BREAKING NEWS

බටහිර මානව හිමිකම් පිළිබඳව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවසූ මතය වැරදි යැයි පැවසිය හැක්කේ බටහිර ගැති බව සාඩම්බරයට කාරණයක් යැයි සිතන ඇමති මංගල පින්සිරි සමරවීර වැනි කළු සුද්දකුට පමණි

බටහිර මානව හිමිකම් පිළිබඳව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවසූ මතය වැරදි යැයි පැවසිය හැක්කේ බටහිර ගැති බව සාඩම්බරයට කාරණයක් යැයි සිතන ඇමති මංගල පින්සිරි සමරවීර වැනි කළු සුද්දකුට පමණි

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් බටහිර මානව හිමිකම් සංකල්පය බැහැර කරමින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පින්සිරි සමරවීර මහතාගේ උදහසට හේතු වී තිබේ. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මංගල පින්සිරි අමාත්‍යවරයා පවසන්නේ, කතෝලිකයන් අන්‍යාගමිකයන්ට එරෙහිව දියත් කරන ලද වද හිංසා හේතුකොටගෙන මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහිව තිබෙන බව ය. මෙමඟින් මංගල පින්සිරි අමාත්‍යවරයා උත්සාහ කරන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ බටහිර සංකල්පය පරමත්වයට නැංවීමට බව පෙනේ.

මංගල පින්සිරි සමරවීර නොදන්නවා වූවාට ශ්‍රී ලංකාව ක්‍රිස්තු පූර්ව සියවස්හි සිට ‘මිනිස් අයිතිවාසිකම්’ පිළිබඳව සැලකිලිමත්ව කටයුතුකර තිබේ. මිනිසාගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බවත් එහි ප්‍රතිඵල වශයෙන් යහපත් සමාජයක් ගොඩනැගෙන බවත් බුදුන් වහන්සේ දෙසා වදාලේ ක්‍රි. පූ. 6 වන සියවස තරම් ඈත අතීතයේදී ය. සිඟාලෝවාද සූත්‍රයේ දී උන්වහන්සේ පුද්ගලයා සතු අයිතිවාසිකම්වල පැවැත්ම, යුතුකම් මත සාපේක්ෂව ආරක්ෂා වන අන්දම පැහැදිලිව දේශනාකර ඇත්තාහ. නිදසුනක් ලෙස ඉහත කී සූත්‍රය මගින් සේව්‍ය – සේවක දෙපාර්ශ්වය අතර මෙම අයිතිවාසිකම් හා යුතුකම් බලපැවැත්වෙන ආකාරය පෙන්වා දී තිබෙනුයේ පහත දැක්වෙන අන්දමිනි.

“ගැහැව් පුත, කරුණු පසෙකින් ස්වාමියා විසින් යට දිශාව යැයි කියන ලද දැසි දස් කම්කරුවෝ උවටැන් කළ යුතු ය. ඔවුන්ගේ ශක්තියට අනුරූප ලෙස කර්මාන්ත විධාන කිරීමෙන් ද බත් වැටුප් දීමෙන් ද ගිලන් වූ කල ඔවුන්ට නිසි උපස්ථාන යොදාලීමෙන් ද මිහිරි රස බොජුන් (තමා හුදකලාව නොවලඳා) ඔවුන්ටත් දීමෙන් ද සුදුසු කාලයන්හි දී ඔවුන් වැඩෙන් මුදාහැරීමෙන් ද යන පසිනි. ගැහැව් පුත, මේ කරුණු පසින් ස්වාමියා විසින් යට දෙස යයි කියන ලද දැසි දස් කඹුරෝ උවටැන් කරන ලද්දහු මේ කරුණු පසෙකින් ස්වාමියාට අනුග්‍රහ කරත්. ස්වාමියාට පළමුවෙන්ම නැගී සිටින්නහු ද වෙත්. (කිසිත් සොරා නොගත්තහු) ස්වාමියා දුන් දැයම ගන්නාසුලු වෙත්. ස්වාමියාගේ ගුණ කථාව පතුරුවන්නාහු ද වෙත්. ගැහැව් පුත මේ පස් කරුණින් ස්වාමියා විසින් යට දෙස නැමැති දැසි දස් කඹුරෝ උවටැන් කරනු ලැබුවාහු. පසුව යට කී කරුණු පසින් ස්වාමියාට අනුග්‍රහ කරත්. මෙසේ ඔහු විසින් මේ යට දෙස නිරුපද්‍රිත කොට ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.”
(දීඝ නිකාය – බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා, ශ්‍රී ලංකා ජනරජය 1976 – 309 පිට)

මීට අමතරව බුදුන් වහන්සේ මෙසේ වේළුද්වාර සූත්‍රයේ දී පැහැදිලිකර දී ඇත්තේ මිනිසාගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳව ය. තමා ජීවත්වනු කැමති සේම අන්‍යයන් ද ජීවත්වීමට කැමති බව උන්වහන්සේ එහිදී මනාව පෙන්වා දී ඇත්තාහ. ප්‍රාණ ඝාතයෙන් වැළකිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ඒ අනුව ය. වාසෙට්ඨ සූත්‍රයේ නිරවුල්ව පෙන්වා දී තිබෙන්නේ අයිතිවාසිකම් අනුව මනුෂ්‍යයන් සෑම පුද්ගලයකුම සමාන විය යුතු බව ය. ලොව තණකොල, ගස්, වැල් සහ සතුන් අතර විවිධ වෙනස්කම් පැවතිය ද මිනිසුන් කෙරෙහි වන විවිධත්වය ඔවුන්ගේම ව්‍යවහාර මාත්‍රයක් බව ද මෙමගින් උන්වහන්සේ අවධාරණයකර ඇත්තාහ.

ලෝකයේ විවිධ කායික ලක්ෂණ ඇති, විවිධ වර්ණ ඇති බොහෝ ජාතීහු වාසය කළ ද ලොව සියලුම ජාතීන් එකම මානව වර්ගයකට අයත් බව නවීන විද්‍යාව ද පිළිගෙන තිබේ. එහෙත්, ඒ බව බුදුන් වහන්සේ දෙසා වදාලේ බටහිර නවීන විද්‍යාවේ ‘අ’ යන්නවත් එළිදක්වා නැති ඉතා ඈත අතීතයේ දී ය. ශ්‍රී ලංකාව හා එහි වෙසෙන ජනතාව මූලික වශයෙන් පෝෂණය කෙරුණේ එබඳු බුදු දහම තුළිනි.

බදුලු ටැම් ලිපියේ සඳහන් ‘සම්වතා’ යන පදය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් හඳුන්වා දී තිබෙනුයේ ‘අයිතිවාසිකම් ප්‍රඥප්තිය’ යනුවෙනි. එහි ‘සම්’ යන්න ස්වාධිපත්‍යය, ආධිපත්‍යය, අයිතිය ආදියට සමාන කළ හැකි බවත් සංස්කෘත ව්‍යවස්ථා යන්නෙන් බිඳී ව්‍යවහාරයට පැමිණි ‘වත්’ යන්න, නියම කළ, තීරණය කළ, පිහිටුවන ලද යන අර්ථ ගැබ්වී ඇති බවත් ඒ අනුව සමාස පදයක් ලෙස සැලකිය හැකි සමස්ත ශබ්දය සඳහා ‘අයිතිවාසිකම් ප්‍රඥප්තිය’ වශයෙන් අර්ථකථනය කළ හැකි බවත් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය විය.

වෝහාරික තිස්ස රජ සමය (ක්‍රි. ව. 214 – 236) සියලුම ශාරීරික දඬුවම් ඉවත්කර, හිංසාවෙන් තොර නීති ක්‍රමයක් ඇති කරන ලද්දේ මෙම බෞද්ධ සභ්‍යත්වයේ බලපෑම හේතුකොට ගෙන ය. මහාවංශය, ප්‍රථම භාගය, 35 පරිච්ඡේදයට අයත් 143 පිටුවේ සඳහන්ව ඇත්තේ ආමණ්ඩගාමිණී අභය රජු (ක්‍රි. ව. 22 – 31) ‘ලක්දිව මුළුල්ලේම මාඝාතය හෝ සතුන් නොමරවයි’ නීතිගත කරවන ලද බව ය. සීලකාල රජ දවස (ක්‍රි. ව. 522 – 535) ‘ලක්දිව තුළ කිසිදු සතකු නොමැරිය යුතු ය’ යනුවෙන් නියෝග පනවන ලද බව සඳහන්ව ඇත්තේ මහාවංශයේ ද්විතීය භාගයේ, 40 වැනි පරිච්ඡේදයේ, 20 වැනි පිටුවේ ය.

නිශ්ශංකමල්ල රජ දවසට අයත්, ගල්පොත ලිපියෙන් අනාවරණය වූයේ විවිධ රෝගාබාධවලට ලක් වූ අසරණ පුද්ගලයන් වෙත රැකවරණය සලසා ඔවුන්ගේ අයිතිවාසිකම් රැකීමට රාජ්‍යතන්ත්‍රය කටයුතු කළ අන්දම ය. බුද්ධදාස රජු මහමඟ විවිධ තැන්හි අන්ධයන් සඳහා විශේෂ ශාලාවන් ද ඒවායේ සේවය සඳහා වැටුප් සහිත පුද්ගලයන් ද යෙදවූ බවත් II උපතිස්ස රජු (ක්‍රි. ව. 368 – 410) පිළුන්, ගර්භනී කතුන්, අන්ධයන් හා රෝගීන් වෙනුවෙන් දාන ශාලා හා ආරෝග්‍ය ශාලා සාදවන ලද බවත් ඉතිහාසය අනාවරණය කොට තිබේ.

ශ්‍රමය සඳහා වැටුප් ලැබීමේ අයිතිය ක්‍රි. ව. 6 – 7 සියවස්හි සිට පැවති බව පැහැදිලි ය. එහි දී සේවකයන්ගේ ශ්‍රමය සඳහා බත් වැටුප්, උක් – සකුරු, වස්ත්‍ර, ඉඩම් ආදිය මෙන්ම කහවනු ද ගෙවන ලද බව මූලාශ්‍රගත තොරතුරු වෙතින් සනාථ වී තිබේ. දුටුගැමුණු මහරජතුමන් (ක්‍රි. පූ. 161 – 137) විසින් ලෝවාමහාපාය කරවීමේ දී ඒ ඒ කම්කරුවන්ට වැටුප් දෙන ලද බව මහාවංශයේ සඳහන් වේ.

රුවන්වැලි සෑ ස්ථූපය කරවීමේදී ද එහි සේවකයන්ට කහවනු, ආභරණ, වස්ත්‍ර, පාන වර්ග සහිත වූ ඛාද්‍ය භෝජ්‍යය, සුවඳ මල්, උක් – සකුරු ආදිය දුන් බව ද මහාවංශයේ දැක්වේ. එබඳු ඈත අතීතයේ සිට රීතියක් වශයෙන් පැවැති ශ්‍රමයට නිසි ගෙවීමක් හිමිකර දීමේ සම්ප්‍රදාය ක්‍රි. ව. 9 – 10 සියවස් පමණ වන විට නීතිගත අයිතිවාසිකමක් බවට පත්ව තිබූ බව V මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපිය ද අභයගිරි සංස්කෘත ලිපිය ද අනුරාධපුර V කසුබ් රජුගේ පුවරු ලිපිය ද අනාවරණයකර තිබේ.

මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසය අපට උගන්වන බටහිර විද්වත්හු ක්‍රි. ව. 1215 දී බිහි වූ ‘මැග්නකාටා ප්‍රඥප්තිය’ ඒ අරබයා බිහිවූ මුල්ම ලේඛනය ලෙස හඳුන්වති. එහෙත් මෙරට ඉතිහාසය මිනිස් අයිතිවාසිකම් කෙරෙහි සැලකිලිමත්වීමට පටන්ගෙන ඇත්තේ ඊට බොහෝ ඈත අතීතයේ සිට බව පැහැදිලි ය. ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කරන ලද විට, මෙබඳු උදාහරණ හා තොරතුරු රැසක් ඉදිරිපත් කළ හැකි ය. අපට මානව හිමිකම්, තවත් ජාතියක් පෑගීමට උපකරණයක් වූයේ නැත. එහෙත් බටහිර, මානව හිමිකම් අවිය යොදා ගන්නේ තමාට යටත් කරගත යුතු යැයි සිතන ජාතීන් යටත්කර ගැනීම පිණිස ය. මංගල පින්සිරි සමරවීරලා වැනි උපන්ගෙයි බටහිර ගැත්තන්ට මේ බව තේරෙන්නේ නැති වීම පුදුමයක් නොවේ.

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවසූයේ, ඒ අන්දමට බෞද්ධ ධර්මයෙන් පෝෂණය වූ සභ්‍යත්වයකට හිමිකම් කියන අපට, බටහිර මානව හිමිකම් සංකල්ප පැටවීමේ අවශ්‍යතාවක් නැති බව ය. එම මතය වැරදි යැයි පැවසිය හැක්කේ බටහිර දැනුම හා බලය හිස්මුදුනින් පිළිගෙන, ඊට ගැතිව ක්‍රියා කිරීම සාඩම්බරයට හේතුවක් ලෙස දකින මංගල පින්සිරි සමරවීරලා වැනි කළු සුද්දන්ට පමණි. එබැවින් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ නිවැරදි ප්‍රකාශය වටහා ගැනීමේ ඥානයක් නොමැති වීම හේතුකොටගෙන මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා ඒ කෙරෙහි දක්වන ලද පිළිකුල් කටයුතු ප්‍රතිචාරය කෙරෙහි අපි අපේ අනුකම්පාව පළකර සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම) 
නායක 
ජාතික නිදහස් පෙරමුණ 
2018-09-29

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.