BREAKING NEWS

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය රටට ඵලදායී අමාත්‍යාංශයක් බවට පත් කිරීමට සියලුදෙනාගේ පූර්ණ දායකත්වය බලාපොරොත්තු වෙනවා.

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය රටට ඵලදායී අමාත්‍යාංශයක් බවට පත් කිරීමට සියලුදෙනාගේ පූර්ණ දායකත්වය බලාපොරොත්තු වෙනවා.

– නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය රටට ඵලදායී අමාත්‍යාංශයක් බවට පත් කිරීමට ඒ යටතේ ඇති ආයතන 18හි සියලු සේවක පිරිස්වල පූර්ණ දායකත්වය බලාපොරොත්තු වන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අද (09) සෙත්සිරිපාය පිහිටි එම අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

‘අද උදෑසන මා මෙම අමාත්‍යාංශයෙහි අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. මෙම අමාත්‍යාංශය සඳහා ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරී 18 හි ප්‍රධානීන් වන තමුන්නාන්සේලා දැන හැඳිනගෙන එය රටට වැඩදායී හා ඵලදායක අමාත්‍යාංශයක් බවට පත් කරන්න ඔබ සියලුදෙනාගේම පූර්ණ දායකත්වය බලාපොරොත්තු වෙනවා. ගෙවුණු අවුරුදු තුනහමාරකට වැඩි ඉතිහාසය මේ රටේ ජනතාවට එතරම් සුන්දර ඉතිහාසයක් වුණේ නැහැ. එම කාලය තුළ රට ප්‍රගතියේ දිශාවට නොවෙයි පරිහානියේ දිශාවටයි ගමන් කළේ. විශාල බැඳුම්කර වංචාල විවිධ පැතිවලින් රටට පරිහානිය කරා ඇදගෙන යාම ඒ සමඟ සිදු වූවා. මේ තත්ත්වය තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්, පස්වැනි විධායක ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූුරයට පත් කිරීමට ඓතිහාසික තීන්දුවක් ගනු ලැබුවා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නායකයා, රටේ ආර්ථික වර්ධන වේගය 7.5% ක් දක්වා ඉහළ දැමූ නායකයා, ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි බව ඔප්පු කළ නායකයා තමයි එසේ අගමැති ධුරයට පත් කළේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිඳුන් ප්‍රමුඛ ආණ්ඩුවක් අද බලයට පත්ව තිබෙනවා. ඒ ආණ්ඩුව සතු ශක්තිය අපි මහජනතාවට ඔප්පු කළ යුතුව තිබෙනවා. එය අපි නුදුරු දිනකදීම ඔප්පුකර පෙන්වනවා. විදෙස් බලපෑම්ල තාඩන පීඩන එල්ල වන යම් අවිනිශ්චිතතාවක් රට තුළ ඇති කරන්න හදන මේ අවස්ථාවේ අපි කඩිනමින් ස්ථාවර පාලනයක් ගොඩනැංවීමේ අභියෝගය ජයගත යුතුව තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මම විගණකාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා මේ අමාත්‍යාංශය සතු සියලු ආයතන පිළිබඳ පූර්ණ විගණනයක් සිදු කරලා විගණන වාර්තාවක් ලබා දෙන්න පියවර ගන්න කියලා. අපි දන්නවාල මේ අමාත්‍යාංශයෙන් සිදු කළ සමහර ව්‍යාපෘති සඳහා ගිය වියදමට වඩා වැඩියිල ප්‍රචාරය සඳහා ගිය වියදම. මේ ආකාරයට අනවශ්‍ය මුදල් වැය කිරීම් ඇති තරම් සිදුව තිබෙනවා.

අද මේ අමාත්‍යාංශයේ ඇතැම් ආයතනවල සේවකයන්ට වාඩිවෙන්න පුටු නැති තරමට බඳවා ගැනීම සිදුකර තිබෙනවා. නමුත් ඔබ දන්නවා මීට ඉහතදී මේ අමාත්‍යාංශය සතු ආයතන රැකගන්න අපි මොන තරම් වගකීම් සහගතව කටයුතු කළාද කියා. අපට මේ අමාත්‍යාංශයේ කටයුතු අභියෝගයක් වුණේ නැහැ. ඒ වගේම හෙටත් මේ කටයුතු අභියෝගයක් නොවේ කියා අප විශ්වාස කරනවා.’

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.