BREAKING NEWS

“ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම: හිඟනකමට එහා යන උපායමාර්ගික පාවාදීමක්”

“ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම: හිඟනකමට එහා යන උපායමාර්ගික පාවාදීමක්”

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ හිඟන ප්‍රතිපත්තියක් මත කටයුතු කරන යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගිය 15 වැනිදා තම ප්‍රතිපත්තියේ නග්න බව තවදුරටත් ප්‍රදර්ශනය කළේය. පසුගිය කාලයේ දින ගණනාවක් තිස්සේ මහජනයා පාරවල්වල රස්තියාදු කිරීමට හේතු වූ ඛනිජ තෙල් හිඟයට මුල් වූයේ අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගබඩා පහසුකම් නොමැති වීම ය. මුතුරාජවෙල සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණවල ගබඩා කළ හැක්කේ මෙ. ටො. 450,000ක් පමණි. එනම් සති 03ක තෙල් අවශ්‍යතාව පමණි. ඒ අනුව තෙල් මෙ.ටො. 1200,000ක් ගබඩා කළ හැකි තෙල් ටැංකි 99ක් සහිත ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රටට උපායමාර්ගික වශයෙන් කෙතරම් වැදගත් වනවා ද යන්න පැහැදිලි වේ.

එක් තෙල් බිංදුවක් දේශීය වශයෙන් නිෂ්පාදනය නොකරන ශ්‍රී ලංකාව වැනි රටක බලශක්ති සුරක්ෂිතතාවට ඉතා තීරණාත්මකව වැදගත් වන සාධකය වන්නේ ගබඩා පහසුකම් බව කුඩා ළමයකුට වුව ද තේරුම්ගත හැක. ඊට අමතරව ත්‍රිකුණාමල වරාය වැනි යුදමය වශයෙන් ඉතා වැදගත් වරායක් ආශ්‍රිතව පිහිටා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ආර්ථික වටිනාකම සහ උපායමාර්ගික වැදගත්කම තෙරුම්ගත හැක්කේ ඉන්දියාව එම ටැංකි සංකීර්ණය අත්පත්කර ගැනීම සඳහා ගන්නා වූ උත්සාහය තුළිනි. එම ටැංකි සංකීර්ණය ඉන්දියාව හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට ලබා නොදිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් එල්ල වන්නේ 1987 ඉන්දු – ලංකා ගිවිසුම හරහා ය.

1987 සිට ඉන්දියාව සතයක් හෝ නොගෙවා එම ටැංකි සංකීර්ණය වාචිකව අත්පත්කර ගෙන සිටිය ද අවබෝධතා ගිවිසුමක් මගින් ඉන්දියාවට අක්කර 850ක් විශාල භූමියක් සමග ටැංකි සංකීර්ණය පවරා දෙන්නේ 2003 දී ය. එදා එකක මෙ.ටො. 12,500ක් බැගින් ගබඩා කළ හැකි ටැංකි 99ක් වාර්ෂිකව බදු දෙන්නේ එක් ටැංකියකට ඩොලර් 1000ක සොච්චම් මුදලකට ය. එම ගිවිසුම මාස 06ක් ඇතුළත විධිමත් බදු ගිවිසුමක් බවට හැරවිය යුතු බවට කොන්දේසියක් අවබෝධතා ගිවිසුමට ඇතුළුකොට තිබුණ ද එය ක්‍රියාත්මක නොවීය. නමුත් 2016.05.24 දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ටැංකි 16ක් ප්‍රයෝජනයට ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් එම සංකීර්ණයට ඇතුළු වූ අවස්ථාවේ දී අයි. ඕ. සී. සමාගමේ ආරක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් එම බලහත්කාරයට විරුද්ධව රජය කිසිදු පියවරක් ගත්තේ නැත. ඒ වෙනුවට, ත්‍රිකුණාමල වරායේ නැව්වලට තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව හෙවත් ‘බන්කරින් ව්‍යාපාරය’ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව අයි. ඕ. සී. සමාගමට බාර දුනි.

ආණ්ඩුවේ හිඟන සහ නිවට ප්‍රතිපත්තිය තුළ ඉන්දියාවට තම ආර්ථික සහ යුදමය උපායමාර්ගික අරමුණු ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකි වී ඇත. ඒ තුළ රටේ බලශක්ති සුරක්‍ෂිතතාව දීර්ඝ කාලීනව අනතුරට ලක්වන අතර රටේ තෙල් සැපයුම අයි. ඕ. සී. ඒකාධිකාරයට යටත් කිරීමේ අනතුරක් ද මතු වේ. 1930 සිට බි්‍රතාන්‍ය රජය සතුව පැවති මෙම තෙල් ටැංකි සංකීර්ණය එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව වූ බණ්ඩාරනායක මැතිනිය 1964 දී රජයට පවරා ගන්නේ පවුම් 250,000ක් වන්දි ගෙවීමෙන් පසුව ය. නමුත් අද එම පක්‍ෂයේ නායකයා ජනාධිපතිව සිටිය දී එම වටිනා ජාතික සම්පත තුට්ටු දෙකට ඉන්දියාවට විකුණා දැමීම මොන තරම් නිර්ලජ්ජිත ක්‍රියාවක් ද? ඛනිජ තෙල් සංස්ථාවේ සේවක මහතුන් පටු දේශපාලන උවමනාවන් පසෙකලා මෙම ජාතික සම්පත බේරා ගැනීම සඳහා පෙරට පැමිණිය යුතු ය. එම සටනට එකතු වීම සෑම පක්‍ෂයකම සහ පුරවැසියකුගේම යුතුකම බව ද කිව යුතු ය.

විමල් වීරවංශ (පා.ම) 
නායක 
ජාතික නිදහස් පෙරමුණ 
2018-09-21

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.