BREAKING NEWS

‘දිනූ නිදහස රැකගැනීමේ’ ජාතික අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!

ලොව පුරා විසිරී සිටින වැඩකරන ජනතාව අද දින සමරනු ලබන්නේ 129 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි. ඔවුන් මෙම දිනය සමරනු ලබන්නේ තමන් සතු අයෝමය ශක්තිය ලොවටම පෙන්වා දෙමින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙළ ගැසෙමිනි.

මෙරට වැඩ කරන ජනතාව හමුවේ දහසක් පොරොන්දු දුන් වත්මන් ආණ්ඩුව ඒවා මේවන විට කඩකර තිබේ. පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් මූලික වැටුපට එකතු නොකිරීම සහ විශ‍්‍රාමිකයින්ට රුපියල් 3500ක මාසික අන්තර් දීමනාවක් ලබා නොදීම, වී, රබර්, තේ වලට පොරොන්දු වූ සහතික මිල ලබා නොදීම, සියලූ ගොවි ණය 50%කින් කපා හරින බවට වූ පොරොන්දුව කඩ කිරීම, ත‍්‍රි රෝද රථ රියදුරු, පෙදරේරු, වඩු කාර්මික, ස්වයං රැකියාලාභින්ට විශ‍්‍රාම වැටුපක් ලබා දෙන බවට වූ පොරොන්දුව කඩ කිරීම ඒවා අතර ප‍්‍රමුඛය.

මෙරට වැඩ කරන ජනතාව යනු දේශප්‍රේමී බලවේගයක් බවත් වැඩකරන ජනතා බලය යනු දේශය රකින බලය බවත් ජාතික නිදහස් පෙරමුණේ විශ්වාසයයි. එවැනි ප‍්‍රගිතිශිලී බලවේගයක් ඉදිරියේ මේ මොහොතේ ඉහත කී කඩවුණු අයිතිවාසිකම් දිනාගන්නා අතරම, ජයගත යුතු ජාතික අභියෝගයක්ද ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමු.

දිනූ නිදහස අනතුරේ හෙළමින් රට ආපස්සට රැගෙන යාමේ වැඩපිළිවෙළක් පසුගිය ජනවාරි 08 වැනිදා සිට ඇරඹී තිබේ. එම වැඩපිළිවෙළ හේතුවෙන් රට අස්ථාවරත්වය කරා ගමන් කරමින් පවතී. එම තත්ත්වය බුද්ධිමත්ව තේරුම් ගනිමින් දිනූ නිදහස රැකගනිමින් රට ස්ථාවරත්වය කරා රැගෙන යාම මෙරට වැඩ කරන ජනතාව හමුවේ වන ඉහත කී ජාතික අභියෝගයයි. එම ජාතික අභියෝගය ජය ගැනීම පිණිස අත්වැල් බැඳ ගන්නා ලෙස මෙරට වැඩකරන ජනතාව වෙතින් දැඩි සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2015.05.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*