BREAKING NEWS

පසුගිය අඟහරුවාදා සවස ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී පැවැත්විණි.

මෙම රැස්වීමට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ, ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, බැසිල් රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායක නායිකාවෝ රැසක් එක්ව සිටියහ.

එහිදී මුලින්ම අවධානය යොමු වූයේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳවය. පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබූ සාකච්ඡාව පසුදිනට එනම් බදාදාට ලැබී තිබිණි. එම රැස්වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් හා පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී කරවීමට එහිදී තිරණය විය.

“පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමට සටන් කිරීම වැදගත්. නමුත් අපේ අවධානය වඩාත්ම යොමු විය යුතු කාරණය තමයි ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමතවිචාරණය. පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උතුරේදි පැවසුවා ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා’ කියලා. මේ කාරණය මීට ඉහතදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ද අවධාරණය කොට තිබුණා. ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට දැම්මොත් 2017 ජනවාරි – පෙබරවාරි අතර ඊට අදාළව ජනමතවිචාරණයක් තියන්න වෙනවා. ඒ අනුව දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ පළාත් පාලන ඡන්දය නොපවත්වා ජනමතවිචාරණයක් පවත්වන්න. 2015 ජනවාරි 08 වැනිදා කළා වගේ ‘පාට පාට පෙරමුණක්’ හදාගෙන ජනමතවිචාරණය දිනාගන්න.

ඒක පරාජයට පත් කිරීම සඳහා වූ වැඩපිළිවෙලකට අපි දැන් සිටම සූදානම් විය යුතුයි. සංවිධානාත්මකව සහ අනෙකුත් සියලු පැතිවලින් අපි අපේ බලවේගය ඊට සූදානම් කළ යුතුයි. ඒ වෙනුවට වෙන වෙන මාතෘකාවලට බර තැබුවොත් වැදගත් දේට අපේ අවධානය අඩු වේවි” විමල් වීරවංශ මහතා මාතෘකාව අතිශය බරපතළ පැත්තකට හරවමින් පවසා සිටියේය.

“විමල් කියන දේ ඉතාමත් පැහැදිලියි, අපට සූදානම් වීමට අවස්ථාවක් හෝ නොතියා මේ අය හොර රහසේම මේ ජනමතවිචාරණයට සූදානම් වන බවයි පෙනෙන්නේ. මේ ආණ්ඩුවේ ප්‍රබලතම චරිත තුනෙන් දෙකක් වන රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ කටින් මේ බව දැනටමත් එළියට පැන අවසන්.” උදය ගම්මන්පිල මහතා ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස් අනුමත කරමින් එසේ පැවසුවේය.

“නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනෙ. ආණ්ඩුව ඒ පිළිබඳව ගෙන එන යෝජනා අනුව නේද?” හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම අදහස්වලට සාවධානව ඇහුම්කන් දීමෙන් අනතුරුව පෙන්වා දුන්නේය. වාසුදේව නානායක්කාර මහතා ද එහිදී ඊට සමාන අදහසක් ඉදිරිපත් කළේය.

“නමුත් ගෙන එන්නේ කවර ආකාරයේ ව්‍යවස්ථාවක්ද, කියන එක සම්බන්ධයෙන් අපට අපැහැදිලිකමක් නැහැනේ. ඒක පරාජය කිරීමට මිස ඒක පිළිගැනීමට නම් අපට හේතු තියෙන්න විදියක් නැහැ” විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

මේ පිළිබඳව දීර්ඝ වශයනේ සාකච්ඡා වන අතර බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනා කළේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විමසා බැලීමටත් ඊට අදාළව ගත යුතු පියවර සම්බන්ධයෙනුත් කටයුතු කිරීමට කමිටු කිහිපයක් පිහිටුවීමටය.

එසේම ‘නව ව්‍යවස්ථාවෙන් අත නොතිබිය යුතු පැති’ හඳුනාගෙන එම කරුණු රට හමුවේ තැබීමටත් එහිදී තීරණය විය.

September 25, 2016

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*