BREAKING NEWS

පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් ගත යුතුයි. රනිල්ගේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය, රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළ යුතුයි

පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් ගත යුතුයි. රනිල්ගේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය, රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළ යුතුයි

– ජානිපෙ නායක විමල් වීරවංශ

පෙබරවාරි 10 වැනිදා ‘මහින්ද සලකුණ: පොහොට්ටුව’ දිනවා ජනතාව ලබා දුන් පණිවිඩය නිවැරදිව තේරුම් ගෙන, ජනාධිපතිවරණය තෙක් ආණ්ඩුවට හුදු විරෝධය පෑමකින් නතර නොවී බල පෙරළියක් කළ නොහැකිනම් අගමැතිවරයාගේ බටහිර – ඉන්දියානු පරගැති න්‍යාය පත්‍රය රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කිරීමට ගත හැකි සියලු පියවර ගැනීමට ඒකාබද්ධ පොදුජන පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන පෙරට ආ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

‘පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න: මෙතැනින් කොතැනට ද?’ යන දේශන මාලාවේ පළමුවැන්න සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අද අපේ මාතෘභූමිය යම් අන්තර්කාලයකට ඇතුළු වී තිබෙනවා. ඒ අන්තර්කාලය තුළ බොහෝ දේ අප ඉදිරිපිට සිදු වීමට නියමිතයි. ඒ වගේම වත්මන් පාලකයන් ගෙවී ගිය වසර තුනක කාලය තුළ බොහෝ සෙයින් අඳුරු ඉරණමකට අපේ මාතෘභූමිය ඇද දමා අවසන්. මේ සියල්ල ගැන සාකච්ඡා කිරීමට අප මේ දේශනමාලාව දීපව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

‘දේශපාලන දාම් පෙතේ වෙනස් වූ බොහෝ දේ’

පසුගිය පළාත් පාලන මැතිවරණය මේ රටේ ජනතාව විසින් සලකනු ලැබුවේ ජාතික මැතිවරණයක් ලෙසයි. ඒ නිසා ඒ ජාතික මැතිවරණයේ ප්‍රතිඵලය තවමත් ජනතාව ඉදිරියේ නොතියා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තටමමින් ඉන්නවා. ‘පෙබරවාරි 10 වැනිදා රාත්‍රී 10.00ට ලබා දෙනවා’ යැයි ඔහු කී ප්‍රතිඵලය තවමත් ජනතාව අතට පත්ව නැහැ. මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මේ රටේ දේශපාලන දාම් පෙතේ බොහෝ දේ වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. 2015 ජනවාරි 09 වැනිදා සිට මේ රටේ කාටුන් ශිල්පීන් ‘ඉරුණු මේස් බැනියමක්’ සහිතව ඇඳපු මහින්ද රාජපක්‍ෂ රුව යළිත් පෙර පරිදි ඇඳෙන්න පටන් ගත්තා. ආණ්ඩුවේ ඡන්ද පදනම බෙහෙවින් අඩු වෙලා කියලා පෙනුණා. ආණ්ඩුවට කඬේ ගියපු ජවිපෙ සිහිනය, සිහිනයක්ම පමණයි කියා පැහැදිළි වුණා. දෙමළ ජාතිවාදී බෙදුම්වාදී පක්‍ෂවලින් දෙමළ ජනතාව යම්තාක් දුරට ඉවත් වී ඇති බව දැකගත හැකි වුණා. ‘මේ රට ඉදිරියේ දැන් පවතින අභියෝගයට සරිලන මහා ක්‍රියාකාරීත්වයකට මහින්ද රාජපක්‍ෂ මහතා පෙරටු කරගත් ජනතා බලවේගය සූදානම්’ කියන පණිවිඩයත් එම මැතිවරණ ප්‍රතිඵලය විසින් ලබා දුන්නා. ආණ්ඩුවට තිබෙන පිළිකුල, අප්‍රසාදය එම මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්වා දුන්නා.

‘ආණ්ඩුවේ ඇඟ හිරිවට්ටන ප්‍රතිඵලයක්’

2015 ජනවාරි 09 වැනිදා උදෑසන ජනාධිපති ධුරයට සමු දීලා අරලියගහ මන්දිරයේ සිට මැදමුලනට ගිය මහින්ද රාජපක්‍ෂ මහතා, මේ රටේ අනාගත ඉරණම තීරණය කරන ජීවමාන දේශපාලන සාධකය බව නැවත වතාවක් ජනතාව විසින් ‍පෙන්වා දීමත් මේ මැතිවරණ ප්‍රතිඵලය මගින් සිදු වුණා. ඒ නිසා මේක ආණ්ඩුවේ ඇඟ හිරිවට්ටන ප්‍රතිඵලයක්. සිරිසේන ජනාධිපතිවරයාට දින කිහිපයක් රටේ නොසිටීමටත් වික්‍රමසිංහ අගමතිවරයාට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වීමටත් මේ ප්‍රතිඵලය බලපෑවා. මේ රටේ ජාතික දේශපාලන භූමිය කැලඹවීමට සමත් වූ පළමු පළාත් පාලන මැතිවරණ ය ප්‍රතිඵලය ද මෙයයි.

‘තෙල්දෙණිය – දිගන ගිනි තැබීම’

කවුරු මොනවා කිව්වත්, මොන විදියට හංගා ගෙන සිටියත් මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ස්ථිර ලෙසම මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් වීම සිදු වුණා. ඒ අමිහිරි ප්‍රතිඵලය සැඟවීමටත් අගමැතිවරයාට එරෙහි අභ්‍යන්තර කැරැල්ල යටපත් කිරීමටත් ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් පැන යාම අමතක කරවීමටත් තමයි තෙල්දෙණිය ගිනි ගන්න පටන් ගත්තේ. එක පොදු සංස්කෘතියක් ඇතුළේ විවිධත්වය රකිනවා වෙනුවට බෙදුණු සංස්කෘතීන් වඩවාලන්න කල්පනා කරන තත්වයකට අපේ සමාජයේ ඇතැම් පිරිස් තල්ලු වෙලා තියෙනවා. ලාංකීය අනන්‍යතාව ඇතුළේ මුස්ලිම් ජන සමාජය ගොඩනැගෙනවා වෙනුවට බලහත්කාරයෙන් ඒකට අරාබි අනන්‍යතාව පටවන්න පටන් අරන් තිබෙනවා. ඒ පැටවීමට සමහර මැදපෙරදිග රටවල් අරමුදල් සපයමින් තිබෙනවා. ඒ අතරේ වහාබ්වාදය වැනි අන්තවාදී මතවාදයන් ඒ ජන සමාජයට පොවන්න පටන් අරන්.

ඒ නිසා අතීතයේ සිංහල – මුස්ලිම් ජන සමාජ අතර පැවැති විශ්වාසය සහ අවබෝධය පලුදු කරමින් ඔවුන් අතර සැකය, අවිශ්වාසය ගොඩනැගෙන පරිසරයක් කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නිසා ඕනෑම මොහොතක ගිනිකූරක් ගහපු ගමන් ගිනි ගන්නා තත්වයක් රට තුළ තිබුණා. පළාත් පාලන මැතිවරණයට කලින් ගිංතොට දී මේ ගින්න ඇවිලුවා. අත්අඩංගුවට පත් වුණේ එක්සත් ජාතික පක්‍ෂයේ ගිංතොට අපේක්ෂකයා. ඔහුගේ කොට්ඨාසය තමයි එක්සත් ජාතික පක්‍ෂය වැඩිම ප්‍රතිශතයකික් ජයග්‍රහණය කළ කොට්ඨාසය. ඔහු සිංහල ඡන්දවලින් ජයග්‍රහණය කරන විට අනෙක් පැත්තේ සිටි මුස්ලිම් අපේක්ෂකයාට ද වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා.

ඒ නිසා මේ හැම ගින්නක් පිටුපස්සේම කතාවක් තිබෙනවා. ‘පළමු ගිනිකූර පත්තු වුණේ කොහොමද?’ කියා සෙවිය යුතුව තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය තටමමින් නිකුත් කරන අතරේ අම්පාර ප්‍රදේශයේ හෝටලයකින් වඳ පෙත්තක් හමු වුණා. එතැනින් හිතපු තරම් ගිනි අවුලුවන්න බැරි වුණා. මුස්ලිම් තරුණයන් තිදෙනකු විසින් පහර දී සිංහල තරුණයකු මියයාමේ සිද්ධියක් දිගන ප්‍රදේශයේ සිදුව තිබුණා. ඒ සිංහල තරුණයා මියගියේ පහර දීමෙන් දින 10කට පසුවයි. ඝාතනයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වූ බව ද අනාවරණය වුණා. ඒත් මෙතැන ඉබේ ගිනි ඇවිලුණේ නැහැ. මම පාර්ලිමේන්තුවේ දී කියූ ජාතික ඇඳුම අඳින, උස හීන්දෑරි හාදයාගේ ගෝලයෝ පළමු ගිනිකූර පත්තු කළා. මම කියූ කතාව ඇත්ත කියා තමයි මේ උස හීන්දෑරි හාදයාට මා ගැන මේ තරම් කේන්ති ගොස් තිබුණේ (සභාවේ සිනා). මේ සිදු වීමට කොල්ලුපිටියේ පිහිටි එක්තරා තානාපති කාර්යාලයක් ද සම්බන්ධයි.

‘මුහුණුපොතත් වහලා දැම්මා’

මේ තෙල්දෙණියේ ගින්නත් සමඟම අගමැතිට එරෙහි අභ්‍යන්තර කැරැල්ල යටපත් වුණා. මහ බැංකුව කොල්ල කාලා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවට පලා යෑම අමතක වුණා. තොරතුරු දැන ගැනීමේ අයිතිය අප්‍රමාණව ලබා දීමට ගිවිස ගෙන බලය ඩැහැගත්තු මේ අයියලා අන්තිමේ දී අපට තොරතුරු දැන ගැනීමට තිබුණු ‘මුහුණුපොතත්’ වහලා දැම්මා. හදිසි නීතිය පැනවූවා. නමුත් දින දෙකක් තුනක් යන තෙක් ගැටුම් ඇවිලෙන්න ඉඩ හැරියා. ඒ ප්‍රදේශවල සිවිල් පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ඉඩ හැරියා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්පූර්ණයෙන් නිහඬව සිටියා. ඇඳිරි නීතිය ඇතුළේ තමයි ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුණේ. මුස්ලිම් කඩ සාප්පු ගිනි තියනකොට ඊට සමගාමීව පන්සල්වලට ගිනි තියන්න ඇතැම් මුස්ලිම් අන්තවාදී කල්ලි කටයුතු කළා. මේ සියල්ල සිදු කළේ සිංහල – මුස්ලිම් පිටින් ආ මැර කල්ලි බව අද ගම්වාසීන්ගේ සාක්‍ෂිවලින් ඔප්පු වී තිබෙනවා.

‘කළු ජූලියේ දෙවන පුනරාගමනය’

මේ කළු ජූලියේ දෙවන පුනරාගමනයයි. එදා 1983 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලය තුළ එජාපය සමුපකාර ඡන්දය පරාජය වුණා. ඒක වහන්න ඔවුන්ට ඕනෑ වුණා. 1983 ජුලියේ උතුරේ මියගිය රණවිරුවන්ගේ දේහයන් මරදාන මල් ශාලාවක් වෙත ගෙන ඒමට නියමිතව තිබූ දිනයේ කොළඹට පැමිණි ජනතාව යා යුතුව තිබුණේ ජනපති ජේ.ආර්.ගේ නිවස පිහිටි වෝඞ් පෙදෙසටයි. නමුත් එම පාලනය ඒ ප්‍රකෝපකාරී පිරිස් කොළඹ හෙට්ටි වීදියට හරවා යැව්වා. මෙදා වගේම පොලීසිය මැදිහත් වුණේ නැහැ. ගිනි ඇවිලීමට ඉඩ දුන්නා. එතැන පටන් ‘දෙමළ ඩයස්පෝරාව’, ‘මරාගෙන මැරෙන කොටි’ කියන වචන භාවිතයට ආවා. එදා එජාපය ‘මරාගෙන මැරෙන කොටියා’ හදන්න ඕනේ කරන ජවනිකා ටික කළු ජූලියෙන් නිර්මාණය කරලා දුන්නා. ඒක තමයි, කළු ජූලියෙන් බෙදුම්වාදයට ලබා දුන්නු තෑග්ග.

‘බටහිරට අවශ්‍ය රට’

ඒ බෙදුම්වාදී යුද ගින්න නිවා දැම්මාට පසුව ජාත්‍යන්තර බලවතුන්ට ශ්‍රී ලංකාව තුළ වෙනත් බෙදුම්වාදී යුද ගින්නක් අවුලුවන්න අවශ්‍යයි. ඒ සඳහා ගිංතොට, තෙල්දෙණිය වැනි තැන්වල මේ ආකාරයේ ගිනි අවුලුවන්න ඕනෙ. ඒ මගින් අයිඑස්අයිඑස් අන්තවාදී ත්‍රස්ත සංවිධානය මේ රට තුළ පැලපදියම් කරවන්න ඕනෙ. ඒ ත්‍රස්ත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියා සිදු කරන අනාගත දිනය නිර්මාණය කිරීම මේ ජාත්‍යන්තර බලවතුන්ගේ උවමනාවයි. ඒකට අවශ්‍ය පූර්විකාව ජේ.ආර්. මාමාගේ බෑණා වුණු වික්‍රමසිංහ ලවා ලියවා ගැනීමයි ඔවුන් අද සිදු කරන්නේ. බටහිරට අවශ්‍ය හැම අතින්ම අස්ථාවර කරන ලද ශ්‍රී ලංකාවක්. එදා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යොදා ගනිමින් ඔවුන් සෑම අතින්ම අස්ථාවර කරන ලද ශ්‍රී ලංකාව තමයි ඉන් මුදවා ගෙන මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් ස්ථාවර ගමනකට කැඳවා ගෙන ආවේ. ඒ පාලනයට ආර්ථික වර්ධන වේගය 7.5%ක් පමණ වන රටක් නිර්මාණය කිරීමට හැකි වුණා. රට තුළ දේශපාලන ස්ථාවරභාවය මෙන්ම ආර්ථික ස්ථාවරභාවය ද මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් ඇති කළා. ඒ ගමන 2015 ජනවාරි 08 වැනිදා නතර කර දමපු බටහිර බලවතුන් උත්සාහ කරන්නේ සදාචාරමය වශයෙන් වැහැරුණු, දේශපාලනමය, ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු, පතුල නොපෙනෙන අගාධයක ගිල්ලූ රටක් බවට මේ රට පත් කරන්නයි. ඒ සඳහා තමයි මෙවැනි ගිනි අවුලුවන්නේ.

‘බටහිරට අනුව රනිල්ගේ ශේෂ පත්‍රය’

බටහිර සහ ඉන්දීය රහස් ඔත්තු සේවාවල මෙහෙයුමකින් පසුව බලයට ආපු මේ පාලක ජෝඩුව තමන් ලේසියෙන් බලය අත්හැරීමට සූදානම් නැහැ කියා පෙන්වමින් සිටිනවා. පළාත් පාලන ඡන්දයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරයාට, ඉන්දීය මහ කොමසාරිස්වරයාට වැඩ අධික වුණා. ‘අගමැති රනිල්ව ඉවත් කරන්න එපා!’ කියන පණිවිඩය ජනාධිපතිවරයාට ඔවුන්ගෙන් ලැබුණා. ‘ඔයා ඉන්නවා නම් ගිවිස ගත්තු අනෙක් වැඩ ටිකත් කරන්න ඕනෙ’ කියලා අගමැතිවරයාට පැවසුවා. බටහිරට අනුව රනිල්ගේ ශේෂ පත්‍රය නරකම නැහැ. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන්ගෙන් පොඩි චෝදනා කිහිපයක් පමණයි රනිල්ට එල්ල වී ඇත්තේ. නමුත් බටහිර බලවතුන්ට උපායමාර්ගිකව වැදගත් වන කරුණු ගණනාවක් මේ ආණ්ඩුව ලවා ඉටු කර ගැනීමට හැකි වී තිබෙනවා. ඉටු කරවා ගැනීමට අැත්තේ තව කිහිපයයි.

‘ජවිපෙ මන්ත්‍රීවරු පැනලා ගියා’

දැන් බලන්න මේ අය බටහිරට උවමනා න්‍යාය පත්‍රය ඉටු කර දෙන අපූරුව. රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන ‘චෝදනා ෆැක්ටරියක්’ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් පිහිටුවලා ඉවරයි. එහි කොමසාරිස්වරුන් ලෙස කොටි හිතවාදී, එන්ජීඕ මාෆියාවේ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පත් කිරීම ද සිදු කර තිබෙනවා. ඒ වගේම රණවිරුවන්ට එරෙහි ‘අතුරුදහන් කරවීම’ යන යුද අපරාධ චෝදනාව යටතේ ශ්‍රී ලංකාවේ හෝ විදෙස් අධිකරණයක නඩු පැවරිය හැකි නීතිමය ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් ද තෙල්දෙණියේ ගින්නේ දුමාරය අස්සේ මේ ආණ්ඩුව සම්මත කර ගත්තා. ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ ලංකාවේ නීතියට ඇතුළත් කිරීමයි මෙහි දී සිදු වූයේ. ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය සම්මත වීමට තමන් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දුන් පොරොන්දුව ද කඩ කරමින් තමයි තෙල්දෙණිය දුමාරය අස්සේ මේ රණවිරුවන් දඩයම් පනත සම්මත වුණේ. ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙසයි මේ පනත් කෙටුම්පත පසුගිය මාර්තු 07 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තේ. එදින පාර්ලිමේන්තුව තුළ පනත් කෙටුම්පත් තුනක් විවාදයට ගැනීමට තිබුණා.

රණවිරු දඩයම් පනත එදින ඡන්ද විමසීමට ලක් නොකිරීමට උදේ වරුවේ කථානායකවරයා එකඟ වී තිබුණා. ජවිපෙ ද ඉතා කූඨ ලෙස මේ පනත ගැන අදහස් දැක්වීමෙන් ද වැළකී සිටියා. කෙසේ හෝ මේ පනත ඡන්ද විමසීමට ලක් කිරීමට කථානායකවරයා එදින සවස කටයුතු කළා. ඒ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය බෙදීමක් ඉල්ලා සිටියා. එවිට සභා ගැබ තුළ සිටි ජවිපෙ මන්ත්‍රීවරුන් පැන යන ආකාරය අපි දුටුවා. තිලක් මාරපන විදේශ අමාත්‍යවරයා වගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව කරේ තියා ගෙන යන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා ද පැවසුවා ‘මේ පනතේ ඇතුළත් වගන්ති කිසිවක් අතීතයට බලපාන්නේ නැහැ’ කියලා. නමුත් අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා ‘කෙසේ වුව ද ජාත්‍යන්තර ප්‍රඥප්තියක් බලාත්මක කිරීම සඳහා ගෙන එනු ලබන නීතියක් අතීතයට බලපාන සේ සෑදිය හැක’ කියලා. ‘ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා’ වගේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදලින්, ‘ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කළා’ කියලා නඩු අහන යාන්ත්‍රණයක් හදන්න බටහිර බලවතුන්ට ඕනෙ වුණා. ඒකට තමයි 2015 ජනවාරි 8 වැනිදා ඒ බටහිර බලවතුන් ඉන්දියාව සමග එකතු වෙලා මේ සියුම් ස්නායු කිසිවක් වැඩ නොකරන මේ පාලක ජෝඩුව බලයට ගෙනාවේ. මේ මහ පොළොව ගැන අබමල් රොනක තැකීමක් නැති අගමැතිවරයකු තමයි ඔවුන්ගේ තේරීම වුණේ. බටහිර බලවතුන් කියන ඕනෑම කුලී වැඩක් නොපිරිහෙලා ඉටු කිරීමටයි ජේ.ආර්.ගේ බෑණා ගෙනාවේ. ජේ.ආර්.ගේ සියුම් ස්නායු එකක් දෙකක් හරි වැඩ කළා. නමුත් බෑණාගේ එකම සියුම් ස්නායුවක්වත් වැඩ කරන්නේ නැහැ.

බෙදුම්වාදයේ ඊළඟ පිම්ම පනින්න බටහිර බලවතුන්ට ‘ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කළා’ කියන මිථ්‍යාව අපේ අතින්ම සනාථ කර ගැනීමට අවශ්‍යයි. ‘ජෙහාන්ගේ’ භාෂාවෙන් කියනවා නම් එතකොට බටහිරට ‘ආතල් එක’ වැඩියි. රණවිරුවන් දඩයම් කිරීමේ සහගහන අපරාධය රටට කියන, ඒකට විරුද්ධව ජනතාව පෙළගස්වන අපි ඇතුළු සැබෑ විපක්ෂයට ‘හොරු’ කියලා ලේබල් අලවලා, නඩු අහලා හිරේ දැමීමට මේ සමඟම විශේෂ මහාධිකරණ තුනක් හදන්නත් මේ අය කටයුතු කරමින් ඉන්නවා. බටහිර න්‍යාය පත්‍රය අනුව යුද අපරාධ අධිකරණ හැදෙන අතරේ ඊට විරුද්ධ පිරිස් හිරේ දැමීමට අනිත් පැත්තෙන් විශේෂ අධිකරණ තුනක් සෑදීමට සූදානම් වෙනවා.

‘කළු සල්ලි සුදු කරන තිප්පොළක්’

ඒ අනුව දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය දේ යහමින් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටට විදේශ මුදල් එවීම හා යැවීම අධීක්ෂණයට අදාළව මහ බැංකුවට තිබූ බලය ඉවත් කිරීමට මේ ආණ්ඩුව නීති සකස් කළා. ඒ නිසයි, ‘ශ්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත්කිරීමේ තිප්පොළක් බවට පත්ව තිබෙනවා’ කියා ජාත්‍යන්තරව මතයක් හැදී ඇත්තේ. ඒ හරහා කොටි ඩයස්පෝරාව මේ රටේ ආර්ථික මර්මස්ථානවල තම මුදල් යොදවා අවසන්. ඊඒපී සමාගමට අයත් මාධ්‍ය ජලය ඇතුළු අනෙකුත් ආයතන කොටි ඩයස්පෝරාවේ ප්‍රධානියාට අයත් ලයිකා මොබයිල් සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දේශීය ව්‍යාපාරිකයකු මෙම ඊඒපී සමාගම් ජාලය මිලදී ගැනීමට ලයිකා මොබයිල් සමාගමට වඩා වැඩි ලංසුවක් තබා තිබියදී තමයි මේ ගනුදෙනුව සිදු වන්නේ. කොටි ඩයස්පෝරාව අතට මේ රටේ මාධ්‍ය ජාලයක් පත්වීම විශාල අනතුරක්. නමුත් රටට හොරා අද ඒ සියල්ල බටහිර න්‍යාය පත්‍රයට අනුව ඉටු කර දෙමින් සිටිනවා.

‘බැඳුම්කර හොරකම නීතිගත වේ’

මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව, ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති ණය මුදලින් 10%ක මුදලක් කැමති පොලියකට, කැමති හෙට්ටියකුගෙන් ගැනීමට දැන් තවත් නීතියක් හැදෙමින් තිබෙනවා. බැඳුම්කර හොරකම වගේ ඒවා 100ක් කරන්න මේ මගින් ඉඩ හදා ගනීවි. ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත’ නමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව වගේ, මේ නීතිය යටතේ බැඳුම්කර ගනුදෙනු සිදු වන විට මහ බැංකුවට සොයා බලන්න බැහැ. අගමැතිවරයාට රිසි සේ බැඳුම්කර ගනුදෙනුවලින් වාසි ලබා ගන්න මෙමගින් හැකි වේවි. බැඳුම්කර හොරකමින් උපයාගත්තු මුදලින් මේ ටයි-කෝට් හොරු පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රචාරක දැන්වීම්වලින් මේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පිරෙව්වා. මේ පනත් කෙටුම්පත සම්මත වුණොත් එමගින් සිදු කරන හොරකම්වලින් ඊළඟ ජනාධිපතිවරණයේ දී මේ රටේ සෑම ඡන්දදායකයකුම රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවා මිලට ගන්නත් මේ අය හදාවි. මේකත් බටහිර න්‍යාය පත්‍රය අනුව ආපු එකක්.

‘අලුත් හංස පූට්ටුවක්?’

දැන් මේ රටේ ආර්ථික වර්ධන වේගය 2%කට පමණ පහළ බැහැලා. තෙල්දෙණියේ ගින්නෙන් පසුව හදිසි නීතිය ප්‍රකාශ කළාම බොහෝ රටවල් තම රටවැසියන්ට ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම පිළිබඳ අනතුරු හඟවා තිබෙනවා. ඒ අනුව තවත් ආර්ථිකය බෙලහීන වේවි. ආර්ථිකය බෙලහීන වන විට, විදෙස් බලවතුන්ට මේ රට ගිල ගැනීමේ හැකියාව වැඩි වෙනවා. දැන් ඉතාමත් පැහැදිලියි, මේ ආණ්ඩුව බලන්නේ ඉදිරි මාස 18 තුළ බටහිර හා ඉන්දියාව පවරලා ඇති ඉතිරි වැඩ ටිකත් අවසන් කරන ගමන් ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ යන පරණ සටන් පාඨයත් සමඟ අලුත් හංස පූට්ටුවකින් ජනාධිපතිවරණයට එන්න. ඒ හංස පූට්ටුවෙන් එන පොදු අපේක්ෂකයා ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ ඇතුළු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුවක් රට හමුවේ තබාවි. මේ හංස පූට්ටුවට අන්තිමේදී ජවිපෙත් කර ගහාවි. ඒකට පෙර සූදානමක් විදියටයි, ජවිපෙ පෙට්ටගමක් ඇතුළේ දමා තිබූ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ කියන සටන් පාඨය එළියට දමා තිබෙන්නේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස එය ගෙන ඒමට හදන්නේ. දැන් ‘ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කර තිබේ’ යන මිථ්‍යාව සනාථ කිරීමේ නීති සකසා අවසන්. දෙමළ බෙදුම්වාදීන් ඉල්ලා සිටින ස්වයංපාලනය ඇති කිරීම ඊළඟ කාරණය. ඒකට මහා පතරංග ජාතිකය වැනි ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැහැ. සමගාමී ලැයිස්තුව අහෝසි වන විට, ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවලට ලැබෙන විට, සමගාමී ලැයිස්තුවේ තිබූ විෂයන්ගෙන් වැඩි ප්‍රමාණයක් පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් වන විට උතුරට අභ්‍යන්තර ස්වයංපාලනය ලැබෙනවා. 2013 අගෝස්තුවේදි දෙමළ ඩයස්පෝරාවට මංගල සමරවීරලා, ජයම්පති වික්‍රමරත්නලා ලබා දීමට එකඟ වූ ‘ලේබලය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයංපාලනය ලැබෙන ව්‍යවස්ථා සංශෝධනය’ මේ වන විට රනිල් වික්‍රමසිංහ අතේ තිබෙනවා. ඒ නිසාම තමයි රනිල්ව තවදුරටත් තබා ගැනීමට බටහිරට සහ ඉන්දියාවට උවමනා. දේශපාලන සල්ලාලකම් ටික කරගෙන යන රනිල් වික්‍රමසිංහට මුරකාරයා වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. බටහිර න්‍යාය පත්‍රය අතට ගත්තු සල්ලාලයාගේ භූමිකාව රනිල් වික්‍රමසිංහ ඉටු කරද්දි එතැනට වී මුරකාරයාගේ භූමිකාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉටු කරනවා. මේ තමයි සාමාන්‍ය සත්‍ය ය.

‘සාමාන්‍ය සත්‍යය සහ විශේෂිත සත්‍යය’

ඕනෑම දෙයක සාමාන්‍ය සත්‍යය සහ විශේෂිත සත්‍යය කියා දෙයක් තිබෙනවා. සාමාන්‍ය සත්‍යය අනුව මමත් පිරිමියෙක්. අපේ ලේකම් කපිල ගමගේ සහෝදරයාත් පිරිමියෙක්. නමුත් විශේෂිත සත්‍යය තමයි මගේ හැකියාවන් සහ කපිල සහෝදරයාගේ හැකියාවන් වෙනස්, වෘත්තීන් වෙනස්. සමහරු දේශපාලනයේදී තීන්දු තීරණ ගන්නේ සාමාන්‍ය සත්‍යය ගැන හිතලා. එහෙම සාමාන්‍ය සත්‍යය දිහා බලා තීරණ ගන්න අයට වරදිනවා. සාමාන්‍ය සත්‍යයට යටින් තිබෙනවා විශේෂිත සත්‍යයක්. දේශපාලන තීන්දු ගැනීමේ දී දේශපාලන ව්‍යාපාරයකට සාමාන්‍ය සත්‍යය සහ විශේෂිත සත්‍යය වෙන්කර හඳුනා ගත හැකි විය යුතුයි.

එදා ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ අපි කියනකොට ‘මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් කළේ, ෆොන්සේකා හමුදාපති කළේ යුද්ධය කරන්න’ කියලා අනුර දිසානායක ඒක පිළිගත්තේ නැහැ. සාමාන්‍ය සත්‍යය විතරක් දැකලා ඔහු කියනවා ‘මහින්ද රාජපක්‍ෂ ධනපති දේශපාලනඥයෙකි. ධනපති ක්‍රමයට ජාතික ගැටළුව විසඳිය නොහැක. ඔහු ද පෙර සිටි ධනපති පාලකයන් මෙන්ම කටයුතු කරනු ඇත.’ කියා. ඔහු ඒ ටික කිව්වේ හරියට ‘කාල් මාක්ස්ගේ මල්ලිගේ පුතා‘ වගේ (සභාවේ සිනා). ඕක තමයි අනුර දිසානායකගේ ගණන් හැදිල්ල. මහින්ද රාජපක්‍ෂ ධනපති පාලකයෙක් තමයි, ක්‍රමය ධනපති ක්‍රමයම තමයි. ඒක සාමාන්‍ය සත්‍යය. නමුත් ‘මහින්ද දකුණේ මැදමුලන උපන්නෙක්. ආරක්‍ෂක ලේකම් කළ මල්ලි හමුදාවේ සිටි කෙනෙක්. වෙන කිසිම දෙයකට නුසුදුසු වුවත් යුද්ධයට කියාපු ගොබිලා සරත් ෆොන්සේකා’ කියන එක විශේෂිත සත්‍යය. ඒක අනුර ඇතුළු ජවිපෙ නායකයන්ට තේරුණේ නැහැ. එදා ඒ විශේෂිත සත්‍යය දුටු ජවිපෙ නායකයන්ට අවස්ථාවාදියා, සංශෝධනවාදියා ලෙස අවමන් කරනවා. ඔවුන් පක්‍ෂය අතහැර යන තැනට වැඩ කරනවා. හැබැයි අද පෙනෙනවා සාමාන්‍ය සත්‍යය ද හරි ගියේ විශේෂිත සත්‍යය ද කියා. මෙතැනදීත් රනිල් සහ මෛත්‍රී දෙන්නාම සල්ලාලයෝ ලෙස සැලකීම වැරදියි. සල්ලාලයාගේ භූමිකාව සහ මුරකාරයාගේ භූමිකාව වෙනස්. ‘මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දමන්නේ, ත්‍රිකුණාමල වරාය ඉන්දියානු සහ ජපාන හවුල් සමාගමකට විකුණා දමන්නේ, එට්කා ගිවිසුම අත්සන් කරන්නේ කවදාද?’ කියන හිත්පිත් නැති න්‍යාය පත්‍රය තිබෙන්නේ සල්ලාලයා හෙවත් රනිල් වික්‍රමසිංහ අතේයි.

ඒ විතරක් නොවෙයි, 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ව්‍යවස්ථා සංශෝධනය තිබෙන්නේ සල්ලාලයා අතේයි. ඒක කරන්න රනිල් වික්‍රමසිංහට පාර කපන්න, විධායක ජනාධිපති ක්‍රමය අහිමි කිරීම නැමැති සටන් පාඨය, වරගන්වා, හැඩගන්වා නැවත දේශපාලන කරළියට ඉදිරිපත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් රනිල් හාමුගේ පැටව් අතේයි.

‘ඉන්දියාව වෙනුවෙන් ජයපැන් බීම’

බංගලිදේශය සහ ඉන්දියාව අතර පැවැති නිදහස් කුසලාන අවසාන ක්‍රිකට් තරඟයේ දී ලංකාවේ ක්‍රීඩාලෝලීන් ඉන්දියාව වෙනුවෙන් ජයපැන් බීවා. බංගලිදේශය කිසිදාක ශ්‍රී ලංකාවට දේශපාලනිකව අත පොවන රටක් නොවෙයි. බංගලිදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම් දෙස බලලා ඉන්දියාවට චියර් කළාට කමක් නැහැ. නමුත් අපේ රටට දේශපාලනිකව අත පොවන ඔත්තු සේවා සිටින ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගහන්න ඒ ‘චියර් එක’ යොදා ගන්න ඉඩ දෙන්න එපා! මේ අගමැතිතුමා, ඉන්දියාවට මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කර දෙන එට්කා ගිවිසුම අතේ තියා ගෙන සිටින බව ද හොඳින් මතක තියා ගන්න.

‘සමරිසි ජීවිතය පෙර පාසලේ සිට’

මේ රටට අහිතකර සියල්ල සහිත න්‍යාය පත්‍රයක් අතේ තියා ගෙනයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි මාස කිහිපය ගෙවන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයා ශ්‍රී ලංකාව සදාචාරමය වශයෙනුත් ඉවරෙටම ඉවර කරන්න කටයුතු කරනවා. මගේ අතේ තිබෙන්නේ Daily Mirror පුවත්පතේ පළ වූ පුවත්පත් වාර්තාවක් (පෙන්වයි). එමගින් කියැවෙන්නේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවේ පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමරිසි ජීවිතය පිළිබඳව කියා දෙන බවයි. මෙමගින් පෙර පාසල් දරුවාගේ සිට 07 ශ්‍රේණියේ දරුවා දක්වා කියා දෙන්නට යන්නේ ‘සමලිංගික සබඳතාව යනු ස්වාභාවික දෙයක්’ කියලයි. ඒ මතය අපේ දරු පරපුරේ මනස තුළ හදන්නයි මේ සූදානම් වෙන්නේ. වැදගත්ම දේ තමයි මේ ව්‍යාපෘතිය මෙහෙයවන්නේ, ඊට මුදල් යොදවන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය වීම. මේ පුවත්පත් වාර්තාවම පෙන්වා දෙනවා ‘මෙවැනි ව්‍යාපෘතියක් ලොව කිසිදු රටක ක්‍රියාත්මක කර නැහැ.. මෙය නියමු ව්‍යාපෘතියක්’ කියා. මෙමගින් කියැවෙන්නේ මේ රට තුළ ලිංගිකත්වය අතිනුත් විකෘති සහ බෙදුණු සමාජයක් හදන්න අගමැතිවරයා කටයුතු කරන බවයි.

‘අප සතු විය යුතු න්‍යාය පත්‍රය’

මේ මොහොතේ අපි අතේ තිබෙන්න ඕනෙ මේ දේශපාලන සල්ලාලයාට විරුද්ධව මුරකාරයාව යොදා ගත හැකි න්‍යාය පත්‍රයක්. පුළුවන් වුණත් බැරි වුණත් අපි ඒකට උත්සාහ කළ යුතුයි. පෙබරවාරි 10 වැනිදා ලැබුණු ජනවරම අනුව පාර්ලිමේන්තුවේ බල පෙරළියක් කිරීමට බැරි නම් අපි කළ යුත්තේ කුමක්ද? අඩුම තරමින් පවතින පාලනය තුළ තිබෙන බටහිර සහ ඉන්දියානු න්‍යාය පත්‍රය ඉවත් කර ජනතා අභිලාෂයන්ට යටත් වූ පාලනයක් පවත්වා ගෙන යාමයි. එනම් මේ බටහිර සහ ඉන්දියානු න්‍යාය පත්‍රය අතේ තිබෙන අගමැතිවරයා එම න්‍යාය පත්‍රයත් සමඟ පලවා හරින පරිවර්තනයක් නිර්මාණය කිරීමයි.

‘ජනාධිපතිවරණය තෙක් අන්තර්කාලීන න්‍යාය පත්‍රයක්’

ඊළඟ ජනාධිපතිවරණය තෙක් මේ විදියටම ඉදිරියට යමු, කියා ගියොත් ආපස්සට අදින්නට බැරි වැරදි ගොඩක් රටට සිදු වී තිබේවි. බටහිර සහ ඉන්දියාවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී මේ රට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තිප්පොළක් වූ පසු පුටින් ජනාධිපතිතුමා ආවත් වැඩක් වෙන්නේ නැහැ. පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව අපට දුන්නු පණිවිඩය කුමක්ද? ‘මහත්වරුනි ජනාධිපතිවරණය වන තෙක් ඉන්න බැහැ. අපි පොහොට්ටුවට ඡන්දය දුන්නේ පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක් විදියට සලකලයි. බයිසිකලය ද නයා ද කියා අපි බැලුවේ නැහැ. අපේ ලකුණ මහින්ද. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගැන විශ්වාසය තියලයි මේ ඡන්ද මල්ල පිරවූවේ. එහෙම නැතිව ජනාධිපතිවරණය එනකම් කට බලියන් බලා ඉන්න නොවෙයි. මේ අන්තර්කාලයට අන්තර්කාලීන න්‍යාය පත්‍රයක් ගෙනල්ලා ඒකට මෙන්න මේ බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය යටත් කළ යුතුයි’ කියලයි. ඒ ජනතා අභිලාෂයට පයින් ගසා බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය දිගේලි වීමට ඉඩ හැර, විරෝධය පෑමේ අශ්වාදජනක ක්‍රිඩාවේ නියැලීමෙන් යමෙකුට හිතා සනසා ගන්න පුළුවන්. නමුත් මේ මව් පොළොව ගැන බරසාර හැඟීම් ඇති කිසිවකුටත් එසේ කර නින්දට යාමට බැහැ. ජාතික හෙළ උරුමයේ රතන ස්වාමීන්වහන්සේලාගේ ආස්ථානය වී ඇත්තේ ‘අපි විරුද්ධ වෙන්නම් ඔයගොල්ලෝ කර ගෙන යන්න’ කියන එකයි. අපට එහෙම කරන්න පුළුවන්ද?

‘පෙබ. 10 ජනතාව ඉල්ලූ වෙනස ඇති කරමු!‘

තවදුරටත් වික්‍රමසිංහ අතේ තියෙන බටහිර – ඉන්දියානු න්‍යාය පත්‍රය දිගේලි වීමට ඉඩ දිය යුතු නැහැ. මත්තල ගුවන් තොටුපළ, ත්‍රිකුණාමල වරාය විකුණා දමා, එට්කා ගිවිසුම ගසා, රණවිරුවන්ට එරෙහි යුද අපරාධ නඩු අසා ඔවුන් හිරේ දමා, දෙමළ බෙදුම්වාදීන්ට අවශ්‍ය අභ්‍යන්තර ස්වයංපාලනය ලබා දී අවසන් වූවාට පසු යළිත් ඒ වැරදි ආපස්සට ඇදිය හැකි ද? ඒ නිසා අපි ජනාධිපතිවරණය තෙක් අන්තර්කාලයට රනිල් වික්‍රමසිංහ අතේ තිබෙන න්‍යාය පත්‍රය යටපත් කළ හැකි අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයක් අතේ තබා ගෙන ඒ වෙනුවෙන් කැප විය යුතුයි. එයයි පෙබරවාරි 10 වැනිදා අපට ඡන්දය දුන් ජනතාව අපෙන් බලාපොරොත්තු වන භූමිකාව. පෙබරවාරි 10 වැනිදා පොහොට්ටුවට කතිරය ගහපු මිනිහාට වටිනාකම ලැබෙන්නේ රනිල් අතේ තිබෙන න්‍යාය පත්‍රය දිගේලි වීමට නොදී එය ජනාධිපතිවරණය තෙක් අන්තර්කාලය සඳහා අප ඉදිරිපත් කරන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කළහොත් පමණයි. අපි ජනාධිපතිවරණය තෙක් ඉදිරි මාස 18 සඳහා අන්තර්කාලීන උපායමාර්ගික සැලසුමක් සැකසිය යුතුයි. මේ රටේ දේශපාලන දාම් පෙත එදෙසට හැරවීම තමයි අපේ වගකීම. පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න හා එතැනින් එහාට දිගේලි වන අනතුර සහ ඊට පිළියම තමයි අප මේ ඔබ ඉදිරියේ සංවාදයට ලක් කරන්නේ.

නමුත් මේ වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රය දිගේලි වීමට ඉඩ දී අප නියෝජනය කරන දේශපාලන බලවේගය එයට හුදු විරෝධය පෑමකට පමණක් සීමා කර තබා ගන්න ඇතමුන්ට ඕනෙ. ඒ නිසා නිවැරදිව මේ තත්වය තේරුම් ගනිමු! දේශපාලන සල්ලාලයා සහ මුරකරු සාමාන්‍ය සත්‍යය අනුව සමාන වුණාට විශේෂිත සත්‍යය අනුව වෙනස් කියා අපි තේරුම් ගනිමු! ඒ වෙනස්කම් අපේ මේ රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රය දිගේලි කිරීමට යොදා ගනිමු! ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි ඇන්දවූ ව්‍යවස්ථා වෙනසකට, දෙවන හංස පූට්ටුවකට මේ රට තවදුරටත් විනාශකාරී අන්තයකට ඇදගෙන යාමට ඉඩ නොදී පෙබරවාරි 10 වැනිදා ජනතාව ඉල්ලූ ප්‍රබල දේශපාලන වෙනස කරා මේ රට රැගෙන යමු!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/03/20

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    පෙබරවාරි 10!!!! ඉතින් බලන්න මට දැන් මේකට comment එකක් ලියන්න බැහැනේ. ඒ මොකොද කිව්වා නම් මම ඔය කණ්ඩායමට අයිතිවත් කවදාවත් ඒ පැත්තට එන්න හිතකවත් නැති පුද්ගලයෙක්නේ. හොටු පොහොට්ටු විරෝධී අදහස් හිතේ තියෙන නිසා කවි සිතුවිලි ආවේත් නැහැ. මගේ හිත දේශපාලනයට වඩා සමාජ සුභසාධනය පැත්තට තදින්ම ඇදිල යනව. මගේ ගතිගුණ වලින් සියයට 50ක් ඒ පැත්තට. සියයට 50ක් arrogant පැත්තට.

  2. Champa Reply

    අපරාදෙනෙ. රාහුට විරුද්ධ විශ්වාසභංගෙ රාහු කාලෙදිමනෙ භාර දෙන්ට තිබ්බේ.

  3. Champa Reply

    චැක් දැන්නෙ දැක්කේ මේ කොඩිවින කතාව. කොඩිවිනේ කපන්න නම් ඔයා ඉස්සෙල්ල කරේ තියාගෙන ඉන්න කොඩිවිනේ බිමින් තියලා හෙවත් 2010-2015 කාලේ රටට ගත්ත ණය තමන්ගේ සාක්කුවේ දාගත්ත කම්බ හොරුන්ගේනුයි බෞද්ධ තම්බින්ගෙනුයි අයින් වෙලා නියම සිංහල බෞද්ධයො වෙනුවෙන් පෙනී හිටින්න.

  4. Champa Reply

    විමල් මේ සම්මන්ත්‍රණ දිගටම තියෙනවා නම්, පෙබරවාරි 10 චන්දෙ දීපු මිනිස්සුන්ට විතරක් නෙමෙයි අනිත් මිනිස්සුන්ටත් එකතු වෙන්න කියන්න ඕකට. ඔයා ඉස්සර කතා කරන කොට ඔහොම එක පිරිසක් විතරක් ගැන කිව්වේ නැහැනේ නේද?

  5. Champa Reply

    චැක් විතරක්. අර ඒකාබද්ධ විපක්ෂෙ මාධ්‍ය හමුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ මූණත් තහඩු වල හැටි විතරක්. මුලින්ම විශ්වාස භංගෙ ගැන ලොකුවට කතා කරපු හැටියට තියෙන්න එපෑය ජයග්‍රාහී පෙනුමක්, සතුටු මූණක්, හොඳ උද්යෝගයක්. බලන්නකො නිකම් මල ගෙදරකට යනකොට හදා ගෙන යන මූණු වගේනෙ ඕගොල්ලන්ගේ මූණු ටික.. මේ….. ඕගොල්ලන්ට බයයි නේද රනිල් ඊට පස්සේ පළිගනියි කියල? පොව් අනේ ඕගොල්ලෝ. මහින්ද ඒක අත්සන් කලෙත් නැහැ. රනිල් සින්දුවක් කියනව තිබුන cartoon එකක ඊට කලින් දවසෙ… රාආආආජපක්ෂ මට උදව් කරාවී….දෝ ඕ ඕ ඕ…. මගෙ මිතුරා.. ඔඳ මුනියා….. මගෙ මිතුරා.. ඔඳ මුනියා…. රාජපක්ෂලා නම් deal දාගෙන තියෙන්නේ. අනිත් අයට ඒවා නැහැනෙ. අර චන්ද කාලෙත් බැසිල් කිව්වා පෙබරවාරි 10 වෙනිදයින් පස්සේ රාජපක්ෂලාට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒගොල්ලෝ හිතන්නේ තමන් ගැන විතරයි කියලා තාමත් ඔයාට තේරෙන්නෙ නැති හැටි විමල්. කවුද ඔයාට කිව්වේ කියන්න කියලා “අත්සන් කලේ නැතුවට නියමිත වෙලාවට අපේ යුතුකම ඉටු කරන්නම් කියලා UNP කාරයෝ කිව්වා” කියලා කියන්න කියලා? ඔයාගේ godfather ද නිකම් රාජපක්‍ෂලාගේ ලණු කන්න එපා විමල්. කවද ඉඳන්ද ඔයා UNP කාරයන්ව විශ්වාස කරන්න පටන් ගත්තේ?

  6. Champa Reply

    අනුර කුමාර වඳ පෙත්තක් අල්ලාගෙන දැන්. තමන්ගේ පක්ෂේ චන්ද කඩන්න ඇතුලේ එවුනුත් අල්ලාගෙන සුනිල් පෙරේරාව දැම්ම කියලවත් තේරුම් ගන්න බැරි වෙච්ච අනුර කුමාර කොහොමද රට වෙනුවෙන් පෙනී ඉන්නේ?
    Cambridge Analatica එලියට ආව එක හොඳයි. ඒකෙන් එලියට එන කතාව නම් පරණ එකක්. ලංකාවේ සිංහල දේශපාලකයන් අල්ලගන්න හරි ලේසියි. එක්කෝ ගණිකාවන් යොදවල නැතනම් අල්ලස් දීල. රාජ්‍ය නායකයෙක් වුනත් distract කරන්න පුළුවන් ගණිකාවන් සපයල. එතකොට දන්නේ නැහැ වටේ මොනව වෙනවද කියල. ඊට පස්සේ වැඩ කරන්නේ ගණිකාවෝ සපයන මිනිහ කියන විදියට. නොමව කරත් කතා කරන්නත් බැහැ under obligation. අනිත් මොනව නැතත් දැන් ඉන්න පාලකයෝ නම් තමන් ඒ තැනට නොවැටී ඉන්නවා හැබැයි රට අරන් යන්නේ ඒ පාරේ.

  7. Champa Reply

    President Trump is going to charge tariffs on imports from China. What do you think about it? I am not a fan of free trade agreements. So I support the move. US will go back to manufacturing their own stuff. They will not be cheap like Chinese. They will be costly but Americans will be happy to buy their own quality stuff. Lot of things are beginning to change Wimal. Our politicians are very much behind in terms of trade. I am very interested in trade. If I have the power what would I do for Sri Lanka? I have written so many things on a small book. One day I might give it to you.

  8. Champa Reply

    What would people believe in politicians? Word or action? JO’s words were against the Active Liability Management Bill but their action of abstaining (leaving the House without voting) from voting against it is support of the Bill.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.