BREAKING NEWS

‘පාර්ලිමේන්තු විවාද සඳහා කාලය වෙන් කළ ආකාරය ඉතාම අසාධාරණයි!’

     එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ශ්වකාර දේශපාලන පක්‍ෂවල නායකයන් පසුගිය 10 වැනිදා කථානායකවරයාට ලිපියක් භාර දී තිබිණි. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප‍්‍රභාත් ගම්මන්පිල සහ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරු ඊට අත්සන් තබා තිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ සහ තම ස්වාධීන තීරණය පරිදි විපක්‍ෂයේ අසුන් ගන්නා සියලූම මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප‍්‍රසාද වෙන් වෙන්වත් සාමූහිකවත් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන මෙන් එම ලිපියෙන් ඉල්ලා තිබිණි.

එම ලිපියෙහි සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහත පක්‍ෂ නායකයන්ට සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් විපක්‍ෂයේ අසුන් ගන්නා මන්ත‍්‍රී කණ්ඩායම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, කථානායකවරයා පසුගිය 22 වැනිදා සවස අවස්ථාවක් ලබා දී තිබිණි.

‘‘පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා විය යුතුයි. ඔබතුමා ඒ පිළිබඳ අපට තවමත් පැහැදිලි තීරණයක් ලබා දීලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් පිළිබඳව අපට හරිහැටි අවබෝධයකුත් නැහැ. මේ තත්ත්වයට කඩිනම් විසඳුමක් අවශ්‍යයි’’ දිනේෂ් ගුණවර්ධන මහතා සාකච්ඡුාව ආරම්භ කරමින් පැවසීය.

‘‘පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය අද ලැබෙන්නෙ දෙමළ ජාතික සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණේ හා ආණ්ඩුව සමග ඉන්න එජනිස මන්ත‍්‍රීවරුන්ට පමණයි. විපක්‍ෂයේ ඉන්න සන්ධාන මන්ත‍්‍රීවරුන්ට අඩුම තරමින් න්‍යාය පත‍්‍රයවත් ලැබී නැහැ. වෙනදා ඒක විපක්‍ෂ නායක කාර්යාලයෙන් වුණේ. ඒත් අද ඒක විපක්‍ෂ නායක කාර්යාලයෙන් සිදු වෙන්නේ නැහැ. අපි ඔබතුමාට පසුගිය 10 වැනිදා භාර දුන් ලිපියෙන් දැනුම් දී තිබුණා, ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්‍ෂ 06ක් විදියට අපි විපක්‍ෂයේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් විදියටයි කටයුතු කරන්නේ’ කියලා. ඒ ලිපිය පිළිඅරන් පසුගිය පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයන් අනුව යමින් අපට විපක්‍ෂයේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ ඉඩකඩ ලබා දෙන්න’’ විමල් වීරවංශ මහතා එහිදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

‘‘මම ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳව සලකලා බලලා ඔබතුමන්ලාට විපක්‍ෂයේ ඉදිරිපෙළ ආසන ලබා දුන්නානේ’’ කථානායක කරු ජයසූරිය මහතා ඊට පිළිතුරු වශයෙන් පැවසීය.

‘‘ජ්‍යෙෂ්ඨත්වය අනුව නොවෙයි විපක්‍ෂයේ ස්වාධීන පක්‍ෂවල නායකයන්ටයි එසේ ඉදිරි පෙළ අසුන් පැනවිය යුත්තේ’’ විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේය.

‘‘ඔබතුමා මුලින්ම බලන්න ආණ්ඩු පක්‍ෂයේ ඉන්නේ කවුද, විපක්‍ෂයේ ඉන්නේ කවුද කියලා. විපක්‍ෂයේ ඉන්න අයට විපක්‍ෂයේ අයිතිවාසිකම් දෙන්න. ආණ්ඩු පක්‍ෂයේ ඉන්න අයට ආණ්ඩු පක්‍ෂයේ අයිතිවාසිකම් ලබා දෙන්න’’ එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

ඒ අතරතුර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාද සාකච්ඡුාවට සහභාගී වීම පිණිස පැමිණියේය.

‘‘පාර්ලිමේන්තු විවාද සඳහා කාලය බෙදලා තිබෙන ආකාරය ඉතාම අසාධාරණයි. එක්සත් ජාතික පක්‍ෂයට 40%යි. ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ සිටින එජනිස මන්ත‍්‍රීවරුන් 95 දෙනාටම 30%යි. ඒ වගේම මන්ත‍්‍රීවරුන් 22ක් පමණක් සිටින දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණු හවුලටත් 30%ක් ලබා දී තිබෙනවා. එතකොට 95ටත් 30%යි, 22ටත් 30%යි. මේ ආකාරයට කාලය බෙදීමෙන් සිදුකර ඇත්තේ අපට පාර්ලිමේන්තුවේ අපේ මතය දැක්වීමට ඇති අවස්ථාව අහිමි කිරීමයි’’ විමල් වීරවංශ මහතා තාර්කිකව කථානායකවරයාට එසේ පෙන්වා දුන්නේය.

‘‘මේ ආකාරයට කාලය බෙදීම අපටත් බරපතළ ප‍්‍රශ්නයක්’’ ඩලස් අලහප්පෙරුම මහතාද සඳහන් කළේය.

‘විශ්වාගේ ලිපිය’

‘‘මෙම ලිපිය එවා ඇත්තේ එජනිස මහ ලේකම් විශ්වා වර්ණපාල මහතා. ඔහු මේ ලිපියෙන් ඉල්ලා තිබෙනවා, නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායකයා ලෙස පිළිගන්නා ලෙසට’’

මේ අවස්ථාවේදී කථානායකවරයා සන්ධාන පක්‍ෂ නායකයන්ට තමන්ට ලැබී තිබුණු එක් සුවිශේෂී ලිපියක් පෙන්වමින් එසේ පැවසීය.

‘‘නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙක්. එතුමා විපක්‍ෂයේ ඉන්නා සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ නායකයා ලෙස අපට පිළිගන්න බැහැ’’ විමල් වීරවංශ මහතා ඊට පිළිතුරු වශයෙන් පෙන්වා දුන්නේය.

‘‘පක්‍ෂ නායකයකු විදියට පාර්ලිමේන්තු පක්‍ෂ නායක රැස්වීමට සහභාගී වීමට දිනේෂ්ටත් අවස්ථාවක් ලැබී තිබෙනවානේ. අපි පක්‍ෂ නායක රැස්වීමේදීත් මේ ගැන කතා කරමු. කාලය වැඩි කළ යුතුයි කියලා මමත් පිළිගන්නවා අනෙකුත් ප‍්‍රශ්නත් කතා කරලා ඉක්මනින් තීරණයක් දැනුම් දෙන්නම්’’ දීර්ඝ ලෙස පැවැති සාකච්ඡාව නිමාවට පත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා පවසා සිටියේය.

විමල්  – ගම්මන්පිලගෙන් නව පක්‍ෂයක්? අවසන් – තීරණය ලබන සතියේ

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

එහිදී සාකච්ඡා වූයේ කවරක්දැයි සම්පූර්ණයෙන්ම අනාවරණය නොවූවත් නව පක්‍ෂයක් හෝ පෙරමුණක් කඩිනමින් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා සිදු වූ බව දැන ගැනීමට තිබේ.

‘‘පෙරමුණක් සෑදීමට නොහැකි නම් අලූත් පිරිසකට සම්බන්ධ විය හැකි නව දේශපාලන පක්‍ෂයක් ගොඩනැගිය යුතුයි’’ යන අදහස් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡුාවට භාජනය වී ඇති බවද වාර්තාවේ.

ඒ අනුව, ‘‘සන්ධානයේ අනෙකුත් පක්‍ෂ නායකයන් සමග තවදුරටත් සාකච්ඡා කොට පෙරමුණක් සෑදීමට නොහැකි නම් නව පක්‍ෂයක් නිර්මාණය කළ යුතුයි’’ යන එකගතාවය සහිතව මෙම සාකච්ඡාව අවසන් වී තිබේ.

ලබන සතියේදී මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමෙන් පසුව ඉදිරි කටයුතු සැලසුම් කිරීමට නියමිත බවද වාර්තා වේ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*