BREAKING NEWS

‘තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් තමයි ලැබෙන්නේ’’

 

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා රාත‍්‍රියේ පිටකෝට්ටේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වීම සඳහා විදෙස්ගත වීම හේතුවෙන් මෙවර දේශපාලන මණ්ඩලයට විමල් වීරවංශ මහතා සහභාගී වී සිටියේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේය.

එහිදී සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසුනට සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී අදාළ ඇමතිවරයා පොලීසියේ විශේෂ කාර්ය බලකාය යොදවා එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳව මුලින් සාකච්ඡාවට බඳුන් විය.

‘‘අද වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන්, රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය, වෛද්‍ය පීඨ සිසු දෙමව්පිය සංසදය, වෘත්තියවේදීන්ගේ සංගම් ඇතුළු සියලු ජන බලවේගවල සටන් පාඨය වී ඇත්තේ ‘සයිටම් වෛද්‍ය පීඨය ජනසතු කරනු!’ කියන එකයි. ඒත් අද උසස් අධ්‍යාපන ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සයිටම් අයිතිකරුගෙන් මුදල් ලබා ගත් ආණ්ඩුවේ පිරිස් නිසි ප‍්‍රමිතියකින් තොර මේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට ශ‍්‍රී ලංකාවේ අනෙකුත් වෛද්‍ය පීඨ හා සමාන වෛද්‍ය පීඨයක් ලෙසට නීතිමය පිළිගැනීමක් ලබා දීමටයි සැරසෙන්නේ’’ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.

‘‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ මේ සයිටම් වෛද්‍ය පීඨය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට රජය පත් කළ විද්වත් කමිටුවල ද මතය වී ඇත්තේ මෙම වෛද්‍ය පීඨය ප‍්‍රමිතියකින් තොර නිසා එය ශ‍්‍රී ලංකාවේ අනෙකුත් වෛද්‍ය පීඨ හා සමාන ලෙස පිළිගත නොහැකි බවයි. දසතින් නැඟී එන ජනතා මතය වී ඇත්තේ ‘සයිටම් වෛද්‍ය පීඨය ජනසතු කරන්න’ යන්නයි. මේ සටන් පාඨය සයිටම් වෛද්‍ය පීඨයේ වත්මන් සිසුන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ටත් පිළිගත හැකි විසඳුමක්. මේක ‘සයිටම් උපාධි කඩය අහෝසි කරනු!’ යන සටන් පාඨයට මෙහා එකක්. එහෙම තිබියදී තමයි රාජිත සේනාරත්න ඇමතිවරයා තමා සමග සාකච්ඡාවට පැමිණි සිසුන්ව මඟ හැර ගොස් විශේෂ කාර්ය බලකාය යොදවා ඔවුන්ට පහර දෙන්නේ. මේ වැඩවලින් ප‍්‍රශ්නය තවත් අවුල් වෙනවා’’ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

‘‘ඒකාධිපති රෙජීමය වෙනුවට මෛත‍්‍රී පාලනයක් ගෙන එන බවට පොරොන්දු දුන්නු මේ ආණ්ඩුව අද(21) විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරු විසිවෙන්න පහර දුන්නා. මම හිතන්නේ ආණ්ඩුව දෙනවා කියපු තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේක වෙන්න ඇති’’ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා එසේ පවසන විට කාටත් සිනා නොවී සිටීමට නොහැකි විය.

‘‘මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. සාකච්ඡා මාර්ගයෙන් ඉතා පැහැදිලි විසඳුමකට එන්නට හැකියාව තිබියදී දූෂිත ඇමතිවරුන්ගේ ක‍්‍රියා කලාපයන් නිසා අද නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත් අනතුරේ හෙළා තිබෙනවා. ජනාධිපතිවරයා මේ තත්ත්වයට දැන්වත් පිළියම් යෙදිය යුතුයි. සයිටම් අයිතිකරුගේ උවමනාවට කටයුතු කරන මේ ඇමතිවරුන්ට ඉඩ දී බලා සිටියොත් ඔවුන් වෛද්‍ය සිසුන්ගේ ජීවිත බිලිගෙන හෝ සයිටම් වෛද්‍ය පීඨය නීතිගත කර ගනීවි. මේ අය පගාව අරන් නැතිනම් මේ තරම් දඟලන්න ඕනෙ නැහැනේ. දූෂිතයන් කිහිප දෙනකුගේ උවමනාවට කරන මේ වැඩෙන් නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ වෛද්‍ය අධ්‍යාපනයත් බිඳ වැටෙනවා. නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩට අත තිබ්බොත් එදාට මේ රටේ මිනිස්සු පෙන්වාවි නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ඔවුනට තිබෙන අභිලාෂය කොතරම් බලවත්ද? කියලා’’ විමල් වීරවංශ මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් එසේ අවධාරණය කර සිටියේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*