BREAKING NEWS

‘‘නුගේගොඩට ලක්‍ෂ සංඛ්‍යාත ජන ගගක්!’’

11009086_418556894972524_2364790969353708766_nපසුගියදා නිමා වූ නුගේගොඩ ජාතික රැලියේ සංවිධාන කටයුතු රැසක් ජාතික නිදහස් පෙරමුණට පැවරී තිබිණි. මෙම රැලියේ සංවිධාන කටයුතුවල ප‍්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් එය සංවිධානය කළ පක්‍ෂ 04හි නායකයන්ගේ හදිසි රැස්වීමක් පසුගිය සතිඅන්තයේදී පැවැත්විණි. ඊට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ද එක්ව සිටියහ.

‘‘විමල් ඔයගොල්ලන්ගේ පක්‍ෂය මුල ඉඳලාම රැලියේ සංවිධාන හා ප‍්‍රචාරක කටයුතු සියල්ලම පාහේ කර ගෙන ගියානේ. ඒ කටයුතු පහසුකර ගන්න අපේ පක්‍ෂවල සහභාගීත්වයෙන් කමිටු කිහිපයක් හදමු’’ දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

ඊට සියලූ පක්‍ෂ නායකයන්ගේ අනුමැතිය ලැබිණි. එම මෙහෙයුම් කමිටු සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතාට පැවරිණි.

ඉහත සාකච්ඡාවේදී මෙම රැලියට අදාළ පූර්ව ප‍්‍රචාරක කටයුතු පිළිබඳව සාකච්ඡා විය. ඒ අනුව රැලිය පිළිබඳව ජනතාව දැනුම්වත් කරන පත‍්‍රිකා 20 ලක්‍ෂයක් පෙබරවාරි 16 සහ 17 දෙදින තුළ රටපුරා බෙදාහැරීමට තීරණය විය. එසේම ඒ වන විට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා, ‘මව්බිම උදෙසා කලාකාරුවෝ’ සංවිධානය බිහි කිරීමට ගත් උත්සාහය සාර්ථකවීම පිළිබඳව ද මෙහිදී විමල් වීරවංශ මහතා පැහැදිලි කළේය.

ඒ අනුව රැලියට සහාය පළ කිරීම සඳහා ‘මව්බිම උදෙසා කලාකරුවෝ’ සංවිධානයේ මාධ්‍ය හමුවක් ප‍්‍රවීණ කලාශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය 16 වැනිදා පැවැත්විණි. එහි කැඳවුම්කරු ලෙස ප‍්‍රවිණ රංගන ශිල්පී ලාල් කුලරත්න මහතා කටයුතු කළේය.

රැලිය පැවැත්වුණේ ‘දිනු නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’ යන තේමාව යටතේය. එහි ප‍්‍රධානතම අරමුණ වූයේ රට හමුවේ වන වත්මන් අභිය‍ෝගය ජය ගැනීමේ පළමු පියවර ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස ගෙන ඒමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීමය.

ඒ අරමුණ වෙනුවෙන් පෙළපැසුණු ජනතාව පසුගිය 18 වැනිදා සවස් භාගය වන විට මුළුමහත් නුගේගොඩ පුරවරයම වසා ගත්හ. ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ භූමියේ සිට හයිලෙවල් පාර පැන කොහුවල කනත්ත දක්වාත් නාවල පාර නොපෙනන මානය දක්වාත් පාගොඩ පාරේ කෙළවර දක්වාත් මේ ලක්‍ෂ සංඛ්‍යාත සෙනග පැතිරි සිටියහ.

මෙම රැලිය සංවිධානය කළ පක්‍ෂ 04 සිදු කළ පූර්ව ප‍්‍රචාරක කටයුතු ද මෙවැනි ජන සන්නිපාතයක් නුගේගොඩට වැස්ස වීමට හේතු වී තිබිණි. ඔවුන්ගේ පළමු පෝස්ටරයෙන් කියවුණේ, ‘මහින්දගේ ඡන්ද ලක්‍ෂ 58න් කෙනෙක් නම්? 18 සවස 3ට නුගේගොඩට එක්වන්න’ යන්නයි. එම පෝස්ටරයට මුළුමහත් රටේම අවධානය යොමු වී තිබිණි.

ඉහත පක්‍ෂ 04හි නායකයන් සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්‍ෂවලට රැලියට සහභාගී වන ලෙස විවෘත ආරාධනයක් කර තිබුණත් ශ‍්‍රී ලනිප නායකත්වය එය නිල වශයෙන් භාර ගෙන නොතිබිණි. කෙසේ වෙතත් 18දා රැලියට බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ඇතුළු සන්ධාන පළාත් සභා මන්ත‍්‍රීවරු 40ක්ම සහභාගී වීම කැපී පෙනෙණි. අනෙකුත් පළාත් සභාවල මන්ත‍්‍රීවරු, පළාත් පාලන ආයතන ප‍්‍රධානීහු, පළාත් පාලන මන්ත‍්‍රීවරු ඇතුළු විශාල ශ‍්‍රීලනිපයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ඒ කවුරුත් පැවසුවේ තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන්, ඔහුගේ ජයග‍්‍රහණය බලාපොරොත්තුවෙන් කැප වූ අය නිසා මේ අවස්ථාවට හෘද සාක්‍ෂියට එකගව සහභාගී වන බවය.

එපමණක් නොව කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, සී. බී. රත්නායක, ටී. බී. ඒකනායක යන හිටපු අමාත්‍යවරුන්ද දිලූම් අමුණුගම, මනූෂ නානායක්කාර, ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් වේදිකාවට නැග්ගේ ප‍්‍රීති ඝෝෂා මැද්දේය. විවිධ හේතු නිසා වේදිකාවට ගොඩවීමට නොහැකි වුවත් රැලියට සහභාගී වී සිටි ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 24ක් බව ද වාර්තා විය.

මෙම රැලියට සිය සුබපැතුම් එක් කිරීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් ද කටයුතු කර තිබිණි. එම සුබපැතුම ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය දයාන් ජයතිලක මහතා විසිනි. ඒ මොහොතේ විමල් වීරවංශ මහතාට ජංගම දුරකථනයක් ගෙනවිත් දුන් හිතවතකු පැවසුවේ හිටපු ජනාධිපතිතුමා කතා කරන බවය.

‘‘විමල් මම රැස්වීම බලාගෙන ඉන්නේ. ඉන්ටර්නෙට් එකේ අපි ලයිව් බලනවා, වැඬේ අතිසාර්ථකයි නේද?’’ හිටපු ජනාධිපතිතුමන් විමල් වීරවංශ මහතාට පැවසුවේය.

‘‘ඔව් ජනාධිපතිතුමනි රැුලිය අතිසාර්ථකයි’’ විමල් විරවංශ මහතා පැවසුවේ සතුටිනි.

‘‘ඇහෙනවා අඩුයි. මම රැලියෙන් පස්සේ නැවත කතා කරන්නම්’’ කියමින් හිටපු ජනාධිපතිවරයා විමල් වීරවංශ මහතාගෙන් සමුගත්තේය.

ඉන්පසුව පසුදා උදේ ද විමල් වීරවංශ මහතා සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට ද හිටපු ජනාධිපතිතුමන් අමතක නොකළේය.

‘‘ඊයේ වැඬේ නම් හොඳටම හොඳයි විමල්. හැම දෙනෙක් තුළම පුදුම උද්යෝගයක්නේ තිබුණේ’’ මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පැවසුවේය.

‘‘ජනතාව තුළ විශාල පිබිදීමක් ඇති වී තියෙනවා’’ විමල් වීරවංශ මහතා පිළිතුරු වශයෙන් පැවසුවේය.

‘‘දැන් මේගොල්ලො වෙනදාටත් වඩා වැඩියෙන් මඩ ගහන්න බලයි, ඔයාටයි මටයි. ප‍්‍රශ්න හදන්න බලයි’’ හිටපු ජනාධිපතිතුමන් පැවසුවේය.

‘‘ඒකට කමක් නැහැ. ඒවා සියල්ලට මුහුණ දෙන්න මම සූදානම්’’ විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

‘‘මම පසුගිය දිනවල අසනීප වුණා. උණ ගැනුණා. කාමරයක් ඇතුළේ ඉඳගෙන දවසට විශාල පිරිසක් මුණගැහෙනවානේ. ඒ නිසා වෙන්න ඇති’’ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කීවේය.

‘‘ආ මම දැන් මෙතැන පොඞ්ඩක් නතර වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ දරුවෝ එකසිය හැට ගණනක් එළියට දාලානේ. ඒ පිරිස සමග කතා කරන්න මම වාහනෙන් බහිනවා’’ යනුවෙන් පැවසූ හිටපු ජනාධිපතිතුමන් විමල් වීරවංශ මහතාගෙන් සමුගත්තේ ඔහුටද එම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක ගැටළුවට මැදිහත් වන ලෙස කියමිනි.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

  1. dammika jayaweera Reply

    Wimalweerawansa.lk

    • dammika jayaweera Reply

      Wimalweerawansa.lk

Leave a Reply

*