BREAKING NEWS

බුලත් කොළයට ඡන්දය දුන් ලක්‍ෂ 58ක ජනතාවගේ අභිලාෂයන් පාවා දෙන්න අපි සූදානම් නැහැ – ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ

2-8927624104කවර ආකාරයක මඩ ප‍්‍රහාර, අවලාද එල්ල වුවත්, මර්දන මෙහෙයුම් දියත් වුවත් ඒවාට බිය වී බුලත් කොළයට ඡන්දය දුන් ලක්‍ෂ 58ක ජනතාවගේ අභිලාෂයන් පාවාදීමට ජාතික නිදහස් පෙරමුණ අපි සූදානම් නැතැයි එම පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(16) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය

පසුගිය ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක් බවට පත් වුණා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලක්‍ෂ 4 1/2ක පමණ වැඩි ඡන්දයකින් ජයග‍්‍රහණය කරනු ලැබුවා. උතුරු – නැගෙනහිර පළාත්වල සුළු ජාතික ඡන්දදායකයාගේ විශේෂ අනුග‍්‍රාහක ඡන්ද ප‍්‍රමාණය හේතුවෙන් තමයි එතුමාට එවැනි වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත හැකි වූයේ. ඒ තොරතුරු සියුම්ව අධ්‍යයනය කරන කෙනකුට ඒ බව පැහැදිලිව පෙනෙනවා. ඒක වරදක් ලෙස අපි දකින්නේ නැහැ. නමුත් සත්‍ය තත්ත්වය එය බව කිය යුතුව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලක්‍ෂ 58ක ඡන්ද ප‍්‍රමාණයක් ලැබුණා. ඒ ඡන්ද ප‍්‍රමාණය පිළිබඳ වගකීම අපට තිබෙනවා. මෙම මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහ එතුමාගේ පවුලේ අයට ඉතාම විශාල ලෙස අවලාද, මඩ ප‍්‍රහාර සමාජ ජාල වෙබ් අඩවි හරහා ගෙන ගියා. ඒවා තරුණ ඡන්දදායකයන් වෙත විශාල බලපෑමක් කරනු ලැබුවා. බොහෝම අශ්ලීල මැතිවරණ ව්‍යාපාරයක් ප‍්‍රතිවාදී පාර්ශ්වයෙන් දියත් වුණා. එවැනි තත්ත්වයක් තුළ තමයි මහින්ද රාජපක්‍ෂ මහතාට මේ ඡන්ද ලක්‍ෂ 58 ලැබුණේ. අපි විශ්වාස කරනවා එම ඡන්ද ප‍්‍රමාණය ඉතාමත් වැදගත් ඡන්ද ප‍්‍රමාණයක් ලෙස. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඡන්ද ප‍්‍රමාණය ඊට ඉහළ අඩියකට ඔසවා තැබීමට අපට හැකියාව තිබෙනවා. එසේ තිබියදී ඇතැම් කොටස්, මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා සමග එකට එකතු වි ඒ ලක්‍ෂ 58ක ජනතාව පාවාදීමට කටයුතු කිරීම අපි කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ. ඒ ජනතාවගේ අභිලාෂයන් පරාජයට පත් කිරීමට කටයුතු කිරීම අපි කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති හා අරමුණු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති හා අරමුණු අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒ පැහැදිලි වෙනස නිසා තමයි, ඉහත කී අවලාද හමුවේ වුවත් ලක්‍ෂ 58ක ජනතාවක් බුලත් කොළයට කතිරය ගැහුවේ. එවැනි ප‍්‍රතිපත්තීන්හි වෙනසක් නොමැති නම් මේ ලක්‍ෂ 58ත් හංසයාටම කතිරය ගහන්න තිබුණා. ඒත් එහෙම වුණේ නැහැ. ඒ නිසා ඉහත කී ලක්‍ෂ 58ක ජනතාවගේ අභිලාෂයන්වලට පයින් ගහලා අපට බැහැ, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙන්න. එතුමා සමග තිබෙන පෞද්ගලික ආරවුලකට නොවෙයි, නමුත් ඒ වැඩපිළිවෙළ අපට පිළිගන්න බැහැ. ඒ වැඩපිළිවෙළ පිළිගන්නේ නැති නිසා තමයි අපි මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පුරෝගාමීව දායක වුණේ. මොන විදිහේ මඩ ප‍්‍රහාර අවලාද එල්ල වුණත්, මර්දනය මෙහෙයුම් දියත් කළත් ඒවාට බිය වෙලා, දණ ගහලා මේ ලක්‍ෂ 58ක මහජන අභිලාෂය පාවා දෙන්න අපි සූදානම් නැහැ කියලා අපි මේ රටේ ජනතාවට සහතික වෙනවා.

අපි රට හැර යන්නේ නැහැ

අද බොරු ප‍්‍රචාර යවනවා අපි රට හැරලා යනවා කියලා. අපි එහෙම කරන්නේ නැහැ. වේළුපිල්ලේ පිරබාහරන් සමග සටන් පැවති කාලේ මේ රටේ ඉඳන් ඒ අභියෝගයත් සමග මරණීය අවදානමක් සහිතව සටන් වැදුණු මිනිස්සු අපි. ජවිපෙ වත්මන් නායකයා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන කාලේ නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්න පුරෝගාමීව කැප වුණු මිනිස්සු අපි. අපි මේ රට එවැනි අවදානම් මැද්දේ වුවත් දාලා ගියේ නැහැ, දාලා යන්නෙත් නැහැ. අපි ඉපදුනේ මේ රටේ, ජීවත් වෙන්නේ මේ රටේ. මැරිලා යන්නෙත් මේ රටේ. මේ ලක්‍ෂ 58ක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් අපි දිවිහිමියෙන් කැප වෙනවා.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මැතිවරණ සමයේදී දින 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, විධායක ජනාධිපති ධුරයට හිමි ඇතැම් බලතල සංශෝධනය කිරීම, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කිරීම, ඉන්ධනවලට ගසා තිබෙන සියලූ බදු ඉවත් කිරීම ඇතුළු දේවල් එහි අන්තර්ගතව තිබුණා. ඒ වැඩපිළිවෙළ නියමිත පරිදි ක‍්‍රියාත්මක කරන්න. ඒ සඳහා අපි සහයෝගය දෙනවා. විවේචන ඇතොත් ඉදිරිපත් කරනවා. අපි ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නේ නැහැ. ඒ දින 100න් පසුව මහ මැතිවරණයක් තියන්න.

ඒ වගේම අපි අපේ සහෝදර පක්‍ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටිනවා, මේ ලක්‍ෂ 58ක් වූ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් අමතක නොකරන ලෙස. ඒ ජනතාව ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මේ රට හමුවේ තිබෙන අභියෝගවලට මුහුණදී ඒවා ජය ගැනීම සඳහා ඉදිරිපත් වෙයි කියලා.

අපේ දේශපාලන අනාවැකි සැබෑ වෙමින් තිබෙනවා

දැන් මුස්ලිම් කොංග‍්‍රසය කියනවා, නැග‍ෙනහිර පළාතේ පාලනය දෙමළ ජාතික සන්ධානයට භාර දෙනවා කියලා. අපි කල් තියා පෙන්වා දුන්නා රාවුෆ් හකීම් මහතාගේ උවමනාව. ඔවුන්ට අවශ්‍ය වුණේ දකුණේ සිංහල – මුස්ලිම් ගැටුම් අවුලවලා නැග‍ෙනහිර මුස්ලිම් ජනතාවගේ සහාය ඇතිව උතුරු – නැග‍ෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග සහවාසයකට යාම. අපි මේ දේවල් බොහෝ කලින් කීවේ. ඒ කියපු දේශපාලන අනාවැකි අද සැබෑ වෙමින් තිබෙනවා.

දැනටමත් දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාවේ බලය තිබෙනවා. හෙට දවසේ නැග‍ෙනහිර පළාත් සභාවේ බලයත් ලැබෙනවා. ඊළගට මේ පළාත් සභා දෙක තුළ උතුරු – නැග‍ෙනහිර ඒකාබද්ධ කිරීම වෙනුවෙන් වෙන වෙනම යෝජනා දෙකක් සම්මත වේවි. උතුරු – නැග‍ෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ජනාධිපතිවරයා එයට අනුමැතිය නොදී ඉදීවිද? දින 100 වෙනකම් ඇතැම් විට අනුමැතිය නොදී ඉදීවි. දින 100න් පසුව අනුමැතිය නොදී ඉදීවිද? නැවත උතුරු හා නැග‍ෙනහිර ඒකාබද්ධ වෙනවා. මේකද ඉල්ලපු වෙනස?

ඒ විතරක් නොවෙයි, උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා උතුරු පළාත තුළ ඉතාමත් විශිෂ්ට භූමිකාවක් ඉෂ්ට කළා. උතුරු මහ ඇමති සී. වි. විග්නේෂ්වරන් මහතාට නීති තර්ක දාලා උතුරු පළාත් සභාව තුළ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයක් රැගෙන යන්න බැරි කළා. අද එතුමාව ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කොට තිබෙනවා. ඒ වෙනුවට බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයකට නම්මා ගන්න පුළුවන් පුද්ගලයකු උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කොට තිබෙනවා. දැන් කොටින්ගේ ටැමිල්නෙට් වෙබ් අඩවිය ඕනෙ කෙනෙකුට බලන්න හැකි වී තිබෙනවා. මම හිතන්නේ එහෙම කළේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන්න වෙන්න ඇති. කෙසේ වෙතත් අද ටැමිල්නෙට් වෙබ් අඩවියට නිදහස ලැබී තිබෙනවා. ඒ අතරේ කොටි පරදන යුද්ධයේදී මරණීය අවදානමක් ඇතිව ඊට සහයෝගය දීපු, ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිවරයාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. අද ටැමිල්නෙට් වෙබ් අඩවියට නිදහස හා ආරක්‍ෂාව ලැබෙද්දී ඩග්ලස් දේවානන්ද මහතාට අනාරක්‍ෂාව ලැබෙනවා. මේකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස? හංසයාට කතිරය ගැසූ ජනතාවනි, මදක් සිතන්න, මේ රට කොතනටද අද රැගෙන යමින් තිබෙන්නේ කියා.

මාධ්‍යවේදී සහෘදයන් වෙත ඉල්ලීමක්

එදා ආණ්ඩුවට තිබුණේ අයි. ටී. එන්. හා ජාතික රූපවාහිනිය පමණයි. අද සියලූ නාලිකා අයි. ටී. එන්. වගේ වෙලා. අද කිසිම නාලිකාවක විකල්ප මතවලට ඉඩ නැහැ. මම හිතන්නේ මේක මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා හිමිකරුවන්ගේ ගැටළුවක් නොවෙයි. ඔවුන් අද දැවැන්ත බලපෑමකට නතු වෙලා. ඒ බලපෑම ප‍්‍රවෘත්ති මැදිරිය දක්වාම ගලා ගෙන ගොස් තිබෙනවා. දිනාගත් නිදහස සහ සාමය බිලි නොදෙමු කියන අධිෂ්ඨානයේ සිටින සියලූ මාධ්‍යවේදී සහෘදයන්ගෙන් අපි ඉල්ලනවා, මේ භයානක ප‍්‍රවණතාව පිළිබඳ මේ රටේ ජනතාව දැනුම්වත් කිරීමට දායක වන ලෙස. ඒ ඔබේ වගකීමක් හා යුතුකමක්.

දින 100න් පොරොන්දු වූ සහන ජනතාවට ලබාදී ඒ කාලය දිගු කර ගන්නේ නැතිව මහ මැතිවරණයට යන ලෙස අපි මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා. දැන් සිදු වෙමින් පවතින්නේ ඒ බෝතලේ තිබුණු දේ මේ බෝතලයට දමනවා වගේ වැඩක්. මම දැක්කා පත්තරයක තිබෙනවා, කැෂියර් සහ මුදලාලි පමණයි මාරු වුණේ, කඬේ එහෙමම තියෙනවා, කියලා. එහෙම බැලූවාම දැන් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය දේවල් ටික පමණයි සිදු වෙමින් පවතින්නේ. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ බය කරලා අනෙක් පැත්තට ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක්. අද දූෂිතයන් කියපු අය කොතැනද ඉන්නේ? දූෂිතයන් කියලා චෝදනා කරන කොට කකුල් පණ නැති අය අනෙක් පැත්තට යනවා. එහෙම කරලා හරි, කරන්නේ රටට හොඳක් නම් ප‍්‍රශ්නයක් නැහැ. මේ කරන්නේ දිනාගත් සාමය සහ ස්ථාවරභාවය බිලි නොදෙන වැඩක් නම් කමක් නැහැ. නමුත් වෙන්නේ ඒක නොවෙයි. ඒ නිසා ඒ පාපකර්මයට කර ගහන්න ජාතික නිදහස් පෙරමුණ කිසි ලෙසකින්වත් සූදානම් නැහැ.

බොරු චෝදනා

අපට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් තොට තිබෙනවා. 2008ට පෙර මම ජනතා විමුක්ති පෙරමුණේ සිටින විට අවලාද ගැසීමට රාවය පුවත්පත යොදා ගත් නිවසම යොදා ගෙන තමයි අදත් මේ විදිහට අවලාද ගහන්නේ. අපි සූදානම් ඒ ඕනෑම එකකට උත්තර දීමට. රිච්ලූක් නැමැති සමාගමක කොටස් මගේ බිරිඳට තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන්. ඒ වගේ අනන්ත අප‍්‍රමාණ බොරු චෝදනා එම පැමිණිල්ලේ තිබෙනවා. මට හෝ මගේ බිරිඳට හෝ මගේ පවුලේ අයකුට රිච්ලූක් සමාගමේ කොටස් තිබෙනවා කියා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා. පට්ටපල් බොරු දාලා ඒ චෝදනා හදලා තියෙන්නේ. මේවාට මාධ්‍යවලින් ප‍්‍රචාරය ලැබුණාම අහිංසක මිනිස්සු මේවා ඇත්ත කියා හිතනවා.

මට ඊයේ(15) භික්‍ෂූන් වහන්සේ නමක් කතා තොට පැවසුවා රිච්ලූක් සමාගම අයිති බෞද්ධ ව්‍යාපාරික මහතකුට. මේ බොරුව පිළිගත්තු එජාපයේ ඇතැම් පිරිස්වලින් එතුමාට මරණ තර්ජන එනවා, අසභ්‍ය වචනවලින් බැන වදිනවා කියා. එම ව්‍යාපාරික මහතා බොහොම අසරණ වෙලා ඉන්නවාලූ. මේ විදිහේ පට්ටපල් බොරු දාලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරලා, ඒවාට මාධ්‍ය ප‍්‍රචාරය අරගෙන එමගින් අපේ දේශපාලන ගමන නතර කරන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවා ඒක මුලාවක්. අපි ලෙයින්, යකඩින්, ගින්දරෙන් පණ පෙවුණු අරගල බිම් මැද්දෙන් ආපු මිනිස්සු. ඒ නිසා අපේ පන්නරය මකා දාන්න ඔය චෝදනාවලට, අවලාදවලට හැකියාවක් නැහැ. මේ චෝදනාවලට, අවලාදවලට ඕනෑම තැනකට ගිහිල්ලා උත්තර දීලා, ඒවායින් නිදොස් වෙන්න මම සූදානම්.

ඔබට මතක ඇති මම ජනතා විමුක්ති පෙරමුණේ සිටින අවධියේදී මාවරමණ්ඩියේ අප පවුල සහිතව තිබූ කොමියුනිකේෂන් එක හා ගොඩනැගිල්ල පිළිබඳව යම් අයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව. ඒ පිළිබඳව එම කොමිසමෙන් විභාග කළා. එමගින් තහවුරු වුණා, කිසිදු අයථා ධනයක් උපයා නැහැ, තමන් සතු දෙයින් මේ සියල්ල කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ පරීක්‍ෂණය ඉවර වන කොටත් එහෙම වෙයි. ඒත් ඉතිං මේ පරීක්‍ෂණයට ගත වන කාලයනේ මේ අයට වැදගත්. මේ අවලාද ටික ඒ කාලය තුළ පවත්වා ගෙන ගියාම ඇතිනේ. ඒ වගේම මේ පරීක්‍ෂණයෙන් නිදොස් වුණාම ඔය දාන පොල් ගෙඩි අකුරෙන් නිදොස් වූ බව දාන්නේ නැහැනේ. මාවරමණ්ඩියේ ගොඩනැගිල්ල සම්බන්ධ චෝදනාවෙන් මම නිදොස් වුණාම ඒක එක මාධ්‍යයකවත් ප‍්‍රචාරය වුණේ නැහැ. ඒක තමයි අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය. මේ බොරු චෝදනාවලට අපි මුහුණ දෙනවා. ඒවා අසත්‍ය බව ඉදිරියේදී ඔප්පුකර පෙන්වනවා. කවුරුන් හෝ හිතනවා අපි ඒවාට බිය වෙයි කියලා ඒක වැරදීමක්

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර යන මහත්වරු ද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය ජාතික නිදහස් පෙරමුණ 2015-01-16

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Piumi Jayasinghe.. Reply

    hama denama sarwa sampurna na sr…api unath ehemai…sapekshawa gat wita ape janapathi thuma hamotama godak issarahin inawa…oba thuma nisa ape janapathi thuma paraduna kiyana hama dema boru..mokada api hamoma oba thumage hadawathata wadina kathawak ahanna hithaganai hamadama tv eka baluwe..oba thuma kalyana mithrayek widihata ape janapathithuma lagin idagan ethumawa araksha karana deta api hamogema gaurawaya , sthutiya oba thumata himi wenawa…ape janapathi thumatat, oba thumatat chiran jayathu wewa!!

  2. Ranga Reply

    API oba samagai……..

Leave a Reply

*