BREAKING NEWS

නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ කවුරු මොනවා කියූවත් වැඩක් නැහැ. මේ ආණ්ඩුවේ ‘රජතුන්කට්ටුවේ’ රනිල් – චන්ද්‍රිකා කියන දෙයයි වැදගත්

නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ කවුරු මොනවා කියූවත් වැඩක් නැහැ. මේ ආණ්ඩුවේ ‘රජතුන්කට්ටුවේ’ රනිල් – චන්ද්‍රිකා කියන දෙයයි වැදගත්
– ජානිපෙ නායක විමල් වීරවංශ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එය ශ්‍රී ලංකාව ෆෙඩරල් සහ අර්ධ අනාගාමික රාජ්‍යයක් කරන ව්‍යවස්ථාවක් විය යුතු බවට හිටපු ජනාධිපතිනිය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමට වත්මන් ආණ්ඩුවේ කිසිදු අවශේෂ නායකයෙකුට නොහැකි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(19) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ද සහභාගී වූ යාපනයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’ කියලා. ඒ විතරක් නොවෙයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විදේශ අමාත්‍යවරයා ද උතුරේදී ප්‍රකාශ කළා ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ලබන නොවැම්බරේදී ඉදිරිපත් කිරීමට නියමිතයි’ කියලා. නමුත් අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළාම ඔහු කීවේ, ‘මංගල සමරවීර මහතාගෙන් මම මේ පිළිබඳව විමසුවා. ඔහු එහෙම දෙයක් නොවෙයි පවසා තිබුණේ’ කියලයි. කොහොම වුණත් එහිදී අග්‍රාමාත්‍යවරයා ඇඟෙව්වේ තමන් නොවැම්බරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි. නමුත් දැන් යාපනයේදී අග්‍රාමාත්‍යවරයා විගනේෂ්වරන් මහ ඇමතිවරයාත් ඉදිරියේ තබාගෙන කියනවා ‘අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට රැගෙන එනවා’ කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට පැමිණියහොත් එය නිසැක ලෙසම ජනමතවිචාරණයකටත් ලක්වන එකක් වේවි. ඒ නිසා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ජනමතවිචාරණයකටත් 2017 ජනවාරි මාසය තුළ මේ රටේ මහජනතාවට මුහුණ දීමට සිදුවේවි.

ආණ්ඩුවේ ‘රජතුන්කට්ටුව’ කියන කතා

ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය පිළිබඳව ආණ්ඩුව එක එක දවසට එක එක කතා කියනවා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා ‘රජතුන්කට්ටුවක්’. ප්‍රධාන කණු තුනක් මතයි මේ ආණ්ඩුව රඳා පවතින්නේ. ඉන් එක් අයෙක් තමයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. ඇය තමන්ගේ ‘සහජීවන’ දේශනයකදී ප්‍රකාශ කළා ‘ගෙන එනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුයි. ඒ වාගේම අර්ධ අනාගාමික රාජ්‍යයක් බිහිකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුයි’ කියලා. මේ කරුණු අවධාරණය කරමින් ඇය කියනවා ‘සිංහල බෞද්ධ පිස්සො ටිකක් මේකට විරුද්ධ වේවි. ඒක ගණන් ගන්න ඕනෙ නැහැ’ කියලා. දැන් ආණ්ඩුවේ කාටවත් නැහැ කියන්න බැහැ. ආණ්ඩුවේ ‘රජතුන්කට්ටුවේ’ දෙදෙනෙක් කියනවා, ‘නොවැම්බර් මාසයේ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනෙනවා. ගෙනඑනු ලබන ව්‍යවස්ථාව ෆෙඩරල් විය යුතුයි. අර්ධ අනාගාමික විය යුතුයි.’ කියලා.

‘ෆෙඩරල්’ කියන්නේ කුමකටද?

ෆෙඩරල් ව්‍යවස්ථා ව්‍යුහයක් කියන්නේ කුමකටද? 1987 ඉන්දු-ලංකා ගිවිසුමත් සමඟ බලහත්කාරයෙන් පටවපු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන සමගාමී ලැයිස්තුව ඉවත් කරලා ‘මධ්‍යම ආණ්ඩුවේ බලතල සහ පළාත් සභාවල බලතල මේවායි’ කියලා දෙකට බෙදුවොත් කුමක් වේවිද? පාර්ලිමේන්තුව සතු මුදල් බලය පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට දෙකට බෙදුවොත් කුමක් වේවිද? ඒ වාගේම වත්මන් ව්‍යවස්ථාවේ සඳහන්, ‘ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මගින් පමණක් නියෝජනය වේ’ කියන වගන්තිය ‘පරමාධිපත්‍ය බලය පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ද නියෝජනය වේ’ කියලා වෙනස් කළොත් කුමක් වේවිද? ගෙනඑනු ලබන ව්‍යවස්ථාවේ ‘ඒකීය’ ලේබලය තිබුණත් ඉහත කී බෙදුම්වාදී උවමනාවන් ඇතුළත්ව තිබුණොත් එම ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් මිස වෙන කිසිවක් නොවෙයි. එමගින් සිදුවන්නේ ඒකීය ශ්‍රී ලංකාව ‘ෆෙඩරල් සමූහාණ්ඩු සංගමයක්’ බවට පත්වීමයි.

‘සමහරු ෆෙඩරල් ව්‍යවස්ථාවකට බය ඇයි?’ කියලා දැන් චන්ද්‍රිකා මැතිනිය නන් දොඩවනවා. ෆෙඩරල් ක්‍රමය කියන්නේ දෙමළ බෙදුම්වාදය විසින් වෙන් වී යාම සඳහා එක්තරා තීරණාත්මක කඩඉමක් ලෙස ඉල්ලා සිටින ඉල්ලීමක්. උතුරු-නැඟෙනහිර ඒකාබද්ධ කොට ‘එය සම්ප්‍රදායික දෙමළ වාසභූමියකි’ කියන සංකල්පය පිළිගෙන එහි පිහිටුවන ලබන ප්‍රාන්ත ආණ්ඩුව තමයි අවසානයේ වෙනම ආණ්ඩුවක් බවට දිගේලි කරන්නේ. ඒක යුද්ධයෙන් කරගන්න බැරි වුණා. දැන් බලන්නේ ‘සිරිසේන – වික්‍රමසිංහ – චන්ද්‍රිකා රජතුන්කට්ටුව’ විසින් ගෙන යන රූකඩ පාලනය මගින් ඒ දෙය ඉටුකර ගන්න. ඒ ටික කරගන්න උදව්වක් ලෙස තමයි බැන්කි මූන්ලා ඇවිත් උතුරට නොකියා දකුණට ‘සහජීවන බණ’ කියන්නේ.

’පොංගු-තමිල්’ වෙනුවට ‘එලුග-තමිල්’ එනවාලු

දැන් කොටි ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රහයෙන් පැවැති ‘පොංගු-තමිල්’ වෙනුවට ‘එලුග-තමිල්’(අවදි වනු දෙමළුනි) නමින් උතුරේ විශාල වැඩසටහන් සංවිධානය වෙමින් තිබෙනවා. ඒ වාගේම මියගිය කොටි ත්‍රස්තවාදීන් නොවැම්බරයේදී මහ ඉහළින් සමරන්න සූදානම් වෙනවා. දැනටමත් දෙමළ තරුණ පාසල් දරුවන්ට ඒ පිළිබඳව ලියැවුණු පත්‍රිකා බෙදමින් ඔවුන් උනන්දු කරවනවා. අද උතුරේ දියත් වන්නේ එවැනි අන්තවාදයක්. එතැන වෙන්නේ දෙමළ බෙදුම්වාදය වීරත්වයට නැංවීම මිස අන් කිසිවක් නොවෙයි. අද දකුණේ වෙන්නේ කුමක්ද?
රට බේරාගත් විරුවන් වීරත්වයට නැගීම වෙනුවට ඔවුන්ගේ කොඳු කඩා දමලා එක දවසක හෝ සේවා දිගුවක් නොදී ගෙදර එලවීම. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය වීරත්වයට නංවා බෞතීස්ම කිරීම මගින් සිදුවන්නේ කුමක්ද? අන්තවාදය වඩවාලීම නොවෙයිද? එසේ වැඩෙන දෙමළ අන්තවාදය පිනවාලීම සඳහායි අද මේ නව ව්‍යවස්ථාවක් රැගෙන එමින් ඇත්තේ. මේ රූකඩ ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා කැපවුණු දෙමළ ඩයස්පෝරාව සහ අනෙකුත් ජාතිවාදී බෙදුම්වාදී කල්ලි පිනවාලීම පමණයි මේ නව ව්‍යවස්ථාව මගින් සිදු වන්නේ. මේ ‘කෝකියන්’ ගැන අපි හොඳින් දන්නවා. ඒ නිසා ඔවුන් හදන ‘කෑම’ කාලා බලන්නම උවමනා නැහැ.

සැබෑ ජාතිවාදීන් කවුද?

මේ වනවිට විදේශ අමාත්‍යවරයා ඉන්නේ නිව්යෝර්ක්වල. පසුගිය දිනවල ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරන්දිරන් මංගල සමරවීර ඇමතිවරයා නැවතී සිටින හෝටලයට ගොස් පැය 04ක පමණ සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී ඔහුට උතුරේ අක්කර 78ක ඉඩමක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා වී තිබුණා. සුරේන් සුරන්දිරන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයන් 10 දෙනෙකු සඳහා නිව්යෝර්ක්වල නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සපයලා තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි. ඒ විතරක් නොවෙයි ඒ 10 දෙනා අත තිබූ දුරකථන 10 සඳහා බිල්පත් ගෙවීම පවා සිදුකර තිබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයන් නිව්යෝර්ක්වල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගිහින් තිබුණේ එකට අත්වැල් බැඳගෙනයි. මේක දෙමළ ඩයස්පෝරාවට සමඟ එකට එකතු වෙලා සාකච්ඡා කරලා තීන්දු ගන්නා ආණ්ඩුවක්. මේ අනතුර පෙන්වා දෙන අපට මේ ඊනියා සහජීවනවාදීන් කියනවා, ‘ජාතීවාදීන්ලු’. ජාතිවාදීන් වෙන්නේ දෙමළ අන්තවාදයට උඩගෙඩි දෙන අයයි. මේ ආණ්ඩුව අද කරන්නේ යුද්ධයෙන් පස්සේ යටපත් වෙලා තිබුණු දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට උඩගෙඩි දීම, පහසුකම් සැපයීම. මේ ආණ්ඩුව තමයි අද හැම ජාතිවාදයක්ම ඇති කරන්නේ. ‘සහජීවනය’ කියන වචනය තොරොම්බල් කරමින් දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට දොළපිදේනි දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි මේ ආණ්ඩුව සැරසෙන්නේ.

සිදුවිය යුත්තේ කුමක්ද?

ඒ වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කරන, රාජ්‍යය බෙලහීන නොකරන මැදිහත් වීමක් තමා අද රටට අවශ්‍ය වී තිබෙන්නේ. අපි ජාතියක් ලෙස බටහිර සහ දෙමළ ඩයස්පෝරාවේ ඉහත කී අපේක්ෂාවන් ඉටුවීමට ඉඩදිය යුතු නැහැ. සමහරු හිතාගෙන ඉන්නවා ‘සිරිසේන ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ අගමැතිවරයා බෙදුම්වාදයට උඩගෙඩි නොදෙන ව්‍යවස්ථාවක් රැගෙන එයි’ කියලා. මේ නව ව්‍යවස්ථා කෙටුම්පත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියන පරිදි නොවැම්බරයේ පාර්ලිමේන්තුවට රැගෙන ආ පසු ඒ සියලු දෙනාට බලාගන්න පුළුවන් ‘දෙමළ බෙදුම්වාදය නැවත වතාවක් ජයග්‍රහණය කරවීම සඳහා මේ පරගැති ආණ්ඩුව කටයුතු කරන්නේ කොහොමද? කියලා. බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලලා දේශමාමක ජනතාවගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් දැන් ඇමති කටු සූප්පු කරන අයට අපි ආයාචනය කරනවා. ‘කරුණාකරලා මොන පාවාදීමට අත එසවූවත් මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අත ඔසවන්න එපා. එය පැරදවීමට අප සමඟ අත්වැල් බැඳගන්න’ කියලා. ඒ වාගේම එක්සත් ජාතික පක්ෂයේ සිටින යම් හෝ තරමකට මේ පොළොවට ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද අපි ඉල්ලනවා ‘මේ ක්‍රියාදාමය දෙස විවෘත මනසකින් බලන්න. ඉන් රටට වන අගතිය තේරුම් ගන්න. යහපාලනය කියන වචනය ඉදිරියට දමලා යහපාලනය ගෙනාවේ නැහැ වගේ, සහජීවනය කියන වචනය ඉදිරියට දමලා සහජීවනය ගෙනෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. මේ ප්‍රයත්නය පැරදවීමට පෙරට එන්න’ කියලා.

මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.09.19

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*