අනුර කුමාර දිසානායකගේ ආශිර්වාදය ඇතිව මෛත‍්‍රී-රනිල්-චන්ද්‍රිකා හවුල, ජාතික විධායක සභාවට, තමන්ට හීලෑ කරගන්න පුළුවන් පක්‍ෂ දමා ගත්තා. තමන් කරන්න යන කොන්ත‍්‍රාත්තුවට පටහැනිව, රැහැනිව ගොඩගැහෙණ දේශපාලන බලවේග සහ කණ්ඩායම් මර්දනය කිරීමේ න්‍යාය පත‍්‍රය අනුවයි ඉහත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් ගොඩනැගුවේ. මේක නීතියට පටහැනියි. පොලිස්පතිවරයා අභිභවා, ඔහුගේ අනුදැනුමෙන් තොරව කටයුතු කිරීමේ බලය මෙම පොලිස් කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී තිබෙනවා.

‘ලබන සතියේ විමල් අත්අඩංගුවට?’

ජනාධිපතිවරණ කාලයේදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එල්ල වුණේ ‘එතනෝල් චෝදනා.’ නමුත් දැන් ඒ කිසිම චෝදනාවක් නැහැ. දැන් අලූතින් චෝදනාවක් හොයාගෙන තියෙනවා, මේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් එතුමා සතොසෙන් ණයට බඩු ගත්තා කියලා. එතුමා රුපියල් ලක්‍ෂ 52ක පමණ බඩු සතොසෙන් ණයට ලබාගෙන පසුව ඒ ණය ගෙවා තියෙනවා. එහෙත් සතොසෙන් ණයට බඩු ගත්තා කියා එතුමා අද හිරේ දමා තියෙනවා. මේක පුදුම රටක්නේ. අවතැන් වූ පිරිසකට දෙන්න සතොසෙන් බඩු ණයට ගෙන පසුව ඒ ණය ගෙවූ බවට උසාවියට රිසිට්පත් ඉදිරිපත් කරද්දිත්, ඒ බව සතොසෙන් දන්වා නැහැ කියා එතුමා හිරේ දමා තියෙනවා. මේ සියල්ල හෙට(08) කුරුණෑගල රැුලියට බිය වී දමන සෙල්ලම්. පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරියේ උසාවි නියෝග නොතකා උද්ඝෝෂණයක නිරත වූවා යැයි කියන චෝදනාවට නායක ස්වාමීන්වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු 27දෙනකු උසාවියට කැඳවා ඇත්තේත් හෙට(08) දිනයි. මේ අනුව පෙනෙනවා අපේ පොලීසියට ‘ඉසිවර නුවණ’ තිබෙනවා කියා.

මේ අනුව ඉතා පැහැදිලියි, ජෝන් කෙරීලාගේ උවමනාවට එරෙහි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප‍්‍රමුඛ දේශපාලන පෙරමුණ මැඩලන්න අද ඉතාමත් නින්දිත දඩයම් මෙහෙයුමක් දියත් වන බව. ‘හොරු අල්ලනවෝ! හොරු අල්ලනවෝ!’ කියමින් සිදු කරන්නේ නීතියට පිටින් මේ බලවේගය මර්දනය කිරීමයි. දැන් යූ.එන්.පී. මඩ වෙබ් අඩවිවල ප‍්‍රවෘත්ති යනවා, ‘ලබන සතියේ අහවලා අත්අඩංගුවට ගන්නවා’ කියලා. ඒ කියපු විදිහටම අත්අඩංගුවට ගැනීම් ද සිදු වෙනවා. මේ දවස්වල ‘ලබන සතියේ විමල් වීරවංශ අත්අඩංගුවට’ කියා මේ ජුන්ටාවට හිතවත් වෙබ් අඩවිවල ‘‍‍ටෙ‍්‍රිලර්ස්’ යනවා. මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තෙම නීතිය කනපිට හරවලා.

‘අග විනිසුරුවරයකු ඉවත් කිරීමට අවශ්‍ය නම් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහාය.’ කියන නීතිය තුට්ටුවකට මායිම් නොකර ‘බයි ෆෝස්’ ක‍්‍රමයට හිටපු අග විනිසුරුතුමන් පන්නා දමලයි මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ. ‘අපට නීතිය වැඩක් නැහැ. සුළුතර ආණ්ඩුවක් හැටියට අපි හැසිරෙන්නේ මෙහෙමයි’ කියලා ඒ අය වැඩට බැහැපු ගමන්ම පෙන්වා දුන්නා. කරුමෙට හරි මේක බහුතර ආණ්ඩුවක් වුණා නම් කොහොම හිටිද, ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම නොවෙයිද? කලින් ආණ්ඩුවට මේ අය කිව්වේ ‘ඒකාධිපති’ රෙජීමය කියලා. නමුත් මේ ‘දින 100 පැටියා’ දිහා බැලූවාම ඒකා මොනතරම් ඒකාධිපති ද කියා හිතෙනවා.

මේ තත්ත්වයට ඉඩදී නිහඩව සිටීමට බැහැ. ‘හිතන්න එපා! මේ මර්දන දඩුකඳ පෙන්නපුවාම අපි යටත් වෙයි’ කියා. මේ තත්ත්වය පරාජය කිරීමේ මෙහෙයුමට අපි තව තවත් සජීවීව දායක වීම තමයි ඒකෙන් වෙන්නේ. මේ මර්දනය හරහා මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ජෝන් කෙරීලාගේ න්‍යාය පත‍්‍රය බාධාවකින් තොරව ක‍්‍රියාත්මක කිරීමේ ඉඩකඩ රට තුළ නිර්මාණය කරගැනීම.

මේ මර්දනකාරී මෙහෙයුම ක‍්‍රියාත්මක වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නොදැනුවත්ව නොවෙයි. පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී එතුමා පැවසුවා, මූල්‍ය අපරාධ විමර්ශන අංශය පිළිබඳ ගැසට් පත‍්‍රය නිකුත් කර ඇත්තේ තමන් දැනුම්වත්ව නොවෙයි කියා. එයට ජවිපෙ ලාල්කාන්ත සහෝදරයා පිළිතුරු දී තිබුණා, ‘මේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමේ තීරණය ගනු ලැබුවේ ජනාධිපතිතුමා මෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයාත් හිටපු ජාතික විධායක සභා රැස්වීමකදී’ කියා. ඉතිං මේ ගැන මේ කිසිවකුත් නොදැන සිටින්න බැහැනේ. දැන් බලන්නකෝ අනුර සහෝදරයාත් වික‍්‍රමසිංහ සහෝදරයාත් එක්කුසේ උපන් සහෝදරයන් වෙලා. මේ දඩුකඳ නිර්මාණය කළේ ජාතික විධායක සභාවේ සිටින මෛත‍්‍රීපාල සහෝදරයා, වික‍්‍රමසිංහ සහෝදරයා, චන්ද්‍රිකා සහෝදරිය, අනුර සහෝදරයා, චම්පික සහෝදරයා, සම්බන්ධන් සහෝදරයා ඇතුළු පිරිසයි. මෙහෙම හවුලක් ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ මෙතෙක් නිර්මාණය වී නැහැ. ජවිපෙ එදා කීවා, ‘පැරණි වම ධනපති ආණ්ඩුවල කටු ලෙවකනවා’ කියලා. අද ඒ අය කරන්නේ කුමක්ද?  දැන් ඒ අය ‘ධනපති ආණ්ඩුවල යටිපතුල් ලෙවකනවා’ කියලයි අපට කියන්න වෙන්නේ. මේ මර්දනය මේ අය හවුලේ රැගෙන එන එකක්.

මේ මර්දනයේ ඉලක්කය වී ඇත්තේ, මේ රට බේරාගත්තු නායකයන්. ඒ සැබෑ නායකයන් පොඩිපට්ටම් කරලා, මේ රටට වෛර කරන, ඒ කෙරෙහි ආදරණීය හැගීමක් නැති පිරිසක් දිගින් දිගටම බලයේ සිටීමටයි මේ සූදානම් වෙන්නේ. ‘ඒකට ඉඩ තියන්න එපාෟ’ කියලා අපි මේ රටේ සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.

‘රනිල්ගේ අම්මාගේ නමට ලියැවුණු වතුපිටි’

ඇත්තටම මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හැදුවා නම් ඉස්සර වෙලාම යන්න  ඕනෙ මහ බැංකුවටනේ. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ බරපතළම මූල්‍ය අපරාධයේ වගඋත්තරකරුවා අද එහි මුල් පුටුවේ වාඞී වී සිටිනවා. දැනට ඒ මූල්‍ය අපරාධය නිසා ශ‍්‍රී ලංකා රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 45ක් ඉක්මවනවා. ඉදිරියට සිදු වන සෑම බැඳුම්කර ගනුදෙනුවකදීම මේ පාඩුව තව තවත් වැඩි වෙනවා. අද ශ‍්‍රී ලංකාවේ බරපතළම මූල්‍ය අපරාධය කරපු පුද්ගලයා මහ බැංකු අධිපති පුටුවේ වාඩි කරවලා, අවතැන් වූ ජනතාවට සතොසෙන් ණයට බඩු අරන් දීලා පසුව ඒ ණය ගෙවපු ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා හිරේ දමලා තියෙනවා.

රනිල් – චන්ද්‍රිකා පාලන කාලවලදී මේ රටේ රාජ්‍ය ආයතන කොතරම් ප‍්‍රමාණයක් කුණු කොල්ලයට විකුණා දැමුවාද? ඒ හැම අවස්ථාවකදීම අතයට ගනුදෙනු සිදුව නැද්ද? එවැනි දේවල් සිදු කළ නේද අද මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හදාගෙන ‘හොරු අල්ලනවෝෟ හොරු අල්ලනවෝෟ’ කියන්නේ. අද මේ ‘හොරු අල්ලනවා’ කියමින් කෑගසන්නේ කම්බ හොරු ටිකක් නේද?. එදා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ අම්මාගේ නමට අක්කරයක් ඉතාමත් අඩුමිලට වතුපිටින් ලියා ගත්තා. ඒවා මූල්‍ය අපරාධ ගණයට වැටෙන්නේ නැද්ද? ඒවා පිං අතේ වැඩද?

දින 100න් පසුව තියෙන්නේ මහජන වරමක් නැති ආණ්ඩුවක්. මේ අය බලය ඉල්ලූවේ දින 100කට පමණයි. මාස 3කට ගෙයක් කුලියට අරන් කාලය ඉවර වෙලා යන්නේ නැතිව ඉන්නවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ. ජනතාව හිතුවේ, ‘යකෙක් වුණත් කමක් නැහැ. දින 100නේ ඉන්නේ. ඊට පස්සේ හොඳ නැත්නම් එළවෙලා දමනවානේ.’ කියලයි. දැන් ජනවරමට පටහැනිව, සදාචාර විරෝධීව මේ ආණ්ඩුව බලයේ ඉන්නවා. එය නීතියටත් පටහැනියි.

අපි කියනවා මේ ආණ්ඩුවට ‘පළාත් පාලන ආයතනවලට බොරුවට ටොකු ඇන ඇන ඉන්නේ නැතිව, බය නැතිනම් මේ ආණ්ඩුව විසුරුවා හරින්න’ කියලා. විසුරුවා හරින්න ප‍්‍රමාද වෙන්නේ තමන්ට එරෙහිව මේ පොළොව මත දැවැන්ත බලයක් ගොඩනැෙගන බව මෛත‍්‍රී – රනිල් – චන්ද්‍රිකා තුන්කට්ටුවට දැන් හොඳින් වැටහී ඇති නිසයි. මේ රටේ ජනතාව දින ගණිමින් සිටිනවා කරපු වැරැද්ද නිවැරදි කිරීමට.

අපිට ආරංචියි ඊයේ පැවති සාකච්ඡාවේදීත් හෙට(08) කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණය අසල පැවැත්වෙන රැලිය නවත්වා ගන්න ප‍්‍රබල උත්සාහයක් ගත් බව. රටට අවශ්‍ය ජයග‍්‍රහණය දිනාදීලා මිසක් අපි ආරම්භ කරපු රැස්වීම් මාලාව නතර කරන්න අපි සූදානම් නැහැ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොඩවදින දේශපාලන රැස්වීම කුරුණෑගල දී පැවැත්වෙන බවත් කිව යුතුයි. මේ රැලියේදී ගනු ලබන වැදගත් තීරණ කීපයක් පිළිබඳව අද සවස හිටපු ජනාධිපතිතුමන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රැලි මාලාව කුරුණෑගලින් අවසන් වෙන්නේ නැහැ. එය ජයග‍්‍රහණය තෙක් පෙරට යනවා. මේ කුරුණෑගල රැලිය වයඹ පළාත කේන්‍ද්‍ර කරගෙනයි පැවැත්වෙන්නේ. ‘ජනවාරි 08 වැනිදා අතින් ගිලිහුණු මහින්ද කොඩිය තදින් අල්ලාගෙන බලවත්ව ඉහළට ඔසවන්න හෙට(08) සවස 3ට කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණය අසලට එක්රොක් වෙන්න.’ කියා අපි වයඹ පළාතේ දේශප්‍රේමී සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-07

02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*