BREAKING NEWS

‘දේදුනු විප්ලවයේ’ අයිතිකරුවන් අද දෙපැත්තකට වෙලා මේ රට පාලනය කරනවා. – ජාතික නිදහස් පෙරමුණ

    ජනවාරි 08 වැනිදා සිදු කළා යැයි කියන ඊනියා දේදුනු විප්ලවයේ අයිතිකරුවන් අද දෙපසකට වී රට පාලනය කරන බවත් එතැනින් නොනැවතී ඔවුන් පාර්ලිමේන්තුව ද දෙකට බෙදාගෙන පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(06) බත්තරමුල්ලේ, ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘වත්මන් ජනාධිපතිවරයාත් දේදුනු විප්ලවයේ සෙසු අයිතිකරුවනුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට පටහැනිව යමින් එය ශක්තිමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද මණ්ඩපයක් බවට පත්වීම වැළැක්වීමට කටයුතු කරන බව පෙනෙනවා. අපි මීට කලින් ඉතා පැහැදිලිව කීවා ‘කොටියට  ඕනෙ අපමණ අගයක්. ඒකට  ඕනේ මෛත‍්‍රී යුගයක්’ කියලා. දැන් කොටියාට  ඕනේ අපමණ අගය නිර්මාණය වෙමින් තිබෙනවා.

එදා අපි ඉතා පැහැදිලිව කීවා, මේ අයගේ සැලැස්ම වන්නේ සම්බන්ධන් මහත්තයා විපක්‍ෂ නායක කිරීම කියලා. සම්බන්ධන් මහත්තයා විපක්‍ෂ නායක ධුරයට පත් කිරීමත් සමගම ඔහු විසින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට ජවිපෙ අනුර දිසානායක මහත්තයා නම් කරයි කියලත් අපි පසුගිය මැතිවරණයේදී කීවා.

සම්බන්ධන් විපක්‍ෂ නායක වෙලා තිබෙනවා,  ඕමන්තේ ආරක්‍ෂක මුර කපොල්ල වසා දමා තිබෙනවා, අධි ආරක්‍ෂිත කලාප, සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත්කර තිබෙනවා. ඒ වගේම බරපතලම අපරාධ චෝදනා සහිතව සිටි කොටි සිරකරුවන් නිදහස් කළා. ඔන්න ඔය විදිහටයි කොටියාට අපමණ අගයක් ලබා දී තිබෙන්නේ.

පසුගිය මැතිවරණයේදී චම්පික රණවක, අනුර දිසානායක වැනි මහත්වරු රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න යට ගහලා නිකං පුහු ප‍්‍රශ්න මතු කිරීමට කටයුතු කළා. ඒ විදිහට ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මේ අය එකතු වෙලා ජනවාරි 08 මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති පුටුවට ගෙනාවා. ඒකට ඒ අය කීවේ දේදුනු විප්ලවය කියලයි. අද මේ දේදුනු විප්ලවය කළ අයට ‘සන්තෝෂම්’ දෙන්න ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා.

දේදුනු විප්ලවයේ අයිතිකාරයෝ අද දෙපැත්තකට වෙලා මේ රට පාලනය කරනවා. ඒ විතරක් නොවෙයි අද දේදුනු විප්ලවයේ අයිතිකාරයන් පාර්ලිමේන්තුවත් දෙකට බෙදාගෙන පාලනය කරනවා. දේදුනු විප්ලවයේ අයිතිකරුවකු වන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද අගමැති ධුරය දරනවා. මනෝ ගනේෂන්, රිෂාඞ් බදුර්දීන්, රාවුෆ් හකීම්, චම්පික රණවක යන දේදුනු විප්ලවයේ අයිතිකරුවන් අද ඇමතිකම් දරනවා. තවත් දේදුනු විප්ලවයේ අයිතිකරුවකු වන ආර්. සම්බන්ධන් මහත්තයා අද විපක්‍ෂ නායක ධුරය දරනවා. නියෝජ්‍ය අමාත්‍ය වරප‍්‍රසාද සහිත විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට විපක්‍ෂ නායක සම්බන්ධන් මහත්තයා විසින් දේදුනු විප්ලවයේ ප‍්‍රබල අයිතිකරුවකු වන අනුර දිසානායක මහත්තයා නම් කොට තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිලියි, අද පාර්ලිමේන්තුවේ වැදගත් තනතුරු සියල්ල දේදුනු විප්ලවයේ අයිතිකරුවන්ට ‘සන්තෝෂම්’ ලෙස ලබා දී තිබෙන බව.

ඒ වගේම දේදුනු විප්ලවය සිදු කරලා, ජාතික විධායක සභාවක් හදලා ජනවාරි 08 වැනිදා ඒකෙන් රට පාලනය කරපු මේ අය අගමැති ධුරය, සභා නායක ධුරය, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය, විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය කියන පාර්ලිමේන්තුවේ සියලූ වැදගත් තනතුරු ටික තමන් සතුකර ගෙන තිබෙනවා. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධනායට හිමිකර දුන් මන්ත‍්‍රී ධුර 95ක් සහිත ජනවරමට තැනක් නැහැ. අද එය දේදුනු විප්ලවයත් අයිතිකරුවන් විසින් මංකොල්ල කාලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේදී මේ ජනවරම සැබෑ ලෙස නියෝජනය කරන පිරිසගේ කටවල් වහන්න කටයුතු කරමින් සිටිනවා.

‘ආණ්ඩුවට එරෙහි හඩ යටපත් කිරීම’

අද මේ අය අලූත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව කටමැත දොඩවනවා. මන්ත‍්‍රී ධුර 95ක් දිනා ගන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට අඹමල් රේණුවකින්වත් උදව්වක් සිදු නොකර අද ඒවා කම සිතැ`ගි පරිදි මංකොල්ල කෑම ද අලූත් දේශපාලන සංස්කෘතිය?

දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියන්නේ ප‍්‍රාදේශීය නායකයෙක්. ඔහු කතා කරන්නේ උතුර පිළිබඳව පමණයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රටේ කිසිදිනක බලයට එන්න බැරි පක්‍ෂයක්. මේ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා බලය පාර්ලිමේන්තුව තුළ මතු වන එක වළක්වන්න මේ හදන්නේ. මේ ආණ්ඩුවට එරෙහිව නැගෙන ජාතිකවාදී මනසකින් යුත් මිනිස්සුන්ගේ හඩ බලහත්කාරී ලෙස යටපත් කරන්නයි මේ හදන්නේ. මේ තත්ත්වයට එරෙහිව නැගී සිටින්න කියලයි අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රී ධුර 95ක් සහිත ජනවරමක් නිර්මාණය කර දුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ව්ලැද්මීර් පුටින් වැනි නායකයකු සිටි නිසයි රුසියාවට අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් එවැනි ශක්තිමත් නායකයෙක්. දෙස් – විදෙස් සියලූ සතුරන් ඔහුට එක්ව පහර දීලා දුර්වල නායකයකු අද බලයට ගෙනල්ලා තිබෙනවා. එවැනි දුබල නායකයකු බලයේ ඉන්න කොට රටකට මුහුණ දෙන්න වන ඛේදනීය ඉරණමට තමයි අද අපි ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ.

අද 93ක මෙහා ඇමති මණ්ඩලයක් පත්කර තිබෙනවා. අපි අහනවා ‘අනුර දිසානායක මහත්තයෝ  ජවිපෙ කැල්කියුලේටර් කැඩිලාද?’ කියලා. පසුගිය කාලයේ ඇමති මණ්ඩල ගැන ගණන් හිලව් හදලා රටට පෙන්වන්න ඒකයි මේ අය කළේ. අපට නම් පෙනෙන්නේ අනුර දිසානායක මහත්තයාගේ ‘හාම්පුතා’ එයාගේ කට වහලා වගෙයි.

රන්ජන් රාමනායක, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා වැනි ‘කොට ඇදපු අලින්ට’ අද අමාත්‍ය ධුර ලැබිලා නැහැ. මේ අය අද නියෝජ්‍ය අමාත්‍ය ධුර දක්වා පල්ලම් බස්සවලා තිබෙනවා. එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු අයට කැබිනට් අමාත්‍ය ධුර ලැබෙද්දී මේ කොට ඇදපු අලින්ට ‘නියෝජ්‍ය අමාත්‍ය කට්ටක්වත් ලැබෙයිද?’ කියලා බලා ඉන්න වෙලා තියෙනවා.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී කවදාවත් විපක්‍ෂ නායක ධුරයට, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට අත තිබ්බේ නැහැ. ඒත් මේ අය කීවේ, ‘රාජපක්‍ෂ රෙජීයමක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා’ කියලයි. අද ඒකාධිපති බලය පාවිච්චි කරලා මේ ධුර දෙකත් කොල්ල කන්න වත්මන් රෙජීමය කටයුතු කර තිබෙනවා. මේ තත්ත්වයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ ජනතාව පෙරමුණ ගත යුතුයි.’’

ජානිපෙ නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ මහතා

‘‘පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු වූ නීතිවිරෝධී කටයුත්තක් පිළිබඳව අපගේ බරපතළ අවධානය යොමු විය යුතුයි. ඒ තමයි, කථානායකවරයා විසින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම. එහෙම අර්ථ නිරූපණයක් කරලා ‘මේ තියෙන්නේ ජාතික ආණ්ඩුව’ කියලා කථානායකවරයා තීන්දුවක් ලබා දෙනවා. කරුණු වශයෙන් ගත්තත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වචනාර්ථයෙන් ගත්තත් ඔහුට එහෙම තීන්දුවක් දෙන්න බැහැ. ඒ වචනවලින් කියැවෙන දේ නොවෙයි ඔහු තීන්දුව ලෙස ලබා දුන්නේ. ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳව ප‍්‍රශ්නයක් මතු වුණාම ඒක තීන්දු කරන්නේ කථානායකවරයා නොවෙයි. කථානායකවරයාට ඒ බලය නැහැ. ඒ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. අනෙක මේ ගන්නේ බරපතල තීන්දුවක්. මේ තීන්දුවත් එක්ක තමයි, ‘මේ රටේ කැබිනට් මණ්ඩලය හා සෙසු අමාත්‍ය ධුර සංඛ්‍යාව කොපමණ විය යුතුද?’ යන්න තීන්දු වෙන්නේ. මෙය කථානායකවරයා ඔහුට නැති බලයක් පාවිච්චි කිරීමක් විදිහටයි අපි දකින්නේ. මේක බරපතළ තත්ත්වයක්. නමුත් අවාසනාවට මේක අභියෝගයට ලක්කරන්න පුළුවන් අධිකරණයක් නැහැ. කථානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරන්න බැහැ. ඔහු ඒ බව දන්නවා. ඒ මුක්තියත් පාවිච්චි කරලා තමයි මේ ක‍්‍රියාව සිදු කළේ.

ඒ බරපතළ වැරැද්ද ඔස්සේ ගොඩනගා ගත්තු කැබිනට් මණ්ඩලය සහ අමාත්‍ය ධුර මොන වගේද? හොඳම උදාහරණය තමයි ‘විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය’ ධුරයක් ඇති කිරීම. මේක ‘විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මහා මාර්ගවලම ඉන්න  ඕනෙ’ කියලා හදපු අමාත්‍ය ධුරයක්ද? එහෙම නැත්නම් 88 – 89 වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මහ පාරේ ටයර්සෑයවල යවපු, බෙල්ල කපලා කෝටුවල ගහපු යුගයක් නැවත නිර්මාණය කරන්න මේ වගේ අමාත්‍ය ධුරයක් හැදුවාද? මේකද විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් කියන්නේ? මේක හරියට ‘පපඩම් සහ යකඩ ඇණ’ වගේ, ‘තේ දළු සහ රබර් සෙරෙප්පු’ වගේ. මේ එක උදාහරණයක් විතරයි.

ඇමති ධුර 93ක් සඳහා සේවක පඩිනඩි ගෙවන්න විතරක් මාසයකට රු. කෝටි 15ක් වැය වෙනවා. මේ වෙනුවෙන් නිල වාහන 581 නඩත්තු කරන්න වෙනවා. සීමා රහිත දුරකථන බිල්, ඉන්ධන වියදම් එකතු කළාම සමස්ත මාසික වියදම අපට හිතාගන්නවත් බැරි ගණනක්. මෙවැනි වියදමක් ජනතාවට දරන්න වෙන්නේ, ‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ඇමතිකම් වැඩියි. කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 25කට අඩු කරන්න  ඕනෙ’ කියලා බලයට ආපු ‘යහපාලන ආණ්ඩුවක්’ වෙනුවෙන්. මේක අපි ඉතා බරපතළ විදිහට අවධානයට යොමු කළ යුතු තවත් කරුණක්.

මේ සියලූ තත්ත්වයන් ‘රොටී පුච්චන්න තැටිය රත්වෙනකම් බලා හිටපු හාමුදුරුවරු, පුරවැසි බලයේ විද්වතුන් මොන විදිහට අර්ථ දක්වයිද?’ කියලා අපි බලාගෙන ඉන්නවා. අපි ඒ විද්වත් මහත්වරුන්ට විවෘත ආරාධනාවක් කරනවා, මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රට හමුවේ තබන්න කියලා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.09.06

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*