BREAKING NEWS

දෙමුහුන් අපරාධ අධිකරණයක් පිහිටුවීමට ගෙන එන විශේෂ නීතිය ජනමත විමසුමකින් තොරව සම්මත කරන්න ඉඩදෙන්න එපා! – ජානිපෙ නායක, විමල් වීරවංශ

යුද අපරාධ සෙවීමේ ‘දේශීය යාන්ත‍්‍රණයක’ මුවාවෙන් ගෙන එන දෙමුහුන් අපරාධ අධිකරණය පිහිටුවීමට අදාළ විශේෂ නීතිය, ජනමත විමසුමකින් තොරව සම්මත කිරීමට ඉඩනොදෙන ලෙස රටට හිතැති සියලූ ජනබලවේග වෙතින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(02) බත්තරමුල්ලේ පිහිටි ජානිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ශ‍්‍රී ලංකාව තුළ සිදුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳව සෙවීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව පිළිබඳව අපේ ස්ථාවරය කීමටයි මෙම මාධ්‍ය හමුව කැඳවූයේ. අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරනු ලදුව ශ‍්‍රී ලංකාව ඇතුළුව රටවල් 25ක අනුග‍්‍රහය සහිතව විවාදයට ලක් වූ එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 සැසි වාරයේදී කිසිඳු සංශෝධනයකින් තොරව සම්මත වී තිබෙනවා. මීට ඉහතදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව රැගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල් 24 සමග අද ශ‍්‍රී ලංකාව ද අත්වැල් බැඳගෙන තිබෙනවා.

අද රූපවාහිනී ආයතනවලට නියෝගයක් ලැබී තිබෙනවා ‘සංවාදවල තහනම් මාතෘකාව ජිනීවා විය යුතුයි’ කියලා. ඊනියා යහපාලන නඩයේ බලපෑම් නිසා රටේ අනාගතයට ඉතාමත් තීරණාත්මකව බලපාන මේ ප‍්‍රශ්නය පිළිබඳ ආණ්ඩුවේ මතය හැර අනෙකුත් මත සමාජගත වීම වැළකී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ සත්‍ය ජනතාවට දැනගැනීමේ ඉඩකඩ ඇහිරී තියෙනවා. ඒ තත්ත්වය දැනගෙනයි අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. කෙසේ හෝ මේ කරුණු රට හමුවේ තැබීමට කටයුතු කරන ලෙස අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

අද පත්තරවල ලැජ්ජා නැතිව දාලා තියෙනවා. ‘දේශීය යාන්ත‍්‍රණයක් පිළිබඳ යෝජනාවක් සම්මත වුණා’ කියලා. ‘එහෙම කියන්නේ කුමන මූලාශ‍්‍ර මතද? කියන ප‍්‍රශ්නය එනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාව විසින් ගෙන එන ලද යෝජනාවේ පැහැදිලිව සඳහන් වෙනවා ‘පිහිටුවනු ලබන විශේෂ අධිකරණයට සහ උපදේශක මණ්ඩලයට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල හා වෙනත් රටවල විනිසුරුවන්, අභිචෝදකයන්, නීතිඥවරුන් හා පරීක්‍ෂකවරුන් ඇතුළත් වේ’ කියලා. නමුත් මේ ආණ්ඩුව පෙන්වන්න හදනවා ‘විදේශ රටවල සම්බන්ධය තිබෙන්නේ උපදේශක මණ්ඩලයට පමණයි. අධිකරණය අපේ එකක්’ කියලා. මේක පට්ටපල් බොරුවක්. ඇත්ත වහන මාධ්‍ය ලැජ්ජා විය යුතුයි, දැනදැනම ආණ්ඩුවට ඇති බිය හෝ ගැතිකම නිසා මේක දේශීය අධිකරණයක් ලෙස හැඳින්වීම පිළිබඳව. මේක කිසි ලෙසකින්වත් දේශීය යාන්ත‍්‍රණයක් නොවන බව මාධ්‍යයට පැහැදිලිකර ගත හැකියි, ඒ පිළිබඳ විවාදයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් කුමාරයා කළ කතාවෙන්. ‘හයිබි‍්‍රඞ්’ අධිකරණය කියන වචනය යෝජනාව ඉවත්කර තිබුණත් විදේශික විනිසුරුවරුන්, අභිචෝදකයන්, නීතිඥවරුන් හා පරීක්‍ෂකයන් ඇතුළත් අධිකරණ ක‍්‍රියාවලියක් ‘හයිබි‍්‍රඞ්’ මිස දේශීය වන්නේ කෙසේද? එසේම මේ කටයුත්තේ වියදම දරන්නේ කවුද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය. එතකොට මේක දේශීය උවමානවට වෙන දෙයක්ද? දැනටමත් ජපාන රජය පවසා තිබෙනවා ‘ලංකාවට එවන්නේ කාම්බෝජයේ පොල්පොට් පාලනයෙන් පසුව පිහිටුවන ලද දෙමුහුන් අධිකරණයේ කටයුතු කළ අපේ විනිසුරුවරයා’ කියලා.

‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ මාමාගේ හොඳ දේ ඉගෙන ගන්න’

‘මේ යුද අපරාධ චෝදනාව පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ගන්න අපට තිබෙන එකම ක‍්‍රමය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට එකග වීම. මහින්ද රාජපක්‍ෂ පාලනය ඒක නොකරපු එකයි වරද. ඒකයි මේ විදිහට මේක බේරාගන්න හදන්නේ’ කියලා මේ ආණ්ඩුව මිත්‍යාවක් වපුරන්න යනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අපි කියනවා ‘කරුණාකරලා තමුන්නාන්සේගේ ජේ. ආර්. මාමාගෙන් ඉගෙන ගන්න. ජේ. ආර්. ජයවර්ධන මාමාගේ නරක නොවෙයි හොඳ ටිකක් තියෙනවා නම් ඒකත් ඉගෙනගන්න’ කියලා.

1983 ජූලි කලබලවලින් පස්සේ තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානය ශ‍්‍රී ලංකාව වෙත ප‍්‍රථම වතාවට යොමු වුණේ. ඒ වකවානුවේ මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ මානව හිමිකම් කොමිසම ලෙසයි. එසේම එයටම අනුබද්ධ ‘සුළු ජාතීන් සුරැුකීමේ අනුකමිටුවක්’ ද පැවතියා. 1983,1984,1985,1986,1987 හා 1988 වසරවල මාර්තුවේ රැස්වන මානව හිමිකම් කොමිසමේ සැසිවාරවලදී වගේම අගෝස්තුවලදී රැස්වන ‘සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවේදී’’ ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනා රැගෙන ආවා. අවුරුදු 04ක් ඇතුළත ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනා 04ක් සම්මත වුණා. එසේ යෝජනා සම්මත නොවුණු අවස්ථාවල නිරතුරුවම ශ‍්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා වුණා.

ශ‍්‍රී ලංකාවට එරෙහිව පළමු යෝජනාව ගෙන ආවේ 1983. 1983/16 දරන මෙම යෝජනාව ගෙන ආවේ මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවටයි. මේක 1983 අගෝස්තු 15 සිට සැප්තැම්බර් 09 වැනිදා දක්වා පවත්වන ලද 36 වැනි සැසිවාරයේදී සම්මත වුණා. ‘1983 ජූලි ඇති වූ ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය පිළිබඳවත් මනුෂ්‍ය ඝාතන පිළිබඳවත් කනස්සල්ල පළ කරන මෙම අනුකමිටුව ශ‍්‍රී ලංකාවෙන් මේ සම්බන්ධව කරුණු විමසා සිටින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස් දෙන බව’ එම යෝජනාවෙන් කියැවුණා.

එදා ඒ යෝජනාවට පක්‍ෂව, එනම් ශ‍්‍රී ලංකාවට එරෙහිව එදා ඡන්දය දුන් රටවල් වූයේ නෝර්වේ, බෙල්ජියම, ග‍්‍රීසිය, ප‍්‍රංශය, මෙක්සිකෝව,කොස්ටාරිකාව, පේරු, ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය හා ඊජිප්තුව යන රටවලූයි. එහිදී ශ‍්‍රී ලංකාවට පක්‍ෂව ඉරාකය, සුඩානය, පාකිස්ථානය, සිරියාව, සෝවියට් රුසියාව, යුගෝස්ලාවියාව, ඉතියෝපියාව සහ බංගලාදේශය යන රටවල් ඡන්දය දුන්නා. අද වගේම එදත් ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ යෝජනාව සම්බන්ධයෙන් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව 1984 ජනවාරි 03 වැනිදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ලිපියක් යැව්වා. ජූලි කලබල අසාමාන්‍ය සිද්ධියක් බවත්, එයට හේතු වූ මෙරට දෙමළ බේදුම්වාදී ත‍්‍රස්තවාදය පිළිබඳ කතා නොකිරීම වරදක් බවත් එම ලිපියෙන් අවධාරණය කොට තිබුණා. එසේම ජූලි කලබල හේතු කොට ගෙන 6700ක පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද එහි සඳහන් වූවා.

1984 පෙබරවාරි 06 – මාර්තු 16 අතර රැස් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 1984/111 දරන එම යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව පවසා සිටියේ ලිපියක් මගින් පවසා ඇති විස්තර පිළිබඳ ශ‍්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වන බවයි. එහෙත් 1984 අගෝස්තු රැස් වූ එම කොමිසමේ සුළු ජාතීන්  සුරැකීමේ අනුකමිටුව ශ‍්‍රී ලංකාවට එරෙහි තවත් යෝජනාවක් සම්මතකර ගත්තා. 1984/32 දරන යෝජනාවේදී ශ‍්‍රී ලංකාවට පක්‍ෂව ලැබුණේ ඡන්ද 03ක් පමණයි. මේ යෝජනාව පෙර යෝජනාවලට වඩා භයානක එකක් වුණා. එම යෝජනාවෙන් ‘ප‍්‍රචණ්ඩත්වය’ ලෙස හැඳින්වූයේ ශ‍්‍රී ලංකා රජයේ හමුදා කොටි සංවිධානයට එරෙහිව සිදු කරන මෙහෙයුම්.

ඒ වගේම මීට සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලයේ මානව හිමිකම් අනුකමිටුව සහ විදේශ කටයුතු අනුකමිටුව ඒකාබද්ධව ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව වෙනමම විමර්ශනයක්ද ආරම්භ කර තිබුණා. ඒ දිනවල මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුව රැස් වූ විට ශ‍්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්වීමට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. නවරත්නම් මහතා ද එහි ගොස් සිටියා. එකල ද ‘චැනල් 04’ වැනි එක්තරා රූපවාහිනී නාලිකාවක් ශ‍්‍රී  ලංකාවට එරෙහිව වාර්තා වැඩසටහනක් ස්ව්ට්සර්ලන්තය පුරාම විකාශනය කොට තිබුණා.

නැවත 1985දීද සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුව ශ‍්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් සම්මතකර ගැනීමට උත්සාහ දැරුවා. ඒ එහි 38 වැනි සැසි වාරයේදීයි. කැනඩාව, ප‍්‍රංශය, මෙක්සිකෝව, ආර්ජන්ටිනාව හා කොලොම්බියාව යන රටවල් මූලික වී මෙම යෝජනාව ගෙනාවා. නමුත් සෙසු රටවල සහයෝගය නොලැබීම නිසා එය අතහැර දමන්නට ඔවුන්ට සිදු වුණා.

ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ලංකාවට එරෙහිව බරපතළම යෝජනාවක් ගෙන ආවේ 1987 මාර්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසි වාරයටයි. 1987/61 දරන එම යෝජනාව ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එනු ලැබුවා. ‘ලංකාවේ තත්ත්වය’ නම් වූ එම යෝජනාවේ ප‍්‍රධාන අරමුණ වූයේ යුදමය බලය යොදවා කොටි ත‍්‍රස්තවාදය පැරදවීම වැළැක්වීමයි. 1987 මාර්තුවේදී මේ යෝජනාව සම්මත කොට සති 08ක් ගතවීමට පෙර එනම් 1987 මැයි මාසයේදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව යාපනය අත්පත් කරගැනීමට ‘වඩමාරච්චි මෙහෙයුම’ දියත් කළා. එදා ජේ. ආර්. ජයවර්ධන රජය මානව හිමිකම් කොමිසමේ 1987 මාර්තු සම්මත වූ යෝජනාව පිළි ගත්තා නම් 1987 මැයි වඩමාරච්චි මෙහෙයුම සිදු කරන්නේ නැහැ. මානව හිමිකම් කොමිසමේ හෝ එහි සුළු ජාතීන් සුරැකීමේ කමිටුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව කොතරම් යෝජනා සම්මත වුවත් ඒවා ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව පිළිගත්තේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ගේ මාමාගෙන් ඉගෙනගත යුතු හොඳ දේ ඉගෙන ගත්තේ නැහැ කියලා එයාගේ වත්මන් ක‍්‍රියාකලාපයෙන් ඉතාමත් පැහැදිලි වෙනවා.

පාවාදීමේ මෙහෙයුමට එරෙහිව පෙළගැසෙමු!

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ යහපාලන නඩය මහා පාවාදීමක් සිදු කරලා ඒක ජනතාවට ‘මහා ජයග‍්‍රහණයක්’ හැටියට විකුණන්නට යනවා. පාවාදීමට ‘සන්තෝෂමක්’ විදිහට GSP+ ලැබෙන බවයි මේ අය කියන්නේ. මේක අපේ මාතෘභූමියේ ස්වාධිපත්‍යය බරපතළ විදිහට පාවාදීමක්.

මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව පොදු ස්ථාන හා ජනතාව ගැවසෙන ස්ථානවලට බරඅවි ප‍්‍රහාර එල්ල කළ සේනාංක පිළිබඳ අසත්‍ය කරුණු ඇතුළත් කර තිබෙනවා. මෙසේ මෙවැනි කරුණක් ඇතුළත් කර ඇත්තේ අපේ සන්නද්ධ හමුදාවන්ට සමූහ මිනිස් ඝාතන චෝදනා එල්ල කරන්නයි. සමූහ මිනිස් ඝාතනය යුද අපරාධ චෝදනාවක්. මෙවැනි චෝදනාවක් යම් සේනාංකයකට විරුද්ධව ඉදිරිපත් කර ඇත්නම් ඊට වගකිව යුත්තේ කවුද? අදාළ සේනාංකයට අණ දුන් හමුදා ප‍්‍රධානියා. ඒ අනුව තමයි ඉහත සේනාංකවලට අණ දුන් නිලධාරීන් 22දෙනාගේ නම් මේ වාර්තාවේ ඇතුළත් බව අපි ඉතාමත් වගකීමෙන් ජනතාවට පෙන්වා දෙන්නේ. මොන තරම් බොරු කිව්වත් මේක වහන්න බැහැ. ඒ නිසයි රනිල් වික‍්‍රමසිංහ සහ චම්පික රණවක යන මහත්වරුත් මේ හමුදා ප‍්‍රධානීන් කැඳවා ‘ඔයගොල්ලන්නට කරදරයක් වෙන්නේ නැහැ’ කියමින් ඔවුන් සනසන්න හදන්නේ. කරදරයක් වෙන්නේ නැත්නම් මේ විදිහට මේ අය කරුණු සගවන්න හදන්නේ ඇයි?

අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ‘දෙමුහුන් අපරාධ අධිකරණයක් පිහිටුවා රණවිරුවන් දංගෙඩියට දක්කන්න ඉඩ දෙන්න එපා!’ කියලා. එසේම මේ දෙමුහුන් අධිකරණයට අදාළව ගෙන එන විශේෂ නීතිය ජනමත විමසුමකින් තොරව සම්මත කරගැනීමට ඉඩ නොදෙන ලෙස අපි ජනතාවට අවධාරණය කරනවා.

ජිනීවා සමුළුවේදී රට පාවාදෙන යෝජනාවක් සම්මත කර ගැනීමට ඉඩකඩ සලසා දීලා ජනවාරි 08 වැනිදා තමන් බලයට ගෙන එන්න උදව් කරපු බටහිර හාම්පුතාලාට ජනාධිපති සිරිසේන මහත්තයා කළගුණ සැලකුවා. එහෙම කරලා අද ජනතාවට විහිළු සපයනවා. එයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහා මණ්ඩලයට සහභාගී වෙලා බැරැක් ඔබාමා ඇතුළු බටහිර හාම්පුතාලා මුණගැහිලා එනකොට මෙහෙ පෝස්ටර්, කටවුට් ගස්සවාගෙන ‘බටහිර අධිරාජ්‍යවාදයෙන් මව්බිම බේරාගත් ජනපති පිළිගනිමු’ කියලා. මේවා දැකලා ඇමෙරිකා එක්සත් ජනපදයට පශ්චාත්භාගයෙනුත් හිනා යනවා ඇති. මේක හරියට 1815දී උඩරට ගිවිසුම අත්සන් කරලා රට සුද්දන්ට පාවාදුන් උඩරට නිලමේලා ‘රට සුද්දාගෙන් බේරාගත් උඩරට නිලමේලා පිළිගනිමු’ කියලා අඩබෙර යැව්වා වගේ වැඩක්.

මේ පාවාදීමේ මෙහෙයුමට එරෙහිව ජනබලවේග පෙළගැස්වීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. පසුගිය 27 වැනිදා කොළඹින් ඇරඹි ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ දේශන මාලාව අපි ගම්පහ, ගාල්ල, මාතර ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ ආසන ගණනාවක ඉදිරි දෙසතිය තුළ පවත්වනවා. ඒ වගේම මේ පාවාදීමේ මෙහෙයුමට එරෙහි සියලූ බලවේග ඒකාබද්ධ කොටගෙන විරෝධතා රැලියක් පැවැත්වීමට ද අපි සූදානම්.

සමලිංගිකයන් නීතියෙන් පිළිගැනීමේ සූදානමක්!

ඉහත ආකාරයේ රට පාවාදීමේ මෙහෙයුමක් තම බටහිර හාම්පුතුන්ගේ උවමනාව පරිදි දියත් කරන මේ ආණ්ඩුව තවත් පැත්තකින් රට දුබල කිරීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා. පසුගියදා එක්සත් ජනපද USAID ව්‍යාපෘතිය මගින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වැඩමුළුවක් සංවිධානය කොට තිබුණා. ඊට රාජ්‍ය නොවන සංවිධාන 10ක පමණ නියෝජිතයන් සහභාගි වුණා. ඉන්දියාවෙන් පැමිණි අජිත් නම් අයකු මෙම වැඩමුළුව මෙහෙයවා තිබුණා. ඒ වගේම එක්සත් ජනපද USAID නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වී තිබුණා.

සමලිංගිකයන් නීතියෙන් පිළිගැනීමට ශ‍්‍රී ලංකා රජයට බලකිරීම තමයි මෙම වැඩමුළුවේ අරමුණ වී ඇත්තේ. අපි මෙතැනදී කතා කරන්නේ තනි තනි පුද්ගලයන්ගේ රුචිඅරුචිකම් ගැන නොවෙයි. USAID සංවිධානයට  ඕනෑ විදිහට ද අපේ රටේ නීතිය වෙනස් විය යුත්තේ?’ කියන ප‍්‍රශ්නයයි මෙතැන තියෙන්නේ. අද ඇරඹී තියෙන්නේ මේ රට හැමපැත්තකින්ම දුර්වල කරලා බටහිර බලවතුන්ට ගිලගැනීමට ඉඩකඩ සලසා දීමේ මෙහෙයුමක්. අපි මාධ්‍යවේදී සහෘදයන්ගෙන් ඉල්ලා සිටිනවා ‘ජාතියේ අනාගතයට බලපාන මේ දුර්දාන්ත ක‍්‍රියා පිළිවෙත රටට හෙළි කරන්න පෙරට එන්න’ කියලා.’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු ද සහභාගි වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.10.02

52

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*