BREAKING NEWS

පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට යටත් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ යහපාලනයට එකගද? – ජානිපෙ ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරයි

මැයි 15 වැනිදායින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 234ක් කොමසාරිස් පාලනයකට යටත් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ යහපාලනයට එකගදැයි ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ප‍්‍රශ්නකර සිටී.

අද(12) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප‍්‍රශ්න කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

‘‘පළාත් පාලන ආයතන 234ක නිල කාලය මැයි මාසයේ 15 වැනිදායින් අවසන් වෙනවා. යළි ඡන්ද විමසීමක් පැවැත්වීම වෙනුවට මැයි 15 වැනිදායින් පසුව කොමසාරිස් පාලනයකට ඉහත කී පළාත් පාලන ආයතන යටත් කරන්නයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ.

ජනතාව සතු පරමාධිපත්‍ය බලය නියෝජනය කරමින් ඡන්ද විමසීමකින් තමයි පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් තේරීපත් වන්නේ. මෙම පළාත් පාලන ආයතන ක‍්‍රියාත්මක වන්නේ එසේ තේරීපත්වන පක්‍ෂ, විපක්‍ෂ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සභාවක් ලෙසයි. ‘එවැනි ආයතන කොමසාරිස් පාලනයකට නතු කිරීම මොන තරම් සදාචාර සම්පන්නද, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ යහපාලනයට එකගද?’ කියන පැනය අපි රට හමුවේ තබනවා.

මෙම පළාත් පාලන ආයතනවල වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු සිටින්නේ ඉතා අඩු සංඛ්‍යාවක්. පළාත් පාලන ආයතනවල 3000ක් පමණ වන මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් 2000ක් පමණ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ප‍්‍රගතිශීලී බලවේගයන් නියෝජනය කරනවා. ඒ නිසාම එක්සත් ජාතික පක්‍ෂයට බලවත් උවමනාවක් තිබෙනවා, තමන්ට අහිමිව ඇති බිම් මට්ටමේ ජනතා බලය ගොඩනගා ගැනීම සඳහා මෙම පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට නතුකර ගැනීමට. මහජන නියෝජිතයන් සක‍්‍රීයව කටයුතු කරනවා වෙනුවට ඔවුන් අඩපණ කරලා තමන්ට හිතවත් නිලධාරී පැලැන්තියක් හරහා පළාත් පාලන ආයතනවල පාලනය ගෙනයාමේ බලවත් උත්සාහයක් අද එක්සත් ජාතික පක්‍ෂය දරනවා. මෙසේ පළාත් පාලන ආයතන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ යහපාලනයට එකග නොවන ක‍්‍රමවේදයක් යටතේ පාලනය කිරීමට එජාපය ගන්නා උත්සාහයට අපගේ දැඩි විරෝධය පළ කරනවා.

‘ජනපතිට නැති අයිතිය’

ඒ වගේම මෙහිදී අපගේ අවධානය යොමුකළ යුතු තවත් කරුණක් තිබෙනවා. ජනාධිපතිතුමන් අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ලෙසත් කටයුතු කරනවා. මේ පළාත් පාලන ආයතනවල ඉතා වැඩි බලයක් සතුව ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ මේ රටේ ප‍්‍රගතිශීලි බලවේගවලටයි. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ලෙස ජනාධිපතිතුමන්ට වගකීමක් තිබෙනවා, තමන්ගේ පක්‍ෂය සතු බිම් මට්ටමේ බලය දුර්වල නොකොට තව තවත් ශක්තිමත් කිරීමට. කොමසාරිස් පාලනයකට යාම තුළ දියාරු වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම් මට්ටමේ බලය. කඩා වැටෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ප‍්‍රගතිශීලී බලවේගයන් සතු බිම් මට්ටමේ යාන්ත‍්‍රණය. ඒ අනුව සදාචාරාත්මකවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුවත් ජනාධිපතිවරයාට එසේ කටයුතු කිරීමට අයිතියක් නැහැ.

ඒ වගේම මැයි 15 වැනිදා සිට මේ රටේ පැවැත්විය යුතු මැතිවරණ දෙකක් තිබෙනවා. එකක් තමා එදිනෙන් නිල කාලය අවසන් පළාත් පාලන ආයතන ඡුන්ද විමසීම. අනෙක තමයි අපේ‍්‍රල් 23 වැනිදායින් දින 100 අවසන් වූ ආණ්ඩුව විසුරුවා හැර පවත්වනු ලබන මහ මැතිවරණය. දැන් දින 100 හමාරයි. අදට දින 120යි. නමුත් තවමත් ජනතාවට දුන් පොරොන්දුව අනුව යමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නැහැ. මහ මැතිවරණයක සේයාවක්වත් නැහැ. ඔවුන්ට අනුව 62 ලක්‍ෂයක් අනුමත කළ වැඩපිළිවෙළේ තමයි තිබෙන්නේ අපේ‍්‍රල් 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. ඒ නිසා ඒ ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මහ මහමැතිවරණයකට මේ ආණ්ඩුව ගමන් කළ යුතුයි. එතෙක් මේ පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමයි අනිවාර්යෙන්ම කළ යුත්තේ. එසේ නොකොට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ යහපාලන විරෝධී ආකාරයට ඒවා කොමසාරිස් පාලනයකට නතු කිරීම නොකළ යුතුයි. ඒ නිසා ඉතා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා මේ ආණ්ඩුව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.

‘දේශපාලන දඩයම’

දින 100 වැඩපිළිවෙළ ඇරඹුණු ජනවාරි 09 වැනිදා සිටම මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ජාතිකවාදී, දේශපේ‍්‍රමී නායකයන් ප‍්‍රහාරයන් හා අවලාද එල්ල කරලා බිම වට්ටන්නයි මේ ආණ්ඩුව උත්සාහ කළේ. මේ රටට ආදරය කරන මිනිස්සු මඩ, අවලාද පිළිගත්තේ නැහැ. මේ යහපාලන දින 100 තුළ විපක්‍ෂය සම්පූර්ණයෙන්ම අතු ගාලා දාලා සටනකින් තොර ජයග‍්‍රහණයක් ලබාගැනීමේ අරමුණින් තමයි ඔවුන් මහ මැතිවරණයක් කැඳවීමට සිටියේ. පෙබරවාරි 18 වැනිදා නුගේගොඩින් ඇරඹුණු මහ සටනින් මුළුමහත් සමාජයම අවදි වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.

අසාර්ථක දින 100න් පසු, අසාර්ථක මඩ ව්‍යාපාරයෙන් පසු දැන් ආණ්ඩුව දේශපාලන දඩයම අරඹලා තිබෙනවා. 2001 දෙසැම්බරයේ බලයට පත් වූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 2002 දී පළාත් පාලන මැතිවරණය පැවැත්වූ ආකාරය අපට අමතක නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම් මට්ටමේ බලය තිබුණු මහජන නියෝජිතයන් 300කට අධික ප‍්‍රමාණයක් සිරගත කිරීමට එහිදී රනිල් වික‍්‍රමසිංහ පාලනය කටයුතු කළා. එදා විශාල පිරිසක් සිරමැදිරි වල සිටයි නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබුවේ.
මෙවර මහ මැතිවරණයත් එවැනි මර්දනීය වාතාවරණයක් තුළ පැවැත්වීමටයි මේ අය සූදානම් වෙන්නේ. මහින්ද රාජපක්‍ෂ මහතා සමග නැගී එන දේශපාලන නායකත්වය අද ජාතික මට්ටමින්, දිස්ත‍්‍රික් මට්ටමින්, බිම් මට්ටමින් දඩයම් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් ඒ සඳහා අලූතින් හදාගෙන තිබෙනවා. ඒ මූල්‍ය අපරාධ කොට්ඨාසයට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවකින් ඍජු උපදෙස් ලැබෙනවා. ඊයේ (11) අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘මේක පළමු වැනි වතාවට කරන දෙයක් නොවෙයි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, කාන්තා හා ළමා කාර්යාංශය වැනි ඒවා මීට කලිනුත් හදා තිබෙනවා’ කියලයි. නමුත් ඉහත කී ආයතන මහජනයාට විවෘතයි. ඒවා ඍජුව කැබිනට් අනුකමිටුවකින් මෙහෙයවන්නේ නැහැ. ඒ හැම ආයතනයකට ‘හොට් ලයින්’ තියෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ‘හොට් ලයින්’ නැහැ. තිබෙන්නේ ‘රනිල් ලයින්’ එකක් විතරයි.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ඉදිරි ජයග‍්‍රහණයට බාධාකාරී වන සියලූ දෙනා ‘දඩයම් කරන ලයින් එක’ පමණයි මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට තියෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ඊයේ (11) අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිසමට කැඳවා තිබුණා. අද (12) මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබෙනවා. ඒ වගේ රට බේරා ගැනීම වෙනුවෙන් දැවැන්ත කාර්යයක් කරපු නායකයින්ව දේශියව සහ ජාත්‍යන්තරව අප‍්‍රසාදයට පත් කරන්න, ඔවුන්ගෙන් පළිගන්න සිදු කරන මේ දේශපාලන දඩයම අපි දැඩි සේ හෙළා දකිනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා නොදන්න දෙයක් තියෙනවා. ඔහුට තියෙන්නේ පිනට ලැබුණු අගමැතිකමක්. ඒ වගේම ඔහුට බිමේ බලයකුත් නැහැ. සිරිසේන මහත්තයාව දාලයි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ. පාර්ලිමේන්තු බලය සහ මහජන බලය යන දෙකම නැති රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලන දඩයමින්, මර්දනයෙන් ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමට හිතනවා නම් ඒක මුලාවක්. අපි මේ රටේ ප‍්‍රගතිශිලී බලවේග සමග ඊට එරෙහිව සටන් වැදීමට සූදානම්’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-12

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*