BREAKING NEWS

දැන් උතුරට බුදු පිළිමෙත් ‘වානා’ ඒත් දකුණට සංහිඳියාව – සහජීවන බණ කියනවා

දැන් උතුරට බුදු පිළිමෙත් ‘වානා’ ඒත් දකුණට සංහිඳියාව – සහජීවන බණ කියනවා

– ජානිපෙ නායක විමල් වීරවංශ

‘දැන් උතුරු ප්‍රදේශයේ බුදු පිළිම වහන්සේ නමක් පිහිටුවීමට පවා එරෙහිව අධිකරණ තීන්දු ලැබෙමින් තිබියදී මේ ආණ්ඩුව, දකුණට සංහිඳියා – සහජීවන බණ කියන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(01) මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්නේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ ආණ්ඩුව නිවැරදිව කියවා නොගතහොත්, අපි ඉදිරිපිට තිබෙන අභියෝගයේ තරම නිවැරදිව වටහා නොගතහොත් ජනතාව තුළ තිබෙන ආණ්ඩු විරෝධය ‘ගඟේ පා කර හරින්නත්’ මේ ආණ්ඩුවට හැකියාව තිබෙනවා. ඊට අදාළ දැනුම්වත්භාවය හදන්න තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කළේ “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව”නමින් රට පුරා ජනතා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට.

‘මේ ආණ්ඩුවට සල්ලාල ආණ්ඩුව කියන්නේ ඇයි?’

මෙතෙක් කාලයක් පැවැති ආණ්ඩුවලට අපි කිව්වේ ජනතාද්‍රෝහී ආණ්ඩුව හෝ දේශද්‍රෝහී ආණ්ඩුව හෝ පරගැති ආණ්ඩුව ලෙසයි. නමුත් අපි මේ ආණ්ඩුව හඳුන්වන්න අලුත් වචනයක් පාවිච්චි කරනවා, ‘සල්ලාල ආණ්ඩුව’ කියලා. මේක දේශද්‍රෝහී, පරගැති ආණ්ඩුවක් තමයි. ඒ වගේම සල්ලාල ආණ්ඩුවක්. අපි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට කීවේ, ‘දේශද්‍රෝහී පාලනයක්’ කියලා. නමුත් ‘දේශද්‍රෝහී – සල්ලාල පාලනයක්’ කියා කීවේ නැහැ. ‘මේක සල්ලාල ආණ්ඩුවක් වෙන්නේ කොහොමද?’ කියා අපි බලමු. ජනතාව පොරොන්දු කන්දක ගිල්වලා බලයට ආපු මේ ආණ්ඩුව 2015 ජනවාරි 08ට පෙර තිබූ මාතෘභූමියවත් අද ඉතිරිකර තිබෙනවාද? දකුණු ඉන්දියාවෙන් ගෙනාපු ප්‍රතිමාවක් දැන් කිලිනොච්චියේ හිටවලා තිබෙනවා, ලෝක ගෝලයත් සමඟ. ඒ ලෝක ගෝලයේ දෙමළ බසින් ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ ‘තමිල් ඊළාම්’ කියලයි. මේ ආණ්ඩුව සල්ලාලකමේ යෙදීමේ නිමක් නැහැ. දැන් බලන්න, රවී කරුණානායකට මුදල් ඇමතිකම වෙනුවට විදේශ ඇමතිකම දෙනවා, ලොතරැයි මණ්ඩල දෙක සමඟ. රට හදන්නද? නැහැ. සල්ලාලකමට නොවෙයිද? ලොතරැයිපත් අලෙවි ප්‍රවර්ධන කටයුතුවලදී ලබා දෙන වෙළඳ දැන්වීම්වලින් ගසා කන්න නොවෙයිද?

මේ අය බලයට ආවේ පැවැති ආණ්ඩුවේ ඇමති මණ්ඩලය වැඩියි කියලයි. දැන් ඇමති මණ්ඩලයේ කාර්යාල ටික නඩත්තුවට පමණක් වසරකට කෝටි 180ක් වැය කරනවා. ඒවා සඳහා කෝටි 100ක තැන්පතු මුදලක් යොදවන්න රජයට සිදුව තිබෙනවා. ඇමති මණ්ඩලයේ ඉන්න 50ක පමණ පිරිසෙන් 25ක් පමණ කාර්යාල සඳහා කුලියට ස්ථාන අරගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ලක් කුලියට අරගෙන තිබෙනවා. දැන් මාස ගණනාවක් මාසික කුලිය ගෙව්වත් තවම අමාත්‍යාංශය පරණ තැනමයි. ඒ අලුත් ගොඩනැගිල්ලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හතර දෙනෙක් ජපානයට යනවා, කෝටි 40ක මුදලකුත් අරන්. රටේ ලක්‍ෂ 07ක ජනතාවකට උන්හිටි තැන් අහිමි වෙලා තියෙද්දි, 300කට අධික පිරිසක් මියගොස් තියෙද්දි ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයට භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් කෝටි 40ක් වියදම් කරන ආණ්ඩුවක් සල්ලාල අෘණ්ඩුවක් නොවෙයිද? ඒ විතරක්ද? මේ බරපතළ ව්‍යසනයට රට මුහුණ පා සිටියදී ඇමතිවරුන්ට සුඛෝපභෝගී නිල රථ ගන්න කෝටි 300කට අධික පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට දාන්න පුළුවන් සල්ලාල අෘණ්ඩුවකට හැර වෙන කුමකටද?

‘ඇමෙරිකන් තානාපති කාර්යාලයට අයිඑස්අයිඑස් ප්‍රහාරයක්’

අද මේ සල්ලාල ආණ්ඩුව මේ රටේ ජාතික ආරක්‍ෂාව දවසින් දවස කෙලෙසනවා. විවිධ අන්තවාදී කල්ලි මේ වන විට හිස ඔසවමින් සිටිනවා. සීඅයිඒ සංවිධානය ‘කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයිඑස්අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැක’ කියා අනතුරු හඟවා තිබෙනවා. ඔවුන්ට තොරතුරු ලැබී තිබෙනවාලු ‘රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන් යානයක් පැහැරගෙන ගිහින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වහලය මත බාන්න සූදානම් වෙනවා’ කියලා. දැන් ඇමෙරිකන් ආරක්‍ෂක නිලධාරීන් ලංකාවට එනවා ඒක ගැන හොයන්න. මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි අයිඑස්අයිඑස් ගැනත් තොරතුරු එන්න පටන් ගත්තේ. කලින් ආණ්ඩුව එල්ටීටීඊ එක ඉවර කරලා දුන්නා. ඊට පසුවත් පැය 24ම අවධානයෙන් හිටියා. ගෝපි කියලා හාදයෙක් අයෙත් එල්ටීටීඊය හදාගෙන එනවා, කියන තොරතුරු ලැබුණාම ඊට අවශ්‍ය පියවර ගත්තා. උතුරේ ඩෙඟා නටන්න ලැබුණේ නැහැ.

‘අනෙකාගේ ආගම – ජාතිකත්ව අනන්‍යතාව ඉවසීම’

නමුත් උතුරේ විවිධ මැර කල්ලි, පිහි කල්ලි හැදිලා දැන් දෙමළ ජනතාවම විනාශ කර ගෙන යනවා. අද උතුරේ හමුදාවන්ට කඳවුරෙන් එළියට බහින්න බැහැ. කුණුහරුපෙන් බැණුම් අහන්න වෙලා. පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. උතුරම අරාජික වෙලා ඉවරයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් යාපනයේ ඉඩමක පාරම්පරික දෙමළ සහ සිංහල පවුල් පදිංචිව සිටියා. මා නිවාස අමාත්‍යවරයාව සිටි කාලයේ ඔවුන් කිසිවකු ඉවත් කරන්න ගියේ නැහැ. කාගෙත් ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය සහයෝගය දුන්නා. ඒ කාලයේ එතැන චෛත්‍යයක්, බෝධියක් සහිතව පන්සලක් ද හැදුනා. දැන් ඒ පන්සලේ බුදු පිළිම වහන්සේ පිහිටුවන්න සියල්ල සම්පූර්ණයි. ඒ සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් අධිකරණ නියෝගයක් එනවා, බුදු පිළිම වහන්සේ පිහිටුවීම නතර කරලා. මේ පිළිබඳව මට කතා කළ යාපනයේ නාග විහාරයේ හාමුරුවෝ අහනවා ‘මොකක්ද මහත්තයෝ මේකට දැන් කරන්න ඕනේ?’ කියලා. මම කීවා, ‘අපේ හාමුදුරුවනේ, අපි පළමුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමුෟ’ කියලා. දැන් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබේ’ කියලා පිළිගන්නවනේ. ඒත් බෞද්ධයන් පිරිසක් ඉන්න තැනක බුදු පිළිමයක් පිහිටුවන්න බැරි නම් මොකක්ද ඒ ප්‍රමුඛස්ථානයේ තේරුම? යාපනයේ නාගදීපයේ බුදු පිළිම වහන්සේ හදන එකක් මේ ආණ්ඩුව නතර කළා. පසුව අනුමැතිය ලැබී තිබෙනවා. දැන් නාගදීපයේ විහාරාධිපති හිමියෝ පවසනවා. ‘මේකටත් දැන් අධිකරණ නියෝගයක් ලැබෙන්න පුළුවන්’ කියලා.

‘සහජීවනය, සංහිඳියාව’ ඒ බණ මෙහෙට විතරයි. සංහිඳියාව හදන්න බැහැ, අනෙකාගේ ආගම ඉවසන්නේ නැතිව. අනෙකාගේ ආගම, ජාතිකත්ව අනන්‍යතාව ඉවසන්නේ නැත්තේ උතුරෙයි. සිංහල මිනිස්සු බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් මිනිස්සු සමඟ සහයෝගයෙන් ජීවත් වෙනවා. එවැනි තැන්වල අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවට ගරහන්නේ නැහැ. නමුත් උතුරේ බුදු පිළිමෙත් ‘වානා’. එතැනට මේ රට ආරාජික කළා. සංස්කෘතික වශයෙන් කෙලෙසා දැම්මා. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදායන් සහ උරුමයන් කෙලෙසා දැම්මා. මේ පරගැති සල්ලාල ආණ්ඩුව අද ජාතිය අසරණ කර දමා තිබෙනවා. ජාතික ආරක්‍ෂාව දුර්වල කළාම මෙතෙක් ජාතිය රැකගත් ඓතිහාසික සම්ප්‍රදායන් සහ උරුමයන් කෙලෙසන්න ඉඩ හම්බ වෙනවා. අද වෙන්නේ ඒකයි.

‘කෙලෙසීමට දිගුකාලීනව ඉඩ දුන්නොත්’

ඒ නිසා මේ කෙලෙසීමට දිගුකාලීනව ඉඩක් හම්බ වුණොත් රටක් ඉතිරි වෙන්නේ නැහැ. දෙමළ බෙදුම්වාදය දිනවන දිසාවෙන් දේශපාලන වශයෙන් රාජ්‍යය කෙලෙසීමට ලක් වෙනවා. අන්තවාදයන් වඩවාලන දිසාවට රාජ්‍යය කෙලෙසෙනවා. නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ, ඒ බලවේගයන්ට විරුද්ධව. දෙමළ අන්තවාදීන් ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ නිකුත් කරනවා. දැන් බලන්න, උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පළාත් සභාවේ ඇමතිකම් කිහිපයක් ඉවත් කරලා පත් කළ කාන්තා ඇමතිවරිය කවුද? ආනන්දි සසිදරන්. එයා හැම අවුරුද්දෙම ජිනීවා ගොස් ‘ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා, සමූහ මිනිස් ඝාතන කළා’ කියන තැනැත්තියක්. ‘සිංහල මිනිස්සු උතුරෙන් අයින් වෙන්න ඕනෙ, උතුරේ පන්සල් තියාගන්න බැහැ’ කියලාත් එයා කියනවා. ඇය මියගිය එල්ටීටීඊ නායකයකුගේ බිරිඳ. මෙවැනි තැනැත්තියකට ඇමතිකමක් දීලා විග්නේෂ්වරන් රිදවන්න හදන්නේ කාටද? මේවා සහජීවනයේ ලකුණුද? එතැන ඕනෑම ආකාරයකට අන්තවාදය වඩවාලන්න, අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න පුළුවන්. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දීමත් මේ උතුරේ අන්තවාදය වඩවාලීමේ ප්‍රතිඵලයක්.

අපි මේ අණ්ඩුවට කියනවා ‘උතුරේ අන්තවාදය වඩවාලා දකුණට සහජීවන බණ කියන්න එපා.’ කියලා. ඒ බණවලින් වැඩක් නැහැ. සංහිඳියාව, සහජීවනය හදන්න ඕනෙ එතැනයි. අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කිරීම වඩවාලන්න ඕනෙ එතැනයි. මෙතැන ඒ දේ තිබෙනවා. මේ රටේ ඓතිහාසික බෞද්ධ සභ්‍යත්වය තුළ අනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කරන අන්දමේ සංස්කෘතියක් ගොඩනංවා තිබෙනවා. අපි ඒ සභ්‍යත්වය තුළින් උපන් දරුවෝ. ඒ සභ්‍යත්වය රකින මිනිස්සු. ඒ නිසා තමයි දළදා වහන්සේ ඉදිරිපිට කිතුණු දේවස්ථානයක් තබාගෙන ඉන්න පුළුවන් වුණේ. ඒ සභ්‍යත්වයේ මුදුන්මුල් ගලවලා දාන්නයි අද මේ සල්ලාල පරගැති ආණ්ඩුව සූදානම් වෙන්නේ. හැබැයි ඒ සභ්‍යත්වයේ මුදුන් මුල් ගලවලා දාන්න කවුරුන් හෝ හදනවා ඊට එරෙහිව ක්‍රියාත්මක වීමේ සටන්කාමීත්වයත් මේ සභ්‍යත්වය තුළ තිබෙන බව මේ නිවට පාලකයන්ට අපි අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-07-02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    “නිල් මැණිකට” මිලක් දෙන්න
    තිරුවානා අතර ඉන්න
    ලක් මෑණිට සම කරන්න
    ඔබ හා සම නමක් දෙන්න

    ඉතිහාසය පුරා ඇසුණ
    “රණහඬ” අදටත් ඇහෙන්න
    රටේ පිනට ඔබ උපන්න
    හේතුව මගෙ රට රකින්න

    රට වෙනුවෙන් දිවි පුදන්න
    සිර ගතවී දුක් විඳින්න
    අසුර සෙනඟ වුව පරයා
    මහ මෙර මෙන් නොසැලි ඉන්න

    ජාතියටම පණක් දුන්න
    ඔබ නැති රට කුමක් වැන්න
    කෑලි කැඩී බිඳුණු රටක්
    නොවුනෙ ඔබට පින් ලැබෙන්න

    තර්ජනයක් රටට එන්න
    ගිය හැම විට පෙරට එන්න
    ඔබ රටටම නායකයෙක්
    ඔටුනු නැතත් රට හදන්න

    හඬ තැලුවත් හිවල් ගොන්න
    පණ තිබුනේ නෑ කරන්න
    ඔබ පසුකර රණවිරුවන්
    දංගෙඩියට අරන් යන්න

    දහයක් ගැට එකට ගසා
    රණවිරුවන් සිර කරන්න
    සම්මුතියක් හොර පාරෙන්
    පනතක් වුනු හැටි බලන්න

    ඇස් ඇරගෙන සිටිය නිසා
    කිව්වත් රටටම ඇහෙන්න
    අන්තිම කෙලවරට ඇවිත්
    සිංහලයගෙ හැටි බලන්න

    පිළිසරණක් නෑ රටටම
    රණහඬ මිස ගිගුම් දුන්න
    මුළු රටටම සවිය දෙන්න
    යෝධ වීර්යය ලැබෙන්න!

    මගේ ආයුෂත් අරගෙන
    නිදුකින් ඔබ කල් ගෙවන්න
    කිසි ගැහැටක් වෙන්න නොදී
    හැම දෙවියෝ ඔබ රකින්න!

  2. Champa Reply

    විමල්, අද ඔයාගේ කතාවක් තියෙනවද පාර්ලිමේන්තුවේ? ඒකාබද්ධ විපක්ෂය හොර deal දාලා දෙමළු එක්ක. OMP එකට වගේම IDP එකත් විරුද්ධ චන්ද නැතුවම පාස් කරලා දෙන්නද හදන්නේ? ඒගොල්ලන්ට වදියි කියලා ICPPED එකට විරුද්ධ වෙනවා. What is the point even OMP is against our forces.

    විමල් අර නම ඔයාට හොඳ නැහැ. ඔයා නම වෙනස් කරලා අළුතින් ආපහු පටන් ගන්න. ජනතා සම්මන්ත්‍රණයක් කිව්වට දැන් එක නිකම් දේශපාලන පදික වේදිකාවක් වගේනේ. මෙලෝ මනුස්සයෙකුට මතක නැහැ ඔයා කියපු දේවල්. සීයක් විතර කතා අහන්න මිනිස්සුන්ට ඕනේ නැහැ. මිනිස්සු එන්නේ විමල් වීරවංශව බලන්නයි එයාගේ කතාව අහන්නයි මිසක් වෙන මිනිස්සුන්ගේ කතා අහන්න නෙමෙයි. අනිත් අයගෙන් මිනිස්සුන්ට වැඩක් නැහැ. වෙනද සම්මන්ත්‍රණයක් තිබ්බහම මිනිස්සු ගෙදර යන්නේ ඔයාගේ කතාව හිතේ තියාගෙන, ඔයාගේ වචන දෝංකාර දෙනවා, මිනිස්සුන්ට ආයේ හිතන්න දෙයක් ඔයා දෙනවා, මිනිස්සු ඔයා කියපුවා අනිත් මිනිස්සු එක්ක කතා කරනවා, මිනිස්සු ආපහු යන්නේ ඔයා දීපු ආවේගය අරගෙන. දැන් එහෙමද, මෙලෝ යකෙකුට මතක නැහැ කියපුවා, පත්තර වල දාන්නෙත් විකෘති කරලා, වැදගත් දේ දාන්නේ නැහැ, නොවැදගත් දේ දානවා. මට නම් පෙන්නේ ඔයා මිනිස්සුන්ව දැනුවත් කරන්න හදන එක කඩාකප්පල් කරන්න කරන වැඩක් කියලා. පලවෙනි පෝස්ටරේ ඉඳන්ම දේශපාලන පෝස්ටරයක් වගේනේ. මොන විකාරයක්ද? මිනිස්සු එන්නේ විමල්ගේ සම්මන්ත්‍රණයක් කියපු නිසා මිසක් NFF සම්මන්ත්‍රණයක් කියලා නෙමෙයි. පත්තරත් දැන් පැත්තට බරවෙලා නිසා ඔයා ගේ කතාව තමයි මිනිස්සුන්ව දැනුවත් කරන්න තියෙන එකම මාර්ගය. කතා කරනවා නම් ඔයා විතරක් කතා කරන්න පන්සිල් ගත්ත ඔයාගේ කතාව කළා. ඉස්සර වගේ මිනිස්සුන්ට කතාව ඉවර වෙලා යනකොට හොඳ හුස්මක් අරන් ගෙදර යන්න, වටිනා කතාවක් කියල හිතන්න, ආපහු ආපහු මතක් වෙන්න, රට ගැන තියෙන ආදරේ අලුත් වෙලා, තමන්ගේ යුතුකම් ආපහු මතක් වෙලා, ඔයා ඔය තරම් කෑගන හේතුව මොකක්ද තියලා මිනිස්සුන්ගේ හිතට කාවදින විදියට ඒ වැඩේ කරන්න. ඔය නම මාරු කරන්න. ඕක හොඳ නැහැ.

    තව තියෙනවා, හැබැයි ඔයාට තරහ යන නිසා ඒ කොටස දැන් ලියන්නේ නැහැ. දැනටම තරහා වෙලා ඉන්නවනේ. ඒ වුනාට මම ලියනවා පස්සේ.

    හැමදාම කියනවා වගේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා. Take care. Love you so very very much.

Leave a Reply

*